හොරණෑ නොගැසූ හොරණෑවේ 70

ඔක්තෝබර් 11, 2018

අපේ ළමා වියේ දී හිටි අඩියේ හැන්දෑවක ගමට පිවිසෙන ෆොක්ස් වැගන් වෑන් රථයක් වෙයි.ඒ කාලයේ ගමට ලයිට් තිබුණේ ද නැත.වෑන් රථය පැමිණියේ පාසල් වත්තටය.එහි පැමිණෙන්නෝ ඉතා ඉක්මනින් තිරයක් ඇද රෑ වන්නට චිත්‍රපට පෙන්වන්නට පටන් ගනිති.ලද ආරංචියට හතර වටේ සිටින ගැමියන් එය නරඹන්නට පැමිණෙති.එහි පෙන්වන්නේ සංවර්ධනය ගැනය.කොකු පණු රෝගය වැලඳෙන අන්දමය.තවත් අපූරු පුංචි කතන්දරය.ඒ පැමිණෙන වාහනයේ රජයේ චිත්‍රපට අංශය යනුවෙනු සඳහන්ව ඇත.ඒ පෙන්වූ චිත්‍රපට අතර අපේ රටේ නම රැන්දූ චිත්‍රපට ද වූ වග අප දන්නේ පසුකලකය.මෙරට සිනමාවේ නාමය ලොව පුරා රැන්දූ එමෙන්ම පිළිගත් ජාත්‍යන්තර සිනමා සම්මාන රැසක් මෙරටට දායාද කළ එමෙන්ම විශිෂ්ට සිනමාවේදීන් රාශියකට තිඹිරි ගෙය වූ රජයේ චිත්‍රපට අංශයට හැත්තෑ වැනි විය සැපිරිණ.එය ආරම්භ කරන ලද්දේ 1948 වසරේ සැප්තැම්බර් මස 17 වැනි දිනය.රජයේ චිත්‍රපට අංශය අයත්වනුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටය.එබැවින් එය රජයේ ප්‍රවෘත්ති හා වාර්තාවලට නැතහොත් පම්පෝරි වලට වැඩි තැනක් දෙන නැත්නම් රජයේ හොරණෑ වයන්නෙකු ලෙස පෙනීයාම ස්වාභවිකය.එහෙත් රජයේ චිත්‍රපට අංශය එය අතික්‍රමණය කොට විශිෂ්ට චිත්‍රපට රැසක් නිර්මාණය කළා පමණක් නොව එය ජාත්‍යන්තර වශයෙන් ද සම්භාවනාවට පාත්‍ර කරවූයේය. ලොව විශිෂ්ටතම වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස ලීනා වෙස්මුලර් සිය වාර්තා චිත්‍රපටයන් නිර්මාණය කරන ලද්දේ හිට්ලර් උදෙසා වුවත් එම චිත්‍රපට ලෝකයේ විශිෂ්ටතම වාර්තා චිත්‍රපට ලෙස සලකන්නේ යම් සේ ද ලාංකික සිනමාව බිහි කළ විශිෂ්ට වාර්තා චත්‍රපට රාශියක් පසුගිය දශක හතක කාලයක් ඇතළත බිහි කරන ලද්දේ ද රජයේ චිත්‍රපට අංශයයි.එය ආරම්භ වීම ද අහම්බයකි.එමෙන්ම ලංකික කථානාද සිනමාවේ ඉතිහාස කතාව එමගින් වෙනස් ව යනුයේ ද අහම්බයක් හැටියටය. දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවසානයේ බිමට සමතලා වූ ඉතාලිය අළු මතින් ගොඩ නගන ලද නවතාත්වික වාදි සිනමාවේ ඇසුර ලබන්නට සිංහල සිනමාවට ඉඩ කඩ උදාවන්නට තිබුණ ද එය නොලැබී ගියේය.ඒ වෙනුවට එම වාසානාව උදාවූයේ රජයේ චිත්‍රපට අංශය නමින් අභිනවයෙන් ඇරඹුණ ආයතනයටය.1947 වසරේ මෙරට මුල්ම කථානාද චිත්‍රපටය කඩවුණු පොරොන්දුව දකුණු ඉන්දියානු චිත්‍රාගාරයක නිම වද්දී කොළඹ වෛද්‍යවරයෙක් වන පීටර් අල්මේදා ප්‍රමුඛ පිරිසක් විශ්ව රංග මුවිටෝන් නම් සිනමා සමාගම ගොඩනගන ලද්දේ ඩබ්ලිව්.ඒ ද සිල්වා ගේ හිඟන කොල්ලා සිනමාවට නැංවීමේ අදිටනිනි.ඒ අනුව ඔවුන් සිය චිත්‍රපටය නිර්මාණය සඳහා සිනමාකරුවන් පෙළක් ඉතාලියෙන් සොයා ගත්හ.ඒ අධ්‍යක්ෂ ජුලියෝ පෙට්‍රෝනි කැමරා ශිල්පි ෆෙඩ්රිකෝ සෙරා හා රසායන ශිල්පි ජෝරිජියෝ කලබ්‍රියෝ යන තිදෙනා ලංකාවට පැමිනියේ ඒ අනුවය.ඒ වන විට තිස් හැවිරිදි වියේ පසු වූ පෙට්‍රෝනි ඒ වන විට ඉතාලියේ දී ට්ධඥබඩඥ ච අධථච නමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කොට තිබිණ.පෙට්‍රොනි උපත ලද්දේ 1917 සැප්තැම්බර් 21 වැනි දිනය.ඒ අනුව මෙම 21 වැනි දිනට එනම් හෙටට ඔහුගේ උපන් දිනයෙන් වසර එකසිය එකක් සපිරෙයි.පෙට්‍රෝනි සම්ප්‍රදායිකව ඉතාලියේ රැඩිකල් දේශපාලනය ඇදහූ පවුලක සාමාජිකයකු වූ බව සඳහන්ය.ජුලියෝ පෙට්‍රෝනි සිනමාකරුවකු මෙන්ම් ලේඛකයකු ද විය.එමෙන්ම ඔහු ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු විය.එමෙන්ම දෙවන ලෝක මහා සංග්‍රාමය අවසානයේ දේශය බේරා ගැනීම වෙනුවෙන් ද සම්මාන දිනූවෙකි. ඉන්දියානු සිනමාවේ මුල් භාගයේ ද එහි පෝෂණය සඳහා ඉතාලි සිනමා ශිල්පීන් දායක විය.එය බිඳ වැටෙනුයේ දෙවන ලෝක මහා සංග්‍රාමයට ඉතාලිය සම්බන්ධ වූ පසුවය.විශේෂයෙන් කල්කටාවේ සිට මදාන් චිත්‍රපට සමාගම සිය සිනමා නිර්මාණයන් තනද්දි බහුතරයක් සිනමා ශිල්පින් ඉතාලි ශිල්පින් විය.මුල්ම ඉන්දියානු කථානාද චිත්‍රපටය වූ අලම් අරා නිර්මාණය වද්දී එයට සම්බන්ධ වූයේ ද ඉතාලි සිනමා ශිල්පීන්ය.එහෙත් පෙට්‍රොනි ප්‍රමුඛ පිරිස ලංකාවට ගොඩ බට විගස සිදුවූයේ නොසිතූ කාරණයකි.එනම් සිනමා කෘතියක් නිපදවන්නට සූදානම් වූ විශ්වරංග මුවිටෝන් සමාගමේ හවුල් කරුවන් අතර වූ ආරවුලක් නිසා සමාගම විසිර ගොස් තිබිණ.එයින් අතරමං වූ පිරිස ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ එච්.ජේ.ඒ හුලුගල්ල මහතා මුණ ගැසීම දෛවෝපගත කාරණයක් විය.ඔහු අතරමං ව සිටි ඉතාලි සිනමාකරුවන් එවකට අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා සහ මුදල් අමාත්‍ය ජේ.ආර්.ජයවර්ධන මහතා වෙතට යොමු කළේය.එහි ප්‍රතිඵලය වූයේ රජයේ චිත්‍රපට අංශයක් සදහා ඉඩ කඩ සකසා දිමය.ඒ වනවිට බ්‍රිතාන්‍යයන් විසින් මෙරට යුද ප්‍රවෘත්ති සදහා සැකසුණු අධිරාජ්‍ය ප්‍රවෘත්ති අංශය වසා දමා තිබිණ.එහෙත් ඔවුන් සිනමා උපකරණ මෙහි තබා ගොස් තිබිණ.එමෙන්ම ඉතාලියේ සිටි පැමිණි පිරිස අත ද සිනමා උපකරණ විය.එබැවින් රජයේ චිත්‍රපට අංශය සඳහා අමුතු ආයෝජනයක් අවශ්‍ය නොවිය.රජයේ චිත්‍රපට අංශය ආරම්හ වනුයේ ජාවත්ත පාරේ පිහිටි වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ එවකට පැවැති කාර්යාල ගොඩනැගිල්ලක කොටසකය.දෙවසරක් ඇතුළත වර්තමානයේ මොරටුවේ වෙලෝනා භූමිය පවතින පොල්වත්තකට රජයේ චිත්‍රපට අංශය ගෙන යනු ලැබිණ.එය අතීතයේ බ්‍රිතාන්‍ය යුද කඳවුරක්ව පැවතිණ.එමෙන්ම යුද පුවත් සදහා වූ වාර්තා චිත්‍රපට අංශය පැවැතියේ ද එහිය. රජයේ චිත්‍රපට අංශය සදහා තවත් ඉඩමක් කොළඹ පොල්හේන්ගොඩින් ලබා ගත් අතර රසායනාගාරය යළි 1954 වසරේ දී එයට ගෙන යනු ලැබිණ.එම ස්ථානය එකල පිළියෙල කෙරුණේ වඩා පුළුල් අදහස් ඇතිවය.1971 වසරේ දී මොරටුවේ වෙලෝනා භූමියේ සිට රජයේ චිත්‍රපට අංශය පොල්හේන්ගොඩට ගෙන යන ලදී.එහෙත් ඒ වන විට එයට වෙන් කර තිබුණ අති විශාල භූමියේ එක් කොටසක් හමුදා කඳවුරක් බවට පත් කර තිබිණි. රජයේ චිත්‍රපට අංශයේ සිනමාකරණයේ නියැළී නම් දැරූ සිනමාකරුවන් සියල්ල එහි කටයුතු කළහ.තවත් කලක දී රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්ත්ව ද අනතුරුව ප්‍රවෘත්ති අමාත්‍යංශය ද මේ භූමියට රිංගා ගත් අතර රජයේ චිත්‍රපට අංශය එහි කොණකට තල්ලු විය.1947 වසර වන විට වාර්තා හා ප්‍රවෘත්ති සිනමාවට තිබුණ අගය ඉතා ඉහළ විය.විශේෂයෙන් රටක වඩා වැදගත් සිද්ධින් චලන චිත්‍රයෙන් නිර්මාණය වන එකම අංශය වූයේ ප්‍රවෘත්ති චිත්‍රපට විය.එබැවින් මෙරට සිදුවන සියලු වැදගත් සිදුවීම් රූපමය වශයෙන් ආරක්ෂා වූයේ එහිය.එබැවින් එය රූපමය සංරක්ෂණාගාරයක් හා කෞතුකාගාරයක් විය.අද මෙන් ටෙලිවිෂන ප්‍රවෘත්ති විකාශයක් නොවුණ එසමයෙහි රජයේ ප්‍රවෘත්ති අංශය මගින් නිපදවන ලද ප්‍රවෘත්ති වාර්තා වලට ඉතා ඉහළ අගයක් තිබිණ. එබැවින් බොහෝ චිත්‍රපට තිර ගත වද්දි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද සිනෙ පුවත් වලට ඉහල ඉල්ලුමක් තිබිණ.එපමණක් නොව විශේෂයෙන් එබඳු ප්‍රවෘත්ති ඇතුළත් වාර්තා චිත්‍රපට මෙන්ම විවිධ අධ්‍යාපනික වටිනාකමින් යුත් චිත්‍රපට ද රාශියක් රැගෙන නිතිපතා ගම් නියම් ගම් සැරිසරමින් ඔවුහු වැදගත් මෙහෙයක් ඉටු කළහ.ජුලියෝ පෙට්‍රොනිට හිටි අඩියේ මෙරටින් යන්නට සිදුවූයේ ඔහු කොමියුනිස්ට්වාදියකුය යන හංවඩුව නිසාය.කෙසේ වෙතත් ඒ වන විට ඔහු විශිෂ්ට ගණයේ ආයතනයක මුහුණු වර එයට හදුන්වා දී තිබිණ.හොරණෑ පිඹිනවාට වඩා යමක් වාර්තා සිනමාකරණයේ කළ හැකි බවට ඔහු එහි දී පෙන්වා දි තිබිම වැදගත්ය.පෙට්‍රොනි අධ්‍යක්ෂණයට අමතරව කැමරා අධ්‍යක්ෂණයේ ද සංස්කරණයේ ද යෙදී තිබිණ.ඔහු විසින් නිර්මාණය කරන ලද ද හිල් කැපිටල් ,නිව් හොරයිසන්ස් වැනි වාර්තා චිත්‍රපට එයට දෙස් දෙයි.මේ අවධියේ එයට එක් වූ ජෝර්ජ් වික්‍රමසිංහ ද මිල්කි වේ,මොඩර්න් මෙතඩ්ස් ඔෆ් පැඩි කල්ටිවේෂන් වැනි වාර්තා චිත්‍රපට නිර්මාණය කළේය.ජෝර්ජ් වික්‍රමසිංහ එහි අධ්‍යක්ෂණයට පිවිසි මුල්ම ලාංකික සිනමාකරුවා විය.පෙට්‍රොනි ලංකාවෙන් ගිය පසු වඩාත් පතළ වූයේ වෘත්තාන්ත සිනමාකරුවෙකු හැටියටය.සුප්‍රකට සිනමා නළු ලී වැන් ක්ලිෆ් මුල්වරට සිනමාවට පිවිසෙන අ ස්කයි ෆුල් ඔෆ් ස්ටාර්ස් ඔෆ් අ රූත් ඔහුගේ සිනමා කෘතියක් විය.පෙට්‍රෝනි මිය ගියේ 2010 වසරේ ජනවාරි 31 වැනි දිනදීය.පෙට්‍රෝනි විසින් හිස් වූ තැන් ට එංගලන්තයේ සිටි විශිෂ්ට වාර්තා සිනාමකරුවකු වන රැල්ෆ් කීන් කැඳවනු ලැබිණ.ඒ එවකට මෙරට මහ බැංකු අධිපතිවරයාට වඩා වැටුපක් ගෙවනු ලැබීමෙනි.එය එක් අතකින් මිනිසකු ගේ වටිනාකම අවබෝධ කර ගත් අවස්ථාවක් විය.එමෙන්ම රජයේ චිත්‍රපට අංශය සඳහා රජය දැක්වූ ආකල්පය ද පැහැදිලි කරන්නකි.කීන් ලංකාවට ආවේ තනිවම නොවේ.ඒ වන විට එංගලන්තයේ දී කෙටි චිත්‍රපට තනමින් අවධානයට පාත්‍ර වෙමින් තිබුණ ලාංකික සිනමාකරුවකු වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ද කැටුවය. වාර්තා සිනමාකරණය සදහා කැදවා ගෙන ආ තරුණයා ලාංකික සිනමාවේ දිසානාතිය වෙනස් කරනු ඇතැයි කීන් නොසිතූ කරණයක් විය.පෙට්‍රොනි විසින් ආරම්භ කරන ලද කීන් විසින් ගොඩනගන ලද රජයේ චිත්‍රපට අංශය විශිෂ්ට වාර්තා සිනමාකරණයෙහි හා සිනමාකරුවන්ගේ තිඹිරි ගෙයක් විය. පෙට්‍රෝනි මෙන්ම කීන්ද මෙරට මිනිස් ජීවිත හා සමාජ පරිසරය පිළිබඳ අපූරු රූප කාව්‍යයන් වාර්තා කළහ. සෙසු සිනමා වාර්තාකරුවෝ අනුගමනය කළේද එම රීතියයි. ලෙස්ටර් මෙනිම ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, අර්වින් දසනායක, සිරි ගුණසිංහ, ඩී.බී.නිහාල්සිංහ, රංජිත් ලාල්, විල්ෆ්‍රඩ් පෙරේරා, තිස්ස අබේසේකර, තිස්ස ලියනසූරිය, ටයිටස් තොටවත්ත, සුසීමා දමයන්ති, සුගතපාල සෙනරත් යාපා, ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ, සුදත් මහදිවුල්වැව, විමුක්ති ජයසුන්දර ආදී බොහෝ දෙනා රජයේ චිත්‍රපට අංශය පෝෂණය කළහ.ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි විසින් නිර්මාණය කරන ලද MAKERS ,MOTIFS AND MATERIALS වැනිස් සිනමා උලෙළේ දී 1959 වසරේ දී ගෝල්ඩන් මර්කියුරි සම්මානය දිනා ගත්තේය.එය මෙරට සිනමා කෘතියක් විදෙස් රටක සම්මානයක් දිනූ මුල්ම අවස්ථාව විය.ඉන් පසු අර්වින් දසනායක නිර්මාණය කළ THE LIVING WILD  වැන්ක්වර් හා එඩින්බරෝ උලෙළයන්ගේ ද සම්මාන දිනා ගත්තේය.ජන ලීලා.(වැන්ක්වර්) තේ සංවත්සරය(වැනිස්)නිම්නයක හදවත (ඩී.බී.නිහාල්සිංහ-බර්ලින්) වැනි නිර්මාණ රාශියක් රජයේ චිත්‍රපට අංශයට ජගත් කීර්තිය ගෙනාවේය.තිස්ස ලියනසූරිය සහ සුගතපාල සෙනරත්යාපා ගේ නිර්මාණ ද ඒ අතර වෙයි.කෙසේ වෙතත් බොහෝ රාජ්‍ය ආයතනවලට සිදුවන ඇතැම් අමන නිලධාරි තීන්දු රජයේ චිත්‍රපට අංශයේ වැඩ කටයුතු අඩාල කළේය.කලක ඉතා හොඳ ශබ්දාගාරයක්ව පැවැති රජයේ චිත්‍රපට අංශයේ ශබ්ද අංශය බොහෝ සිංහල චිත්‍රපට සඳහා ද භාවිතා කළ නමුත් එය අතරමග නතරවූයේ වරක එහි පාලකයකු රාජකාරි වේලාව සාමාන්‍ය 8 සිට 4.30 ට සීමා කිරීමෙන් බව නොරහසකි.අද ටෙලිවිෂනය සමග ප්‍රවෘත්ති වාර්තාකරණයේ අවශ්‍යතාව රජයේ චිත්‍රපට අංශයෙන් ගිලිහී ගිය ද වැදගත්කම අහිමිව ගොස් නැත.වාර්තා සිනමාකරණයේ දී එයට කළ හැකි බොහෝ දේ ඇත.එය හඳුනා ගත යුතුව ඇත.වර්තමානයේ දළ සේයා පට භාවිතය තුරන්ව ගොස් ඇතඒ වෙනුවට ඩිජිටල් තාක්ෂණය ද එයට එක්ව ඇත.ශිල්පීන් ද සිටිති.වාර්තා සිනමා නිර්මාණය සඳහා අවශ්‍ය කැපවීම සහ එහි වැදගත්කම වටහා ගන්නා මිනිසුන් පමණී.රජයේ චිත්‍රපට අංශය යනු ඉතිහාසයකි.එය අනාගතයට ද අවශ්‍යය . 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.