රංගන කළාව කියන්නේ ලොකු මැජික් එකක්
රංගන කළාව කියන්නේ ලොකු මැජික් එකක්
එදා ජනාධිපති තාත්තා ගෙනා ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙන්
මෙදා ‘කලම්බෝ කලම්බෝ’
වේදිකා නාට්‍ය බලන, හදන, රඟන
ඉන්දික වෘත්තියෙන් නාට්‍ය හා රංග කලා ගුරුවරයෙක්. පොතේ ගුරා චරිතයට පණ පොවනවට වඩා
පොතෙන් උගත් දේත් හිතේ උපන් දේත් වේදිකාව මත අත්හදා බලන්නට වෙර දරන තරුණ
නිර්මාණකරුවෙක්. මේ ඔහු සමඟ කළ පිළිසඳරයි.
* ඔබ නාට්‍යකරණයට යොමු වෙන්න පෙළඹුණේ කොහොමද?
පුංචි කාලෙ ඉඳලම සාහිත්‍යයත් එක්ක මට හොඳ පයිරුපාසානමක් තිබුණා. හයේ පංතියේ ඉන්න
කාලෙම මම දවසකට එක නව කතාවක් ගාණේ කියවල ඉවර කරන්න පුරුදු වෙලා හිටියා. ඔය අතරෙ
අහම්බෙන් වගේ හෙන්රි ජයසේන, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ වගේ
නිර්මාණකරුවන්ගේ නාට්‍ය බලන්න යොමු වුණා. ඒ නාට්‍ය බැලීමෙන් ඇති වුණු විස්මය,
වේදිකාවේ මැවුණු ඉන්ද්‍රජාලයට ආසක්තවීම කියන කාරණා තමයි මාව වේදිකාවට තල්ලු කළේ.
* වේදිකා නාට්‍යයේ දී ගුරු කොට ගන්නා අය ඉන්නවද?
එහෙමමත් නෑ. අනික සම්ප්‍රදායික සංවාද නාට්‍යයට මම පෙම් කරන්නේ නෑ. සංවාද නාටකය ඉක්ම
වූ නාට්‍යකරුවන් මට බලපෑවා. බ්‍රෙෂ්ට්, දාරියෝ ෆෝ, ශේක්ෂ්පියර් ආදීන්ගේ නිර්මාණ යම්
යම් බලපෑමක් කළා කියලයි මට හිතෙන්නෙ.
* නාට්‍ය පිළිබඳ යම් හැදෑරීමකුත් කළාද?
96/97 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී මගේ නාට්‍ය හොඳම කෙටි නාට්‍ය වීමත් එක්ක ටවර් හෝල්
රඟහල පදනමේ නාට්‍ය හැදෑරුවා. උපාධියටත් නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. නාට්‍ය
ක්ෂේත්‍රයේ න්‍යායික දැනුමට ලොකු එකතුවක්, බලපෑමක් ඒ අධ්‍යාපනයෙන් ලැබුණා. මම
නාට්‍ය හා රංග කලාව ඉගෙන ගනිමින් උගන්වන කෙනෙක්. දැනුම හොයන්නෙ නැතුව දෙන්න බෑ.
ජනාධිපති තාත්තා නිර්මාණය වුණේ ඇයි?
නාට්‍ය හා රංග කලාව ගැන කරපු කියවීම්, දේශපාලන ප්‍රහසනයට ඇති කැමැත්ත වගේ දේවල්
එක්ක ශෝකාන්ත අවසානයකට ගෙන යන්න පුළුවන් විදිහේ මාව කම්පනයට පත් කළ කතා වස්තුවක්
හමු වීම තමයි ජනාධිපති තාත්තා නිර්මාණයට මුල් වෙන්නේ.
88 /89 සමයේ සිදු වූ සිද්ධියක් මගේ හිතට වද දෙමින් තිබුණා. ගෙවල් වලින් අතුරුදහන්
වන අය පිළිබඳ. එතෙන්දි ගෙන යෑමක් මිසක් ආපසු ඒමක් නැති ගමනක් යන්න එක්තරා බැංකු
කළමණාකරුවකුටත් සිද්ධ වෙනවා. ඔහු දුව සමඟ දැඩි බැඳීමක්, සබඳකමක් පවත්වා ගෙන ගිය
තාත්තා කෙනෙක්. තාත්තාගේ අතුරුදහන්වීමත් සමඟම මානසික වියවුලකට දුව ගොදුරු වෙනවා.
අහම්බයක් නිසා තාත්තා ආපහු ගෙදර ආවත් , මේ ආවේ තමන්ගෙ තාත්ත ය කියන එක පිළිගන්නෙ
නෑ. මෙන්න මේ ඛේදවාචකය තමයි ජනාධිපති තාත්තාට පදනම වෙන්නෙ.
* ඒකට ලැබුණු ප්‍රතිචාර ඔබ කියව ගන්නෙ කොහොමද?
දෙවිදිහක ප්‍රතිචාරයක් ලැබුණේ. සමහරුන්ට මේක සරල ප්‍රහසනයක් වුණා. තවන් පිරිසකට
බරපතළ දේශපාලනික ප්‍රහසනයක් වුණා. අපේ රටේ නාට්‍ය කියවීමේ දී සම්ප්‍රදායික හා
පසුගාමී කියවීමක් තියෙනවය කියන එක මට වඩා හොඳින් එතෙන්දි අවබෝධ වුණා.
* මොකක්ද මේ කලම්බෝ කලම්බෝ?
එක්තරා විදිහක සරසවි රංග කලා ආචාර්යවරයකු හැටියට මම කරන පර්යේෂණවල ප්‍රතිඵලයක් මේක.
සෞම්‍ය හා මම ඇරිස්ටෝටලියානු නාට්‍ය ආකෘතිය ගැන පර්යේෂණයක් කළා. 90% ලෝකයේ නාට්‍ය
හැදෙන්නේ මේ ආකෘතියට අනුවයි. මේ කොටුවීමත්, එය අධි නිශ්චයවීමත් නිසා ප්‍රබන්ධ කලාවට
එය බාධාවක් බව අපට වැටහුණා මේ නිසා. හුදකලා සිදුවීම් අතර අතාර්කික සබඳතා සහිතව මේ
නාට්‍ය නිර්මාණය කළා. ප්‍රේම සම්බන්ධතා තුනක් මුල් කොට ගෙන දිව යන කතා පුවතක්.
ප්‍රධාන චරිත තිබියදීම අප්‍රධාන චරිත නාට්‍ය පුරාම ගලා යන ක්‍රමයක් ඔස්සේ කෙරන
පර්යේෂණාත්මක වේදිකා නාට්‍යයක් හැටියට කලම්බෝ කලම්බෝ හඳුන්වන්න පුළුවන්.
කොළඹට සංකේන්ද්‍රනය වුණු අයගෙන් පෙන්නුම් කෙරෙන අපේ රටේ සමස්ත මානව සමාජයම මුහුණ
දෙන අර්බුද හා ඊට ඔවුන්ගේ නිරුස්සහක නිහඬ ප්‍රතිචාරය ප්‍රශ්න කිරීමකුයි මෙයින්
කෙරෙන්නේ. මෙය යථාර්ථය ඉක්මවා යන සංගීතමය නාට්‍යයක්.
* නාට්‍යය ඔබට මෙවලමක් වෙන්නෙ මොන අර්ථයෙන්ද ?
රංග කලාව කියන්නෙ ලොකු මැජික් එකක්. සජීවි කලාවක් හැටියට රංග කලාව ඔස්සේ කරන්න බැරි
දෙයක් නෑ. ඕනෑම දෙයක් ඕනෑම දෙයක් බවට පත් කරන්න පුළුවන් සුවිශේෂ ගුණයක් අන් කිසි
කලා මාධ්‍යයක නැති තරමට නාට්‍ය කලාවේ තියෙනවා. එනිසයි වේදිකා නාට්‍ය මගේ ආත්ම
ප්‍රකාශන මාධ්‍ය බවට පත් වෙන්නෙ.
අපේ රටේ නාට්‍ය හා රංග කලා අධ්‍යයනය ගැන ඔබේ අදහස?
අතිශය ප්‍රතිගාමී තත්ත්වයක් තියෙන්නේ. අපි යැපෙමින් හා සූප්පු කරමින් ඉන්නේ අතිශය
පැරණි දැනුමක්. නාට්‍ය පිළිබඳ අපි ප්‍රමාණාත්මක පර්යේෂණ මිසක් ගුණාත්මක පර්යේෂණ
කරන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.
* මේ තත්ත්වය මඟ හරවන්න ඔබට තියෙන යෝජනා මොනවාද?
නාට්‍ය කලාවේ ඉන්ද්‍රජාලය ගැන න්‍යායාත්මක හා ප්‍රායෝගික සෙවීමක් කළ යුතුයි. ඒ සඳහා
විශාල උන්නතිකාමයක් තිබිය යුතුයි. නව දෙයක් නිපදවීමේ ලාලසක් අප තුළ තිබිය යුතුයි.
නමුත් ඒ ස්වභාවය අපේ රටේ අඩුයි. පාසල් මට්ටමේ දී පවා දැනට වඩා රංග කලාව හා එහි
සංකීර්ණ ස්වභාවය තේරුම් ගැනීම, රංග කලාවේ උන්මන්තක ස්වභාවය හා ඉන්ද්‍ර ජාලය නිසි
ලෙස ප්‍රයෝජනයට ගැනීම වැදගත්.කලාව කියන්නෙම එක්තරා විදිහක උමතුවක්. නමුත් එය සමාජයට
අහිතකර උමතුවක් නෙවෙයි. ඒ පිළිබඳ වැටහීමක් ඇතුව මේ වේදිකා නාට්‍ය කලාව හැදෑරීම හා
පවත්වාගෙන යාම කළ යුතුයි.
* වර්තමාන තරුණ නිර්මාණකරුවන් පිළිබඳ ඔබේ තක්සේරුව?
ඇතැම් තරුණ නාට්‍යකරුවන් ප්‍රසස්ත නිර්මාණ කරන්න උත්සාහ දරන බවක් පේනවා. හැමෝම එකම
මොඩලයේ නාට්‍ය කිරීමෙන් පලක් නෑ කියන එක තේරුම් ගැනීමත් වැදගත්.
එසේම නිර්මාණාත්මක පැත්ත හා සාශ්ත්‍රීය පැත්ත සමබරව පවත්වා ගෙන යැමට උත්සාහ කළ
යුතුයි. ඒ ගමනේ දී නිර්මාණාත්මක පැත්තට හරස් වන බාධක ශස්ත්‍රීය දැනුම හා පරිචයෙන්
ජය ගන්න උත්සාහ කිරීම වැදගත් කියලයි මට හිතෙන්නෙ.
* සංගීත භාවිතාව ඇතුළුව ඔබේ නාට්‍යයේ විශේෂත්වය ගැන?
නාට්‍ය පෙළ පැත්තෙන් නිෂ්පාදනය පැත්තෙන් වගේම රංගනයෙන් වෙනස්කම් කර තිබෙනවා. ගයන
වයන රඟන සකලවිධ ප්‍රාසාංගික කලාවන් රංග ශිල්පීන් මගින් එළියට ගෙනෙන නිසා නාට්‍යයේ
තිබෙන සජීවී ගුණය වඩාත් තීව්‍ර කරන්න හේතු වෙනවා.
ගිටාරය හා ශරීරය වාද්‍ය භාණ්ඩ හැටියට යොදා ගන්නවා. මේ හැම උපක්‍රමයක්ම වද විඳීමක්ම
නාට්‍යමය අර්ථයක් තුළයි භාවිත වෙන්නෙ.
*කලම්බෝ කලම්බෝ නිර්මාණ දායක්වය ගැන කතා කළොත්?
රංගනයෙන් සෞම්‍ය ලියනගේ, අනසුයා සුබසිංහ, ජගත් චමිල, අතුල ජයසිංහ, සරත් කරුණාරත්න,
උපුල් වීරසිංහ, තිලංක ගමගේ, නදීකා සෝමතිලක දායක වෙනවා.
පසුතල හා රංග වස්ත්‍ර නිර්මාණය ප්‍රදීප් චන්ද්‍රසිරි, සංගීත නිර්මාණය තේජ බුද්ධික
රුද්‍රිගූ (මීෂා), රංග වින්‍යාසය මනුබන්දු විද්‍යාපති, අංග රචනය ජගත් පද්මසිරි,
රංගාලෝකකරණය තුෂාන් ඩයස්, ගී පද රචනා පියල් කාරියවසම් මේ අයගේ සහය ඇතුව මගේ රචනයක්
හා අධ්‍යක්ෂණයක් හැටියටයි මේ නාට්‍ය වේදිකාවට එන්නෙ.
හමුව -
රවි රත්නවේල්
ඡායා -
මාලන්
කරුණාරත්න
සුවච ගෝලයෝ
හෙට පරගස්තොට
කුලසිරි මල්ලිකාරච්චි නිෂ්පාදනය කළ සුවච ගෝලයෝ පාසල් නාට්‍ය පරගස්තොට විද්‍යාලෝක
මහා විද්‍යාලයීය ශාලාවේදී අගෝස්තු 07 දා (හෙට) පෙ. ව. 10.30 ට වේදිකා ගත වේ.
අනුර වරාගොඩ, කුලසිරි මල්ලිකාරච්චි, දිවේන්ද්‍ර ජයකොඩි, චන්ද්‍රරත්න ඉලේපෙරුම, රසික
ප්‍රේම කුමාර රංගනයෙන් දායක වන මෙහි සංගීතය චන්ද්‍රරත්න ඉලේපෙරුමගෙනි. සුවච ගෝලයෝ
දර්ශන වාර 150 ඉක්ම වූ පාසල් නාට්‍යයකි
‘කපුවා කපෝති’
15 දා එල්ෆින්ස්ටන්හි දී
රුසියන් ගත්කතුවරයකු වූ නිකොලයි ගොගොල්ගේ විවාහය නම් උපහාසාත්මක විකට නාට්‍යය
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සහ ඒ. පී. ගුණරත්න විසින් අනුවර්තනය කරන ලදුව
කලකට ඉහතදී ‘කපුවා කපෝති’ නමින් වේදිකා ගත කරන ලද නාට්‍යයේ නව නිෂ්පාදනයේ විශේෂ
දර්ශනයක් මේ මස 15 වැනි සෙනසුරාදා ප. ව. 3 ට සහ 6.45 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී
වේදිකා ගත කෙරේ.
නිහාල් ප්‍රනාන්දු, දීපානි සිල්වා, සරත් කුලාංග, වසන්ත විට්ටච්චි, ආරියරත්න
කළුආරච්චි, ලලිත් රාජපක්ෂ, කුමුදු ප්‍රශාන්ති, කුමාරි මැණිකේ අත්තනායක, අනූෂා
දිසානායක, රවීන්ද්‍ර ආරියරත්න, උපමාලි රණතුංග මෙයට රංගනයෙන් දායක වෙති.
‘කපුවා කපෝති’ නව නිෂ්පාදනය, අධ්‍යක්ෂණය හා වෙස් නිර්මාණය ලලිතා සරච්චන්ද්‍රගෙනි.
වසන්ත විට්ටච්චි වේශ නිරූපණය කරන ‘කපුවා කපෝති’ නාට්‍ය සංවිධානය ජූඩ් ශ්‍රීමාල්.
‘සිහින හොරු අරන්’
මාවනැල්ලට යයි
රාජිත දිසානායකගේ ‘සිහින හොරු අරන්’ නාට්‍ය මාවනැල්ල උස්සාපිටිය අරණ ශ්‍රී විදුහල්
ශාලාවේදී ප. ව. 3.30 ට සහ 6.30 ට වේදිකා ගත වේ.
ගිහාන් ප්‍රනාන්දු, ජයනි සේනානායක, ප්‍රියංකර රත්නායක, දයාදේව එදිරිසිංහ රංගනයෙන්
දායක වන සිහිින හොරු අරන් සංගීතය කපිල පූගල ආරච්චි ගෙනි.
- ෂර්ලි
‘සුළඟ මට කතා කරයි’
හෙට එල්ෆින්ස්ටන්හිදී
ශ්‍රී ලාංකේය වේදිකාවට සිනමා හා රූපවාහිනී තාක්ෂණයද එක් කරමින් නාට්‍යලෝලීන් හට
නැවුම් අත්දැකීමක් ගෙන දෙන ජනක කුඹුකගේ සහ අසෝක ආතාවුදහෙට්ටි එක්ව නිර්මාණය කළ
‘සුළඟ මට කතා කරයි’ වේදිකා නාට්‍ය අගෝස්තු මස 07 වන සිකුරාදා (හෙට) පස්වරු 3.30 ට
සහ 6.45 ට මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී වේදිකා ගත වේ.
ජනක කුඹුකගේ, චාන්දනී සෙනෙවිරත්න, වසන්ත විට්ටච්චි සමඟ පුංචි සුරංගනාවියක් රංගනයෙන්
දායක වන මෙහි සංගීතය නවරත්න ගමගේ සහ චන්දන ලියනගේ ගෙනි. අංග රචනයෙන් වසන්ත
විට්ටච්චි ද, වේදිකා ආලීකකරණයෙන් රංග සමරකෝන් ද දායක වන මේ නාට්‍යය ඉදිරිපත් කිරීම
කුමුදුමලී හේරත් ගෙනි. නාට්‍ය සංවිධානය ජූඩ් ශ්‍රීමාල් ගෙනි.
- හර්ෂනී
‘සුදු රෙදි හොරු’අගෝස්තු 09
මීගමුව නගර ශාලාවට
ජයලත් මනෝරත්නගේ නවතම නාට්‍ය නිර්මාණය ‘සුදු රෙදි හොරු’ මේ මස 09 වැනිදා මීගමුව නගර
ශාලාවේදී වේදිකා ගත වේ.
‘සුදු රෙදි හොරු’ නාට්‍යයේ ජයලත් මනෝරත්න සමඟ රොඩ්නි වර්ණකුල, ගිරිරාජ් කෞශල්‍ය,
සුදර්ශන බණ්ඩාර, ෆර්නි රෝෂිණී, සුසිල් වික්‍රමසිංහ, සම්පත් තෙන්නකෝන්, නිමල්
යටිවැල්ල, මාලි ජයවීරගේ, ප්‍රියංවදා මධුභාෂිණී, අජිත් ලොකුගේ, සංජීව දිසානායක,
සෝමසිරි කොළඹගේ, වසුන්දරා ගමගේ ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.
නවරත්න ගමගේ සංගීත නිර්මාණයෙන්ද ,රවිබන්ධු විද්‍යාපති නර්තන නිර්මාණයෙන් ද, ජගත්
පද්මසිරි අංග රචනයෙන්ද, ස්විනීතා පෙරේරා ඇඳුම් නිර්මාණයෙන් ද, ආචාර්ය ලයනල්
බෙන්තරගේ වේදිකා පසුතල නිර්මාණයෙන් ද සහය වෙති. නාට්‍ය සංවිධානය සුසිල්
වික්‍රමසිංහ.
රැඟුමෙන් සැනසෙන
කුලසිරි
මිනිස්සු උපන්දා ඉඳලා මැරෙනකම්ම කරන්නෙ හීන දකින එක. සමහරු ඒ හීනත් එක්ක වැළපෙනවා.
තවත් සමහරු තමන්ගෙ හීනත් එක්ක පොර බදනවා. එහෙම කරන්නේ ඒ හීන හැබෑ කර ගන්න. තවත්
පිරිසක් පුංචි කාලෙ දකින හීන ලොකු වුණහම ඉබේම අතහැරලා දානවා.
කුලසිරි කියන්නෙ හය හතර තේරුණු දවසෙ ඉඳලම තමන්ගේ වේදිකා නාට්‍ය හීනය හැබෑ කර ගන්න ඒ
හීනයත් එක්ක බොර බදන, කිසි දවසක ඒ හීනය අත හරින්න සූදානම් නැති කෙනෙක්.
රයිගම් කෝරළයේ දැල්කඩ ගමේ උපන් කුලසිරි පුංචි සන්දියේ ඉඳලම ගමේකමත් එක්කයි හැදුණෙ.
ඒ හින්දම කවිය, කතාව, නාඩගම කියන දේවල් ඒ කාලේ හිටන්ම හිතට කා වැදුණු තමන් හොඳින්
දන්න කියන දේවල් බවට පත්වුණා.
කලාවට හිත ගිය කාගෙත් වගේ කුලසිරිගෙත් කලාවේ තිඹිරි ගෙය වුණේ පාසල. පාසල්
වේදිකාවෙන් දාගත්තු පදනමත් එක්ක ගමේ ගොඩේ හැදෙන පොල් කොට වේදිකාවට ගොඩ වෙන එක
කුලසිරිට තවත් පහසු වුණා. තමන් රඟපාන ඒ වගේ නාට්‍යයක් ගැන ගමේ, පන්සලේ, කඩපිලේ
කෙරෙන කතාබහක් තමයි මේ ගමනට ප්‍රචාරය දුන්නෙ.
ඉඳහිට කුලසිරිලා ගැන කියවෙන පෝස්ටරයක් දෙකක් ළිඳ ළඟ, කොස් ගහක දෙල් ගහකත් ඇල වෙලා
තිබුණා. මේ වගේ දේවල්වලින් හිතට හයියක් ගත්තු කුලසිරිට 1976 දී විතර ප්‍රවීණ රංගන
ශිල්පි සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මෙහෙය වීම යටතේ සිනමාව ගැන හදාරන්නත් අවස්ථාව
ලැබුණා. නවසිය අසූවේදී කීරකොටුවේ රාළ වේදිකා නාට්‍ය කුලසිරිව ප්‍රසිද්ධ වේදිකාවට
ගෙන ආවා. කුලසිරි රූපවාහිනී මාධ්‍යයේ දොර ඇරුණෙ ධම්ම ජාගොඩයන්ගේ ‘මිහිකතගේ දරුවෝ’
ටෙලි නාට්‍යයෙන්.
මේ දක්වා වේදිකා නාට්‍ය හා, ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වෙන්න ඔහුට හැකියාව
ලැබී තිබෙනවා.
දිගු කලක් වේදිකාවත් එක්ක ඉන්න කුලසිරි තමන්ගෙ අවුරුදු 29 ක අත්දැකීම් ප්‍රයෝජනයට
අරගෙන පාසල් නාට්‍ය නිර්මාණය පැත්තට යොමු වුණා. ඒ අතරින් සුචච ගෝලයෝ පාසල් නාට්‍ය
රටේ සතර දිග්භාගෙ ගම් දනව්වලට ගෙනි යන්නත් දර්ශන වාර 150 ක් සාර්ථකව කරගෙන යන්නත්
කුලසිරිට පුළුවන් වුණා.
ආර්ථික ලාභයට වඩා ආත්ම ලාභය ගැන හිතන කුලසිරි මල්ලිකාරච්චිට මේ ගමන එන්න තමන්ගෙ කලා
කටයුතුවලට ඉත සිතින් ආධාර උපකාර කරන මිතුරන් ගැනත්, බිරිය හා දරු දෙදෙනා ඇතුළු
නෑදෑයන් ගැනත් තියෙන්නෙ අතිශය කෘතවේදී හැඟීමක්.
වෙබ් පිටු සැකසුම - රේඛාවෝ මාවතගම
|