පුංචි තිරයේදී නිතර දකින අජන්ත පුෂ්ප කුමාර

පුංචි තිරයේදී නිතර දකින අජන්ත පුෂ්ප කුමාර

බදුල්ල ධර්මදූත මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරමින් සහජ හැකියාව ඔස්සේ කලා ක්ෂේත්‍රයට එක් වූ අජන්ත පුෂ්ප කුමාර නාලන් මෙන්දිස්ගේ සෙනෙහසක ආදරය ටෙලි නාට්‍ය හරහා රංගනයට අවතීර්ණ විය.

සුනිල් සෝම පීරිස් ගේ අලි සුරතල් චිත්‍රපටය හරහා සිනමාවට එක් වූ අජන්ත ටී. සුනිල් ප්‍රේමලාල් ගේ ‘මාන්නක්කාර ගෑනි’ වේදිකා නිර්මාණය හරහා ප්‍රසිද්ධ වේදිකාවටත් අවතීර්ණ විය.

දෝනි, ජීවිතය ලස්සනයි, මුතු කිරිල්ලී, පබා, පූජාසනය, කැලෑ මල, දිගු සෙවනැලි, සක්විති, සන්ත්‍රාසය, සරා, දිය යට ගින්දර ආදී ටෙලි නාට්‍ය කිහිපයක විවිධ චරිත නිරූපණය කොට ඇති අජන්ත මේ දිනවල පබා ටෙලි නාට්‍යයේ සමගිපුර වසන්තගේ යහළුවෙක් ලෙසින් රංගනයේ නියැලේ.

වෙළෙඳ දැන්වීම් නිරූපණයට ද අවතීර්ණ වී සිටින අජන්ත ඉදිරියේදී විවිධ චරිත රඟමින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තුව සිටී.

ශාන්ත දොඩන්ගොඩ තම රංගනයේ ගුරු කොට සලකන අජන්ත මේ ක්ෂේත්‍රයේ මෙතෙක් කලක් දිගු ගමනක් ඒමට අවකාශ සලසා දුන් සියලු දෙනා කෘතවේදීව සිහිපත් කරයි.

188/12, දේවාල පාර, තලංගම, කොස්වත්ත අජන්ත පුෂ්ප කුමාරගේ ලිපිනයයි.


ටෙරෙක්ස් නම් වූ ‘සිල්’ හි පොඩි හාමුදුරුවෝ

ශ්‍රී ලාංකේය කලා අඹරට පායන තරු අතර සහජ හැකියාවන්ගෙන් අනූන කලාකරුවන් බිහි වන්නේ කලාතුරකිනි. එවන් කලාකරුවන් තමන්ගේ හැකියාවන් තුළින් කලා ලොව දිග් විජය කරයි. මේ එවන් යෞවනයෙක්. ඔහු නමින් ටෙරෙක්ස් සමරනායකයි.

වෙන්නප්පුව, නයිනමඩ උපත ලද ටෙරෙක්ස් මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි සිසුවෙකි. මීට වසර කිහිපයකට පෙර ඔහු ටෙලි නාට්‍ය රංගනයට දායක විය. ඒ ඔහුට සහජයෙන්ම ඇති නර්තන හැකියාව මත සරත් රණවීර මාර්ගයෙන් ජයසේකර අපොන්සු හඳුනා ගැනීමට ලැබීමෙනි.

ඔහුගේ ප්‍රථම ටෙලි නාට්‍ය රංගනය වන ‘සිල්’ ටෙලි නාට්‍ය ජයසේකර අපොන්සුගේ නිර්මාණයකි. ‘සිල්’ ටෙලි නාට්‍යයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය රඟපානු ලබන්නේ ටෙරෙක්ස් විසිනි.

වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකු වන ටෙරෙක්ස් විවිධ නර්තන සම්ප්‍රදායන් හදාරා ඇත. යාන්ත්‍රික විදුලි ඉංජිනේරු ශිල්පියෙක් වන ඔහුගේ පියා ඔහුට කලා ජීවිතේ කටයුතු කරගෙන යෑමට මහත් උනන්දුවෙන් සහයෝගය ලබා දෙන බවද පවසයි.සහෝදරයන් දෙදෙනෙක් හා එක් සහෝදරියකගෙන් යුත් පවුලේ තුන්වැනියා ටෙරෙක්ස්ය.

අංක 01, නයිනමඩ පදිංචි ටෙරෙක්ස්ගේ දුරකථන අංකය වන්නේ 0773752119 යි. කලා ලොවේ දිගු ගමනක් යෑමට ටෙරෙක්ස්ට ‘සරසවිය’ වෙතින් සුබ පැතුම්.


නිරෝෂන් ඩ්‍රීම්

කුඩා කාලයේ සිටම ඔහුගේ එකම සිහිනය වුණේ හොඳ ඩ්‍රම්ස් වාදකයකු වෙන එකයි.

අරමුණ කරා යන ගමන කුමන හේතුවකටවත් වෙනස් කර ගන්නට ඔහුගේ හිත ඉඩ දුන්නේ නැහැ.

අද ඔහු තරම් සතුටු වෙන කෙනෙක් සංගීත ක්ෂේත්‍රයේම සිටීද කියන එකත් සැකයක්. මොකද අපේ රටේ ජනප්‍රියම සංගීත කණ්ඩායමේ නිත්‍ය ඩ්‍රම්ස් වාදකයා වීමට තරම් මේ හුරු බුහුටි තරුණයා වාසනාවන්තයෙකු වී සිටිනවා.

ප්‍රසංග කලාවට අලුත් කලාවක් එක් කරමින් අද වේදිකාවේ ජය කෙහෙළි නංවන ඔහු ‘ප්ලෑෂ් බෑක්’ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක නිරෝෂන් ඩ්‍රීම්.

අද නිරෝෂන්ව නොදන්න කෙනෙක් නැති තරම්. ‘ප්ලෑෂ් බෑක්’ වගේම නිරෝෂනුත් අද ජනප්‍රියම ඩ්‍රම්ස් වාදකයෙක් බවට පත් වෙලා.

‘ඩ්‍රම්ස් වාදකයෙක්ගේ ප්‍රාසංගික බව හඳුන්වා දුන්නේ මම. මෙච්චර කාලයක් එකම විදිහට තමයි මේ වාදනය කරගෙන ගියේ. ඒ ක්‍රමයෙන් පිට ගිහිල්ලා අලුත් ක්‍රමයක් සොයා ගන්න මට පුළුවන් වුණා. වෙලාවකට නට නටා, තව වෙලාවකට ප්ලේ කරන ගමන් පොඩ්ඩක් පුටුව උඩට නගින්න, හිටගන්න වගේ් දේවල් පටන් ගත්තේ මම. ඒකෙන් තමයි මම ගොඩාක් ජනප්‍රිය වුණේ’. ඒ කතාව නම් සම්පූර්ණ ඇත්ත. නිරෝෂන්ගේ මේ සොයා ගැනීමට අද කවුරුත් කැමතියි.

කොහොමද නිරෝෂන්ට අපේ රටේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක ඩ්‍රමර් වෙන්න වාසනාව ලැබුණේ?

‘ප්ලෑෂ් බෑක්’ ආරම්භ කළ දිනයේ පටන් අවුරුදු දාහතක්ම එහි ඩ්‍රම්ස් වාදකයා හැටියට කටයුතු කළේ නායක රොෂාන් අයියා. ඒ නිසා එයාට මේකෙන් ටිකක් අයින් වෙලා වෙන කෙනෙකුට බාර දෙන්න ලොකු ඕනෑකමක් තිබුණා. හැම පළාතකින්ම කෙනෙක් හෙව්වත් හරි ගියේ නැහැ. එතකොට මම මීගමුවේ ෂන්ෂයින් බෑන්ඩ් එකේ ඉඳලා රට යන්න එයින් අයින් වුණා. රොෂාන්ට මේක ආරංචි වෙලා මාව ‘ප්ලෑෂ් බෑක්’ එකට ගත්තා.

කොහොමද මේ ගමන් මගේ ආරම්භය සිදු වන්නේ?

පුංචි කාලේ ඉඳලා . මම කෑගල්ල තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. පොඩි කාලේ ඉඳලම මම මේ කලාවට ලොකු ආසාවක් තිබුණා. ඉස්කෝලේ යන්නෙත් මම කෝටු කෑලි දෙක බෑග් එකේ දාගෙන. ඉඩ ලැබෙන වෙලාවෙදි මේස පුටුවලට ගහන එකයි මගේ වැඩේ. ඉතින් ගුටි කන වෙලාවලුත් තිබුණා.

අට වසර වගේ වෙන කොට තූර්ය වාදක මණ්ඩලයට බැඳිලා සයිඩ් ඩ්‍රම් එක වාදනය කරන්නත් ලැබුණා. ඒ කාලෙදිම අපි යාළුවෝ එකතු වෙලා පොඩි බෑන්ඩ් එකක් හදාගෙන තොරණ්, සල්පිල්වලට සහභාගි වුණා කිසිම අය කිරීමකින් තොරව. ඒ තරමට ආසාවක් තිබුණේ මේකට.

ඊට පස්සේ අපේ මේ පුංචි බෑන්ඩ් එක ටික ටික ජනප්‍රිය වෙන්න ගත්තා. ඔය අතරෙදි වෙන බෑන්ඩ්ස්වලටත් යන්න පුරුදු වුණා. එහෙම තමයි මම මේකට ආවේ. අතේ සල්ලි නැති වුණත් කවදාවත් මම මේක අත් හැරියේ නැහැ. අතින් වියදම් කරගෙන හරි අපි ෂෝ අරගෙන කළා. මට ඕනෑ වුණේ කවදා හරි මේ පැත්තෙන් ඉහළට යන්න. දැන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙනවා.

‘ප්ලෑෂ් බෑක්’ කණ්ඩායමට ඇවිල්ලා මාසයක් ගියේ නැහැ. ඉතාලිය, ප්‍රංශය, ජර්මන්, ඔස්ට්‍රියා, ග්‍රීසිය, එංගලන්තය රටවල මාස දෙකක ලොකු යුරෝපා සංචාරයකට සහභාගි වූනා. දැනට මේ අවුරුදු දෙක ඇතුළත රටවල් 15 කට 16 කට ගිහිල්ලා තියෙනවා.

නිරෝෂන් මේ යට ගියාව සිහි කරන්නේ හරිම සතුටින් බවයි පේන්නේ. ඔහුගේ ඇස් මා ඉදිරියේ කියාපානවා මේ බව.

පොඩි කාලේ ගොඩාක් මට මුදල් ප්‍රශ්න තිබුණා මියුසික් කරපු නිසා. වෙන රැකියාවක් කළා නම් ලේසියෙන්ම ඒවා නැති කර ගන්න තිබුණා. නමුත් මගේ ටාගට් එකට යන්න ඕනෑ නිසා වෙන රැකියාවක් කරන්න ගියේ නැහැ. ‘ප්ලෑෂ් බෑක්’ එකට ආවම ඒ සේරම පහසුකතම් මට ලැබුණා. අවුරුදු ගාණක් විඳපු දුක් නැති කර ගන්න පුළුවන් වුණා අද මට. මම හිතන්නේ මේ සේරම ලැබුණේ මට මගේ උත්සාහය නිසයි.

ඉතින් කියන්න නිරෝෂන් සංගීතයෙන් මිදුණු අවස්ථාව කොහොමද ගෙවෙන්නේ?

කටුනේරිය මගේ නිවසේම ශබ්දාගාරයක් පටන් ගන්න සියලු දේම සූදානම් කරලා තියෙනවා. රොෂාන් අයියා මේ හැම දෙයකටම උදවු කරනවා. මේ අදහසත් එයාගේ. බෑන්ඩ් එකේ ඉන්න ගමන්ම තමයි මේකත් කරන්නේ.

ඉදිරිය සුන්දරයි. මොනවද බලාපොරොත්තු?

සංගීතය පැත්තෙන් උපරිම දෙයක් කරන්න තමයි මගේ් එකම බලාපොරොත්තුව. ඉතින් මට මේ ගමනට විශාල සහයෝගයක් දෙන රොෂාන් අයියා ඇතුළු කිංස්ලි පීරිස්, අරුණ තමෙල් රන් ශ්‍රී, සුරන්, රූස්, ගයාන් මගේ සහෝදර ශිල්පීන්වත් ආදරයෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ.

‘ප්ලෑෂ් බෑක්’ කටුනේරිය, නිරෝෂන්ගේ ලිපිනයයි.


‘ගී රස ගංගා’ අද බණ්ඩාරගමදී රස ගැන්වේ

හැට හැත්තෑව දශකයන්හී මතකයේ රැඳුණු අතිශය ජනප්‍රිය ගීත රැසක් සංගීත රසකාමීන්ට තිළිණ කළ ජනප්‍රිය ගායන ශිල්පි සරත් සන්දනායකගේ සංගීත දිවියට වසර පනස් තුනක් සපිරීම නිමිත්තෙන් ‘ගී රස ගංගා’ නමින් ගී ප්‍රසංගයක් අද (06) සවස 6.30 ට බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී පැවැත්වේ.

ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක, රන්ජනී පෙරේරා, ශ්‍රීමති වසන්තා සන්දනායක (නැගණිය) සහ තුෂාර සන්දනායක (පුතා) යුග ගායනයෙන් එක් වන ‘ගී රස ගංගා’ ලුතිනන් සරත් සේනාරත්න ප්‍රමුඛ යුද හමුදා තූර්ය වාදක මණ්ඩලයේ සංගීතයෙන් රසවත් වේ.

එදා සරත් සන්දනායකයන් ගැයූ ගීත අතරින් අතිශය ජනප්‍රිය වූ ‘මඳ සීත නල රැල්ල’, ‘අක්කේ ටිකක් එන්නකෝ’, ‘කැලණි ගඟෙන් නාලා’, ‘මව්ගෙ ගුණේ’, ‘ජීවිතේ අපේ වාසනාවෙ මල්’ ඇතුළු ඔහුගේ මව වසන්තා සන්දනායක සමඟින් ගැයූ ‘මගේ දයාබර ගැමුණු පුතේ’, ‘ඔන්න පුතේ ඔය නාමල’ වැනි ජනප්‍රිය ගීත විසි හතරක් මෙම ප්‍රසංගයේදී ගායනා කිරීමට නියමිතය.

ටිකිරි බණ්ඩා ප්‍රමුඛ නර්ථන කණ්ඩායමේ නර්ථනයෙන් හැඩ වැඩ වන ‘ගී රස ගංගා’ ප්‍රසංගයේ කථනය රංජිත් එදිරිසිංහ සමඟ කුමාරි පෙරේරා ගෙනි. මෙය තුෂාර සන්දනායකගේ ඉදිරිපත් කිරීමකි.

යුග යුග අප සැනසූ ඒ සුමිහිරි මතකය නැවත ලබන්නට සියලු කාලාකමී රසවතුන්ට සරත් සන්දනායකයන් නොමිලේ පැවැත්වෙන මේ සුන්දර සන්ධ්‍යාවට එක් වී තමන් සමඟ සතුට බෙදා ගන්නා ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටී.

 
 
 
  •  
  •