|
සොඳුරු සැඳෑවක් තරු සැණකළියක්
1993
වසරේ පැවැති 21 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල පිළිබඳ රසවත් තොරතුරු වෙත අපි මෙවර
අවධානය යොමු කරමු.
21 වැනි සරසවිය සම්මාන උළෙල 1993 වසරේ මාර්තු 20 දා බණ්ඩාරනායක අනුස්මරණ
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ඩී. බී. විජේතුංග මහතා
ගේ ප්‍රධානත්වයෙනි.
චිත්‍රපට සතිය කොළඹ රීගල් සිනමා ශාලාවේ දී මාර්තු 12 දා සිට 18 දා දක්වා පැවැත් වුණ
අතර රජ දරුවෝ, උමයංගනා, සිංහයන්ගෙත් සිංහයා, මල්සර දෝනි, චණ්ඩි රැජන, ඔක්කොම කණපිට
හා කුලගෙය එහිදී ප්‍රදර්ශනය කෙරිණි.
‘තවත් සරසවිය සම්මාන උළෙලක් නිමා විය. එය තවත් සරසවිය සම්මාන උළෙලක් පමණක් නොව අප
පසුගිය සරසවිය කලාපයේ බලාපොරොත්තු පල කළ අන්දමටම බොහෝ දෙනාගේ සුහද එකතුවකින් සැදි
රාත්‍රියක් විය. සම්මානලාභීන් වෙත උණුසුම් හැඟුමින් සුබ පැතූ අන් කලාකරුවන් ගෙන ආවේ
ආශිර්වාදයකි’.
21 වැනි සරසවිය සම්මාන උළෙල නිමාවෙන් පසු 1993. 03. 25 දා නිකුත් වූ සරසවිය
පුවත්පතේ ‘සුහදතාවයේ ආශිර්වාදය ලැබූ සුන්දර රාත්‍රියක්’ යන මැයෙන් ලියැවුණු
කතුවැකියේ සඳහන් වෙයි.
‘සිනමා උළෙලක් යනු කලාකරුවන් හා බැඳී පවතින මිනිස් ගති එළි දක්වන රැයක් වෙයි.
පසුගිය සම්මාන උළෙලේ දී ගාමිණී ෆොන්සේකා, ජෝ, ලකී, සනත්, රවීන්ද්‍ර, මාලිනී, ගීතා,
ස්වර්ණා, සබීතා, ශ්‍රියාණි, ජීවන් ආදී සියල්ල එකට එක්ව එකී රාත්‍රිය එකලු කරමින්
පසක් කළේ එම මහිම යයි සම්මාන කාට පිදුන ද උණුසුම් හැඟුමින් යුතුව සුබ පැතීම මෙරට
කලා ක්ෂේත්‍රයේ කාටත් ආදර්ශයක් විය.
එමෙන්ම රණ තිසර ප්‍රදානයේ දී අයිරාංගනී සේරසිංහ සහ සුමිත්‍රා පීරිස් දෙපොල වෙනුවෙන්
මුළු මහත් ශාලාවම නැඟී සිට ආචාර කිරීම එම මොහොත පිළිබඳ බොහෝ දෙනාගේ සිත් තුළ
උණුසුම් හැඟීමක් ඇති කිරීමට සමත් වූවකි’. එම කතුවැකියේ තවදුරටත් සඳහන්ව තිබේ.
සුපුරුදු පරිදි 21 වැනි සරසවිය සම්මාන උළෙල ආරම්භ වී ඇත්තේ් සරස්වතී පූජා නැටුමෙනි.
ගෞරවනීය විනිශ්චය මණ්ඩලය හඳුන්වාදීමෙන් අනතුරුව සම්මාන පිදීමේ පළමු අදියර දී
ජනප්‍රියම චිත්‍රපටයට පිදෙන සරසවිය සම්මාන හා කුසලතා සම්මාන හයක් පිරිනැමිණි.
ආදායම් වාර්තා අනුව 1992 වසරේ ජනප්‍රියතම සම්මානයට හිමිකම් කීවේ කුමුදු අතපත්තු
නිෂ්පාදනය කළ රජ දරුවෝ චිත්‍රපටයයි. ඩිලානි අබේවර්ධන (සයනයේ සිහිනය), මොරින් චාරුනී
(සයනයේ සිහිනය), දමයන්ති ෆොන්සේකා (උමයංගනා), ජීවන් කුමාරතුංග (සයනයේ සිහිනය)
සෝමපාල රත්නායක (රජ දරුවෝ - සංගීත අධ්‍යක්ෂණය) හා සුගත් සමරකෝන් (වියරු මිනිසා -
අධ්‍යක්ෂණය, තිර නාටකය) පිරිනැමුණු කුසලතා සම්මාන හය වූයේය.
පියාසර ශිල්පාධිපතිගේ ජන තාල රටා, සිංහල සිනමා වංශයේ අඛණ්ඩ ගීතාවලියේ මතකයේ රැඳුණු
ගීත කිහිපයක් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ ‘සිහින හතක් මැද’ ගීතය එදින උළෙලේ දී
ඉදිරිපත් වූ විශේෂාංග අතරින් කිහිපයක් වූයේය. සිහින හතක් මැද ඊට 29 වසරකට පෙර හොඳම
ගායනය හා හොඳම පද රචනය සඳහා වූ සරසවිය සම්මාන දිනා ගත් ගීතයක් වීම සඳහන් කළ යුතුම
වූ තවත් සුවිශේෂී කාරණයකි. අදටත් එක ලෙස ජනප්‍රිය රුක්මණී දේවිය ගේ හඬින් ගැයුණු
‘මැවිලා පෙනේවි රූපේ’ ගීතය එදා, එම සන්ධ්‍යාවේ සහෘදයන්ට ශ්‍රවණය කරන්නට ලැබුණේ
දීපිකා ප්‍රියදර්නී පීරිස් ගේ සුමියුරු කටහඬිනි.
‘බෝධියේ විහාරයේ’ ගීතය නීලා වික්‍රමසිංහයන්ගේ හඬින් අසන්නට ලැබුණු අතර, එය ද හොදම
ගායනයට හා හොඳම ගී පද රචනයට හිමි සරසවිය සම්මාන දිනා ගත් ගීතයක් වූයේය.
යාවජීව කර්තව්‍යය වෙනුවෙන් පිදෙන එක් රණ තිසර සම්මානයක් සඳහා හේතු පාඨය කියැ වූයේ
සමකාලීනව රූපවාහිනියේ විකාශනය වූ ‘දූ දරුවෝ’ ටෙලි නාට්‍යයේ දීප්තිගේ චරිතය නිරූපණය
කරමින් ඉමහත් ජනප්‍රියත්වයක් ලබා සිටි යොවුන් නිළියක වූ නිල්මිණි තෙන්නකෝන්ය.
‘එදා මෙදාතුර සිනමාවෙන්, පුංචි තිරයෙන් හා නාට්‍යයෙන් ඇය දැක් වූ දස්කම් හාස්කම්
පුන පුනා ඔබට මතක් කළ යුතුද?
හතලිස් පස් වසරක් තුළදී සිංහල සිනමාව බිහි කළ විශිෂ්ඨතම නිළිය ඇය යැයි අපි නොබියව
පවසමු.
මින් පෙර කිහිප වරක්ම සරසවිය සම්මානය දිනා ඇති අයිරාංගනී සේරසිංහ නම් වූ ඒ
උත්තෝත්තම නිළිය අද අපි රණ තිසර සම්මානයෙන් මෙසේ පුදමු’.
එදා නිල්මිණි කියැ වූ හේතු පාඨයෙන් කොටසකි ඒ. අයිරාංගනියට රණ තිසර සම්මානය පුද
කෙරුණේ සිනමා සක්විති යන විරුදාවලී ලත් එවකට නියෝජ්‍ය කතානයක ධුරය හෙබැ වූ ගාමිණී
ෆොන්සේකා අතිනි. දෙවැනි රණ තිසර සම්මානය සඳහා හේතු පාඨය කියැවුයේ හෙළ සිනමාවේ
අහිංසකාවිය ලෙස ප්‍රකටව සිටි වසන්ති චතුරානිය.
‘සහාය අධ්‍යක්ෂිකාවක ලෙස 1960 දී සංදේ්ශය චිත්‍රපටයෙන් සිනමාවට සම්බන්ධ වූ
සුමිත්‍රා පීරිස් ගම්පෙරළියෙන් 1964 දී සංස්කාරකවරියක ලෙස දොරට වැඩියේ එම වසරේ හොඳම
සංස්කරණය සඳහා සරසවිය සම්මානය දිනා ගනිමිනි.
‘එදා මෙදාතුර ජාතික වූත්, ජාත්‍යන්තර වූත් සම්භාවනාවට පාත්‍ර වෙමින් සුමිත්‍රා
පීරිස් පැමිණි ගමනේ මාර්ග ඵලය අද ඇය ලබන රණ තිසර සම්මානයයි.
‘. . . මේ සිංහල සිනමාවේ මහා කිවිඳිය ඇය ප්‍රගුණ කරන ලද කලා මාධ්‍යයටත් ඇය උපන්
බිමටත් කළ සේවය සඳහා අභිෂේක ලබන මොහොතයි’.
වසන්ති චතුරානි සිනමාවට කැන්දන් ආයේ ද සුමිත්‍රාමය. වසන්ති එදින කියැ වූ හේතු
පාඨයෙන් කොටස් කිහිපයක් එසේ වූ අතර වේදිකාවට නැගුණු සුමිත්‍රා පීරිස්ට සම්මානය
පිරිනැමුණේ ඇගේ සමීප හිතවකු, සමකාලීනයකු මෙන්ම හෙළ සිනමාවේ දැවැන්තයකු වූ ගාමිණී
ෆොන්සේකා අතිනි.
එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘කුලගෙය’ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගත්තේ 21
වැනි සරසවිය සම්මාන උළෙලේ දී 1992 වසරේ හොඳම චිත්‍රපටය ලෙස අභිසෙස් ලබමිනි.
‘කුලගෙය’ දිනා ගත් සම්මාන මෙසේය.
හොඳම චිත්‍රපටය - ඒ. ඒ. පේජ්
හොඳම අධ්‍යක්ෂණය -
එච්. ඩී. ප්‍රේමරත්න
හොඳම නිළිය - ශ්‍රියාණි අමරසේන
හොඳම සහාය නිළිය - වීණා ජයකොඩි
හොඳම සංස්කාරක - එල්මෝ හැලිඩේ
එම සෙඳුරු සන්ධ්‍යාවේ පිරිනැමුණු අනෙක් සම්මාන මෙසේය.
හොඳම නළුවා -
ජෝ අබේවික්‍රම - උමයංගනා)
හොදම සහාය නළුවා - සොමී රත්නායක
(මේ වාරෙ මගේ)
කැමරා ශිල්පි (කළු සුදු) - සුමින්ද වීරසිංහ
(සිසිල ගිනිගනී)
කැමරා ශිල්පී (වර්ණ) - එම්. ඒ. ගෆූර්
(සිංහයන්ගෙත් සිංහයා)
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
(කදිරා)
කලා අධ්‍යක්ෂ - ලයනල් සිල්වා (කදිරා)
වේශ නිරූපණ ශිල්පි - ඊබට් විජේසිංහ
(අහිමි දඩමං)
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
(සිසිල ගිනි ගනී)
උමයංගනා චිත්‍රපටය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ ‘ලිය තඹරා ඔබයි’ ගීතය
හොඳම ගීත රචනය සඳහා සම්මානයට පාත්‍ර වූ අතර ග්‍රේෂන් ආනන්ද හොඳම ගායකයා ලෙස සම්මාන
දිනූයේ රජ දරුවෝ චිත්‍රපටයට ඔහු ගැයූ ‘බිළිදුනි දරුවනි’ ගීතය වෙනුවෙනි.
ඔක්කොම කණ පිට චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් දායක වූ ගීත කෝකිලාවිය ලතා වල්පොල වසරේ
හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවායා.
සක්කර සූත්තර චිත්‍රපටයේ රඟපෑ බන්දුල දිසානායක හොඳම නවක නළුවා ලෙසද රජෙක් වගේ
පුතෙක් චිත්‍රපටයේ රඟපෑ සමන්තා ඈපාසිංහ හොඳම නවක නිළිය ලෙස ද සම්මාන දිනා ගත්හ.
සංදේශය සිනමා පටය වෙනුවෙන් හෙළ ගීත කෝකිලාවිය ගැයූ ‘පුන්සඳ එළියේ’ ගීතය ඇයගේ දියණිය
ධම්මිකා වල්පොල විසින් ගයමින් එම සන්ධ්‍යාව තව තවත් රසවත් කරනු ලැබුවාය.
ගඟ අද්දර චිත්‍රපටයට ඇතුළත් වූ ‘රන් ටිකිරි සිනා’ ගීතය එදින ගායනා කිරීමට චරිතා
ප්‍රියදර්ශනී හා ලක්ෂ්මන් විජේසේකර එක් වූහ.
සම්මානලාභීන් සියලු දෙනා වේදිකාවට ප්‍රවිශ්ට වීමෙන් අනතුරුව පියාසර ශිල්පාධිපති හා
කාන්ති ශිල්පාධිපති ප්‍රමුඛ නර්තන කණ්ඩායමේ ආසිරි මල් වරුසාවෙන් සම්මානලාභීහු උපහාර
ලැබූහ. ඒ සමඟම 21 වැනි සරසවිය සම්මාන උළෙලේ නිමාවද සනිටුහන් විය.
පැරැණි සරසවිය පුවත්පත්
පිටු පෙරලූයේ
කුමාර සිරිවර්ධන
වෙබ් පිටු සැකසුම - රේඛාවෝ මාවතගම
|