වෘත්තීය අංග රචනා උපකරණ කට්ටලය

සුගිය සතියේ කතා කළ සාමාන්‍ය අංග රචනා කට්ටලයට වඩා මේ උපකරණ ප්‍රමාණය විශාලයි. වෘත්තීය අංග රචනා ශිල්පියෙක් සිනමා, රූපවාහිනි, වේදිකා නාට්‍ය හෝ මෝස්තර නිරූපණ යනාදී ඕනෑම දෙයක් සඳහා අංග රචනා කිරීම හුරු වූ කෙනෙක්.

අංග රචනය සම්බන්ධයෙන් එන ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සූදානමක් සහ එවැනි අවශ්‍යතාවන් සඳහා භාවිත කරන උපකරණ විලේපන පවා ඔහු සතු විය යුතුයි.

මීට ඉහත කියූ පරිද්දෙන් ඕනෑම සමක පැහැයක් සඳහාත් ගුණ සඳහාත් විවිධ වර්ණ පැහැ සම් ඇති අය සඳහාත් විශේෂ ප්‍රයෝගවලටත් යනාදී සෑම අවශ්‍යතාවකටම සරිලන උපකරණ කට්ටලයක් ඔහු හෝ ඇය සතු විය යුතුයි.

ඒ වගේම තවත් වැදගත් දෙයක් වෙන්නේ ඕනෑම තැනක අංග රචනා කට්ටලය දිග හැර ගැනීමට හැකි වීමත් එයට අවශ්‍ය ජංගම පුටුවක් සහ මේසයක් යනාදියත් තිබිය යුතු වීමයි.

පළමුවෙන්ම උපකරණ ගබඩා කරන පෙට්ටිය ගැන දැන ගනිමු. විවිධ හැඩ වලින් යුතුව වඩු කර්මාන්තයෙ දක්ෂයන් මේ පෙට්ටි නිර්මාණය කරනවා. හැඩය කෙසේ වෙතත් අවශ්‍ය කරන්නේ ඉතා ඉක්මනින් උපකරණ එළියට ගැනීම හා නැවත ඇසිරීමට ඇති හැකියාවයි. අසුරණ භාණ්ඩ එකකට එකක් උඩ නොසිටින්න වෙන වෙනම නොතැලෙන්න අසුරා ගත හැකි විය යුතුයි. ප්‍රවාහනයට පහසුවීම ඊළඟ කරුණයි.

ඒ වගේම ටංග්ස්ටන් බල්බ් සවි කළ කැඩපතක් තිබීම වැදගත්. අවශ්‍ය වෙන්නේ පසුගිය සතියේ ලිපිය සමඟ පළ වූ චිත්‍රයේ ආකාරයටම සාදා ගැනීම නොව මෙවැනි පහසුකම් සහිතව සැලසුමක් ආදර්ශයට ගෙන සෑදීමයි. ඉන් ඉක්බිතිව අපට අවශ්‍ය වන්නේ විවිධ උපකරණ ගැන දැන ගැනීමයි.

මීට ඉහත සඳහන් කළ සාමාන්‍ය අංග රචනා කට්ටලයට අවශ්‍ය විලේපන හා උපකරණත් වෘත්තීය අංග රචනා කට්ටලයට අවශ්‍ය නිසා මුලින් එම උපකරණ සැකෙවින් සඳහන් කර ඉතිරිය පිළිබඳ විස්තර පසුව සටහන් කෙරෙනවා. සමහර පුද්ගල උපකරණ, විලේපන වෘත්තීය අංග රචනා කට්ටලයට වෙනස් ස්වභාවයක් ගන්නේ නම් එයද සටහන් වෙනවා.

මෙහිදී මැක්ස්නැක්ටර් හෝ ලයිෂ්නර්වලින් සඳහන් කරන වර්ණ අංක වෙනත් සමාගමක භාණ්ඩ මිල දී ගන්නා විට සසඳා බලා ඒ අංකයට හැඩ ගැසෙන්න අවශ්‍යයි. සෑම නිෂ්පාදන අංකයක්ම සඳහන් කිරීම මෙහි අරමුණ නොවෙයි. ඒ ඒ සමාගම්වල වර්ණ අංක කිරීම මෙහි වෙනස් නිසා මෙහිදී වර්ණ අංක සමඟ වර්ණ පැහැයත් ලියා තබන්නේ තෝරා ගැනීමේ පහසුවටයි.

පදනම් ආලේපන (Foundation)

මේවා හැම අංකයකින්ම සහ වර්ණයකින්ම ගබඩා කර ගැනීම අවශ්‍ය වුණත් ඒ සඳහා මූල්‍ය පහසුකම් පිළිබඳව සිතද්දී අවශ්‍යම කරන වර්ණ පැහැයන් පමණක් සටහන් කළ හැකියි. අනෙක හැම වර්ණයක්ම බොහෝ විට භාවිත වෙනවා අඩුයි. වගු අංක 01 සඳහන් වන්නේ නාට්‍ය, සිනමා, රූපවාහිනී, රූපලාවන්‍ය ක්ෂේත්‍රවල වැඩිපුර භාවිත වන වර්ණ අංක කිහිපයක්.

මෙතැන සඳහන් වන්නේ අවශ්‍ය කරන වර්ණ සමහරක් පමණයි. විවිධ වුවමනාවන් අනුව තවත් වර්ග අවශ්‍ය වෙන්නට පුළුවන්.

ඒ වගේම මෙය ආදර්ශයක් පමණයි. ලයිෂ්නර් හැරුණු විට ක්‍රෙයොලාන්, මැක්ස්පැක්ටර්, මයිෆයි වැනි ආයතනවල නිෂ්පාදිත පදනම් ආලේප කැටවල වර්ණ අංක මෙහි අංකවලට සමාන කරන්නට බැහැ. කළ යුත්තේ භාවිතයෙන් අවබෝධ කර ගැනීමයි.

උදාහරණයක් හැටියට මෙහි සඳහන් අංක 11 තද දුඹුරු මයිෆයි නිෂ්පාදනවල සටහන් වන්නේ egyptiontan යනුවෙනි. ඒ වගේම මෙහි 2, 2.5, 3, 3.5 වැනි අංක මයිෆයි නිෂ්පාදනවල අංක 26, 27, 28 යනුවෙන් ගත හැකියි. මේ සියලු වර්ණවල පදනම් ආලේප ආවසා කූරු හැටියටත් පදනම් ආලේප කැට හැටියටත් තිබෙනවා.

* බ්ලෂර්

මෙහි විවිධ නිෂ්පාදන දැන් දකින්නට ලැබෙනවා. ඒවා විවිධ ප්‍රයෝජන සහිතයි.

* පාරහාසක ප්‍රයර සාමාන්‍යයෙන් මේ පුයර වර්ණ කිහිපයකින් යුක්තව අද වෙළෙඳ පොළේ තිබෙනවා. වර්ණ දෙක තුනකින් ගබඩා කර ගැනීම වැදගත්
* අක්ෂි ඡායා
* නෙත් අංජන
* මැස්කරාව
* තොල් පැන්සල්
* කැඩපත
* කුඩා අඬුව
* ස්පොන්ජ් කුට්ටි
* පින්සල්
* දියර ශරීර ආලේප

මේ පිළිබඳව සාමාන්‍ය අංගරචනා කට්ටලය යටතේ සටහන් වුණා.

අංග රචනයේදී ඇඳුමෙන් නොවැසෙන ශරීරයේ කොටස් අනිවාර්යයෙන්ම මුහුණේ පැහැයට අනුව ආලේප කළ යුතු යැයි මීට ඉහත දී කිය වුණා. සාමාන්‍යයෙන් එවන් අවස්ථාවනට වඩාත් ගැලපෙන්නේ දියර ශරීර ආලේපයයි.

කොණ්ඩා පුයර Hair Powder

හිස කෙස් ඩයි කිරීමට පැරැන්නන් භාවිතා කළේ පුයර. සමහර වෙලාවට වේදිකාවේ දැනුත් එහෙම කරන්න පුළුවන්. විවිධ වර්ණ පුයර මේ සඳහා වෙළෙඳ පොළෙන් අපිට මිළ දී ගන්නට පුළුවන්.

ක්‍රේප් ලෝම Crape Hair

රැවුල් සාදා ගැනීමට ගන්නා කෙඳි විශේෂයක් (භාවිත කරන ආකාරය ‘රැවුල්’ මාතෘකාව යටතේ සඳහන් වෙනවා).

කෘතිම ඇස් පිහාටු Eyelashes

සමහරුන්ගේ ඇස් පිහාටු හරියාකාරව පිහිටා නැතිකමෙන් මුහුණේ ලස්සන නැති වෙනවා. මේ නිසා ගම් ආලේප කර කෘත්‍රීම ඇස් පිහාටු අලවනවා.
eye lashes adhesive
යනුවෙන් හඳුන්වන්නේ ඇස් පිහාටු අලවන ගම් වර්ගයයි.

ඇස් බැමි පැන්සල් Eyebrow Pencil

ඉහත සාමාන්‍ය අංග රචනා කට්ටලයේ දී සඳහන් නොවුණත් මෙය අත්‍යවශ්‍ය අංගයක්.

ප්‍රයෝගිකව කොයි තරම් වැදගත් ද කියනව නම් මුළු අංග රචනාවක්ම වේදිකාවේ සමහර විට දක්නට ලැබෙන්නේ ‘අයිබ්‍රෝ පැන්සල්’ ආනුභාවයෙන්.

අංග රචනා විලේපන උපකරණ මිල දී ගන්නට නොහැකි වුණ අවස්ථාවල දී එක ‘අයිබ්‍රෝ පැන්සලක්’ ‘දෙවියෙක්’ වගෙයි. දත් කළු කරන්න, ඇහි බැමි ගාන්න, නාසය දෙපැත්තේ ජායිතය (Shade) සකස් කිරීමට, මුහුණේ වෘද්ධ බව අඟවන්න, රැවුල් ඇති බව අගවන්න, මේ හැම දේකටම අයිබ්‍රෝ පැන්සල ‘කෝකටත් තෛලය’ වගෙයි. නමුත් අනෙක් උපකරණ භාවිතයෙන් ඇති වෙන ගුණාත්මකභාවය ඒ තරමින්ම ඇති වන්නේ නැහැ.

ලයිෂනර් වර්ගය (Leichner)
 

නො.

විස්තරය

භාවිතයට යෝජනා

1 රෝස පැහැ සුදු ඉස්මතු කිරීමට
1.5 සුදුමැලි රෝස ඉස්මතු කිරීමට
2 පුයර රෝස කාන්තා මුහුණු ළා රත් පැහැයට
2.5 රෝස (පලොල්) ගැටවර කාන්තා සමේ පැහැය
3.5 රෝස (පලොල්) පිරිමි සාමාන්‍ය පැහැය
4 ළා රතු පැහැ දුඹුරු යන්තම් අව්වට දැවුණු පිරිමි හමේ පැහැය
4.5 රතු පැහැ දුඹුරු හිරුඑළියට නිරාවරණය වූ පිරිමි හමේ පැහැය
5 ඇත් දළ පැහැ, ළා රෝස වැනි විවිධ පොහොසත් ශරීර පැහැය
5.5 තද ඇත් දළ පැහැ විවිධ පොහොසත් ශරීර පැහැය
6 සුදුමැලි අළු (කහ මිශ්‍ර රෝස පැහැය සමඟ) වයස්ගත බව පෙන්වීමට
6.5 සුදුමැලි ඔලිව් පැහැය වයස්ගත බව පෙන්වීමට
7 රත් පැහැ දුඹුරු හෝ ළා දුඹුරු නීග්‍රෝ සහ සුදු මිශ්‍ර වීමෙන් ඇති වූවන්ගේ පැහැය
8 තද රතු දුඹුරු හිපියන්ගේ වර්ණ පැහැය
8a සුදුමැලි කහ ජපන් ජාතිකයන්ගේ පැහැය
8b තද කොළ පැහැ කහ චීන ජාතිකයින්ගේ පැහැය
 9 දුඹුරු පැහැ රත නාසය දෙපැත්තේ ආලේපයට සහ හම තැලුණු ස්වභාවය පෙන්වීමට අගෙයි
10 උදාසීන කහ පැහැ දුඹුරු ස්පාඤ්ඤ ජාතික පැහැය
11 තද දුඹුරු පැහැ අප්‍රිකානු ජාතික පැහැය
12 කළු අප්‍රිකානු ජාතිකයින් සහ විවිධ ජාතින්
13 තද රතු පැහැ දුඹුරු අප්‍රිකානු ජාතිකයින් සහ විවිධ ජාතින්
13.2 දීප්ත මධ්‍යම දුඹුරු අප්‍රිකානු ජාතිකයින් සහ විවිධ ජාතින්
14 පිරුණු දීපන රත අප්‍රිකානු ජාතිකයින් සහ විවිධ ජාතින්
15 දීප්ත ළා දුඹුරු රෝමානු සොල්දාදුවන්ගේ හෝ ඉතාලියානු ජාතික පැහැය
16 උදාසීන දුඹුරු හෝ තද දුඹුරු ඉතාම අවශ්‍ය වන්නේ ජායිතයක් මුහුණට අවශ්‍ය වූ විටයි
17 සුදු බොහෝ භාවිතයන්ට අවශ්‍යයි
18 ළා පැහැ පීච් සුදුමැලි මුහුණු ස්වභාවයට (කාන්තා)

කථිකාචාර්ය
ජයලාල් රෝහණ
බී. ඒ. (පේරාදෙණිය)
එම්. ඒ. (නාට්‍ය හා රංග කලාව කැලණිය)
එම්. ඒ. (සමාජ විද්‍යාව පේරාදෙණිය)
එම්. ඒ. (දර්ශනය කැලණිය)

 
 
 
  •  
  •