සිතුවිලි
ජනපතිතුමනි! ඔබටයි මගෙ රට බාර
රට වනසන්න එන පවිටුන් හයිකාර
දනගස්සවා රට කරනට සරුසාර
කවදත් පෙරට යන ගති ඇති සුරවීර
ජනපතිතුමනි ඔබටයි මගෙ රට බාර
ඇම්. ඒ. ධර්මසේන පෙරේරා
පාගොඩ පාර, නුගේගොඩ.
හදවත රත්තරන් ජෝති
ලොවේ ඉපදී මෙසේ තනි වී
දුකින් බර නොවී පරාජිත නොවී
හිතේ සංකා නිවා අපගේ
ගායකයාණෝ මොකෝ තනි වී
කොහේදෝ ඔබ මෙදා ඉන්නේ
නැතිද අප හට ගී ගයන්නේ
එදා සඳ පායලා තිබුණත්
මෙදා ගණඳුරයි රජ කරන්නේ
දුරින් ඇසෙනා ඔබේ ගීතේ
ළඟදී නොදකිනා ඔබේ රූපේ
හඬත් රුවත් නෑ මෙදා දෙරණේ
තනිවිලා ඉන්නේ සෝකෙන්
ලාලනී රේණුකා වික්‍රමසිංහ
‘බෙතනි’ උඩදෙනිය වත්ත,
මාවතගම, කුරුණෑගල.

මරියසෙල් ගුණතිලක ට
ඔබේ ‘සිහින නෙළුම් මල්’ ගීතය කොපමණ ඇහුවත් මදි. පුදුම ලස්සනක්.
තවත් මෙවැනි ම නිර්මාණයකට ඔබ යොමු වේ නම් මම ඉතා කැමැත්තෙමි.
ඔබට තව තවත් ශක්තිය ධෛර්ය, වාසනාව මම ප්‍රාර්ථනා කරමි.
රෝහිණී දයාරත්න
හොරගස්මුල්ල,
දිවුලපිටිය.
ග්‍රේෂන්
ආනන්දට හා ඇන්ජලින් ට
ජෝතිමත් ගායන ශිල්පි එච්. ආර්. ජෝතිපාල සමඟ ඔයා වසර ගණනාවක් සිංහල චිත්‍රපටවල ගී
ගයා සිනමාව වර්ණවත් කළා සේ, මේ යුගයේදී ග්‍රේෂන් ආනන්ද සමඟ එක් වී චිත්‍රපටවලට ගී
ගයා ඔබ දෙදෙනාගේ අපරාජිත දක්ෂතාවය හා ගී හඬ කලා ලෝකයට සිනිටුහන් කරන්න.
ග්‍රේෂන් - ඇන්ජලින් ඔබලාගේ හඬින් මෙතෙක් ගැයුණු හැම චිත්‍රපටි ගීතයකට ම මම එදා
වගේම තවමත් හරිම ආසයි.
ඒ හැම ගීතයක් ම ඉතාමත් මනමෝහණීයයි.
ඒ නිසා ඉදිරි කාලයේ දී මේ ගැන සිතා අවශ්‍ය පියවර ගන්නා කියා ඉතාම සෙනෙහසින්
ඉල්ලා සිටිමි.
ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දූව.
විශිෂ්ට සිනමාකරුවාණෙනි
කරළියෙන් ලද
පන්නරයෙන්
සිංහල සිනමා
කුමරිය හැඩ කර
සිසිල ගිනිගත්
පුරහඳ කළුවර
අනන්ත රාත්‍රියක
පවුරු වළලු බිඳ දැමූ
මචං ප්‍රසන්න විතානගේ
විශිෂ්ට සිනමා
අධ්‍යක්ෂවරයාණෙනි
නිළි රැජිනට රජත මයුර
සම්මානය හිමි කර දුන්
ආකාස කුසුම් ඔබගේ
ආසියාවේ පැසසුම් ලද
සිතුවම්පටයකි, හොඳ
නෙට්පැක් සම්මානය ලද
ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු
අංක 186/සී,
බටහිර අධිකාරිමුල්ල,දූනගහ.
නිහාල් නෙල්සන් ට උපහාර
එදා ගුවන් විදුලිය හරහා ඉන්දියානු ගී තනුවලට සිංහල වචන යොදමින් අපේ ගායකයින් ගීත
ගායනා කළ යුගයේ නිහාල් නෙල්සන් නම් ගායන ශිල්පියා තම හැකියාවන් ජනතාව අතරට ගෙන ගියේ
වෙනස් ආකාරයටය. බයිලාවටත් නැති ගීත රටාවක් රසිකයන් ට පිරිනමමින් තම ජනප්‍රියත්වය
රැකගත් නිහාල් වරින් වර බිහිවුණ සංගීත සම්ප්‍රදායන් හමුවේ සැලුනේ නැත. කවදත්
වේදිකාව ජය ගත් නිහාල් හුදු ජනප්‍රියත්වය සඳහා තම ගමන් මඟ වෙනස් කළේ නැත. සරල
පදවැල් අතරින් යමක් ජනතාවට කියා දී රටට මෙහෙවරක් කළ නිහාල් නෙල්සන් ගායන ශිල්පියා ට
කිසියම් සංවිධානයක් මගින් හෝ උපහාරයක් කිරීමේ කාලය එළඹ තිබේ. අප එතුමා කළ සේවය
මෙසේ අගය කරමු.
බී. පී. සමරපාල
උඩවෙල, කල්එළිය.
ගීතය
ආත්මය කොට ගත් ආත්මාට
ගීතය සිය ආත්මය කොට ගනිමින් කලක් ‘ලිය තඹරා’ මල් සුවඳින් සංගීත ක්ෂේත්‍රය
සුවඳවත් කළ ඔබ අද දැඩි නිහැඩියාවක ඇයි.
කලකින් අලුත් නිර්මාණයක් කළේ නැහැ නේද? එදා මෙන් අදත් ඔබේ ගී හඬ ප්‍රියකරන
රසිකයින් බොහෝ ඉන්නවා.
නිහඬව නොඉඳ එන්න යළි ඔබේ ගී හඬ අවදිකර සංගීත ක්ෂේත්‍රයට.
ලක්සිරි ගුණතිලක
කැටපල, ගණේගොඩ.
ඔබ අමරණීයයි
‘මලට නොඑන බඹරු’ සහ ‘ගොළු මුහුදේ කුණාටුවක්’ චිත්‍රපට අපට දායාද කළ අභීත
සිනමාවේදියා ෂෙල්ටන් පයාගල අප අතරින් සදහටම වෙන් විය.
සිනමාව ගැන පුළුල් දැනුමක් තිබූ ඔහු උඩුගං බලා තම සිනමා කෝණය යොමු කළ බව ඔහුගේ
නිර්මාණවලින් අපට පැහැදිලි වේ.
සිනමාවේ ගුරුවරයෙකු වූ ඔහුට කළ හැකිව තිබූ දේවල් තවත් බොහෝ විය.
කපිල ජයවිලාල් හේරත්
සිල්වඩේල් වත්ත,
පහළ කළුගමුව, කුලියාපිටිය.
සබීතාගේ රඟ සොබා
කුඩා කල පටන් ම මගේ ආදරණීය රංගන ශිල්පිනියක් වූ ඔබ හෙළ සිනමාවට තිළිණ වූ
අග්‍රගණ්‍ය නිළියන් කිහිප දෙනා අතරින් කෙනෙකි. දෙවෙනි ගමන, සුජාතා, ආත්මා, සිසිල
ගිනි ගනී වැනි සිනමා පට තුළින් රසික සිත් සතන් තුළ සදා අමරණීය වන්නට ඔබ වාසනාවන්ත
විය.
මෑතක දී බිහි වූ දැවැන්ත චිත්‍රපටය වන අබා සිනමා පටයට ද රංගානුප්‍රාප්තිය ලබා
දුන් ඔබ අපේ කාලයේ උන්මාද චිත්‍රාව ලෙස රැගුවේය. ඒ සිනමාවේ දෙවෙනි ගමන අරඹමිනි.
ඉදිරියේදීත් ඔබේ මනරම් රඟ සොබාවෙන් හෙළ සිනමාව බබළවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඩී. ශානක විජේසූරිය
‘නිහතමානි’
ගාලු පාර, කලමුල්ල, කළුතර.
උදිත් සඳරුවන් ට
නව පරපුරේ ආකර්ෂණීය පෞරුෂයකින් හෙබි නිරූපණ ක්ෂේත්‍රයේත් වෙළෙඳ දැන්වීම්
තුළිනුත් ප්‍රේක්ෂක සිත් දිනූ කාව්‍යා ටෙලි නාට්‍යයේ සාගර ලෙස දක්ෂ රංගන කෞශල්‍යයක්
පෙන් වූ ඔබට කලා ලෝකයේ දිගු ගමනකට ආසිරි.
හර්ෂනාථ බණ්ඩාර
නිකවැරටිය.
අමිලට සුබ පැතුම්
‘පබා’ ටෙලි නාට්‍යයෙන් ඉමහත් ජනප්‍රියත්වය ට පත් අමිල, ඔබ ඉන් නොනැවතී ජනප්‍රිය
නිවේදකයකුද වී මෙවර ‘රයිගම්’ ටෙලි සම්මාන උළෙලින් ජනප්‍රිය නළුවා වීම ගැන අපගෙන්
උණුසුම් සුබ පැතුම්.
තිලකරත්න විල්වල
තටාකය පාර, කෑගල්ල.
පුංචි
තිරයේ චන්ඩියා සරත් චන්ද්‍රසිරි ට
චරිතාංග නළු සරත් අයියේ, ඔබගේ රංගනය අති විශිෂ්ටයි. නුඹ වේදිකාවෙන් පන්නරය ලබා
පුංචි තිරය ජය ගත්තෙකි.
අද පබා හි කෙරෙන රංගනය ඉතාම ප්‍රශංසනීයයි.
නුඹ නැති විට පබා නාට්‍ය පාලු බවක් පෙනෙයි. ඔබ විටෙක නපුරෙකි. විකටයෙකි,
අහිංසකයෙකි.
ඔබේ රංගනය ඔබටම ආවේනික වූ ශෛලයකි. ඔබේ ඉදිරි ගමනට ජය පතමි.
සුනිල් මුහන්දිරම්
පහලගම, තෙප්පනාව,කුරුවිට.
මයිකල් ජැක්සන් හා එල්විස් ප්‍රෙස්ලි
මෙයට වසර 40 කට පමණ ප්‍රථම එක් දිනයක විදෙස් ගායකයකුගේ වියෝවීමක් වෙනුවෙන් ලොවම
කම්පා වූයේ ලොව සුපතල සුප්‍රසිද්ධ පොප් ගායක එල්විස් ප්‍රේස්ලි වෙනුවෙනි. එම
සිද්ධියෙන් පසු විදෙස් ගායක ගායිකාවන් කොතෙක් තම ජීවිතවලින් සමුගෙන ගියද, එය ඒ
තරම්ම කාගේවත් සිත් සසල කිරීමට තරම් සමත් වූයේ නැත.
එහෙත් අසහාය පොප් රජු වශයෙන් සැළකෙන මයිකල් ජැක්සන්ගේ අභාවයත් සමඟම ලොවම වැලපුණේ
කුල මල, ජාති භේද කිසිවක් නොතකා යැයි කීවොත් එය සැබෑවකි. කෙසේ වෙතත් ‘මයිකල් හා
ප්‍රේස්ලි’ දෙපොලම අද නැතත්, ඔවුන් ලෝකයාට ඉතිරි කර ගිය ඒ අමරණීය මතක සටහන් නම්
තවත් වසර ගණනාවක් ම ලෝකයා අතර රැඳී පවතීවි.
ගිල්බට් පෙරේරා
305/1/1, තලවතුගොඩ පාර,
හෝකන්දර දකුණ.
ආදරණීය කාංචනා දුවේ
රන් දොරටුව විවර කළේ පෙන්වා හොඳ මඟ සළකුන්
‘ආත්ම සෙනෙහස’ තුළිනුත් බැඳුණේ නො ‘බිඳෙන බැඳුම’න්
මීගමුවෙන් කලා ලොවට බිහි වුණු අවිහිංසකාවියක්
පුංචි තිරේ දූ කුමරිය වැජඹේවා බොහෝ කලක්
නිරතුරුවම ගලා හැළෙන සිනහව පිරි ඔබේ මුහුණේ
නිහතමානි ඔබේ හදින් එක ලෙස සෙනෙහස පෑවේ
පැතුමන් ඔබ පැතූ ලෙසම ඉටු වෙන්නයි අපි පතන්නේ
නොඅඩුව ඔබ හට ලැබේවි කිතු සමිඳුගේ නිමල ප්‍රේමේ
ප්‍රේමලතා හල්පගේ - උණවටුන, ගාල්ල.
සිතුවිලි පිටුව සරසන්න ට හැමදාමත් අප හා අත්වැල්
බැඳගත් සැමටත්, සිතුවිලි පිටුවට එක් වන නවක ඔබටත්, මේ තීරය විවෘතයි. ඒ නිසාවෙන් ඔබේ
නවමු අදහස් තැපැල්පතක පමණක් පැහැදිලි අත් අකුරින් ලියා ඔබගේ දුරකථන අංකය ද සමඟ පහත
ලිපිනයෙන් අප වෙත එවන්න. ‘සිතුවිලි’- සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.
සකස් කළේ - ෂර්ලි ආරියරත්න
|