පොත් කැසට් DVD රාක්කය

රණවිරුවෝ

දෙහිවල කරගම්පිටියේ ශ්‍රී මේධංකර විහාරාධිපති කාව්‍ය කීර්ති ශ්‍රී පූජ්‍යපාද දීගල පියදස්සි හිමියන් හා කලා භූෂණ මීගල මුදියන්සේ විසින් රචනා කරන ලද කවි සංකල්පනා රැගත් සංයුක්ත තැටිය ‘රණවිරුවෝ’ නමින් එළි දැක්වී තිබේ.

එහි කවි ගායනය ද පූජ්‍ය දීගල පියදස්සි හිමියන්ගේමය.

රට දැය වෙනුවෙන් ලේ කඳුළු හෙලූ, දිවි පිදූ රණවිරුවන්ට උත්තමාචාර පිණිස මේ සංයුක්ත තැටිය නිර්මාණය කොට තිබේ.


මොන්ටරේ විත්ති

ලොකු බණ්ඩා තිලකරත්නගේ නවතම පරිවර්තනය ‘මොන්ටරේ විත්ති’ කෘතිය දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙසින් එළි දැකි වී තිබේ.

එය ජෝන් ස්ටේන්බෙක් ගේ ‘කැනරි රෝ’ (Cannery Row) කෘතියෙහි පරිවර්තනයයි.

ජෝන් ස්ටේන්බෙක්ගේ නිජබිම වූ කැලිෆෝනියාවේ වෙරළාසන්නයේ ඇති ‘මොන්ටරේ’ නගරය පසුබිම් කර ගනිමින් රචිත ‘මොන්ටරේ විත්ති’ කෘතියෙන් එකල එහි විසූ වැසියන්ගේ හා ධීවර කාර්මිකයන්ගේ් නොදියුණු ජීවන තත්ත්වය, අව්‍යාජ ගති පැවතුම් හා ජීවන රටාවන් විග්‍රහ කෙරේ.

මොන්ටරේ විත්ති කෘතියේ කර්තෘ ලොකුබණ්ඩා තිලකරත්න මහතා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සේවය කරන්නෙකි.


එකමත් එක පිටරටක

‘අටවක පුත්තු’ නිර්මාණය කර පසුගිය වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානාය දිනා ගත් ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචනා කරලු ලැබූ ‘එකමත් එක පිටරටක’ කෘතිය ශාන් ග්‍රැෆික්ස් මුද්‍රණයක් සහ කර්තෘ ප්‍රකාශයක් ලෙසින් නිකුත් වී තිබේ.

තම රට නොරට වූ කල්හී නොරටක හිඳිමින් ලියූ ජීවන අත්දැකීම් ඇසුරෙන් ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචනා කොට ඇති මේ කාව්‍ය සංග්‍රහය වත්මන් ලාංකීය මහ පොළොවේ දේශපාලනික හා සමාජ යථාර්ථයන් දෙස නිර්මාණාත්මක ඇසින් බැලීමට ගත් වෑයමකි.


සිංහල දෙමළ ශබ්ද කෝෂය

මල් පියලි ප්‍රකාශන සමාගමේ අධිපති ඇ. ලයනල් ද සිල්වා විසින් රචනා කරනු ලැබූ ‘සිංහල දෙමළ ශබ්ද කෝෂය’ මල් පියලි ප්‍රකාශයක් ලෙසින් නිකුත් වී තිබේ.

දෙමළ බස ඉගෙනීමට මහඟු අත්වැලක් වන මෙම කෘතිය ආධුනිකයන් සඳහා අවශ්‍ය සිංහල හා දෙමළ වචන බොහොමයක් අඩංගු කෘතියකි.

 
 
 
  •  
  •