|
තරු යාය
ඔබේ පුංචිම පුංචි සිතිවිල්ලකට වැඩිම අගයක් ලැබෙන තැනයි ‘තරුයාය’. එන්න අදත්
මොහොතක් එහි රැඳී සිටින්නට.
අද ‘තරුයාය’ හැඩ කරන්නට පළමුවෙන්ම අප හා එක් වන්නේ අපගේ ආදරණීය පාඨකයෙක් වන කැටපල,
ගණේගොඩ ලක්සිරි ගුණතිලක. ඔහුගේ් සිතට දැනුණු මෙම සුන්දර සිතිවිල්ල යොමු කර ඇත්තේ
පුංචි තිරයේ දක්ෂ රංගන ශිල්පියෙකු වෙතට. අඹු දරුවන් සමඟින් මේ දිනවල නැවතත් අප වෙත
එන බැද්දෙ ගෙදර ටිකෝනිස්, ඉන්ද්‍රජිත් නාවින්න කලාකරුවාණෙනි, ඔබටයි මේ දයාබර
ආමන්ත්‍රණය.
අපූරු රංගන චාරිකාවක
හිතවත් ඉන්ද්‍රජිත් අයියේ,
ඔබ රඟපෑ ටෙලි නාට්‍ය ගණන අතලොස්සක් පමණ වුවත් ඒ හැම චරිතයක්ම ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ
ගන්නට සමත් වුණා. එහෙත් කලකින් ඔබේ එවැනි රංගනයක් දැක ගන්න ලැබුණේ නැහැ. ඉතිං
කියන්නකෝ මොනවද ඔබේ අලුත් තොරතුරු.
අලුත් තොරතුරු කියන්නේ ගෙදරට වෙලා නිකන් ඉන්නවා. වෙන කරන්න දෙයකුත් නැහැනේ. දන්න
කාලේ ඉඳලම කළේ රඟපාන එක. දැන් ඒකත් නැති වෙලා තියෙන්නේ මෙගා නාට්‍ය නිසා. මෙගා
අපිව දැන් නැති කරල තියෙන්නේ. ගොඩාක් නළු නිළියො අද ගෙවල්වලට වෙලා ඉන්නේ් මේ නිසා.
මොනවා වුණත් ඔබ කිව්වා වගේ මගේ වාසනාවක් තිබිලා හොඳ චරිත ටිකක් කරන්න ලැබුණා මේ
කාලේ ඇතුළත.
මම වැඩියම කැමති ගැමි චරිත රඟපාන්න. කොහොමත් මම ගැමියානේ. ඒ ගැමි දෙබස් එහෙම හොඳට
හුරුයි මට.
මේ සාර්ථකත්වයට ඒක බලපාන්න ඇති. කොහොමත් මම හැම චරිතයක්ම උපරිමයෙන් කරන්න තමයි
උත්සාහ ගන්නේ. මේ දවස්වලත් මගේ අලුත් ටෙලි නාට්‍යයක් යනවා ජාතික රූපවාහිනියේ
‘මහෝගය’ කියලා. සිවගුරුනාදන්ගේ ලස්සන නාට්‍යයක් ඒකත්. දැනටමත් හොඳ ප්‍රතිචාරයක්
තියෙනවා.
රංගනයට ආරාධනා
මීළඟට ‘තරුයාය’ සරසන්නට අප හා එක් වන්නේ අපගේ සහෘද පාඨකයෙක් වන බියගම ප්‍රියන්ත
සේනාධීර. ඔහුගේ මෙම සිතිවිල්ල යොමු කර ඇත්තේ් ප්‍රවීණ නිවේදිකාවක වෙතට. සල්මල් යායක
හිඳ උදෑසනම අප සොයා එන ආදරණීය ඉඳුනිල් (දිසානායක) ඔබටයි මේ ළෙන්ගතු ආමන්ත්‍රණය
දයාබර ඉඳුනිල්,
මේ කාලයේ නිවේදිකාවන් බොහෝ දෙනෙක් රංගනයට යොමු වෙලා. නළු නිළියන් නිවේදනයට යොමු
වෙලා. ඉතාම දක්ෂ රූමත් නිවේදිකාවක් වන ඔබට මෙතෙක් රඟපෑමට ආරාධනාවක් ලැබී නැද්ද?
ලැබුණොත් බාර ගන්නවාද?
නැහැ. අකුරු දෙකයි කියන්න තියෙන්නේ. මට රඟපාන්න බැහැ. බැරි දේවල් බැහැම තමයි.
පුළුවන් අය කළාට කමක් නැහැ. මට නම් බැහැ. දන්නෙ නැති ඒව කරන්න ගිහිල්ලා අනිත් අයගේ
විහිළුවට ලක් වෙන්න ඕනෑ නැහැ. දන්න දේ කරගෙන හිටියාම හොඳටම ඇති. මගෙන් මීට අවුරුදු
විසි ගණනකට කලිනුත් ඇහුවා රඟපාන්න කැමතිද කියලා. ඒ කාලෙත් රඟපාන්න බැහැ. අදටත්
බැහැ. ඒක නිසා මේ කරන වැඩේ කරගෙන ඉන්නයි මම කැමති.
ජනප්‍රියත්වයේ රහස
මීළඟට තරුයායම ලස්සන කරන්නට අප සමඟ එක් වන්නේ අපගේ අලුත්ම පාඨකයින් පිරිසක්. වත්තල
හුනුපිටියේ පී. ජී. කමල් පද්මලාල්, රානී සමරවීර, අචිනි ප්‍රියංගනී ඝනුගී සහ
කල්එළියේ සුජීවා මානෙල්. ඔවුන්ගේ මෙම සිතිවිල්ල යොමු කර ඇත්තේ යුගයේ ජනප්‍රියම රංගන
ශිල්පියකු වෙතට. පුංචි තිරයේ ජනප්‍රියම කිරුළ මෙවරත් දෝතින් තුරුළු කර ගත් දයාබර
අමිල (අබේසේකර) ඔබටයි මේ සහෘද ආමන්ත්‍රණය.
හිතවත් අමිල,
ජනප්‍රිය නළුවන් අතර පෙරමුණේ සිටින්නේ ඔබයි. අමිල ඔබේ ඒ ජනප්‍රියත්වයේ රහස ‘පබා’ ද?
ඒකට හේතුව සීයට හැත්තෑ පහක්ම ‘පබා’. අනිත් සීයට විසි පහටම හේතු වුණේ ඩ්‍රීම්ස්ටාර්
වැඩ සටහන සහ මගේ අනෙකුත් නාට්‍ය.
ඇත්තටම ඒකට හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට ලොකු කුඩා
හැම කෙනාම sms කරලා මට මේ තත්ත්වය ඇති කරලා දුන්නේ ඔවුන්. අද මම මෙතන ඉන්නේ මගේ
ආදරණීය ප්‍රේක්ෂකයින් නිසා. මම නැවත වරක් මුළු හදවතින්ම ඔවුන්ට මගේ ස්තූ®තිය පුද
කරනවා.
මෙගා නිසා දිගා වෙලා
මීළඟට ‘තරුයාය’ම ලස්සන කරන්නට දැන් අප එක් කර ගන්නේ හරවත්ව අපට නිතර ලියන හිතවත්
පාඨකයෙක් වන පිළියන්දල ගෝණමඩිත්තේ නාලිකා තුෂාරි ජයසූරිය. ඇයගේ සිතට නැගුණු මෙම
සිතිවිල්ල යොමු කර ඇත්තේ සම්මානනීය රංගන ශිල්පියෙකු වෙතට. කරන දෙය හරියටම කරන අපගේ
ආදරණීය ලොකු අයියා, මහේන්ද්‍ර පෙරේරා ඔබටයි මේ ළෙන්ගතු ඇමතුම.
හිතවත් මහේන්ද්‍ර,
ඔබ වේදිකාවේ රඟපෑවත්, ටෙලි නාට්‍යවල රඟපෑවත් ඔබේ රඟපෑම් තුළ අපූර්වත්වයක් තිබෙනවා.
එහෙත් මෑතක සිට ඔබේ රඟපෑම්වල අඩුවක් දකින්නට ලැබෙනවා. ඒ ඇයි? ඔබ පසුගිය කාලයේ ආරම්භ
කළ රංගන පුහුණු පාසලට මොකද වුණේ?
මම මෙගා නාට්‍යවල රඟපාන්නේ නැති නිසා පේනවා අඩු ඇති. මම රඟපාන්නේ චිත්‍රපට සහ ටෙලි
නාට්‍යවල විතරයි. මෙගාවල රඟපාන්නේ නැහැ. දැන් කට්ටියම වගා කරගෙන මෙගා කරගෙන ඉන්නවා.
ඒ නිසා අපි දිගා වෙලා ඉන්නවා.
රංගන පාසල සුදර්ශියේ සුපුරුදු පරිදි කරගෙන යනවා. මම හිතනවා මෙගා කරනවට වැඩිය හොඳයි
ඒක කරන එක. එක පැත්තකින් ඒක සේවයක්.
ටෙලි නාට්‍ය නම් කීපයක්ම කරලා තියෙනවා එන්න. ඒවත් දාගන්න බැරිව ඉන්නේ මෙගා නිසා. අද
අපේ ටෙලි නාට්‍ය කලාවට පටි පනුවාගේ ලෙඩේ හැදිලා තියෙන්නේ. පුරුක් ගලවන්න, ගලවන්න
වැවෙනවා. මෙගා නාට්‍යයත් ඒ වගේ තමයි. පටි පනුවා හොඳ කරන්න නම් ඔළුවෙන්ම ගලවන්න ඕනෑ.
මෙගා කළාට කමක් නැහැ, දවස් පහම කරන එක තමයි නරක. නළු නිළියොත් දැන් හරියට ඩෙනිම්
කලිසම වගේ. පට්ට ගගහ අඳිනවා. වාටි ගැලවිලා, සාක්කු ඉරිලා, හම ගිහිල්ලා. නළු
නිළියොත් එහෙම තමයි. හැමදාම රඟපාලා හැක් වෙනවා. අවුරුද්දක් දෙකක් එකම කෙනාව පෙන්නන
කොට කොහොමද වැඩේ. එක චැනල් එකකට රිද්දන්න හැම කෙනෙක්ම දැන් ඒක කරනවා. හරියට කැහි
ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ.
රූපවතීට අසාධාරණයක්
මහේන්ද්‍රගෙන් පසුව අපි දැන් යොමු වන්නේ අපගේ දයාබර පාඨකයින් පිරිසක් වෙතට. මාතර
නිශාන්ත සමඟ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයින් පිිරිසක් මෙම ඇමතුම යොමු කර ඇත්තේ
ජනප්‍රිය රංගන ශිල්පිනියක වෙතට. වේදිකාවේ අමර රැඟුම් පෑ පුංචි තිරයේ පළඟු මැණිකේ,
මැණිකේ අත්තනායක ඔබටයි මේ සෙනෙහසේ ආමන්ත්‍රණය.
දයාබර මැණිකේ අක්කේ,
වේදිකාවේ ප්‍රබල රංගන ශිල්පිනියක් වූ ඔබ ‘කැලණි පාළම’ වේදිකා නාට්‍යයේ රඟපෑ
රූපවතීගේ චරිතයට වෙනත් ශිල්පිනියක් යොදා ගැනීම සැබැවින්ම විහිළුවට කරුණකි. එදා
මෙදාතුර රසික සිත් තුළ ඔබ ලැගුම් ගත් චරිතයකට මෙවැනි අසාධාරණයක් සිදු වීම පිළිබඳ
මොකද හිතෙන්නේ.
නිශාන්ත ඇත්තටම ඔයගොල්ලන්ට ස්තූ®තිවන්ත වෙනවා. ඒ අඩුපාඩුව පෙනීම ගැන. මම අවුරුදු
විසි අටක් මේ චරිතය කළා. 1978 සිට 2007 දක්වාම. මෙය මම කරපු දෙයක් නෙමෙයි. මම
කනගාටු වෙනවා මං වගේ ශිල්පිනියකට මේ වගේ දෙයක් කිරීම පිළිබඳව. නමුත් මගේ්
දැනුවත්කමින් වුණු දෙයක් නම් නෙමෙයි මේක. මම බොහොම ස්තුතිවන්ත වෙනවා ප්‍රේක්ෂකයින්ට
නියම අවබෝධයකින් මේ අඩු පාඩු පිළිබඳ ඔවුන්ට පෙනුණට.
සිනමාවත් ඔපවත් කරන්න
මීළඟට තරුයායට එක් වන්නේ අපගේ දයාබර පාඨකයෙක් වන වැලිගම, දෙහිගහවත්ත මහ වීදියේ
තරුෂි ශනිපා. ඇයගේ මෙම සිතිවිල්ල යොමු කර ඇත්තේ පුංචි තිරයේ ජනප්‍රිය නව පරපුරේ
රංගන ශිල්පිනියක් වන චමල්ෂා කිඳුරංගනාවිය වෙතට.
ආදර චමල්ෂා අක්කේ,
‘කිඳුරංගනා’ටෙලි නාට්‍යයේ නේත්‍රාගේ චරිතයට පන පොවන ඔයා හරිම ලස්සනයි. පුංචි තිරය
වගේම අපි බලාපොරොත්තු වෙනවා ඔයා සිනමාවත් ඔපවත් කරාවි කියලා. ඔයාට කතා කරන්න හරිම
ආසයි. ලිපිනය පොඩ්ඩක් කියන්න බැරිද?
අයියෝ ඕක මොකක්ද? නො: 111, ගල් විහාර පාර, දෙහිවල මගේ ලිපිනය. ඕනෑ වෙලාවක මට
ලියන්න. මමත් ආසයි ඔයාලට ලියන්න. ඇත්තටම මගේ ප්‍රේක්ෂකයන් ලිපි ගොඩාක් එවනවා. මට
අවස්ථාවක් ලැබිච්ච ගමන් හැම කෙනාටම ලියනවා.
ඉතින් ඔයාලා කිව්වා වගේ සිනමාවට එන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා. ආරාධනා ඇවිල්ලත්
තියෙනවා. තව ටික දවසක් යයි වැඩ පටන් ගන්නට.
ජීවිතයේ ලස්සන දවස
මීළඟට අප එක් කර ගන්නේ දයාබර පාඨකයින් දෙපලක් වන මාතර දික්වැල්ලේ වජිරා සහ සුසන්ත.
ඔවුන් ‘තරුයාය’ සරසන්නට එකතු වන පළමු වතාව මෙයයි. ඔවුන්ගේ මෙම සෙනෙහසේ සිතිවිල්ල
යොමු කර ඇත්තේ යුගයේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වෙතට. පායනා සඳ පාන වාගේ රිදී තිරයම
බබළවන උරේෂා රවිහාරි ඔබටයි මේ ඇමතුම.
ආදරණීය උරේෂා අක්කියේ,
අපි කැමතිම ගායිකාව ඔයා. ඉතින් ඔයාගේ අදහස චිත්‍රපට පසුබිම් ගායනයට පමණක් සීමා
වෙන්නද? ළඟදී ගීත එකතුවක් අපට දෙන්නේ නැද්ද? ඉතාම රූමත් තරුණියක් වන ඔයාගේ ජීවිතයේ
අප ආශාවෙන් දැනගන්න බලා සිටින ඒ සුබම සුබ දවස කවදාද උදා වෙන්නේ.
එය ළඟදීම උදා වෙයි කියලා මම හිතනවා. ඔයාලටත් තරුයායෙන්ම මම කියන්නම්. ඇත්තම
කිව්වොත් මම චිත්‍රපටවලට විතරක්ම සීමා වෙලා නැහැ. අනෙකුත් සංගීත වැඩ සටහන් වලටත්
සහභාගි වෙනවා. කොහොම හරි මේ අවුරුද්දේ අන්තිමට මගේ අලුත් සී. ඩී එකත් ඔයාලට තිළිණ
කරනවා. ඔය දෙන්නට ගොඩාක් ස්තූතියි මට කතා කළාට.
ඔබටත් පුළුවන් ‘තරුයාය’ට ලියන්න. ඔබ කළ යුත්තේ ආදරණීය කලාකරුවන්ගේ විමසිය යුතු
පැනයන් අප වෙත යොමු
කිරීමයි. ඔබේ සිතට නැගෙන සුන්දර සිතිවිල්ල තැපැල්පතක පමණක් ලියා යොමු කරන්න මේ
ලිපිනයට.
‘තරුයාය’, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10.
වෙබ් පිටු සැකසුම - රේඛාවෝ මාවතගම
|