ආවර්ජනා
ආවර්ජනා
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අවුරුදු 90 පිරුණේ මේ වසරේදීය. අරුණ ගුණරත්න
සංස්කරණය කළ ‘ආවර්ජනා’ නම් වූ ග්රන්ථය ඒ නිමිත්තෙන් ලියා පළ කරන ලද්දකි. අරුණ යනු
දක්ෂ සිනමා විශේෂාංග ලේඛකයෙකි. ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහුට ඕනෑම ලිපියක් රසවත්ව,
විචිත්රවත්ව ලිවීමේ නොමඳ හැකියාවක් තිබීමයි. මේ පොතේදී අරුණ විසින් ආචාර්ය ලෙස්ටර්
ජේම්ස් පීරිස් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයකින් යුක්තව තම සිනමා කලා දිවිය ආවර්ජනය කර
බලන අයුරින් ලිපි පෙළ ගස්වනු ලැබ ඇත.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගැන මේ වන විට
සිනමා පොත් ගණනාවක්ම ලියැ වී ඇත. ‘හුදකලා කලාකරු (පිලිප් කුරේ), ‘ලෙස්ටර්’
(මහාචාර්ය සුනිල් ආරියරත්න), ‘ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සිංහල සිනමාව (සුනිල්
මිහිඳුකුල), ‘සිංහාවලෝකනය’ (අසංක සායක්කාර) එබඳු පොත් කීපයකි. එසේම ලෙස්ටර් ලියූ
ලිපි රැසක් පියසේන වික්රමගේ, නුවන් නයනජිත් කුමාර යන අය විසින් සංස්කරණය කොට පළ
කරනු ලැබ ඇත.
කිසියම් පුද්ගලයකු අරභයා පොත් ගණනාවක්ම ලියැ වී ඇති පසුබිමක එම පුද්ගලයා අළලා අලුත්
පොතක් ලියන ලේඛකයකුට ප්රධාන අභියෝගයකට මුහුණ දීමට සිදු වෙයි. එනම් සෙසු පොත්වල
අන්තර්ගත නොවන කරුණුවලින් තම ග්රන්ථය පිරිපුන් කිරීමයි. අරුණ එම අභියෝගයට සාර්ථකව
මුහුණ දී ඇති ආකාරය මට පෙනී යයි.
‘ආවර්ජනා’ ග්රන්ථයේ මා දකින මූලික දුබලතාවයක් ගැන ද මෙහිලා සඳහන් කළ යුතුය. එනම්
කෘතියට පාදක වන පුද්ගලයා අභිබවා ලේඛකයා ඉස්මතුවීමයි.
මේ ග්රන්ථයේදී ලේඛකයා භාවිත කරන්නේ ඉතාම සරල භාෂා ශෛලියකි. එය පාඨකයන්ට ප්රිය
උපදවන සුලු විය හැකිය. එසේ වුවත් ග්රන්ථාකරණයේදී පත්තර භාෂාව යොදා ගැනීමෙන්
හැකිතාක් වැළැකීමට ලේඛකයා කටයුතු කළේ නම් මැනවැයි සිතමි. මෙය පොත් ලියන බොහෝ
පුවත්පත් කලාවේදීන්ට නිරන්තරව සිදු වන්නක් සේ සැලකිය හැකිය.
පුනරුක්ති දෝෂය ද ‘ආවර්ජනා’ කෘතියෙහි අගය තරමක් තුනී කරයි. මෙවැන්නක් සිදු වන්නේ
මෙබඳු පොතක් වෙනත් ප්රවීණයකු අතින් සංස්කරණය නොවීමේ විපාක වශයෙනි.
මේ කෘතියේදී ලෙස්ටර්ගේ ‘ආවර්ජනා’ ‘ගම්පෙරළිය’ චිත්රපටයෙන් හමාර වෙයි. එසේ නොවී
ලෙස්ටර් අවසානයට නිම කළ ‘අම්මාවරුනේ’ චිත්රපටය දක්වා ඔහුගේ ආවර්ජනය දීර්ඝ වූයේ නම්
පොත වඩාත් පරිපූර්ණ වන්ට ඉඩ තිබිණැයි සිතමි.
ලෙස්ටර්ගේ චිත්රපටවල හා ඔහුගේ සිනමා ජීවිතයේ වටිනා ඡායාරූප කීපයක් ද මේ කෘතියට
ඇතුළත්ය. ප්රේම් දිසානායක සැකසූ පොතේ කවරය ද පොතේ නිමාවට මනහරය.
සු. මි.
වෙබ් පිටු සැකසුම - රේඛාවෝ මාවතගම
|