කලාකරුවාට කළකිරීම එතරම් හොඳ දෙයක් නෙවේ
විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන කියයි
ඇගේ පැසුණු බුද්ධියේ ආදරණීය ආමන්ත්‍රණය දැන් නැවතත් අපේ දෙසවන් මත රැව් පිළිරැව්
දෙන්නේ “ සිරස සුපර් ස්ටාර්” - Season 03 තරගයේ ආරම්භයත් සමගිනි.
ගිරිදුර්ග, කඳුහෙල් තරණය කරමින් සප්ත ස්වර වන්දනාවේ යෙදෙන සුවහසක් මානව,
මානවිකාවන්හට යා යුතු නිවැරැදි මාවත කියා දෙමින්, ඉදිරියට පියනඟන්නට වරෙක සෙනෙහබර
මවක සේ ඔවදන් දුන්නී ඇයයි. ඒ මහා ආශිර්වාදයේ බලමහිමයෙන් අභියෝග ඉදිරියේ නොසැලී
ජයටැඹ කරා පා එස වූ බොහෝ යොවුන් සත්සර පේ‍්‍රමීන් මේවන විට අපේ සංගීත අඹරේ දිදුළන
තරු බවට පත්වී අවසන්ය.
අවලාද, අපවාද මෙන්ම කීර්ති, ප්‍රශංසාද එකසේ අත් විඳීමින්, කඳුළත්, සිනහවත් අතර
දෝලනය වෙමින් තාරුණ්‍යයේ හෙට දවසට ඵලදායී මෙහෙවරක් ඉටුකරන ජ්‍යෙෂ්ඨ ගායිකා
චන්ද්‍රිකා සිරිවර්ධන අප මහත් සෙනෙහසින් අද මෙසේ “ සතියේ සත්සර හමුවට “ කැඳවා
ගතිමු.
සිරස සුපර් ස්ටාර් Season 03 පෙර තරගාවලි දෙකටම වඩා වෙනස් මුහුණුවරකින් ඉදිරියට යන
වැඩ සටහනක් බවයි මට හැෙඟන්නේ?
මම හිතන්නේත් ගියවරට වඩා අමුතු හැඩයක් මේ තරගයේ දිස්වෙනවා. එය අවශ්‍යයි. අපි මොනවා
හරි කරද්දී වෙනසක් දැනෙන එක අපටත්, ජනතාවටත් අලුත් අත්දැකීමක් වෙනවා. ඇත්තෙන්ම
ගියවරට වඩා විශාල වෙනසක් මේ සුපර් ස්ටාර් Season 03 තරගයේදී මා දකිනවා.
තරගකරුවන් එකලක්ෂ හත්දාහක්, විනිශ්චය මණ්ඩල සාමාජික, සාමාජිකාවන් විසි ගණනක්, මේ
තරගයට සහභාගි වුණා.
දෙවැනි වටයේ විනිශ්චය මණ්ඩල දෙකක්, තුන්වැනි වටයේ ඉඳන් පස්දෙනෙකුගෙන් යුත් විනිශ්චය
මණ්ඩලයක් සිටියා. ජගත් වික්‍රමසිංහ හා රාජු බණ්ඩාර වරින්වර වෙනස් වෙනවා. ගීත පටිගත
කිරීම්, විදෙස් සංචාර ආදිය නිසා ඔවුන් වරින් වර තමයි විනිශ්චය මණ්ඩලයට සහභාගි
වෙන්නේ.
මේ වනවිට අවසන් තරගකරුවන් දහස තෝරාගෙන ඉවරයි. මේ හැමදෙනාටම රූපවාහිනිය විවෘතද?
ඔව්. අපි මේ වෙනකෙට අවසන් දහස තෝරා ගෙන ඉවරයි. මටත් හරි වැටහීමක් නැහැ ඉදිරි වැඩ
පිළිවෙළ ගැන. මම හිතන්නේ ඒ හැම කෙනෙකුටම රූපවාහිනී මාධ්‍ය විවෘත වෙන එකකුත් නැහැ.
මොකද විශාල සංඛ්‍යාවක් නිසා. කොහොම වුණත් තෝරා ගත් පිළිවෙළකට ඒ සියල්ල සිදු කරාවි.
විවිධ ගායන දෝෂ, අඩුලුහුඩුකම් තියෙන අය පවා රූපවාහිනියෙන් අප දැක්කා. ඇත්තටම ඇතැම්
අයගේ ගායන හැකියාවන්ට වඩා ඉස්මතු වුණේ වෙන වෙන දේවල්. ඇයි මෙහෙම වුණේ?
මාධ්‍ය ගැන තරමක වැටහීමක් මට තියෙනවා. පේ‍්‍රක්ෂකයා දිගින් දිගටම එක් වැඩසටනක් වෙත
ආකර්ෂණය කර ගැනීම තරමක අභියෝගයක්. මේ වගේ අවස්ථාවලදී මාධ්‍යයන්ට සිදු වෙනවා යම් යම්
උපක්‍රම භාවිතා කරන්න. ඇත්තෙන්ම සාමාන්‍ය ජීවිතයේදී දකින්නට නොලැබෙන පුද්ගලයන් කීප
දෙනෙක් දකින්න ලැබුණා ජනතාවට. ගායන හැකියාව නැතත් අමුතු විදිහේ ඉදිරිපත් කිරීම්,
ගායන විලාශයන් අපි ඒ අයගෙන් දැක්කා.
තරගකරුවන් එක්ලක්ෂ හත්දාහක් ඉදිරිපත් වුණාට ඒ හැමෝම ගායනයේ දක්ෂයෝ නෙවෙයිනේ. ඇයි
සුවිශේෂ කුසලතා තිබෙන පිරිස පමණක් තෝරා ගෙන මේ වැඩසටහන ඉදිරිපත් නොකරන්නේ...?
අවසන් දහසට එනකොට නියම දක්ෂතා කැටිවෙලා ඉවරයි. එතන ඉඳලා අතිශය ගැඹුරු, සංකීර්ණ
ඉසව්වකටයි අපි යන්නේ. තුන්වැනි වටයට එනකල් ආකර්ෂණීය දේවල් දැක බලාගන්න අපට පුළුවන්
වුණා. ඒකාකාරී විදිහට වැඩ සටහන නරඹන්න පේ‍්‍රක්ෂකයෝ කැමැති නැහැ. ඒ විවිධත්වය සිරස
සුපර් ස්ටාර් Season 03 වැඩ සටහනේ තිබෙන නිසා තමයි පේ‍්‍රක්ෂකයෝ මේකට මේ තරම්
කැමැති. පේ‍්‍රක්ෂකයාට කුතුහලය දනවන විදිහට ඔවුන් එය ඉදිරිපත් කළා.
විනිශ්චය මණ්ඩල සාමාජිකාවක වූ සමිතා මුදුන්කොටුව නොයෙක් අවස්ථාවන්වල තරගකරුවන්ගේ
ඉරියව් සහ ගායන විලාශයන් සමච්චලයට ලක්කරනවා අප දුටුවා...?
රාජු, අමල්, ජගත්, සමිතා සහ මම කියන අපි පස්දෙනාගෙන් යුත් විනිශ්ය මණ්ඩලයක් තමයි මේ
තරගය විනිශ්චය කරන්නේ. මේ හරිම ස්වභාවික විනිශ්චය මණ්ඩලයක්. ආරුඪ කරගත් පිරිසක්
නෙවෙයි මෙතන ඉන්නේ. සිනහව, හාස්‍යය, මත ගැටුම් වැනි මිනිස්සුන්ට උරුම පොදු ගුණාංග
විනිශ්චය මණ්ඩලය තුළත් තියෙනවා. එතනදි සිත් රිදවීම් ඇතිවෙන්න පුළුවන්. අමනාපකම් ඇති
වෙන්න පුළුවන්. මිනිස්සු දකින ආකාරය කුමක් වුවත් මෙහි ස්වභාවය මේක තමයි.
විනිශ්චය මණ්ඩලය ඇතුළේ පවා ගැටුම්කාරී අවස්ථා අප දැක්කා......?
ඔව්, මත ගැටුම්වලින් සිත් රිදෙනවා. ඒත් අපි පස්දෙනා මේකෙන් එළියට යනකොට ඒ කිසිම
දෙයක් පෞද්ගලික නැහැ. ඒ දේවල් එතනින් ඉවරයි.
මේ විනිශ්චය මණ්ඩලයේ නායකයෙක් ඉන්නවද?
ප්‍රවීණයන්ට සිරස මාධ්‍ය ජාලය කවදත් ගරු කරනවා.
මේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රවීණතම සාමාජිකාව ඔබ. ඒත් නව පරපුරේ අමල් පෙරේරා ඔබේ තීන්දු
විවේචනය කරපු , ඔබ හා බහින්බස් වුණ අවස්ථා අප දුටුවා?
ඒක ඒ ඒ අයගේ ස්වභාවයනේ. අතේ ඇඟිලි පහ එක සමාන නැහැ. රාජු බණ්ඩාරගේ ස්වභාවය එකක්.
සමිතා ගේ ස්වභාවය තවත් විදිහක්. මේ මගේ ස්වභාවය. එය මොන විදිහට ජනතාව දකිනවාද
කියන්න මට බැහැ. හැබැයි මම හැමෝම එක්ක සුහදව ඉන්න කැමැති කෙනෙක්. වෙන කෙනෙක් ගැන මට
කියන්න බැහැ. මට මා ගැන තමයි කියන්න පුළුවන්.
ඔබේ ඇස් කඳුළින් පිරුණ අවස්ථාත් අප දුටුවා?
කඳුළු ආවා. දුකක් දැනුණාම කඳුළු එනවා. එක තමයි ස්වභාවිකත්වය.
තීන්දු, තීරණ ගැනීමේදී අප බොහෝ වෙලාවට දකිනවා බුද්ධිය පරයමින් හදවතට ඉඩ දෙන
අවස්ථාවන්. විශේෂයෙන්ම ඔබේ පැත්තෙන්.....?
දෙවැනි හා තුන්වැනි වටයට එන්නේ සැබෑ දක්ෂතා තියෙන අය. නිවැරැදි ශ්‍රැතියට, නිවැරැදි
තාලවලට ගීත ගායනා කළත් ඇතැම්විට ගීතයේ කිසිම රසයක්, ගීතවත් බවක් නැතිව යන්න
පුළුවන්. එහෙම වුණත්ඒ අය ඉදිරියට යන මුහුණුවරක් අපි දකිනවා. ඒ විදිහට රසභාව,
නැතිනම් අලංකාර Variations වැරැද්දුවත් ඒක ඊළඟ වටයේදී හරියනවා. විනිශ්චය මණ්ඩලයට
සුවිශේෂ ඥානයක් තිබෙනවා ඒ ගැන අවබෝධ කරගන්න, මානසික පීඩනය නිසා ගීතයක් නිසි ලෙස
ගායනා කිරිමට නොහැකි වුණත් සැබෑ දක්ෂයා හඳුනා ගැනීමේ සියුම් ඉවක් අපට තියෙනවා.
“සුපර් ස්ටාර් “ සංකල්පයත් එක්ක එක්වරම අපේ ඔළුවට එන්නේ තාරුණ්‍යය. ඒත් හැටපැනපු
අයත් මේ තරගබිමේ අපි දකිනවා. එතකොට මේක නිකං “ විනෝද සමයක්” වගේ. ඇයි මේ වයස්
සීමාවක් පනවලා මේ කාර්යය කරන්න බැරි....?
සිරස සුපර් ස්ටාර් Season 01 ඉඳලාම මේක බාල, තරුණ, මහලු අයට විවෘත වූ තරගයක්.
අවසන් දහසට එනකොට මම හිතන්නේ තාරුණ්‍යය ඉස්මතු වෙනවා. අවුරුදු අසූවක කෙනෙක් මෙවර
තරගයට ඉදිරිපත් වුණා. ඒත් තාරුණ්‍යය එක්ක හරි හරියට ගැටෙන්න බැරි නිසා ඔහුට ඉවත්
වෙන්න සිද්ධ වුණා. මම හිතන්නේ හුඟක් වෙලාවට මහලු අයට අවාසියක් වුණේ විවිධත්වයට අනුව
ගීත ගැයීමේ හැකියාව ඔවුන්ට නොතිබුණ එක. තාරුණයත් සමග සටන් කරන්න පුළුවන් ජවයක්
තිබෙන මහලු කෙනෙක් වුණත් ඉදිරි තරගාවලියකදී “සුපර් ස්ටාර් “ කෙනෙක් වෙන්න බැරි
නැහැ. හැබැයි මේ තරගයේ නම් නෙවේ.
සමහර විට ඔබ ඉදිරි වටයට යෝජනා කළ තරගකරුවෙක් විනිශ්චය මණ්ඩලයේ බහුතර කැමැත්ත මත
තරගයෙන් ඉවතට විසි වී යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් අපි දැක්කා. මොකද හිතන්නේ
එතකොට.....?
මට දුක හිතෙනවා. අපි හතර දෙනා විටෙන් විට තරගකරුවෙකුගේ සූක්ෂම අවස්ථා හඳුනා ගැනීම
සිදු වෙන්නේ තනි තනිව. නමුත් විවෘතව හා පොදුවේ ඒ හැකියාවන් හඳුනා නොගත් නිසා
ඇතැමුන්ට තරෙඟන් ඉවත් වෙන්න සිදුවූ අවස්ථාවන් තිබෙනවා.
විනිශ්චය මණ්ඩලයට අවශ්‍ය තරගකරුවන් දවසකට විස්සක් විසි පහක් විතර ඉන්නවා. ඒත් තෝරා
ගන්නට සිදුවෙන්නේ දහදෙනෙක් නැතිනම් අටදෙනෙක්. කොහොමත් අවසන් සීයට, දෙසීයක් ඉන්න
බැහැනේ.
ඒ වගේ වෙලාවලට මොකද කරන්නේ.....?
වැරැදි අවම අය තෝරා ගන්නවා. අපි හතර දෙනා වෙන වෙනම ලකුණු දාලා තමයි එහෙම තෝරා
ගන්නේ.
ඒ වගේ අවස්ථාවල තරගයෙන් ඉවත්වෙන අය ගැන අපට ගොඩක් දුකයි. මුළු විනිශ්චය මණ්ඩලයම
වේදනාවට පත්වෙනවා. කොටින්ම අවසන් දහසේදී අපට හිනාවෙන්න මතකක් නැහැ.
අවසන් දහසේ පළවෙනි තරග වටයේ දී සීතා නම් තරගකාරිය ශිල්පිනී ඇන්ජලින් ගුණතිලකගේ ගීත
දෙකක් ගායනා කළා. ඒත් ඇගේ ගායනයට නිසි තක්සේරුව ලැබුණේ ඔබෙන් පමණයි. විනිශ්චය
මණ්ඩලයේ අනෙක් තිදෙනාම ඇයට අනුමැතිය දුන්නේ නැහැ. අපට සිතුණෙත් ඈ ඉතා හොඳීන් ඒ ගීත
ගැයූ බවයි. මෙයින් සීතාට අසාධාරණයක් සිදුවුණා නේද?
ඔව්. මට පෞද්ගලිකව හැෙඟනවා ඇයට අසාධාරණයක් වුණා කියලා. ඒ ගැන මම කණගාටු වෙනවා. මම
ඇන්ජලින්ගේ ගීතවලට බෙහෙවින්ම පි‍්‍රය කරන නිසාත් වෙන්නැති ඒ.
මේ වෙනකොට “සුපර් ස්ටාර් “ හරහා බිහිවූ යොවුන් ගායක, ගායිකාවන් සිය ගණනක් අපට
ඉන්නවා. එයින් කීපදෙනයි වෘත්තීය මට්ටමට ඇවිත් තියෙන්නේ. අනෙක් අයගේ ‘ ඉරණම ‘
මොකද්ද? කොහාටද ඔවුන් යන්නේ....?
අපේ රටේ විශ්ව විද්‍යාල හරහා ඇවිත් ලක්‍ෂ සංඛ්‍යාත උපාධිධරයන් බිහි වෙනවා. ඒත් මේ
අයට මෙන්න මෙතනයි කියා නියමිත තැනක් නැහැ. ආවොත් ආවා, ගියොත් ගියා. මම දන්න සමහර
උපාධිධාරීන් ඉන්නවා. බොහොම සුළු රැකියාවල් කරන, ‘සිරස’ හරහා බිහිවෙන මේ නවක, ගායක,
ගායිකාවන්වත් මම දකින්නෙත් ඒ විදිහට. තමන් ගේ අනාගතය හදා ගැනීම ඔවුන්ටම අයිති
වැඩක්. තම පැවැත්ම, චිරස්ථිතිය තියෙන්නේ ඔවුන්ගේම අතේ.
ගීතයක් ගැයූ පමණින් කෙනෙක් කලාකරුවෙක් වෙන්නේ නැහැනේ. ඒ සඳහා ප්‍රතිභාව වගේම
ව්‍යුත්පත්තියත්, සතත අභ්‍යාසයත් අවශ්‍යය වෙනවා. විද්්‍යුත් මාධ්‍ය හරහා ගායක,
ගායිකාවන් තොග පිටින් නිෂ්පාදනය කෙරෙන ක්‍රියාවලියේ දී සැබෑ කලාකරුවන් බිහි වෙනවාද?
ගායනය පමණක් නෙවේ පොදුවේ කලාව ගත්තොත් එය සම්භාව්‍ය හා ජනපි‍්‍රය කියා අංග දෙකකට
බෙදන්න පුළුවන්. ජනපි‍්‍රය කලාවේ නියැළෙන අයට දැනුම එතරම් ප්‍රශ්නයක් නෙවේ. නමුත්
සම්භාව්‍ය කලාකරුවා කියන තැනදී කලාව පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් හා අධ්‍යයනයක්
අත්‍යවශ්‍යයි. ජනපි‍්‍රය කලාවට දැනුම අවශ්‍ය නැහැ කියන මතයට හොඳම උදාහරණය ලෙස අසහාය
ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන් හඳුන්වන්න පුළුවන්. ඒත් ඔහුගේ ගීතයක් ඇහෙනකොට මට
අදත් හිතෙන්නේ අනේ මෙයා නේද අදටත් අපේ සුපර් ස්ටාර් කියලයි. මා විශ්වාස කරන
ප්‍රතිභාව මම ඔහු වෙතින් නොඅඩුව දැක්කා. ප්‍රතිභාව නැති කිසිකෙනෙකුට කලාකරුවෙක්
වෙන්න බැහැ.
අපි දැන් “ ඔබ “ ගැන ටිකක් කතා කරමු. අනුන්ට අතහිත දෙන්න දක්වන උනන්දුව, කැමැත්ත
ඔබේ ගායන දිවියේ දකින්නට නොලැබෙන්නේ ඇයි....?
තමන්ගේ පැවැත්ම හදා ගන්නේ කෙසේ ද කියන තැන දී මම දුර්වල වූ කෙනෙක්. නමුත් මම සතුටු
වෙනවා එකම සංයුක්ත තැටියක්වත් නොකර මේ තරම් කාලයක් රසිකයන් අතර ඉන්න ලැබීම ගැන.
අතීතයේදී නිසි තැන නොලැබෙන කොට මට කලකිරුණා. නමුත් ඒක වැරදියි. කලාකරුවාට කලකිරිම
එතරම් හොඳ දෙයක් නෙවේ. කාලයාගේ ඇවෑමෙන් මම අද එය අවබෝධ කරගෙන ඉන්නවා.
සංවාදය :
අසංක දේවමිත්ර
පෙරේරා
ඡායාරූප :
ටෙනිසන්
එදිරිසිංහ
හැඩගැන්වීම :සමුද්‍ර
සිතුරුවන්
|