ටෙලි NEWS

මානවිකාවී අයි. ටී. එන් හරහා

ස්වාධීන රූපවාහිනියෙන් ඔබේ ආලින්දයට ආ නවමු ටෙලි සිත්තම ‘මානවිකාවී ’ ය. එරංග සේනාරත්නගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු මේ සොඳුරු ටෙලි වෘත්තාන්තයෙහි කතාව, දෙබස් හා රූපවාහිනී රචනය මහේෂ් රත්සර මද්දුම ආරච්චිගෙනි. ගමෙන් නගරයට පැමිණෙන ශනිල්ක නම් වූ නිදහස් මාධ්‍යවේදියා නගරයට විත් ගෙවන ජීවිතයත් එහිදී ඔහු හා පෙමෙන් වෙළෙනා ධනවත් ව්‍යාපාරිකයකුගේ දියණිය වූ නිම්සරාත් සමඟින් දෝලනය වන ශනිල්කගේ ජීවිතාන්දරය රැගත් මේ කතා පුවත මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ මිතුරකු ගේ සත්‍ය කතා පුවතක් ඇසුරෙන් රචනා වූවකි.

මව්පිය දූ දරු සබඳතාවත්, දාරක සෙනෙහසත්, ස්ත්‍රී පුරුෂ ආදරයත් අතර දෝලනය වන සොඳුරු, ආදරණීය, එමෙන්ම අඳුරු, කුහක සිතුවිලි පිළිබඳ කියැවෙන කතාන්දරයකි, ‘මානවිකාවී’.

මේ සඳහා අනුලා කරුණාතිලක, බුද්ධදාස විතානාරච්චි, හඳුන්වා දෙන නිළි කල්පනා රෙහානි, සුරාජ් මාපා, දයා අල්විස්, අනුලා බුලත්සිංහල, සුප්පයියා නාදන්, තරුෂි සුරම්‍යා පෙරේරා, ඥානාංග ගුණවර්ධන, සම්පත් ශ්‍රී රෝෂන්, සරත් කොතලාවල, ලාල් කුලරත්න, ඩබ්. ජයසිරි, කුමා අත්තනායක, චන්දික නානායක්කාර, ප්‍රශානි පෙරේරා ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙති.

දයා සූරියාරච්චිගේ කැමරාකරණ හා ආලෝකකරණ අධ්‍යක්ෂණයෙන් හැඩ වන ‘මානවිකාවී’ හි අංග රචනය මදුරංග ජාගොඩ ගෙනි. අංග රචන සහය කපිල කුමාර සමරකෝන්ගෙනි.

සඳුන් රාජකරුණාගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද, මදුරංග ජාගොඩ ගේ දෙවන සහාය අධ්‍යක්ෂණයෙන් ද සුසැදි මෙහි මූල්‍ය කළමනාකරණය විරාජ් චමින්ද ගෙනි. ලොයිඩ් ජානකගේ නිෂ්පාදන කළමනාකරණයෙන් යුතු මානවිකාවී සඳහා සංගීතය ප්‍රියන්ත නාවලගේ ගෙනි.

මෙහි තේමා ගීත රචනය ද මහේෂ් රත්සර මද්දුම ආරච්චිගෙන් වන අතර ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම සුනිල් ප්‍රේමචන්ද්‍රගෙනි. මධුර බුද්ධික, චමින්ද දීපාල්, නුවන් මදුරංග, රොෂාන් ප්‍රසාද්, සුනෙත් හෙට්ටිආරච්චි මෙහි ආලෝකකරණ ශිල්පීන් වේ.මෙය රන්සිළු වෙනුවෙන් රංජිත් ප්‍රේමලාල්ගේ නිෂ්පාදනයකි.


‘සිහිනයක් වගේ’ ළඟදීම පුංචි තිරයෙන්

නැවුම් ටෙලි අත්දැකීමක් ඔබට තිළිණ කරමින් ළඟදීම පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එන්නට ‘සිහිනයක් වගේ’ ටෙලි වෘත්තාන්තය සූදානම් බවයි එහි අධ්‍යක්ෂ චන්දන හේවාපතිරණ පවසන්නේ.

මෙය චන්දන හේවාපතිරණගේම තිර රචනයකි. පුංචි සුරංගනාවියකගේ ආගමනයත් 16 හැවිරිදි ගැහැනු ළමයකු ඇයව ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන ආකාරයත් රැගත් මෙය ග්‍රැෆික් නිර්මාණකරණයේ සුසංයෝගයෙන් සැදුම් ලත් අපූරු කතා පුවතකි.

මේ සඳහා රංගනයෙන් හෂිනිකා කරළියද්ද, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, රිචඩ් මානමුදලි, හේමන්ත ඊරියගම, පියුමි ශානිකා, තරිඳි ෆොන්සේකා, වත්සලා දියලගොඩ ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙති.

සංජීව කුමාරගේ කැමරාකරණයෙන් ද, කපිල පූගලආරච්චිගේ සංගීතයෙන් ද හැඩ වන මෙහි ගායනය නෙලූ අධිකාරි හා කපිල පූගලආරච්චිගෙනි. සුමති කුඩලිගමගේ කලා අධ්‍යක්ෂණයෙන් සුසැදි ‘සිහිනයක් වගේ’ සඳහා චමින්ද හේවාවසම් නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වී තිබේ. සංස්කරණය උදය සමරතුංගගෙන් වන අතර සහාය අධ්‍යක්ෂණයෙන් සෝමදාස මල්දෙණිය මේ සඳහා දායක වී ඇත. මෙය ධම්මික සිරිවර්ධනගේ නිෂ්පාදනයකි.


ස්වයංජාත  හරහා ළම නළු නිළියන්ට වරම්

අඹු දරුවෝ, බැද්දේ ගෙදර, යුග විලක්කුව, කටු ඉඹුල, උතුවන් කන්දේ සරදියෙල්, කරුවල ගෙදර වැනි ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කළ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණගේ මීළඟ ටෙලි නිර්මාණය සඳහා ළමා රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගෙන් අයැදුම්පත් කැඳවයි.

2008 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලත් සමරවීර විජයසිංහගේ ‘ස්වයංජාත’ නවකතාව ඇසුරෙන් නිර්මාණය වන ‘ස්වයංජාත’ ටෙලි නිර්මාණය සඳහා එසේ අයැදුම්පත් කැඳවන්නේ පහත සඳහන් නම් සඳහන් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ පෙනුමට සමාන පෙනුම ඇති ළමා රංගන ශිල්පීන් හා ළමා රංගන ශිල්පිනියන්ගෙනි.

ඒ අනුව ජගත් චමිලගේ පෙනුමට සමාන වයස අවුරුදු දොළහකට ගැලපෙන පෙනුමක් ඇති, චතුරිකා පීරිස්ගේ පෙනුමට සමාන වයස අවුරුදු අටක පමණ පෙනුමක් ඇති, ප්‍රගීත් රත්නායකගේ පෙනුමට සමාන වයස අවුරුදු නවයක පමණ පෙනුමෙන් යුතු හා තිසුරි යුවනිකාගේ පෙනුමට සමාන වයස අවුරුදු පහක පමණ පෙනුම ඇති ළමුන් වෙයි නම් මෑතකදී ගත් උඩුකය පැහැදිලි ඡායාරූපයක් සමඟින් ජීව දත්ත තොරතුරු පහත ලිපිනයට යොමු කරන්න.

ස්වයංජාත ළමා නළු නිළි වරම්
D/ V/2/2L  මැනින්ටවුන් මහල් නිවාස සංකීර්ණය, වික්ටෝරියා පෙදෙස,
කොළඹ 08.

 
 
 
  •  
  •