ඔව් සුරූපි නිළියක් සමඟ සමීප ඇසුරක් තියෙනවා
පුංචි තිරය පමණක් නොව රිදී තිරයද ජයගත් තරුව
සුරාජ් මාපා
කියයි
කඩවසම් තාරුණ්‍යයට දක්ෂතාවය, උනන්දුව, කැපවීම වැනි ගුණාංගයන් එක්තැන් වී ඔහු මේ වන
විට සාර්ථක රංගන ශිල්පියකු බවට පත් වෙලා. ඒ සාර්ථකත්වය නිසාම ඔහු අද අපේ කලා ලොවේ
දිදුළන තරුවක්.
සමහරු ගොඩක් දක්ෂයි. ඒත් ජනප්‍රිය නැහැ. තවත් කෙනෙක් අතිශයින් ජනප්‍රියයි. නමුත් ඒ
තරමට දක්ෂ නැහැ. ඔය ගුණාංග සියල්ලෙන්ම පිරිපුන් සුරාජ් මාපා මම දකින්නේ සැබෑම
වාසනාවන්තයෙක් විදිහට.
කාර්ය බහුලත්වය නිසාම සුරාජ්ට මේ දිනවල විවේකය අඩුයි. වෘත්තීය රංගන ශිල්පියකු
හැටියට ඔහුගේ සාර්ථකත්වයට එය කදිම නිදසුනක්. නමුත් ‘සරසවිය’ හා ඔහු හැමදාමත්
ළෙන්ගතුයි. ඔහු අපිත් එක්ක සංවාදයකට මේ විදිහට එකතු වුණෙත් ඒ නිසාමයි.
සුරාජ් මේ දිනවල සුවිශේෂ සිනමා රංගනයකට දායක වී සිටිනවා. එතනින් මේ කතාව ආරම්භ
කරමු?
රොහාන් වැලිවිට අධ්‍යක්ෂණය කරන ‘සුසීමා’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදු
කෙරෙනවා. මීගමුව පැත්තේ රූගත කිරීම් දැන් අවසන්. කොළඹ අවට තව දර්ශන කීපයක් කරන්න
තියෙනවා. මම රඟපාන්නේ රංග කියන ප්‍රධාන චරිතය. මේ මම ප්‍රධාන චරිතය රඟපෑ තුන්වැනි
චිත්‍රපටය.
අනෙක් චිත්‍රපට දෙක මොනවද?
සඳුන් රාජකරුණාගේ ‘උත්තරා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළේ මම. ශනිල්ක මල්මුතුවත්ත
කියලා යොවුන් ගායකයකු විදිහටයි මම ඒකේ රඟපෑවේ. එතකොට බෙල්ජියම් ජාතික සැමී පවෙල්
අධ්‍යක්ෂණය කළ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ චිත්‍රපටය. හැබැයි මේ චිත්‍රපට දෙකම තාම තිරගත
වුණේ නැහැ.
හරි, අපි ආයෙත් ‘සුසීමා’ දිහාට හැරෙමු. මෙය ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක
රත්නායකගේ
තෙලිතුඩින් බිහි වූ ජනප්‍රිය චිත්‍ර කතාවක්. පසුව එය ටෙලි නාට්‍යයකටත් නැගුණු බව ඔබ
දන්නවා. මාධ්‍යයන් දෙකකින් මෙයට පෙර ජනතාව අතරට ගිය චරිතයක් නිරූපණය කිරීම
අභියෝගයක් කියා ඔබට සිතුණේ නැතිද?
‘සුසීමා’ නාට්‍ය නම් මම පුංචි කාලේ බලලා තියෙනවා. එහෙන් මෙහෙන් මතකයි. ඒත් චිත්‍ර
කතාව මම කියවලා නැහැ. හැබැයි ජනක රත්නායක මහතාත් එක්ක මම මේ චරිතයේ ස්වභාවය ගැන කීප
වතාවක් කතාබහ කළා. මේ දරුවා බිහි කළ පියා ඔහුයි. ඒ නිසා ඔහු කී දේවල් මට වැදගත්
වුණා. ඒ හැරුණාම අධ්‍යක්ෂවරයා මට උපදෙස් දෙන විදිහට හා මට දැනෙන විදිහට මම මේ චරිතය
රඟපානවා.
‘සුසීමා’ ටෙලි නාට්‍යයේ රංග ගේ චරිතය රඟපෑ පාලිත සිල්වා ගේ රංගනය ඔබට යම්
පූර්වාදර්ශයක් වුණාද?
මම කිසිම වෙලාවක පාලිත අයියව අනුකරණය කරන්න උත්සාහ කළේ නැහැ. ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨ,
දක්ෂ රංගන ශිල්පියෙක්. අනෙක ‘සුසීමා’ ටෙලි නාට්‍යය ගැන මට තියෙන්නේ බොඳ වුණ මතකයක්.
රංග ගැන මොකද හිතෙන්නේ?
රංග තමන්ගේ සංගීත කණ්ඩායමේ සියලු බර කරට අරගෙන කටයුතු කරන බෑන්ඩ් ලීඩර් කෙනෙක්. ඔහු
මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ තමන්ගේ මිතුරා අසේලවත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න
උත්සාහ දරනවා. සුසීමා ගැනත් ඔහුගේ සිතේ තිබෙන්නේ උත්තරීතර ආදරයක්. වගකීම් ගොඩක්
එක්ක වැඩ කරන කෙනෙක් ඔහු. ඒ නිසා මටත් මේ චරිතය ඇතුළේ ඉටු කළ යුතු වගකීම් රැසක්
තිබෙනවා.
‘සුසීමා’ සහ ‘අසේල’ කියන්නේ රංගගේ සමීපතමයන්. කවුද මේ චරිත රඟපාන්නේ?
සුසීමාගේ චරිතය රඟපාන්නේ පබෝදා සංදීපනී. අසේල තමයි සාරංග දිසාසේකර. අපි තුන්දෙනා
නිතරම මේ චරිත ගැන කතාබහ කරලයි දර්ශන තලයට යන්නේ. එතකොට සාර්ථකව අපට එය නිරූපණය කළ
හැකි වෙනවා.
‘සුසීමා’, ‘උත්තරා’ චිත්‍රපට දෙකේම සුරාජ් රඟපාන්නේ සංගීතකාමී
තරුණයකුගේ චරිත?
ඔව්, හැබැයි මේ චරිත දෙක එකිනෙකට වෙනස්. ඒත් සංගීතමය චිත්‍රපට. මම හිතන්නේ දැන් අපේ
සිනමාවට අවශ්‍ය කරන්නේ එවැනි චිත්‍රපටයි. ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න මිනිසුන්ට
රසාස්වාදය ලබා දෙන එකයි අවශ්‍ය. කතාව ඇතුළේ ඔවුන් ආදරයෙන් ආමන්ත්‍රණය කරන්න අවස්ථාව
තියෙන්න ඕනෑ.
මම හිතන විදිහට අද අපේ සිනමාවට අවශ්‍යය කරන්නේ ආදරය, විනෝදය සහ සංගීතය ඇසුරු කර
ගනිමින් හැදෙන චිත්‍රපට. ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ තිබූ ඉතාමත් ජනප්‍රිය ගීත පහක්
චිත්‍රපටයටත් ඇතුළත්. ඒවා රි - මික්ස් කළේ ‘සෙන්ට්‍රිග්‍රේඩ්’ සංගීත කණ්ඩායම.
‘උත්තරා’ චිත්‍රපටය සංගීතවත් කළේ රෝහණ වීරසිංහසයන්. සුපර් ස්ටාර් ගායක ප්‍රදීප්
රංගන තමයි මම වෙනුවෙන් පසුබිම් ගී ගැයුවේ.
‘උත්තරා’ චිත්‍රපටයෙන් අපේ සිනමාවට නවක නිළියක් සොයා දෙන්නත් ඔබ දායක වුණා?
මම යම් නිර්මාණයකට දායක වෙන්නේ රංගනයෙන් විතරක්ම නෙවෙයි. සියලු දේවල් දැනගන්න සහ ඊට
යමක් එකතු කරන්න මම කැමැතියි.
ඒ නිසා මම මගේ යෝජනාත් එයට ඉදිරිපත් කරනවා. මම දායක වන නිර්මාණයක් ජනප්‍රිය විය
යුතුයි කියන තැන ඉඳලයි මම ඒ මැදිහත්වීම කරන්නේ. මුලින්ම මට හමු වුණේ ‘උත්තරා’
නිෂ්පාදිකා වජිරා රාජපක්ෂව. ඇය මගේ් රඟපෑම් දැකලා ඩාන්සින් ස්ටාර් දැකලා තමයි මාව
ප්‍රධාන චරිතයට ගන්න කැමැති වුණේ.
අධ්‍යක්ෂක සඳුන්ට අවශ්‍ය වුණේ අලුත්ම නිළියක් යොදා ගෙන මේ චිත්‍රපටය කරන්න. අපි එක
එක්කෙනාගේ නම් යෝජනා කළා. ඔය අතරෙදි තමයි මට හෂිනිව මතක් වුණේ. ‘සිරස’ ඩාන්සින්
ස්ටාර් තුළින් මම ඇගේ දක්ෂතා හඳුනාගෙන හිටියේ. ඒ වගේම ඇගේ රුවත් ලස්සනයි. නටන්නත්
පුළුවන්. මේ සේරම නිසා තමයි මම හෂිනිගේ නම යෝජනා කළේ.
ඇගේ කුලුඳුල් රංගනයේ සාර්ථකත්වය පිටුපස ඔබත් සිටි බව මට හෂිනිම කීප වරක් කියා
තිබෙනවා.
හෂිනිව මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගැනීම පිළිබඳ කිසිම කෙනෙක් පසුතැවිලි
වුණේ නැහැ. මොකද එයා ඒ තරම් හොඳට මේ චරිතයේ රඟපෑවා. දර්ශන තලයට යන්න කලින් මම ඇයට
යම් යම් දේවල් කියා දුන්නා. විශේෂයෙන්ම ආදරය සම්බන්ධයෙන් ගොඩක් දේවල් කියලා දෙන්න
සිද්ධ වුණා. ඇගේ රංගනයේ කිසිම ආධුනික බවක් පෙනුණේ නැහැ.
‘ආදරය’ ගැන ගොඩක් දේවල් කියලා දෙන්න වුණා කිව්වේ චිත්‍රපටයට විතරයිනේ?
ඒකෙන් මම අදහස් කළේ මේ වගේ දෙයක්. අපි ඩයලොග් එකක් කිව්වත් ඒ ගැන හාර හාර හොයන්න
ඕනෑ. කවුරු හරි අපට බනිනවා නම් ඇයි බනින්නේ කියල අපි දැනගෙන ඉන්න ඕනෑ. එතකොටයි
සාර්ථකව අපේ රි - ඇක්ෂන් එක දෙන්න පුළුවන් වෙන්නේ. හෂිනි රංගනයට ආධුනික නිසා ඒ ගැන
එයාට අවබෝධයක් තිබුණේ නැහැ.
මේ දිනවල විකාශය වන ‘දෙගම්මැදියාව’ ටෙලි නාට්‍යයට ඔබ රංගනයෙන් වගේම නිෂ්පාදනයෙන්ද
දායක වෙනවා?
මම ටෙලි නාට්‍ය නිෂ්පාදයට අත පෙව්වේ ‘පූජාසනයෙන්’. ‘දෙගම්මැදියාව’ දෙවැනි ටෙලි
නාට්‍යය. වීරසිංහ දයානන්ද (ෂෝක්) එක්ක එකතු වෙලා තමයි මම මේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය
කළේ. මේ ටෙලි නාට්‍යය දෙකේම අධ්‍යක්ෂවරයා ෂර්ලි පී. දෙලංකාවල. ‘පූජාසනය’ ඉවර වෙන
කොටම තවත් ටෙලි නාට්‍යයක් ස්වර්ණවාහිනියත් එක්ක කරන්න අපට අවශ්‍ය වුණා. අපි කළා.
නළු නිළියන්ට, කාර්මික ශිල්පීන්ට සිදු වන අපහසුතා අසාධාරණකම් මැඬගෙන, ඒවා අවම කරගෙන
අපට මෙය කරන්න පුළුවන්කම ලැබුණා.
මොන වගේ අපහසුතා, අසාධාරණකම් ගැනද ඔබ කියන්නේ?
ක්ෂේත්‍රයේම නිරත කලාකරුවන් ටෙලි නාට්‍යය නිර්මාණය කරද්දී ඔවුන්ගේ නිර්මාණවලට දායක
වූ සමහර කලාකරුවන්ට එහෙම අසාධාරණකම් වුණා. අපි යමක් කරන්න ඕනෑ ආදර්ශමත් විදිහටයි.
අපේම සහෝදර කලාකරුවන්ට ශක්තියන් වෙන්න මම උපරිම උත්සාහ කළා. ඒ අයත් මට හැම වෙලාවෙම
ශක්තිය ලබා දුන්නා. මම හැමෝටම ගරු කරන කෙනෙක්. ඒ ගරුත්වය මට අනෙක් අයගෙනුත්
ලැබෙන්නේ ඒ නිසයි.
‘දෙගම්මැදියාවේ’, ‘සිරිමල්’ මම දකින්නේ ඔබේ සුපුරුදු රංගන රටාවේ විප්ලවීය වෙනසක්
සිදු කළ චරිතයක් විදිහට.? ඇත්තෙන්ම සිරිමල් කියන්නේ පරමාදර්ශී චරිතයක් කියා මට
හිතෙනවා. ඔහු තම මව, සහෝදරියන් ගැන හිතන, පවුල් බර කරට ගත් ගොවි තරුණයෙක්.
මේ චරිතය මට අභියෝගයක් වුණා. මම සියයට සීයක් නාගරික තරුණයෙක්වත්, සියයට සීයක් ගැමි
තරුණයෙක්වත් නෙවෙයි. මේ දෙක අතර මැද ජීවත් වෙන කෙනෙක්. සරමක් ඇඳගෙන බුලත් විට කාලා,
වෙලට බැහැලා කුඹුර කොටන එක මට ටිකක් අමාරු වුණා. මොකද මට ඒවා හුරු නැති නිසා. එතනදි
බිමල් ජයකොඩි සහ රොෂාන් රවීන්ද්‍ර මට ලොකු සහයක් දුන්නා. ‘සිරිමල්’ මම ආසාවෙන් රඟපෑ
චරිතයක්. නළුවෙක් වුණාම සමාජයේ ඕනෑම චරිතයක් නිරූපණය කරන්න පුළුවන් වෙන්න ඕනෑ කියලා
දැන් මට හිතෙනවා.
මේ ටෙලි නාට්‍ය දෙකේදීම අධ්‍යක්ෂවරයා වශයෙන් ෂර්ලි තෝරා ගන්න විශේෂ හේතුවක්
තිබුණාද?
මම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරලා ඒකේ මේන් රෝල් එක රඟපාලා හයිලයිට් වෙන්න ආසාවක්
නැහැ.
ෂර්ලි කියන්නේ ටෙලි නාට්‍යය කලාව ගැන හොද අවබෝධයක් තියෙන කෙනෙක්. ඔහුත් සමඟ මට වැඩ
කිරීම පහසුවක්. නිෂ්පාදකවරයා හැටියට ඔහු මට මගේ පරාසය දීලා තියෙනවා. මම,
අධ්‍යක්ෂවරයා හැටියට ඔහුගේ පරාසය ඔහුට ලබා දී තියෙනවා. අපි වැඩ කරන්නේ මේ අවබෝධයත්
එක්ක.
සිරිමල්ගේ චරිතය ඔබ සාර්ථකව රඟ නොපෑ බව කිසිවකු පැවසුවොත්?
ඒ චරිතය සාර්ථකද, අසාර්ථකද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ප්‍රේක්ෂකයෝ නම් මට කතා
කරලා කියනවා ‘සුරාජ් මේ චරිතයේ හරි වෙනස්. ඔයා ඒක හොඳට කරනවා ‘ කියලා.
ඒක නෙවෙයි ඇත්තද සුරාජ් මේ ක්ෂේත්‍රයේ යොවුන් සුරූපී නිළියක් එක්ක කිට්ටු ඇසුරක්
තියෙනවා කියන්නේ?
ඔව්, එහෙම සමීප ඇසුරක් තියෙනවා. අපේ කලා කටයුතුවල බාධාවක් නොවෙන්න අපි ඇසුරු කරනවා.
ළඟදී විවාහ වෙන්න සූදානමකුත් තියෙනවලු?
දැන්මම විවාහ වෙන්න අදහසක් නැහැ. ඊට කලින් තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. කාලයට අනුව
සියල්ල හොඳින් සිදු වේවි.
ඈ කවුද කියා දැනගන්න ඔබේ ප්‍රේක්ෂකයෝ නොඉවසිල්ලෙන් ඇති?
ඒක දැන්මම කියන්න බැහැ. ඉදිරියේදී හැමෝටම දැනගන්න ලැබෙයි.
සැබෑ ආදරයක අවසානය විය යුත්තේ විවාහය?
හෙට මොනවා වෙයිද කියලා අපි කාටවක් කියන්න බැහැ. අද තියෙන ජනප්‍රියත්වය හෙට නැති
වෙන්න පුළුවන්. අනාගතය කොහොම වෙයිද කියලා අනාවැකි කියන්න බැහැ. ඒත් මම ඈට ගොඩාක්
ගරු කරනවා. ඒ ගරුත්වය රැක ගන්න තමයි මම හැමදාටම උත්සාහ කරන්නේ.
කලා ලොවේ නැවුම් බලාපොරොත්තු මොනවාද?
ලබන වසරේ මගේ නර්තන ප්‍රසංගයක් පවත්වන්න අදහසක් තියෙනවා. එය නව ආරක නර්තන
ප්‍රසංගයක්. ඒ වගේම මට චිත්‍රපට දෙක තුනකට ආරාධනා ලැබුණා. හිතට සෑහුණොත් ඒවට
සම්බන්ධ වෙන්නත් ඉඩ තියෙනවා.
සංවාදය -
අසංක දේවමිත්ර පෙරේරා
ඡායාරූප -
ටෙනිසන් එදිරිසිංහ
|