මෙන්න ෂැඩෝ ස්ටාර්ස්

අපේ තනි නොතනියට හැමදාමත් ළඟට වෙලා ඉන්නෙ හෙවණැල්ල කියලයි කතාවට කියන්නෙ. ඒ අපේ හැඩහුරුකමට සමාන කෙනා හෙවණැල්ල වන නිසාමයි. අපි එහෙම හිතාගෙන හිටියට අපි වගේ තවත් කෙනෙක් මේ ලෝකෙ කොහේ හරි ඉන්නට පුළුවන්.

මතකද ඔබට බැරැක් ඔබාමාට සමාන හැඩහුරුකම් උරුම කිහිප දෙනකුම ලෝකයේ විවිධ ප්‍රදේශවලින් හමු වූ අපූරු පුවත. මට නම් එදා හිතුණෙ ලෝකෙ එක වගේ හත් දෙනෙක් ඉන්නව කියන කතාව ඇත්තක් කියලයි. ඒ කතාවට තවත් උදාහරණයක් පසුගිය සඳුදා හැන්දෑවෙ මට මුණ ගැහුණා.

මේ පිටු පුරා දිවෙන ඡායාරූප දෙසත් පසු කවරය සරසන ඡායාරූපය දෙසත් ඉතා ඕනෑකමින් බලන්නට මා ඔබට පළමුවෙන්ම ආරාධනා කරනවා. ඉන් පසුව ඔබේ දෑස තදින් වසාගන්න.

දැන් ඔබ කියාවි ජිප්සීස් සුනිල් පෙරේරා, පොඩි ළමයා, බෙග් මාස්ටර්, එල්විස් ප්‍රෙස්ලි, මිස්ටර් බීන්, මයිකල් ජැක්සන් කියල . . . ඔබ මතක් කරාවි ඔවුන්ගෙ නව රංගන රටාව . . . මිස්ටර් බීන් මතක් වෙලා මුවඟ හසරැල්ලකුත් නැඟේවි.

දැන් මේ ලිපිය කියවන්නට මම ඔබට ආරාධනා කරනවා. ඔබට පුදුමත් හිතේවි. මේ ඉන්නෙ මේ සුප්‍රසිද්ධ චරිතවල සෙවනැලි කිව්වම . . .

ඇත්තටම ඔවුන් දක්ෂයින් . . . ඉතාමත් නිවැරැදිව, නිරවුල්ව අනුකරණය කරන්නට දස්කම් දක්වන ඔවුන් අපට නිතර දෙවේලෙ හමු වෙන්නෙ ස්වර්ණවාහිනියේ ෂැඩෝ ස්ටාර් හරහා.

දැන් අපි මේ දක්ෂයන් හය දෙනාගේ සැබෑ තතු වෙත ළං වෙමු. මුලින්ම ඔහුගේ කතාව කියන්නට මා ආරාධනා කරන්නෙ අපේ රටේ දක්ෂ ගායන ශිල්පියකුගේ රුව අපට ගෙනෙන අනුරට. අනුර පළිහවඩනට . . . අනුර පළිහවඩනට . . . ඔහු තමයි ජිප්සීස් සුනිල්ගේ රුව මෙන්ම හඬ අපට යා කරවන ආදරණීය සගයා.

‘මං පුංචිම සන්ධියේ පානදුරේ සංගීත සංදර්ශනයකදී තමයි සුනිල් පෙරේරා මහත්තයව මුලින්ම සජීවීව දැක්කෙ. ජිප්සීස් ගීත අහල එදා මං අමුතුම ලෝකෙක තනි වුණා මට මතකයි, ඒ ගීත අහද්දී මගේ හිත ඈතට පාවෙලා වෙන කොහේදෝ නැවතුණා.

මං තනි වුණු ඒ ලෝකෙ රජ්ජුරුවො වුණේ සුනිල් අයියා. ඒ සුන්දර චරිතයට මා ඉතා තදින් ආදරය කළා. වයසත් සමඟ ඒ ආදරය දළුලා වැඩුණා. මං සුනිල් අයියට ලියුම් 200, 300 ක් විතර ලියුවා. ජිප්සීස් ගීත එකතු කළා. අදටත් මං ළඟ ඒ හැමදේම තියෙනවා. ජිප්සීස් ගායක කණ්ඩායම පෙනී සිටි වෙළෙඳ දැන්වීම් පවා මා තවමත් පරිස්සම් කරන්නෙ හරිම ආදරෙන්.

මෙන්න මේ අතරෙදි මට ජිප්සීස් වාදක මණ්ඩලයට සම්බන්ධ වෙන්න තදබල ආසාවක් ඇති වුණා. මං සුනිල් අයියාට ඒ බව දැන්නුවා. නමුත් සහෝදරයන්ගේ සංගීත කණ්ඩායමක් වුණ නිසා සුනිල් අයියා ඊට කැමති නොවුණත් ඔහු මට වෙනත් සංගීත කණ්ඩායමක් හොයලා දුන්නා.

පාසල් කාලේ ඉඳන් මගේ තිබුණු ගායකයාගේ හීනය හැබෑවීමත් සමඟ මගේ හිතේ සුනිල් පෙරේරා මහත්තයා තව තවත් ජීවත් වුණා. මං ඔහු විදියට කොණ්ඩෙ, රැවුල වැව්වා. අඳින්න පළඳින්න පටන් ගත්තා. සංගීත කණ්ඩායම්වල ගී ගැයුවා.

මේ අතරතුර තමයි මට ෂැඩෝ ස්ටාර් සඳහා සහභාගි වන්නට අවස්ථාව උදා වුණේ. මං මේ තරගයට සහභාගි වුණේ හරිම ආදරයකින්, ගෞරවයකින්. ඒ ගෞරවය මේ මොහොතෙත් මට තියෙනවා. මං තරගය අතරතුර දී සුනිල් අයියට කතා කරල කිව්වා. ඔහු තවත් වරෙක මගේ තරගය විනිශ්චය කරන්නට පැමිණියා.

මේ හැම මොහොතකම එතුමා හදවතින් අව්‍යාජව මට සුබ පැතුවා. ඒක මට ලොකු ශක්තියක්. මේ තරගය හරහා මට වුවමනා වුණේ සුනිල් පෙරේරා මහතාට තවත් ගෞරවයක් එක් කරන්නටයි.

මේ මොහොතේ ස්වර්ණවාහිනී ආයතනයේ සියලු දෙනාට වගේම මට අත දුන් හැම දෙනාමත් ඉතා ආදරෙන් සිහි කළ යුතුමයි.

අනුර පළිහවඩන එහෙමත් නැත්නම් ෂැඩෝ ස්ටාර් හි සුනිල් පෙරේරාට පසුව මම නැවතුණේ පොඩි ළමයා ළඟ. ‘කොහොමද?’ මං කතාවට වැටුණෙ මුව පුරා තවරාගත් හිනාවත් එක්කමයි. ෂැඩෝ ස්ටාර් හි පොඩි ළමයා එහෙමත් නැත්නම් ශිරාන් චන්දන පීරිස්. මේ ඔහුගේ කතාවයි.

මගේ ගම පානදුරේ. පානදුරේ කියන්නෙ සංගීතයට කෙම් බිමක් වුණ නගරයක්. ඉතිං ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මං ආස කළේ ගායන ශිල්පියෙක් වෙන්න. මේ හීනෙත් හිතේ තියාගෙන මං කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං තනියම සින්දු කිව්ව වාර අනන්තයි.

සංගීත කණ්ඩායමකට සම්බන්ධ වුණාට පස්සෙ මං හිතේ තිබුණ හීනය හැබෑ කරගන්න උපරිම උත්සාහ ගත්තා. මං වේදිකාවට යන්න තෝර ගත්තෙ පොඩි ළමයගෙ චරිතය. මුලින්ම විවිධ දුෂ්කරතා මැද්දෙ පොඩි ළමයා විදියට ගීත ගායනා කළා.

බොහෝ දෙනකුගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා පොඩි ළමයා වගේම සාජන්ට් නල්ලතම්බි චරිතයටත් මං ආදරය කළා.

ෂැඩෝ ස්ටාර් සඳහා යොමු වුණේ මේ අතුරතුර දී. ස්වර්ණවාහිනිය අපේ සැඟවුණු හැකියාවන් කරළියට ගෙන එන්නට හොඳ වේදිකාවක් තනා දුන්නා. ඒ වේදිකාව මත උපරිම දස්කම් දක්වන්නට අපි ඉතා වෙහෙසෙනවා.

ඉදිරියේදී මගේම කියා අලුත්ම චරිතයකින් රසික රසිකාවියන් අතරට යන්නටයි මං බලාන ඉන්නෙ. මේ ගමන යන්නට අවශ්‍ය ශක්තිය ලබා ගන්නට මා විවිධ චරිත නිරූපණය කළා. ඒ චරිතවල නියම උරුමකරුවන්ට මා මේ මොහොතේ හද රැඳි ප්‍රණාමය පුද කරන්නට කැමතියි.

මට අවශ්‍ය වුණේ රසිකයන් පිනවන්නටයි. මගේ හාස්‍ය රංගනයෙන් සහ ගායනයෙන් කෙනෙකුගේ හිත සතුටු වෙනවා නම් මං පුංචි කාලෙ දුටු හීනය සැබෑ වෙලා කියල මට සතුටු වෙන්න පුළුවන්.

එහෙම නම් ශිරාන්ට දැන් සතුටු වෙන්නට පුළුවන් කාලයයි උදා වෙලා තියෙන්නෙ. ඔහුගෙ රංග ලීලාවෙන් හා ගායන රටාව ෂැඩෝ ස්ටාර්ස් හරහා කොතරම් අපව අමන්දානන්දයට පත් කොට තිබෙනවාද?

පොඩි ළමයාගෙන් සමුගෙන මං නැවතුණේ එල්විස් ප්‍රෙස්ලි ළඟ. ගිටාරය, ඔහුගේ නවමු ඇඳුම් පැළඳුම් විලාසය මට නං හිතන්නවත් බැහැ මේ ඉන්නෙ එල්විස් නෙවෙයි කියලා. ඒත් මේ ඉන්නෙ ඩැරල් වයිට් . . . කොහොමද ජාඇල ඩැරල් වයිට් එල්විස් ප්‍රෙස්ලි බවට පත් වුණේ. මේ ඒ කතාවයි.

මං පුංචි කාලෙ ඉඳලම එල්විස්ට ගොඩාක් ආදරය කළා. ඔහු තරම් මා හිත තුළ ජීවත් වුණ වෙනත් කලාකරුවෙක් නැති තරම්. මට උවමනා වුණේ හැඩ රුවින් හෝ ඔහුට සමාන වෙන්නටයි. ඒ හරහා එල්විස් ගැන අපේ රටේ ජනතාවට කියන්න මට අවශ්‍ය වුණා. මං ඒ ආකාරයට කොණ්ඩය වැව්වා. එල්විස් ප්‍රේස්ලිගේ ඡායාරූප දිහා බලාගෙන මං කණ්ණාඩිය දිහා බැලුවෙ හරිම ආසාවෙන්.

මේ තරගයට පෙර සිටම මං ඔහුව අනුකරණය කළා. ගිටාර් වාදනය කරන්න හුරු වුණා. මගේ ජීවිතය එල්විස් වුණ කාලයක තමයි ස්වර්ණවාහිනියේ ෂැඩෝ ස්ටාර්ස් ඇරැඹුණේ.

එල්විස්ට ගෞරවයක් විදියට ඒ චරිතය අනුකරණය කරන්නට තමයි මං මේ කරළියට ගොඩ වුණේ. මේ කරළිය තුළ සැබෑ දක්ෂයන් විශාල පිරිසක් හිටියා. ඔවුන්ගේ විවිධ හැකියාවන් අතර මගේ චරිතයටත් විශේෂ තැනක් ලැබුණා.

එල්විස් කියන්නෙ ලෝක පූජිත චරිතයක්. ඒ චරිතයට පුංචි හෝ ගෞරවයක් එක් කරලන්නට ඉදිරියේ දී ඔහුට ගෞරවයක් වන විදියට කටයුතු කරන්නටයි මං හිතාගෙන ඉන්නෙ. 70 දශකයේ ජීවත් වූ එල්විස් ප්‍රෙස්ලි මෑත යුගයේ මතක අතරට ගෙන එන්නටයි මා වෙහෙසෙන්නෙ.

ඒ වෙහෙසට ජවය දෙන ස්වර්ණවාහිනී ආයතනයටත් අපේ පුංචි රටේ සියලු ජනතාවටත් මං හැමදාම ණය ගැතියි.

ඩැරල් වයිට්ගෙන් පසුව මං හමු වුණේ අනුරුද්ධ ෆොන්සේකා. ස්වර්ණවාහිනියේ ෂැඩෝ ස්ටාර් හරහා මයිකල් ජැක්සන්ගේ චරිතය අප අතර ජීවමාන කරන ඔහුත් දක්ෂයන් අතර සැබෑ දක්ෂයෙක්. මේ ඔහුගේ හඬයි.

‘අවුරුදු දොළහෙදි විතර තමයි මයිකල් ජැක්සන් ගැන මං ඇහුවෙ. එදා ඉඳල ජැක්සන්ගෙ ගීත අහන්නටත් නර්තන නරඹන්නටත් මං හිටියෙ නොඉවසිල්ලෙන්. මයිකල් ජැක්සන්ගේ ජීවිතයට සමීප වෙලා ඔහුගෙ කලා නිර්මාණ ගැන හොයන්න මං යොමු වුණේ දන්න කියන කාලෙදි. මයිකල් ජැක්සන් කියල නම ඇහුණු ඕනෑම තැනකදි මං දෙවතාවක් ඒ ගැන හෙව්වා. ඔහුගේ සී. ඩී තැටි, වී. සී. ඩී තැටි එකතු කරල මං දවස පුරා ජීවත් වුණේ ඒවත් එක්ක.

මයිකල් ජැක්සන්ගේ නර්තන රටාව මගේ ඇඟට දැනෙන්නට පටන් ගත්තෙ මෙන්න මේ කාලෙ. මුලින්ම ඉගෙන ගත්තෙ ‘මූන් වර්ක්’ කියන නර්තන රටාව. ඉන් පස්සෙ මං විවිධ පියවර ඉගෙන ගත්තා.

කොණ්ඩෙ වවන්න මයිකල් ජැක්සන්ගේ විලාසිතා රටාවන් අඳින්න පළඳින්න මං හුරු වුණා. ඇත්තටම මං හිතුවෙ නෑ මට ඔහුව මෙතරම් හොදට අනුකරණය කරන්න පුළුවන් කියලා.

ඔහු මේ ලෝකෙ හැරදාල ගිය දවස තමයි මගේ ජීවිතේ අවාසනාවන්තම දවස. ඔහු මේ ලෝකයෙන් සදා සමුගත්තත් මේ ලෝකෙ ඔහු ජීවමානයි.

මට අවශ්‍ය වෙලා තියෙන්නෙ ඒ අමරණීය මිනිසාට උපහාරයක් වන්නටයි.

මේ මොහොතේ මට උදව් උපකාර කරන තලපත්පිටිය ප්‍රදේශවාසීන් ඇතුළු මුළු ශ්‍රී ලංකාවේ හැමෝම මතක් කළ යුතුමයි.

මයිකල් ජැක්සන්ට පසුව හමු වුණේ මොහිදීන් බෙග් කලාකරුවාණන් අපේ හිත මත නැවත ජීවමාන කරන සිසිර ගුණරත්න. ඔහු කතාවට වැටුණේ ඉතිහාසයට මාවද රැගෙන යමින්.

‘මං බෙග් මාස්ටර්ව මුලින්ම දැක්කෙ 70 ගණන්වල බේරුවල මසීර් හජ්ජියාර් ගේ ගෙදර පැවැත්වුණ සාදයකදී. ඔහු හරිම නිහතමානී චරිතයක්. පස් වේලටම පල්ලියට යන බෙග් මාස්ටර් හැමෝමත් එක්ක නිහතමානීව කතා කළ අපූරුව මට හොඳට මතකයි. එදා මගේ හිතේ මාස්ටර් සදා නොමැකෙන්න තැන්පත් වුණා.

කාලය ගත වෙද්දී මං ගීත ගායනා ක්ෂේත්‍රයට යොමු වුණා. මං පැදුරු සාජ්ජ, ප්‍රසංග වේදිකාවල ගායනා කළා. එතනදි බොහෝ දෙනා මගෙන් ඉල්ලුවෙ බෙග් මාස්ටර්ගෙ ගී. ඒ නිසාම මගේ හිතේ ජීවත්වන බෙග් මාස්ටර් ජීවමාන කරන්න මට හිතුණා.

ඒ ප්‍රතිඵලයක් විදියට තමයි මං ෂැඩෝ ස්ටාර් හරහා මගේ හැකියාව මුළු ලංකාව වෙතට පෙන්නුවෙ. මට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්ත. ඒ සතුට මාව තව තවත් ඉදිරියට ගෙන ගියා.

මේ අතරතුර බෙග් මාස්ටර්ගෙ තිබුණ මනුසත් ගති ගුණත් මං ජීවිතයට ඇඳා ගත්තා. ස්වර්ණවාහිනී ආයතනයේ උපදෙස් මත ඉදිරියේදී නිර්මාණ සඳහා දායක වෙන්නට හිතාගෙන ඉන්නෙ.

මට මේ කටයුතුවලට උදව් දෙන ඩී. ඩී. ගුණසේන මහත්මාත් බේරුවල, පන්නිල ජනතාවත් ආදරයෙන් මතක් කළ යුතුයි. මොහිදීන් බෙග් වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවකුගේ චරිතය නිරූපණය කරන්නට ලැබීමත් මට ලොකු භාග්‍යයක්.

නොදැනුවත්වම කතා බහේ අවසානයටත් ඇවිත්. අවසානයේ විඩාව නිවෙන්නටත් එක්ක මං නැවතුණේ මිස්ටර් බීන් ළඟ. ඔහුගේ ඉරියව් රටාව නැවතත් මාව නතර කළේ පුංචි තිරයේ සැබෑ බීන් ළඟටයි. ෂැඩෝ ස්ටාර් සඳහා බීන්ගේ චරිතය මවන මහරගම ප්‍රසාද් ගලප්පත්ති. ඔහු බීන් වුණේ කොහොමද?

ඒක හරි අපූරු කතාවක්. මට ෂැඩෝ ස්ටාර් වැඩ සටහනට සහභභාගී වෙන්නට කියලා බල කළේ මං සේවය කරන සිංගර් ආයතනයේ ටෝනි මහත්මයා. ඒ වෙන කොටත් මට මවන්නට චරිතයක් තිබුණෙ නැහැ. වැඩ සටහනට ආවට පස්සෙ තමයි හිතුවෙ මිස්ටර් බීන් ගේ චරිතය මට ගැළපේවි කියල.

මං ගෙදර ගිහිං කණ්ණාඩිය ඉස්සරහට වෙලා මිස්ටර් බීන් වගේ රඟපාල බැලුවා. ඒත් මට මුලින්ම තේරුණේ නෑ මට ඒ චරිතය පෑහේවි කියල. ටික කාලයක් ගත වෙද්දි මිස්ටර් බීන් මගේ ඇඟේ ජීවත් වෙන්නට පටන් ගත්තා.

දිගින් දිගටම පුහුණු වෙද්දී මට පුදුම හිතුණා මට මෙතරම් අනුකරණ හැකියාවක් තියෙනවද කියල. ඇත්තටම මං මේ වෙනුවෙන් බොහෝ කැපවීම් කළා. ඒ කැපවීමේ ප්‍රතිඵල මං අද විඳිනවා.

ඉදිරියේදී හොඳ නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්නටත් ආසයි. මේ තත්ත්වය අපට උදා කර දුන් ස්වර්ණවාහිනී ආයතනයට අප සදා ණය ගැතියි.

ෂැඩෝ ස්ටාර් අවසන් තරගකරුවන් හය දෙනාගේ සුන්දර කතාබහ එසේ නිමා වුණා. ඇත්තටම ඔවුන් දක්ෂයින් . . . ඒ දස්කම් ඉදිරියේ දී ඔවුනට හොඳ ආභරණයක්ම වේවි . . ඔවුන් දිදුලවාවි . . . අපි එදාට ආයෙමත් හමු වෙමු.

 
 
 
  •  
  •