නුවන්ගේ සිනමා සවාරිය

සිංහල සිනමා ඉතිහාසයේ අබා රන් අකුරින් ලියැවේ

සිංහල සිනමා වංශ කතාව රන් අකුරින් ලියැ වූ ජැක්සන් ඇන්තනිගේ අබා මේ වන විට ගම් දනව් සැරිසරමින් රුපියල් කෝටි විසි දෙකක් ඉක්ම වූ ආදායමක් උපයා තිබේ.

හැට දෙවසරක් සපිරුණු සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් සිංහල චිත්‍රපටයක් ලැබූ වැඩිම ආදායම මේ විශිෂ්ට සිනමාකරුවාගේ අබා චිත්‍රපටයයි.

මවුබිමේ ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයක් අපූර්ව සිනමා නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂක සිත් වැළඳ ගත් අබා තවමත් ගම් පියසේදී සාර්ථකව ඔබ හමු වේ.

එසේ කීර්තියක් ලබා වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබූ අබා තමා ජීවත් වෙන රටට පැමිණෙන තුරු මේ පින්බිමේ ඉපිද විදෙස් රටක ජීවත් වන්නා වූ බොහෝ පිරිස් බලා සිටිති. එය ජැක්සන් ඇන්තනි නම් වූ අති විශිෂ්ට සිනමාකරුවා ලැබූ ජයග්‍රහණයකි.

ලක්ෂ 320 යි

සිංහල සිනමාවේ විශිෂ්ටතම නළුවෙකු ලෙස සම්මානනීය වූ සනත් ගුණතිලකගේ එකමත් එක රටෙක ප්‍රේක්ෂක විචාරක කිත් පැසසුම් මැද විජයග්‍රාහී 75 වැනි දිනය සපුරා ප්‍රදර්ශනය වන මේ මොහොතේ රුපියල් ලක්ෂ 320 ඉක්මවා තිබීම සුවිශේෂී කරුණක් වේ.

සනත් ගුණතිලක සිනමාකරුවකු කළ එකමත් එක රටෙක නිරෝෂා පෙරේරා කතා නායිකාව ලෙස ප්‍රබල රංගනයක් ඉදිරිපත් කළ හොඳ චිත්‍රපටයකි.

රොෂාන් රවීන්ද්‍ර, චාන්දනී සෙනෙවිරත්න, දමිතා අබේරත්න, හිමාලි සයුරංගි, සේමිණි ඉද්දමල්ගොඩ, නිල්මිණි බුවනෙක, ලියෝනි කොතලාවල, කුමාර තිරිමාදුර වැනි විශිෂ්ට රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් මේ සඳහා දායක වී තිබේ.

දින 30 යි

ලක්ෂ 240

ජූලියාට ඉහළ කැමැත්තක්

සිංහල සිනමාවේ තාරුණ්‍යය හරි අපූරුවට විදහා දැක් වූ සම්පත් ශ්‍රී රෝෂන්ගේ ජූලියා දින 30 ක් තුළ රුපියල් ලක්ෂ 240 ක් ලබමින් සාර්ථක චිත්‍රපටයක් ලෙසින් නම් වේ.

චරිත් අබේසිංහ කතා නායකයෙකු ලෙස ද පසුබිම් ගායකයෙකු ලෙස ද චිත්‍රපට නිෂ්පාදකයකු ලෙසද හා හා පුරා කියා රිදී තිරයට පිවිසි ජූලියා චිත්‍රපටය මෙන්ම එහි එන පසුබිම් ගී ද මේ වන විට රසික සිත් වැළඳ ගෙන ඇත්තේ හරි අපූරු අයුරිනි.

චරිත් අබේසිංහ, බාචි සුසාන්, උරේෂා රවිහාරි, භාතිය ජයකොඩි, සංතුෂ් ලියනගේ සහ ග්‍රේෂන් ආනන්දගේ විශිෂ්ට ගී කිහිපයක් ජූලියාට අඩංගු වී තිබේ.

රවීන්ද්‍ර රන්දෙණිය, රොබින් ප්‍රනාන්දු, වීණා ජයකොඩි, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙඩී විද්‍යාලංකාර යන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ශිල්පිනියන්ගේ අති විශිෂ්ට රැඟුම් සමඟ චරිත් අබේසිංහ, සම්පත් ශ්‍රී රෝෂන්, නදීෂා හේමමාලි, සසන්ති ජයසේකර යන තරුණ නළු නිළියන්ගේ දක්ෂ රංගනයන්ද ජූලියා හි ඇතුළත් වේ.

ඩොනල්ඩ් කරුණාරත්න නම් වූ විශිෂ්ට කැමරා අධ්‍යක්ෂවරයාගේ කැමරාකරණයද ජූලියා හි ආකර්ෂණයට හොඳ දායකත්වයක් සපයයි.

ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ ලව් ඉන් සෝරි හරහා රිදී තිරයට පා තැබූ හැඩකාර යෞවනියක වූ නිරෝෂා තලගල මේ දිනවල රූගත වෙන රොහාන් වැලිවිටගේ සුසීමා හි නීනාගේ ප්‍රබල චරිතයට පණ පොවන්නීය.

නීතා ජනප්‍රිය සුසීමාහි අසේලගේ පෙම්වතියයි. එදා සුසීමා ටෙලි සිතුවමේ නීනා වූයේ නිල්මිණි තෙන්නකෝන් නම් වූ අපේ කාලයේ ජනප්‍රිය දක්ෂ තාරකාවයි.

එසේ රිදී තිරයට පිවිසි නිරෝෂා පුංචි තිරයේ ජනප්‍රියම තරුවකි. මේ දිනවල අති සාර්ථන පබා හි නිරෝෂා හොඳ චරිත රංගනයක යෙදේ.

වෙළෙඳ දැන්වීම් හරහා ද ජනප්‍රිය තරුවක වී සිටින නිරෝෂා රඟපෑ තවත් ටෙලි නාට්‍ය රැසකි.

 
 
 
  •  
  •