සියල්ල දන්නවය කියලා හිතුවොත් ජීවිතේ ඉවරයි
කමල් හසන්ගේ දුව ස්රුති කමල් හසන්
මගේ තාත්තා විශිෂ්ට නළුවෙක් ඒකෙ දෙකක් නෑ. නමුත් ෂාරුක් ඛාන්ට මගේ ලොකු සෙනෙහසක්
තියෙනවා. මාලන් බ්‍රැන්ඩෝ නැති වුණ වෙලාවෙ නම් මට විශාල දුකක් ඇති වුණා. ඒ හන්දම
පුංචි පහේ ස්මාරකයකුත් හැදුවා. මගේ මෝඩ පාට් හන්දම කොල්ලෙකුට මා ගැන හිත යන්නෙත්
බොහොම කලාතුරකින්.
මම හැදුනෙ වැඩුනෙ හොඳ පෙනුමක් තියෙන අය ඉන්න පවුලක. මගේ අම්මා ශාරීනා, නංගි අක්ෂරා
සුපිරි නිරූපිකාවන් තරමට රූමත් ඇය. නමුත් වාසනාවකට වගේ නිළියක් වෙන්න නම් රූමත්
වෙන්නම ඕනෙ නෑ කියන මානසිකත්වයකින් මම ලොකු මහත් වුණේ. මේ නිසාම මම මගේ ඉස්කෝලෙ
කාලෙ කොල්ලොත් එක්ක ඇති වෙන්න බාස්කට් බෝල් ගහන්නත් ඉඩ ලැබුණා. නිළියක් වෙන්න නම්
රූමත් වෙන්න ඕනය කියන එක මම කොහෙත්ම විශ්වාස කළෙත් නෑ, කරන්නෙත් නෑ.
අද මම කරන දේ කරන තැනට මාව ඔප මට්ටම් කළේ සිනමාවයි, සංගීතයයි. හුඟක්ම පරණ හින්දි,
ඉංග්‍රීසි දන්න අපේ පරම්පරාවෙ අතළොස්සෙන් කෙනෙක් මම.
‘සංගීතය මගේ පූර්ණාකාලීන තේරීම වෙන්නෙත් මෙන්න මේ පසුබිම නිසයි. මම නවයෙ පංතියෙ
ඉද්දිත් ගණිතයට අන්තිම දුර්වලයි. ඒ කාලෙ මගේ ගණිතයට වැඩිම ලකුණු 26 යි. මේ හන්දම මම
ගණිතය වෙනුවට සංගීතය පැත්තට ඇදිලා ගියා. ඒ වගේම මට තේරුම් ගියා මම හින්දුස්ථානි
සංගීතයට ගොඩක් ලැදියි කියන එක.
ඒ විදිහට සංගීතය තෝරා ගත්තු මම වැඩිදුර සංගීතය ඉගෙන ගන්න ලොස් ඇන්ජලිස්වලට ගියා.
එතෙන්දි තමයි මට තේරුණේ මොන විදිහක හරි කලාවක් කරන්න නම් දැඩි කැපවීමක් කරන්න
වෙනවය, ජීවිතේ ඒ වෙනුවෙන් කැප කරන්න වෙනවය කියන එක. එහේ සංගීත පංතියෙදි දවසක්
ගුරුවරයෙක් කියපු දෙයක් මගේ හිතට බොහොම තදින් කා වැදුණා. එයා කිව්වා,
‘මම දන්නවා ඔයාගෙ ඇඟේ සංගීතය තියෙන විත්තිය. නමුත් ඔයා තේරුම් ගන්න ඕන ගායනය
කියන්නේ රොක් ස්ටාර් කෙනෙක් ඇඳන් ඉන්න සුපිරි ඇඳුම් දිහා බලං ඉඳිල්ල නෙමේය කියන එක.
ඒ වගේ හිස් දෙයක් වෙනුවෙන් මුදල් ගෙවන්න මම ලෑස්ති නෑ. සංගිතය හෝ වෙනත් ඕනෑම කලාවක්
හරියට කරනවය කියන්නෙ ඒක මිනිස්සු අතරට යන්නෙ කොයි විදිහට ද කියන එකයි. මේ මොහොතෙ
ඉඳලා ඔයා ගයන දේ ගැන මම විශ්වාස කරන්නෙ නෑ. ඔයා තවම ඒ තැනට ඇවිල්ලා නෑ’.
මේ වචන ටිකයි ගුරුවරයගේ උපදෙසයි හිතට ගත්තු මම මගේ දක්ෂතා වඩා හොඳින් එළියට ගේන්න
නර්තනයයි, රංගනයයි ඉගෙන ගත්තා.
රඟපෑම ගැන ගත්තොත් කැමරාව ඉස්සරහට ගියාට පස්සෙ මාත් එක්ක රඟපාන කෙනාව මම කලින්
දන්නවද නැද්ද, එයා මගේ හිතවතෙක් ද නැද්ද කියන දේවල් අදාළම නෑ. ඒක රඟපෑමක් එච්චරයි.
අඳින ඇඳුමත් එහෙමයි. ඒක තමන්ගෙ ඇඟට ගැළපෙන්න ඕන. රඟපානවා කියන්නෙ තිරයෙදි අනිත් අයට
පේන්න කරන දෙයක්. විනෝද ගමනක් යද්දි අඳින ඇඳුම තමන්ට ගැළපෙනවද නැද්ද කියන එක අදාළ
නෑ. නමුත් රඟපාද්දී තමන් අඳින ඇඳුම සියයට සියයක්ම තමන්ගේ ඇඟට ගැළපෙන්න ඕන. එහෙම
නැති වුණොත් තමන්ම තමයි ජෝක් වෙන්නෙ.
ස්විමිං කිට් එකක් අඳීන එක, සිප ගැනීම්, දර්ශනයට අදාළ නම් එය කළ යුතුමයි. වැදගත්
වෙන්නෙ ඒ දේ කරන්නෙ ඇයි, ඒක අදාළ නිර්මාණය ඉල්ලා හිටිනවද කියන එකයි. මොකද නළුවෙකුයි
නිළියෙකුයි අතින් අල්ලන් හිටියය කියලා ළමයි හම්බ වෙන්නෙ නැහැනෙ. ඒ නිසා නාන ඇඳුමෙන්
පෙනී ඉන්න එක ගැනවත්, සිප ගැනීමේ දර්ශනයක් ගැනවත් මම කලබල වෙන්නෙ නෑ. මට වැදගත්
වෙන්නෙ ඒක ඇයි කරන්නෙ කියන එක විතරයි.
සිනමාව කියන ක්ෂේත්‍රයේදී අපි අලුත්. ඒ වගේම වෙනස්ම පරම්පරාවක්. ඒ නිසා අපිට
අලුතින් ක්ෂේත්‍රයට එන අයව මේ ක්ෂේත්‍රයේ හිටපු හෝ ඉන්න දැවැන්තයන් එක්ක විශේෂයෙන්
අපේ දෙමව්පියන් එක්ක සංසන්දනය කරන එක තේරුමක් නැති දෙයක්. මම තරයේ පිළිගන් දෙයක්
තමයි ඔබට කමල් හසන් හෝ ශාරිකා ගේ (අම්ම තාත්තා) රඟපෑම් බලාගන්න ඕන නම් කරුණාකරලා ඒ
අය රඟපාන චිත්‍රපටි බලන්න. මගෙන් ඒ අයව හෝ ඒ අයගේ රඟපෑම් හෝ බලාපොරොත්තු වෙන්න එපාය
කියන එක.
මොකද මේක පවුලේ ප්‍රදර්ශනයක් නෙමෙයිනෙ. මම තාත්තගෙ වැඩවලට කැමති ඒවා අධි
යථාර්ථවාදී වුණත් ඒක හැබෑවක් හැටියට පෙන්නන්න තාත්තට තියෙන හැකියාව නිසයි. තාත්තගෙ
ඊළඟ චිත්‍රපටයේ සංගීතය මට කරන්න දීලා තියෙන්නෙත් මට ඒක කරන්න පුළුවන්ය කියන
විශ්වාසය උඩයි. ඒකටත් තාත්තා පස්සෙන් ඉඳගෙන ගුරුහරුකම් දේවි හරියට.
අපේ තාත්තගේ විවාහ ජීවිතය, ඒ අය වෙන් වෙච්චි එක ගැන මට කියන්නෙ තියෙන්නෙ, මුලින්ම
ඒක මගේ විවාහයක් නෙවෙයි. ඒ හන්දා ඒ ගැන එක්තරා තැනකින් එහාට මට කතා කරන්න
පුළුවන්කමක් නෑ. මට හය හතර තේරෙන කාලෙම මම එයාල දිහා බැලුවෙ දෙමවුපියන් හැටියට
නෙවෙයි. මම තේරුම් ගත්තා එයාල තනි තනි පුද්ගලයන් දෙන්නෙක්ය කියන එක.
ඒ නිසාම
තවදුරටත් ඒ වගේ දෙන්නෙකුට එකට ඉන්න බැරි ඇයි කියන දේත් හොඳ වෙලාවට මම තේරුම් ගත්තා.
සමහරක් ළමයින්ට නම් එයාලගෙ දෙමව්පියෝ හැමදාමත් දෙමව්පියෝ හැටියට ඉන්න ඕනය කියල
හිතනවා. ඒකෙ තේරුම් ඒ දෙන්නගෙ ජීවිතය, සතුට එතනින්ම ඉවරය කියන එකයි. මගේ දෙමව්පියො
මට නම් චමත්කාරයක්. නමුත් ඒ අය දිගටම විවාහය තුළ රැඳුණේ නැත්තෙ ඇයි කියන්න මම
දන්නෙත් නෑ. අවංකවම මම ඒක ගණන් ගත්තෙත් නෑ.
මගේ නංගි අක්ෂරා මම වගේ නෙවෙයි. ගොඩක් ලස්සන, මෘදු කෙනෙක්. කොටින්ම අපිව සහෝදරියො
වගේ පේන්නෙත් නෑ. එයා විශිෂ්ට නර්තන ශිල්පිනියක්.
මට සංගීතය ද රංගනය ද කියලා තෝරන්න දෙයක් නෑ. දෙවියන් ඒ අවස්ථා දෙකම මට දීලා
තියෙනවා. මම මට ලැබිලා තියෙන ජීවිතේ අද කරන්න පුළුවන් දේ කරනවා. මොකද හෙට මොකක්
වෙයිද කියන්න අපි දන්නෙ නෑ.
මා ගැන තවත් කරුණු ටිකක්.
* දැනට මම තනිකඩයි. ඒ නිසා මගේ කාලය, අවකාශය හා මාව තව කෙනෙක් එක්ක බෙදා ගන්න
සූදානමක් නෑ.
* මම නින්දෙන් ඇහැරෙන්නෙම ටී වී එක දාගෙනයි. මාව සම්පූර්ණයෙන්ම නින්දෙන් ඇහැරෙන්න
නම් මට සද්දෙ ඇහෙන්න ඕන.
* මට රෑට නින්ද නොයන ගතියක් තියෙනවා. සාමාන්‍යයෙන් මම නින්දට යන්නෙ පාන්දර පහට
විතර. මට හිතෙන විදිහට මගේ සංගීත වැඩ කරන්න හොඳම කාලය රාත්‍රී කාලයයි.
* මම රාත්‍රී සමාජ ශාලාවලට කැමැති නෑ. මම කැමැති මගේ යාළු මිත්‍රයො එක්ක නිදහස්
තැනක කාලය ගත කරන්නයි.
* මං ගැන පිරිමි ළමයින් උනන්දු වෙන්නෙ කලාතුරකින්. එහෙම හරි මට පිරිමි ළමයෙක් මුණ
ගැහුනම විනාඩි පහක් විතර කතාබහ කළොත් ඊට පස්සෙ මම අහන්නෙ අපි යමුද වීඩියෝ ගේම් එකක්
සෙල්ලම් කරන්න කියලයි. මට ආදර සම්බන්තා හරි නොයන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති. අනික
පිිරිමි ළමයෙකුට මගේ හිත ගියත් අන්තිමේ මිනිහා කොහේ හරි මෝඩ හිස් ගෑනියෙක් ළඟ නතර
වෙනවා.
* තාත්තා මට දීපු හොඳම උපදේශය තමයි වේදනාවෙන් තොර ජයග්‍රහණයක් නැතැයි කියන එක. ඒක
හැම ක්ෂේත්‍රයකටම පොදුයි.
* මම කැමැති අනං මනං නැතිව කෙළින්ම මගේ හැඟීමට ආමන්ත්‍රණයය කරනවටයි.
* ෂාරුක් ඛාන්ට මගේ පුදුම ඇල්මක් තියෙන්නෙ. එයා නියම රොක් ස්ටාර් කෙනෙක්. දවසක්
තාත්තට හිමි සම්මානය ගන්න මම ෆිල්ම් ෆෙයාර් ගිය වෙලාවක ෂාරුක්ව දැකලා මාව මට පාලානය
කර ගන්න බැරුව ගියා. මම එයා පස්සෙන් වැටිලා යන්න ගත්තම මිනිස්සු මාව අල්ලලා
නැවැත්තුවා.
ආයෙත් එයා එළියට ආවම එයගේ පස්සෙන් යන්න හැදුවත් එයා වේගයෙන් යන්න ගියා. මට බලාගන්න
පුළුවන් වුණේ එයා පිට කරපු සිගරට් දුම් වළලු ටික කැරැකි කැරැකි ඉහළ යනවා විතරයි.
* මමත් මගේ තාත්ත වගේ අදේවවාදියෙක් වෙන්න පුරුදු වෙලයි හිටියෙ. ඒත් මම දැන්
දෙවියන් අදහන කෙනෙක්. ඒ විදියට තාත්තගෙන් කැඩෙන එක මට හරිම අමාරු වැඩක් වුණා.
* බය නැති වෙනවට නම් මම හරිම බයයි. ඔබ සියල්ල දන්නවය, ඔබ කාටවත් පරද්දන්න බැරි
ජගතෙක්ය කියලා ඔබට හිතෙන්නෙ කොයි මොහොතද ඔබේ ජීවිතයේ නැවතීම පටන් ගන්නෙත් එතැනින්.
සවිඥානික බව නැති වෙන්නෙ කොතැනින්ද එතැනින් ඔබත් නැති වෙනවා.
සැකසුම -
රවී රත්නවේල්
|