ආකාස කුසුම් බලන්න එන්න ඒ සියල්ල ඔබටමයි
යළිත් අති විශිෂ්ට රංගනයක් ඔබට තිළිණ කරන මාලිනිය කියයි
සත්තකින්ම ඈ අපේ නිළි රැජනම බව සෙනෙහෙබර
මාලිනිය සන්ධ්‍යා රාණි හරහා අපට යළි යළිත් තහවුරු කර දුන්නාය
‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ ප්‍රථම රූප රාමුවෙන්ම ඔබ ග්‍රහණය කර ගන්නා මාලිනී
ෆොන්සේකා චිත්‍රපටය අවසන් වන තුරුම ඔබ ඉන් මුදා නොහරී.
ප්‍රථම සමීප රූපයේ පටන් ඇය සියුම්ය. ස්වභාවිකය. අතිශයෝක්තියෙන් තොරය. ඔබ ශ්‍රී
ලාංකික සිනමාව දැන සිටිය ද, නො සිටිය ද ඇය අග්‍රගණ්‍ය රංගනවේදිනියක බව ඔබ ක්ෂණයකින්
වටහා ගනී.
ප්‍රභාමත් තාරකාවක ලෙස තිරය මත දිග හැරෙන ඇගේ අතීත යොවුන් රූප සටහන් අසිරිමත්ය. මෙම
ඇගයුම ඇගේ විශිෂ්ටත්වයට පිදෙන උපහාරයක් පමණක්ම නොව සමස්ත සිනමා කලාවම උත්කර්ෂවත්ව
සැමරීමකි.
39 වැනි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙළලේ දී ‘රජත මයුර’ සම්මානයෙන් පුද ලද අපේ
නිළි රැජන මාලිනිය පිළිබඳ එදා ගෝවේ ජූරිය සිය හේතු පාඨය දැක්වූයේ එලෙසිනි.
‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ සන්ධ්‍යා රාණි ලෙසින් එසේ සම්මානනීය වූ මාලිනිය සිය
ප්‍රතිභාත්විත රංග ප්‍රභාව මේ පුංචි කොදෙව්වට පමණක් සීමා වූවක් නොවන බව මහත්
අභිමානයෙන් ලොවට කියා දුන්නාය.
එතැන් පටන් මෙසිරිලක, සකලවිධ කලා මාධ්‍යයන් හි වඩාත්ම
අවධානයට පාත්‍ර වූ කලා ශිල්පිනිය වූයේ ඇයයි. එමෙන්ම හුදී ජනයා අතර වඩාත්ම ගෞරවයට හා
ප්‍රසාදයට පාත්‍ර වූ සිනමා නිළිය වූයේ ද ඇයයි.
මාලිනිය ගේ අසිරිමත් රඟ සොබා සන්ධ්‍යා රාණි හරහා තම නෙතු අද්දර ජීවමාන වන දිනය
එළඹෙන තෙක් ඇගේ ආදරණීය සිනමා ලෝලීන් පෙර මග බලා සිටියේ මහත් නොඉවසිල්ලෙනි. ඒ සොඳුරු
සිහිනය සැබෑවක් වී මෙම 21 වැනි දින සිට කොළඹ රීගල් ඇතුළු CEL මණ්ඩලයේ සිනමාහල්
රැසක ‘ආකාස කුසුම්’ ප්‍රදර්ශනය ඇරැඹේ.
නමුත් ඒ බොහෝ දෙනෙකුට පෙර මාධ්‍ය ලෝකයේ සහෘදයන් වෙනුවෙන් සිරිත් පරිදි ‘ආකාස
කුසුම්’ අසිරිය රිදී තිරය මත සිත්තම් වූයේ පිරිපුන් සිනමා කෘතියක අපූර්වත්වයත්
සමගිනි. සැබැවින්ම සන්ධ්‍යා රාණි අපේ හදවතේ සෙනෙහසින් ලැගුම් ගත්තේ ඈ අපේ නෙතු
මානයේ ස්පර්ශ වූ පළමු
තත්පරයේ පටන්මය.
සත්තකින්ම, ඈ අපේ නිළි රැජනම බව සෙනෙහෙබර මාලිනිය සන්ධ්‍යා රාණි හරහා යළි යළිත් අපට
තහවුරු කර දුන්නාය. ‘ප්‍රථම සමීප රූපයේ පටන් ඇය සියුම්ය. ස්වභාවිකය. අතිශයෝක්තියෙන්
තොරය’ යනුවෙන් ගෝවේ ජූරිය එදා ප්‍රකාශ කළේ කෙතරම් සත්‍යයක්දැයි මට සැබැවින්ම ඒත්තූ
ගියේ ප්‍රේක්ෂකාගාරයේ හිඳ මාලිනියගේ අපූර්ව රංගන මහිමාලංකාරය දෙස ඇසි පිය නොහෙලා
බලා සිටිනා අතරතුෙර්ය.
‘ආකාස කුසුමක්’ ව අපේ සිනමා අඹරේ දිදුළන්නට බොහෝ කලකට
පෙරාතුව මා සන්ධ්‍යා රාණි පිළිබඳ මාලිනිය හා බොහෝ දේ කතා කළෙමි. ඒවා මහත් සෙනෙහසින්
‘සරසවිය’ පත් ඉරු අතරට ගොනු කළෙමි. එනමුදු අද මා කතා බහ කරන්නේ මගේ ඒ මනෝරාජික
සන්ධ්‍යා රාණි ගැන නම් නොවේ. මා දෙනෙතේ ඇඳී, මනසේ ජීවත්වන සන්ධ්‍යා රාණි පිළිබඳවය.
තව පැය කිහිපයකින් ඔබ සුවහසක් ලාංකික ප්‍රේක්ෂකයන් සමඟ ‘සන්ධ්‍යා රාණි’ ලෙස අත්වැල්
බැඳ ගන්නවා. ඒ අසිරිමත් මොහොත අභියස සිටින ඔබට මොකද හිතෙන්නේ?
ප්‍රේක්ෂකයා ‘ආකාස කුසුම්’ නරඹා ‘සන්ධ්‍යා රාණි’ ට දක්වන ප්‍රතිචාර කෙබඳුදැයි
දැනගන්නට ආශාවක්,
කුතුහලයක් මගේ හිතේ තියෙනවා.
මට සීයට සීයක්ම විශ්වාසයි මෙතෙක් මගේ කරගෙන හිටපු
සන්ධ්‍යා රාණි මගේ ප්‍රේක්ෂකයන් හෙට දිනයේ ඔවුන් සතු කර ගන්නා බව. ඔවුන්ගේ හදවතට
කිට්ටු කර ගන්නා බව.
‘සන්ධ්‍යා රාණි මම ද, නැද්ද කියලා මට දැන්ම කියන්න බෑ’ කියා වරෙක ඔබ පැවසුවා මා
සමඟ. නමුත් ‘ඈ’ තුළ ‘ඔබ’ ඉන්නා බවක් යම් අවස්ථාවල ඔබ ඉඟි කළා. දැන් කියන්න ඇත්තටම
කවුද මේ සන්ධ්‍යා රාණි?
‘සන්ධ්‍යා රාණි’ රංගන ශිල්පිනියක් බව ඔබ දන්නවනේ. ඉතින් ඒ මා නෙවෙයි කියා කියන්නේ
කොහොමද? මගේ ජීවිතයත්, සන්ධ්‍යා රාණිගේ ජීවිතයත් එකක් වූ තැන් මේ චිත්‍රපටයේ
තිබෙනවා. ඒත් ඉස්පිල්ලක්, පා පිල්ලක් නෑරම ඒ සන්ධ්‍යා රාණි මම නෙවෙයි. ඒ නිසා ඒ
චරිතය පෞද්ගලිකව මගේම කර ගන්න බෑ. නිළියකගේ ජීවිතයේ ඇතුලාන්තය තමයි ඒ චරිතයෙන්
විවිරණය වෙන්නේ.
ඒ කියන්නේ නිළි ජීවිතයේ ඛේදවාචකය?
එය ඛේදවාචකයක් හැටියට මම දකින්නේ නැහැ. නොදන්නා කාලෙදි ජීවිතේ බොහෝ ගැටුම්වලට මුහුණ
දීලා පරිණත අවධියේදී ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන චරිතයක් සන්ධ්‍යා රාණි. ඈ බොහොම
මිනිසත්කම් හඳුනන චරිතයක්.
නමුත් මිනිසත්කම් නොහඳුනන ලොවක, නිළියකගේ ජීවිතය නිබඳ ලිංගික සූරාකෑමට ලක් වෙන
අයුරු මේ සිනමාපටය පුරා චිත්‍රණය වී තිබෙනවා?
මුල් කාලේ සන්ධ්‍යා රාණිත් එහෙම ලිංගික සූරාකෑමට ලක් වෙන ගැහැනියක් තමයි. ඒත් පසුව
ඈ ජීවිතය තේරුම් ගන්නවා. ඇගේ චරිතය ඇතුළත මම තේරුම් ගත්තේ ඒ හැම දේම පරාද කරලා, මහා
ශක්තියක් ඇති කර ගත් ගැහැනියක් හැටියට, මිනිසත්කමෙන් පිරිච්ච ගැහැනියක් හැටියට ඈ
ජීවත් වෙනවා. ඈ ලෝකෙ දිහා ඔළුව උස්සලා බලනවා.
අධ්‍යක්ෂවරයා, සන්ධ්‍යා රාණිව ඔබෙන් සොරකම් කළ බව ඔබ වරෙක මා සමඟ පැවසුවා. ඔහු
කෙතරම් සාධරණ, යුක්ති ගරුක හොරෙක් ද කියලා මට හිතෙනවා?
කිහිප වතාවක්ම මේ චරිතය ගැන ප්‍රසන්න මගෙත් එක්ක සාකච්ඡා කළා. ඒත් සෙට් එකේදී ඔහු
මාව ඩිරෙක්ට් කරන්න ආවේ නැහැ. ‘ආ ඔයා දැන් ඇක්ට් කරන්න’ කියනවා එච්චරයි. ප්‍රසන්න
පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. එක සීන් එකක් කරලා මම ඔහු දිහා බලාගෙන ඉන්නේ එයට යම්
ප්‍රතිචාරයක් ලැබෙනකම්. ඒත් ප්‍රසන්න මොනවත් කියන්නේ නැහැ. මට මේක හරි
ප්‍රහේළිකාවක්. පස්සේ මම අහනවා, ඒ සීන් එක හරියට ආවද කියලා. එතකොට ප්‍රසන්න කියන්නේ
‘හරි ඉතින් එච්චරයි, ඊට එහා දෙයක් නැහැ’ කියලයි.
මේ චරිතය රඟපෑම මාලිනී අක්කා කලින් ප්‍රතික්ෂේප කළා නේද?
අවුරුදු තුනකට කලින් තිර පිටපත ලැබුණාම මම මේ චරිතය කරන්න බෑ කිව්වා. ඒ තිර පිටපතේ
මීට වඩා වෙනස්කම් තිබුණා. හැබැයි මගේ තදබල විරුද්ධත්වයක් තිබුණේ නෑ. කොහොම වුණත්
අවසානයේ ප්‍රසන්න මේ චරිතයේ සාරය මිරිකලා අර ගත්තා. මම හිතන්නේ මගේ විතරක් නෙවේ,
අනෙක් සෑම නිළියකගේමත්.
දිල්හානි, කෞෂල්‍යා, ජයනි, නිම්මි, සමනලී මේ නිළියන් පස් දෙනාගෙන්ම ප්‍රසන්න උපරිම
දක්ෂතා උකහා ගෙන තිබුණා. මාත් එක්ක හය දෙනයි. අපි ‘හරිම බඩු හයක්’ බලපුවම.
ඒ අය අතරෙත් ඔබ වඩාත්ම දක්ෂ නිළිය විදිහට හඳුන්වන්නේ කාවද?
ඇත්තටම ඒ පස් දෙනාම කරට කර. මේ හැම කෙනෙක්ම තමන්ගේ චරිතය මොකක්ද කියලා හරියටම
තේරුම් අරගෙන රඟපාලා තිබුණා. සමනලී ගැන මට පුදුමයි. ඒ වගේම නිම්මි, ජයනි ඒ අයගෙනුත්
විශේෂ කුසලතා මතු වෙලා තිබුණා. ඔය හැමෝගේම චරිතවල මම ගොඩක් කැමැති සීන්ස් තියෙනවා.
අපි ආයේ දවසක වෙන වෙනම අරගෙන එයාලගේ දක්ෂතා ගැන කතා කරමු.
මාලිනී අක්කා ගේ අතීත යොවුන් රූප රාමු පෙළ, රූපවාහිනී තිරයේ දිස් වෙන කොට ඔබ
සන්ධ්‍යා රාණි ලෙසින් එදෙස බලාගෙන ඉන්නවා. හිතට දුකක්, සංවේගයක් දැනුණේ නැද්ද?
නැහැ, ඇත්තටම ඒවා දකින කොට මට ආසා හිතුණා. පැරැණි උරුමය නැහැ කියලා මම හඬා
වැළපෙන්නේ නැහැ. අපි වියපත් වෙන එක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙවේනේ. සිනමා
නිළියක් හැටියට මම සිනමාවේ උපරිම දුර ගිය කෙනෙක්. ඒ ගැන සතුටක් දැනුත් තියෙනවා.
සන්ධ්‍ය රාණි විවාහ නොවුණේ ඇයි කියලා ඇහුවාම ‘කාර්ය බහුලත්වය නිසා මට ඕවට වෙලාවක්
තිබුණේ නැහැ’ කියා ඇය රූපවාහිනී වැඩ සටහනදී පවසනවා. මාලිනී අක්කා ගැනත් කිසිවකු
එහෙම හිතුවොත්?
පෞද්ගලික ජීවිතයේ දී මම විවාහ වුණානේ. ඒ නිසා එතනදි මම සන්ධ්‍යා රාණි වෙන්නේ නැහැ.
නමුත් රංගන ශිල්පිනියක් හැටියට ඒ ජීවිතයේ ගැටෙන විදිහ, පවුල් ජීවිතයත්, නිළි
ජීවිතයත් සමබරව ගෙන යාමට තිබෙන අසීරුව ගැන මට අත්දැකීම් තිබෙනවා. කවුරු හරි කියනවා
නම් මගේ පවුල් ජීවිතය හොඳටම හොඳයි කියලා, ඒක බොරුවක්. ජීවිතේ් කියන්නේ ඒකයි.
රැකියාවක් නොකරන කාන්තාවකගේ වුණත් පවුල් ජීවිතයේ නොයෙක් හැළහැප්පීම් තියෙනවා.
ප්‍රසන්න තමා නිරත ක්ෂේත්‍රයේ සැබෑ යථාර්ථය ගැන නිර්භයව කතා කරලා තියෙනවා. මෙය උඩ
බලාගෙන කෙල ගැසීමක් හැටියටත් කෙනෙකු දකින්න පුළුවන්?
ඇත්තටම ප්‍රසන්න යම් සිනමා කෘතියක් සඳහා තමන් තෝරා ගන්නා තේමාවට හොඳ සාධාරණයක් ඉෂ්ට
කරන කෙනෙක්. ඔහු සැබෑ තත්ත්වය වසන් කරලා, උඩින් අයිසින් තවරලා නිර්මාණ කරන කෙනෙක්
නෙවෙයි. ඔහු ලොකු හැදෑරීමකින්, අවබෝධයකින් තමයි යම් නිර්මාණයකට අත ගහන්නේ. ඔහුගේ
‘පුරහඳ කළුවර’, ‘අනන්ත රාත්‍රිය’ වගේ චිත්‍රපටත් ලොකු ආන්දෝලනයකට ලක් වුණා. ඒත්
නිර්මාණකරුවෙක් හැටියට ඔහු සතු නිර්භීතකම කවදාවත් නැති වුණේ නැහැ. ‘ආකාස කුසුම්’
චිත්‍රපටයේ තේමාව ගැනත් මට හිතෙන්නේ එහෙමයි.
ඒ ප්‍රශ්නයම මම මේ විදිහට ඔබෙන් අහන්නම්. ඔබේම සනුහරේ, ඔබේම පරම්පරාවේ රහස් පෙට්ටගම
එළිමහනට විවෘත කරන්න කිසියම් චකිතයක් ඔබට ඇති වුණේ නැතිද?
මම එහෙම හිතුවේ නැහැ. අපි අවංක නම් ඇයි සත්‍යයට මුහුණ නොදෙන්නේ. ඇයි අපි ඒවා වහන්න
හදන්නේ. මේ චිත්‍රපටයේ බොහොම සියුම් දේවල් ගැන කතා කරනවා. ඇතැම් දේ අතිශයෙන්
පෞද්ගලික මට්ටමේ ඒවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ සියල්ලෙන්ම අපි කතා කරන්නේ
යථාර්ථය.
මෙය ස්ත්‍රීවාදී චිත්‍රපටයක් කියා කවුරු හරි කිව්වොත්?
පිටරට විචාරකයෝ පවා ප්‍රසන්නගෙන්ම ඇහුවා කොහොමද මේ තරම් හොදට කාන්තාවන් ගැන දන්නේ
කියලා. ඇත්තටම ‘ආකාස කුසුම්’ ගැහැනුන් ගැන කතා කරපු චිත්‍රපටයක් කිව්වට ඒකෙ වරදක්
නැහැ.
මේ වෙන කොට ඔබ චිත්‍රපට එකසිය පනහක විවිධ චරිත රඟපා තියෙන ජ්‍යෙෂ්ඨතම නිළියක්. ඔබේ
රංගන චාරිකාවේ ‘සන්ධ්‍යා රාණි’ භූ®මිකාව ඔබ ඔසවා තබන්නේ කුමන ස්ථානයකද?
‘සිරිපාල හා රන් මැණිකා’ චිත්‍රපටයේ රං මැණිකා වැනි සජීවී චරිත වගේම
අධ්‍යක්ෂවරුන්ගේ මනසේ ඇඳුණු චරිත රැසක් මම රිදී තිරයේ නිරූපණය කර තිබෙනවා. සන්ධ්‍යා
රාණිත් එවැනි සජීවි චරිතයක්. මෙවැනි චරිතයක් නිරූපණය කරන්නට ලැබීම උපරිම ආශ්වාදයක්
වුණත් රඟපාන්න ඇඟේ තියෙන ‘උණ’ එයින් අඩු වුණේ නැහැ. හැබැයි මටත් ප්‍රශ්නයක් තියෙනවා
මොකක්ද මම මීළඟට කරන්නේ කියලා.
මෙතෙක් කල් සන්ධ්‍යා රාණි දැක ගන්න නොඉවසිල්ලෙන් සිටි දයාබර ප්‍රේක්ෂකයන් හට ඔබට
මොනවද කියන්න තියෙන්නේ?
‘ආකාස කුසුම්’ බිහි වුණේ බැබළුණේ ප්‍රේක්ෂකයන් නිසයි. ඔබ පුබුදුවාලූ, ඔබේ සිත් අහසේ
පෑයූ ‘ආකාස කුසුම්’ බලන්න එන්න. ඒ සියල්ල ඔබටමයි.
සංවාදය - අසංක දේවමිත්ර පෙරේරා
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
|