|
සිතුවිලි
ඔබගේ සිතෙහි උපන් පුංචිම පුංචි සිතිවිල්ලකට අගනාම ඉඩකඩක් ලැබෙන තැනයි “තරුයාය”
එනන් අදත් සුපුරුදු පරිදි මොහොතක් එහි රැඳී සිටින්නට.
අද ‘තරුයාය’ හැඩ කරන්නට පළමුවෙන්ම අප හා එක්වන්නේ අපගේ හිතවත් පාඨකයින් දෙපළක්වන
කපුගොඩ මාළිඳ සරසවි නිවසේ සරත් රණසිංහ සහ කොටුගොඩ යාගොඩමුල්ල සුනිල් චන්ද්‍රසේකර,
ඔවුන් දෙදෙනාගේ මෙම සිතිවිල්ල යොමු කර ඇත්තේ විශිෂ්ට රංගන ශිල්පියකු වෙතට. “හඳපානේ”
සත්සමුදුර තරණය කොට මැණික් නදියකදී අපට හමුවූ සිරිල් වික්‍රමගේ කලාකරුවාණෙනි, ඔබටයි
මේ දයාබර ආමන්ත්‍රණය.
සිරිල් වික්‍රමගේ කලාකරුවාට
ඔබ රඟපෑ අමරණීය චරිත රැගත් වෙස් ගත්තෝ “ සත් සමුදුර”, බඹරු ඇවිත් චිත්‍රපට අපගේ
හිත්වල තවමත් තැන්පත්ව ඇත.
නමුත් ඩ්‍රැයිවර් කෙනෙක් හැටියට ඔබ ඉතාමත් තාත්වික රංගනයක් කළ “ මොකද වුණේ”
චිත්‍රපටය පිළිබඳ විස්තර ටිකක් අපට කියන්න. අපට එය නැරඹීමට හැකියාවක් නැද්ද? ඒ
එක්කම ඔබගේ නවතම තොරතුරු දැනගැනීමටත් කැමතියි.
කලා කටයුතු නම් මුකුත් නැහැ. ගෙදරට වෙලා නිකන් ඉන්නවා. ඒක තමයි අලුත් තොරතුර.
රංගනයක් කරන්න කවුරු හරි අපට කතා කරනත් එපායැ. අපට ගැළපෙන චරිත තිබුණොත් කවුරුහරි
කතා කළොත් කරනවා.
“මොකද වුණේ” චිත්‍රපටයට මොකද වුණේ කියලා ඇත්තට මමවත් දන්නේ නැහැ. එහි
අධ්‍යක්‍ෂවරයාත් දැන් ලංකාවෙ නැහැ. නිෂ්පාදකවරයාගෙන් මේ ගැන විමසුවොත් නම් ඔබට යම්
තොරතුරක් දැනගැනීමට පුළුවන් වෙයි. මම නම් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.
මීළඟට “තරුයාය” ට එක්වෙන්නේ අපගේ දයාබර පාඨකයෙක් මෙන්ම හෙද සොහොයුරියක් වන මහරගම
වත්තේගෙදර පාර, සුරම්‍යා මාවතේ කමලා රණසිංහ. ඇයගේ සිතෙහි උපන් මෙම සුන්දර සිතිවිල්ල
යොමුකර ඇත්තේ නව පරපුරේ ජනපි‍්‍රය රංගන ශිල්පියෙකු වෙතට. නියම පුතෙකු සේ පියාගේ
අඩිපාරේ යමින් අපේ දෙය සුරකින්නට වෙහෙසෙන සහන් රන්වල ඔබටයි මේ සෙනේවන්ත ඇමතුම.
ඉදිරි ගමනට සුබ පැතුම්.
දයාබර සහන් පුතේ,
දේශීය දෙය අගය කරමින් එය රැක ගැනීමට ඇප කැප වෙමින් “ජන ගායනා”, “ජන ගීත”, ගැමි
නාට්‍ය කලාව ඉදිරිපත් කරන ඔබට දේශයේ ගෞරවය ආචාරය හිමි විය යුතුය. මා පුතුනි, ඔබගේ
කලා දිවියේ ඉදිරි ගමනට සුබ පැතුම්. නව නිර්මාණයක් ගැන සිතුවේ නැද්ද?
මගේ පියාගේ අභාවයෙන් පස්සේ අපි රන්වල බලකාය 2007 නිකුත් කළා යුද්දෙටත් ඇවිත් කියලා
ගීත එකතුවක් සහ ප්‍රසංගයක්. ඊළඟට අපි කළා පොඩි අයට ජන ගී කියලා ළමා ගී එකතුවක්. මේ
දිනවල අපි රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් “වෙලාව කීයද” කියලා වේදිකා නාට්‍යයක් කරනවා.
ඒක මේ විසිපස් වෙනිදා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී වේදිකා ගත වෙනවා.
කාර්ය බහුලත්වය නිසා අද අපි හැමෝටම මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නය තමයි මෙයින්
කතා කරන්නෙ. ඒ වගේම “ පොඩි අයට ජන ගී” කියලා පොඩි අය වෙනුවෙන් රූපමය සී.ඩී තැටියක්
කරන්නත් කටයුතු කරගෙන යනවා. ඊට අමතරව “ගම අවුලඤ්ඤං” සහ ජන ගී ප්‍රසංගයක් කරගෙන යනවා
සුපුරුදු විදිහට. ඔබට බොහොම ස්තුතියි මගෙන් මෙය විමසුමවට.
“තරුයාය” සරසන්නට මීළඟට අප හා එක්වන්නේ දයාබර පාඨකයෙක් වන කැටපල ගණේගොඩ ලක්සිරි
ගුණතිලක. ඔහුගේ මෙම සිතිවිල්ල යොමු කර ඇත්තේ ජනපි‍්‍රය ගායන ශිල්පියකු හා සංගීත
අධ්‍යක්‍ෂවරයෙකු වෙතට. බඹර පහසින් මුලා වූ ළඳට ගී ගයමින් ගීත කලාවට අලුත් කලාවක්
එක් කළ දයාබර රූකා, රූකාන්ත ගුණතිලක ශිල්පියාණෙනි ඔබටයි මේ ළෙන්ගතු ආමන්ත්‍රණය.
නැවත ලංකාව හැර යනවාද?
හිතවත් රූකාන්ත අයියේ,
ඔබ විදේශගතව සිටියේ පසුගිය කාලයේ ඔබට මුහුණ පාන්නට සිදුවූ අමිහිරි සිද්ධීන් නිසාද?
නැත්නම් සංගීත ක්‍ෂෙත්‍රය ගැන කලකිරීමෙන්ද? දැන් ප්‍රසංගය ඉවර නිසා නැවත ලංකාව හැර
යනවාද? සුපුරුදු ලෙස සංගීත කටයුතුවල නිරතව මෙහි සිටීමට අදහසක් නැද්ද?
ප්‍රශ්න කීපයක්ම තියෙන නිසා ලක්සිරි මම මුල ඉඳලම මේවට පිළිතුරු දෙන්නම්. මෙහෙන්
යන්න හේතු ගොඩක් තියෙනවා. ඔබ ඔය කියූ දේවලුත් එක හේතුවක්. රසිකයින් හැටියට මේ දේවල්
පිළිබඳ ඔබලාටත් යම් වැටහීමක් තිබෙන එක ගැන මට සතුටුයි.
ඉතින් මම නැවත ලංකාව හැර යනවා. අවුරුදු හතරක ඉඳලා ලංකාවෙ කිසිම සංගීත කටයුත්තක මට
නියැලෙන්නට බැරි වුන නිසා ඒ වෙනුවෙන් යමක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ඇත්තම කිවිවොත් මෙහෙ නවතින්න ලොකු ආසාවක් තිබුණත් තව අවුරුදු ගානක් එහෙ ඉන්න වෙනවා.
මොකද මගෙන් අපේ පවුල වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් කීපයක් තියෙනවා. ඒවා ඉෂ්ට කළාට
පස්සෙ මම නැවත ලංකාවට එනවා.
මීළඟට අප හා එක්වන්නේ අපගේ පැරැණි සහෘද පාඨකයෙක් වන වත්තල හේ්කිත්තේ ලක්‍ෂමන්
රණසිංහ. ඔහුගේ මෙම සිතිවිල්ල යොමු කර ඇත්තේ ජනපි‍්‍රය ගායන ශිල්පිණියක වෙතට. අමරණීය
ගීත රැසක් ගයමින් යුගයක් සැනසූ ශී‍්‍රමති තිලකරත්න ගායන ශිල්පිනියනි, ඔබටයි මේ
දයාබර ඇමතුම.
නවතම තොරතුරු මොනවාද?
මා පි‍්‍රය ශ්‍රීමතී,
කාලෙක පටන් ඔබගේ කිසිම තොරතුරක් දැන ගැනීමට ලැබුණේ නැහැ. එහෙත් පසුගියදා
පේ‍්‍රමකීර්ති ද අල්විස් ගුණ සැමරුම් උත්සවයේදී ඔබව දැක ගන්නත් සජීවීව ගීතයක්
අසන්නටත් අපට වාසනාව ලැබුණා. ඉතින් ඔබගේ නවතම තොරතුරු මොනවාද? අලුත් ගීත තැටියක්
අපට දෙන්නට තවම අදහසක් නැද්ද? ඔබ ගැයූ පේ‍්‍රමකීර්ති අතින් ලියැවුණු ගීත මොනවාදැයි
කියන්න.
අමරස පෙම්, එක ගිනි කූරයි, හිරු ගෙනැවිල්ලා, ආදර ගඟුලේ වගේ මගේ ගීත රැසක් ලිව්වෙ
පේ‍්‍රමකීර්ති. පුංචි කාලෙ අපි දෙන්නම හිටියෙ ළමා පිටියෙ. ඒ වගේ කෙනෙක්ගෙන් මට ගීත
ටිකක් ලියැවුණු එකත් ලොකු දෙයක්. ඉතින් එයා වෙනුවෙන් පවත්වන ගුණ සැමරුමකට සහභාගී
වෙලා ගීතයක් ගායනා කරන්න ලැබීමත් අගේ කොට සලකනවා.
මම දැන් බෞද්ධ පැත්තට තමයි වැඩියෙන්ම මුල් තැන දෙන්නෙ. අනිත් ඒවා ගැන හිතන්නේ
පස්සෙ. සී.ඩී එකකටත් ගීත ටිකක් සූදානම් කරගෙන ඉන්නවා. නමුත් මගේ දිමුතු පුතාගෙ
සී.ඩී. එකක් කළ නිසා ඒකට මුල් තැන දුන්නා.
මීළඟට තරුයාය ලස්සන කරන්නට අප හා එක්වන්නේ අපගේ අලුත්ම ආදරණීය පාඨකයෙක් වන බොරැල්ලේ
මල්ෂා. ඇය තරුයායට එක්වන පළමු අවස්ථාව මෙයයි. මල්ෂා ගේ සෙනෙහෙවන්ත මෙම සිතිවිල්ල
යොමුකර ඇත්තේ ජනප්‍්‍ය රංගන ශිල්පියකු වෙතට. නිවේදකයෙකු ලෙසිනුත් මේ දිනවල කාගේත්
අවධානය දිනා සිටින ධනංජය සිරිවර්ධන ඔබටයි මේ දයාබර ආමන්ත්‍රණය.
නොවෙනස් ලිපිනය
ධනංජය අයියේ,
සියලුම රංගන කටයුතු උපරිමයෙන් ඉටු කරන ඔබ “ආදරණීය පූර්ණිමා” ;ටලි නාට්‍ය ඔස්සේ අපේ
හදවත්වලට ඉතාමත් සමීප වෙලා ඉන්න බව කියන්න ඕනා. උපන් දිනයත්, ඉදිරි කලා කටයුතු සමඟ
නොවෙනස් ලිපිනයත් දැනගන්න කැමතියි. ඒ වගේම හදවතින්ම මම ඔයාට සුබ පතනවා.
ඔබටත් බොහොම ස්තුතියි මල්ෂා. ඉදිරි කලා කටයුතු ගැන කතා කරන විට “ආදරණීය පූර්ණිමා”
මේ අවුරුද්දෙම විකාශය වෙනවා. මේ දිනවලත් නුවර ප්‍රදේශයේ එහි රූපගත කිරීම් සිදු
කෙරෙනවා. ඒ වගේම “ශී‍්‍ර ලංකන් ලයිෆ්” වැඩසටහනත් මේ අවුරුද්ද අවසාන වන තෙක්ම
තියෙනවා. බර්ට්‍රමි නිහාල්ගෙ “අමර පුරය” ඇතුළු ටෙලි නාට්‍ය දහයක් තව එන්න තියෙනවා.
මේ දවස්වල චන්ද්‍රරත්න මාපිටිගමගෙ “කළුවර” ටෙලි නාට්‍යයේ වැඩ කරමින් ඉන්නවා. ඕවා
තමයි තොරතුරු. මැයි 20 මගේ උපන් දිනය, ඒ වගේම නොවෙනස් ලිපිනය නො 22. පන්සල පාර.
රාගම.
මීළඟට අප හා එක් වන්නේ අපගේ පැරැණි පාඨක සහෘදයෙක් වන වෙන්නප්පුව පල්ලිය පාරේ වියානි
ගුණවර්ධන. ඔහුගේ සිතෙහි උපන් මෙම සිතිවිල්ල යොමු කර ඇත්තේ රිදී තිරය සිනාවෙන්
මුසපත් කළ ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වෙතට. දං චූටිට පෙම් බැඳි දවල් මිගෙල් රෑ
දනියෙල්, බන්දු සමරසිංහ ඔබටයි මේ ළෙන්ගතු ආමන්ත්‍රණය.
බන්දුගේ කැමැත්ත
හිතවත් බන්දු අයියේ,
මගේ ප්‍රියතම විකට නළුවා ඔබයි. රංගන ශිල්පියෙක් හැටියට ඔබ වඩාත් කැමැති විකට නළුවා
කවුද? ඔහුගේ විශේෂත්වය කුමක්ද?
ඇත්තමයි වියානි තරහා වෙන්න නම් එපා. මම චිත්‍රපට නළුවෙක් වශයෙන් ඔය සම්බන්ධව කතා
කරන්න කැමැති නැහැ. එක් එක් නළු නිළියන්ගේ දක්ෂකම්වල විභාග පවත්වන ගුරුවරයෙක් වෙන්න
මම කැමති නැහැ. එතකොට භේදබින්න ඇති වෙනවා. ඊට වැඩිය වටිනවා අපේ රසික රුචිකත්වය
තියාගෙන නිශ්ශබ්දව ඉන්න එක.නැත්නම් ඕවයින් වෙන්නේ පණ්ඩිතයින් බවට පත් වෙන එක
විතරයි. ඒක නිසා අපි ඒවා කතා නොකර ඉමු. මම හිතනවා ඔබේ ප්‍රශ්නයට නිසි පිළිතුරක්
ලැබුණා කියලා. ඔබට බොහොම ස්තූතියි.
ඔබටත් පුළුවන් තරුයායට ලියන්න. ඔබ කළ යුත්තේ කලාකරුවන්ගෙන් විමසිය යුතු පැනයක් අප
වෙත යොමු කිරීමයි. ඔබගේ සිතිවිල්ල තැපැල්පතක පමණක් ලියා යොමු කරන්න
තරුයාය, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10.
|