රංගාලෝකය මූල ධර්ම

31 (උසස් පෙළ) පාඩම් මාලාව ‘සරසවිය’ දැයේ සිසු දරුවනට තිළිණ කරයි

අපි වේදිකා නාට්‍යයක් බලන්න ගියා කියලා හිතමු. රංග ශාලාවේ තුන් වන සීනුව නාද වෙනවත් එක්කම ශාලාව අඳුරු වුවත්, තිරය ඇරෙන කොට අපිට වේදිකාවේ යමක් දර්ශනය වෙනවා. අපිට මේ පෙනෙන දර්ශනය කුමක් හෝ වේවා, එහෙම පෙනෙන්නේ රංගාලෝකය නිසයි.

පෙළක් වේදිකා නාට්‍ය පෙන්නන කොට බලන් ඉන්න අමාරු තරමට පහන් දැල් වෙනවා, නිවෙනවා. තවත් නාට්‍යවල පහන පත්තු වුණා ද නිවුන ද කියලා හොයා ගන්න බැහැ. කොහොම හරි ආලෝකවත් වෙන දර්ශනය පමණයි සමහරුන්ට වැදගත් වෙන්නේ.

නමුත් අපි හොයන්නේ ඊට වඩා වැදගත් දෙයක් ගැන. මේ සියලු දර්ශන අපට ඇහැට පෙනෙන ආකාරයට පත් වෙන්නේ රංගා ලෝකය නිසා නම් ඒ කුමක්ද යන්නයි.

එක පාරටම උඩින් පල්ලෙන් බලන කෙනෙකුට රංගාලෝකය පෙනෙන්නේ හාස්කමක් හැටියට නැත්නම් විදුලියේ ගුප්ත බලයක් (Electrical Mystery) හැටියට.

ඒක වැරදි මතයක්. එක අතකින් විදුලි කාර්මික ශිල්පය ගැන දැනුමත්, අනෙක් අතින් කලාවත් අරගෙන එකතු කරලා නිපදවන දෙයක් රංගාලෝකය. තවත් සමහරු හිතන්නේ ‘අපටත් ඉලෙක්ට්‍රික් වැඩ පුළුවන්.

ඒක හින්දා ලයිට් කරන එක මහ කජ්ජක්ද?’ කියල. එහෙම හිතන එක ඒ පුද්ගලයා ගේ බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක්. විදුලිය කාර්මික ශිල්පය කියන්නේ මේ කලාවේ එක් අංගයක් පමණයි.

නාට්‍ය නිෂ්පාදකයෙක් වුණහම, තමන්ගේ නාට්‍යයේ මංගල දර්ශනය දකවාම වේදිකාවට ගෙන එද්දී නාට්‍යයට අදාල හැම අස්සක් මුල්ලක්ම හොයලා බලනවා. ඇඳුම් ටික හරිද? මේක් අප් ආටිස්ට් හරිද? සංගීත ශිල්පීන් ලෑස්තිද? වශයෙන් මෙකී නොකී වැඩ ගොඩයි.

මේ අතුරින් වැදගත් විෂයයන් කිහිපයක්ම වෙනවා. ඒ තමයි ඇඳුම් නිර්මාණය, අංග රචනය, පසුතල නිර්මාණ සහ රංගාලෝකකරණය.

ඇයි මේ කොටස් හතරට වැඩි වැදගත්කමක් දෙන්නේ? වේදිකා නාට්‍යයකට අදාල කොතෙකුත් වැඩ කොටස් තියෙනවා. පෙළ මතක් කිරීම (කටේ ගුරුගේ රාජකාරිය), සංගීතය, වේදිකා කළමනාකරණය, නිෂ්පාදන කළමනාකරණය, ශබ්ද ප්‍රයෝග ඇති කරන්නෝ යනාදී වශයෙන් ගොඩක් දෙනෙක්. මේ හැම දෙනෙකුගෙම රාජකාරිය කෙරෙන්නේ වේදිකාවෙන් පිට පැත්තේ ඉඳන්.

එහෙම කරන වැඩ කොටසේ ඵලය දකින්නේ නළු නිළියන් හරහා. නමුත් ඔවුන් සාමාන්‍ය සමාජයේ හැසිරෙන පුද්ගලයන් හැටියට වේදිකාවෙන් දක්නට ලැබෙනවා නම් එම නළු නිළියන්ගේ චරිත ප්‍රාණවත් වෙන්නේ නැහැ. හේතුව වේදිකාවේ දී අපට පෙනෙන්නට සලස් වන්නේ නළු නිළියන්ගේ පෞද්ගලික වත ගොත නොවීම නිෂ්පාදකයා (අධ්‍යක්ෂවරයා) වේදිකාවට ගේන්නේ අපූරු කථාවක්, සුන්දර අත්දැකීමක්.

ඒ කථාවේ අපූර්වත්වය (Originality) පෙර නොවූ විරූ බව අපට දෘෂ්‍යමාන වෙන්නේ නළු නිළියන්ගේ හැඩ ගැන්වීම් වලින්, පසුතලයෙන්. තම චරිතවලට අවශ්‍ය අංග රචනයෙන් සහ රංගාලෝකයෙන්. මේ කොටස් වලින් එකකින් එකක් වෙන් කරලා සාකච්ඡා කරන්න හරිම අපහසුයි. හේතුව, මේ අංශ හතර අතරේ විශේෂ සම්බන්ධයක් තිබීමයි.

ඒ තමයි වර්ණ  (Colour). මූලිකව වර්ණ මාධ්‍ය දෙකක් මෙම කොටස් හතරේදී අපට හමු වෙනවා. ඒ තමයි ආලෝකයේ වර්ණ සහ ද්‍රව්‍යවල වර්ණ. (Colour of Light and Colours of Objects) වර්ණ පිළිබඳ සාකච්ඡා කිරීම ඉතා සංකීර්ණ විෂයක්.

ඒ වගේම වැදගත් දෙයක් තමයි ආලෝකය සැපයීම සහ රංගාලෝකය සැපයීම අතර වෙනස හඳුනා ගැනීම. මුර කපොල්ලක රාත්‍රී කාලයේදී ආරක්ෂක භටයා නොපෙනෙන්නටත්, පිටත සිටින තැනැත්තා පෙනෙන්නටත් සපයා ඇති ආලෝකය.

මඟුල් ගෙදරක ලයිට් වැල් එල්ලීම, තොරණක බල්බ් සවි කිරීම වැනි දේවල් ආලෝකය සැපයීමයි. ඒවායෙත් යම් යම් නිර්මාණ කාර්යයන් තිබෙන්නට පුළුවන්. නමුත් රංගාලෝකය ඊට වඩා ඉඳුරාම වෙනස් වන්නක්.

රචකයාගේ හිතේ මැවී ලියැවුණු නාට්‍ය පිටපත, නිෂ්පාදක අතින් විවිධ හැඩතල අනුව නිර්මාණය වී වේදිකාවට එනවා. එවිට එය පේ‍්‍රක්ෂකයාට පෙනෙන්නේ ආලෝකයේ මාර්ගයෙන්. නාටකයේ ස්වරූපය (Form) අනුව ආලෝකයේ රිද්මය, කාලය, පරතරය යනාදී අංග වෙනස් වෙනවා.

හැම නාට්‍යයකම ඉහත කියවුණ ස්වරූපය එක සමාන නැහැ. ඒ නිසාම එක නාට්‍යයකින් තවත් නාට්‍යයක ආලෝක ස්වභාවය වෙනස්. මේ ස්වාභාවයන් හඳුනාගෙන වේදිකාවට රංගාලෝකය ලැබෙන්නේ නැතිනම් එම රංග කාර්යය ඵල රහිත උත්සාහයක් පමණයි.

ආලෝක ප්‍රභව

නාට්‍ය නිෂ්පාදකයා ප්‍රේක්ෂකයා වෙත ගෙන එන නාට්‍යයේ සිදුවීම් ක්‍රියාකාරකම් නිර්මාණාත්මකව ප්‍රේක්ෂකයාට දෘශ්‍ය වීමට වෙර දරන්නේ රංගාලෝක ශිල්පියායි. ඔහු සපයන ආලෝකයේ කෘත්‍රිම බවක් නොදැනිය යුතුයි.

එය ස්වභාවික වන තරමට ප්‍රේක්ෂකයා ප්‍රිය කරයි. රංගාලෝක ශිල්පියා ආලෝක ප්‍රභව පිළිබඳව හොඳින් අවධානය යොමු කළ යුතු වන්නේ ඒ නිසයි.

ආලෝක ප්‍රභව ගැන ඉගෙන ගනිද්දී මුලින්ම මේ කාරණාව දැනගෙන සිටීම වැදගත්.

නාට්‍යයක් පින්තූර රාමු වේදිකාවේ (Picture Frame Stage) පෙන්වනවා නම් ප්‍රේක්ෂකයා සිටින්නේ එහි හතරවන බිත්තිය පැත්තෙන්. මෙහෙම කියන්නේ වේදිකාවේ බිත්ති තුනක් වසා දමා හතර වන බිත්තිය ඇරලා ප්‍රේක්ෂකයින් ඒ පැත්තෙන් බලන නිසා.

වේදිකාවේ රඟපාන නළු නිළියන් සහ පසුතල ආලෝකවත් කිරීමට ආලෝක උපකරණ වඩාත් භාවිතා කරන්නේ මේ හතර වන බිත්තිය පැත්තේ එනම් ප්‍රේක්ෂකයින් ගේ පැත්තේ ශාලා මුඛයේ (F. O. H) ඉහළ වහලයේ එල්ලා ඇති පහන් වලින්.

ඒ වගේම ශාලා මුඛයේ දෙපස බිත්තියේ සවි කර ඇති පහන් වලින්. තවදුරටත් ආලෝක උපක්‍රම යෙදීමටත්, හිස් තැන් පිරවීමටත් ශාලාව අභ්‍යන්තරයේ ඉහළ සහ දෙපස එල්ලා ඇති පහන් භාවිතා වෙනවා.

බොහෝ ලෝක ධර්මී නාටකවල මෙම පහන් එල්ලා තිබෙන්නේ ප්‍රේක්ෂකයාට නොපෙනෙන ආකාරයට. එහෙම කරන්නේ තාත්විකත්වය වඩාත් රැක ගැනීමට.

පරිණත රංගාලෝක ශිල්පියෙක් ආලෝක උපකරණ හසුරුවන විට කිසියම් කෘත්‍රිම බවක් හෝ නාට්‍යයේ රිද්මයේ කිසියම් වෙනසක් සිදු වන්නේ නැහැ. මුල සිට අග දක්වා නාට්‍යයේ රිද්මය හඳුනා ගත් රංගාලෝත ශිල්පියා හරියට වේදිකාව පිටුපස සිටින නොපෙනෙන නළුවෙක් වගෙයි.

ඉහතින් සඳහන් කළ කාරණා ආධුනිකයා ආදර්ශයට ගත යුතුයි. එමෙන්ම වේදිකාවේ භාවිතා වන පහන්, බල්බ සහ ඒවාට භාවිත වන විද්‍යුතය ප්‍රමාණ වශයෙන් අවබෝධ කර ගැනීමත් වැදගත්. දැන් විදුලි බල්බ පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගනිමු.

බොහෝ ලෝක ධර්මී නාටකවල මෙම පහන් එල්ලා තිබෙන්නේ ප්‍රේක්ෂකයාට නොපෙනෙන
ආකාරයට. එහෙම කරන්නේ තාත්විකත්වය වඩාත් රැක ගැනීමට.

තවත් කරුණක් ඔබ සැලකිල්ලට ගත යුතුයි. මේ ලිපියෙ ‘බල්බය’ සහ ‘පහන’ යන වචන දෙකම භාවිතා වෙනවා. ඒ වචන වෙනත් පොත්වල සහ ලිපිවලත් විවිධ ආයතනවලත් විද්‍යාත්මක නාමයක් හැටියට භාවිතා කරද්දිත් විවිධ තේරුම් ඇතිව භාවිතා කරනවා.

මා මෙහිදී භාවිතා කරන්නේ ‘Bulb යන වචනය ‘බල්බය’ හැටියටත්  ‘Lamp’  යන වචනය ‘පහන’ හැටියටත් යන්න මතක තබා ගැනීම වැදගත්.සමහර පොත් හා ලිපිවල විදුලි පහන් යනුවෙන් යොදන්නේ ‘Bulb වලටයි. තවත් සමහරු ‘ලයිට් එක’ යන වචනය ‘Lamp’  නැතහොත් පහන යන අරුත ඇතිව භාවිතා කරනවා.

තවත් සමහරු ලයිට් එක යනුවෙන් Bulb යන අරුත ඇතිවත් භාවිතා කරනවා. මේ හැම යෙදුමක්ම භාවිතා කළොත් මගේ සටහන අවුල් ජාලයක් වෙනවා. එම නිසා ඉහත සඳහන මතක තබා ගන්න. මේ අනුව ඉදිරි සටහන්වල ‘පහන’ යනුවෙන් භාවිතා කරන්නේ බල්බය සවි කර ඇති උපකරණයට.

සුත්‍රිකා බල්බ

(Incandescmt Filament Bulb)

වර්තමාන වේදිකාවේ වැඩියක්ම භාවිතා වෙන්නේ මේ සූත්‍රිකා බල්බ Incandescnt. ගිනියම් වූ විට දීප්තිය ගෙන දෙන බල්බ යන අර්ථය ඇතිවයි එහෙම භාවිතා වෙන්නේ. ගෑස් වීදුරු ගෝලයක් ඇතුලේ පිහිටලා තිබෙන සූත්‍රිකාවට විදුලිය සැපයූ විට එය ගිනියම් වී ආලෝකය ලැබෙනවා.

බල්බ සූත්‍රිකාව

(Bulb Filament)

සූත්‍රිකාව බල්බයේ ප්‍රධානම අංගයක්. එහි ඇත්තේ ස්ප්‍රින් හැඩයට ඝනව ඔතන ලද ටංග්ස්ටන් (Tungsten) වයරයක්. මේ සූත්‍රිකාවේ ප්‍රතිරෝධය අනුව ආලෝකමත් වීමේ ප්‍රමාණය අඩු වැඩි වෙනවා.

ඒ වැඩි වීම අනුව බල්බය එකම ප්‍රමාණය වුණත් එහි ඇතුලත ඇති සූත්‍රිකාවේ ප්‍රමාණය අනුව වොට්  (W) ප්‍රමාණය වෙනස් වෙනවා. බල්බයට ලබා දෙන විදුලි ශක්තිය දරා සිටීමට සහ ප්‍රතිරෝධාත්මක බලයක් හැටියට දීප්තිය ලබා දීමට සූත්‍රිකාවට පුළුවන්.

සූත්‍රිකාවේ පිහිටීම ගැන කතා කරද්දී  L. C. L අගය ගැන සාකච්ඡා කළ යුතුමයි. (Light Center Length). බල්බය හෝල්ඩරයට සවි වන ඉස්කුරුප්පුවේ අග ඊයම් බොත්තමේ සිට බල්බයේ විශාලත්වය අනුව කෙලවරේ පිහිටි වීදුරු බිත්තිය අතර ඇති දුරින් භාගය  L. C. L අගය හැටියට සලකනවා. (3 - 1 රූපය බලන්න). මෙය අප දැන ගත යුතු කරුණක් වෙන්නේ බල්බය පහන සමඟ භාවිතා කරන විටයි.

බල්බයක් පහනට සවි කර ආලෝකය සංදිප්තව ලබා ගන්නේ බල්බය පිටුපසින් ඇති පරාවර්තක ආධාරයෙන්. බල්බ සූත්‍රිකාව හරියටම පරාවර්තකය මැදට ඉලක්ක වන ආකාරයෙන් තිබිය යුතුයි.

එහෙම නොවීමෙන් බල්බයේ ආලෝකය දර්පණයෙන් පරාවර්තනය වන්නේ වැරදි ආකාරයකට. ආලෝකයේ සදීප්තතාවය අඩු වෙන්නටත් පුළුවන්. පහනකට බල්බ සවි කිරීමේ දී මේ පිළිබඳව දැන සිටීම වැදගත්.

1. ගෑස් පිර වූ ‘G’ හැඩැති බල්බය Gas Filled - Shaped Bulb

2. බැරල් සූත්‍රිකාව  Barrel Filament

3. සූත්‍රිකා ආධාරකය  Fillament Supports 

4. විනායක කම්බිය Lead in Wire

5. ඉස්කුරුප්පු අඩිය Screw Base

6. අඩියේ වයර සම්බන්ධ බොත්තම Bottom Contact Button

7. L. C. L අගය Light Center Lenth

කථිකාචාර්ය ජයලාල් රෝහණ
බී. ඒ. (පේරාදෙණිය)
එම්. ඒ. (නාට්‍ය හා රංග කලාව කැලණිය)
එම්. ඒ. (සමාජ විද්‍යාව පේරාදෙණිය)
එම්. ඒ. (දර්ශනය කැලණිය)

 
 
 
  •  
  •