සිතුවිලි
‘සුරම්‍ය රාත්‍රිය’
හරිම සුන්දරයි
ඉරිදා රාත්‍රී 10.15 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘සුරම්‍ය රාත්‍රිය’ සංගීත වැඩ
සටහන ඉතාම සොඳුරු මියුරු වැඩ සටහනක් ලෙස හැඳින්විය හැකිය. පැරණි ගායක ගායිකාවන්ගේ
ජනප්‍රිය ගීත අප හමුවට ගෙන එමින් නිවේදක මහේෂ් නිශ්ශංක එම වැඩ සටහන ඉදිරිපත් කරන
ආකාරය ඉතා ප්‍රශංසනීයයි.
ලක්සිරි ගුණතිලක
කැටපල, ගණේගොඩ.
ලක් මැදුරෙන් මධුර ගී
ගෙනෙන තිලකා
වසර 25 ක් තිස්සේ ගුවන් විදුලිය හරහා ඔබේ හඬ නොකඩවා ඇසේ. එදා මෙන් අදත් ඔබේ හඬෙහි
කිසිදු වෙනසක් නැත. නිවේදිකාවක් ලෙසද ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් ලෙස ද ඔබ
කලක් ඉතාමත් ජනප්‍රිය විය.
‘ලක් මැදුරෙන් මධුර ගී’ වැඩ සටහන ඔබ විසින් මෙහෙය වන
ආකාරය හරිම අපූරුයි. ඔබට ජයෙන් ජයම පතමි.
ප්‍රියන්ත සේනාධීර - බියගම.
අශෝක
පොන්නම්පෙරුම
සිංහල සිනමාවේ එක්තරා සුන්දර යුගයක සදානුස්මරණීය මතක සටහන් රැසක් අප සිත් හි නිදන්
කළ ඔබේ අමිල මෙහෙය සදා මතකයෙන් බැහැර නොවේ.
සුහද සොහොයුරකු ලෙස සිතක මහිමයෙන් සැමියා බිරිඳගේ දෙවියා බව ඔබ අපට පසක් කර
දුන්නෙහිය. ඔබ සතු වූ ප්‍රසන්න, පියකරු සිනා පිරි මුව මඬලත් රිදී තිරයටම ආලෝකයක්ම
විය.
හර්ෂනාථ බණ්ඩාර
489/1, හුළුගල්ල පාර,
ගලපිටියාගම, නිකවැරටිය.
‘ජූලියා’
විශිෂ්ටයි
ශ්‍රී ලාංකේය සිනමාවට අලුත් අත්දැකීමක් වූ ‘ජූලියා’ සැබවින්ම විශිෂ්ටයි. අලංකාර
දර්ශන තල භාවිත කිරීම මෙහි සුවිශේෂත්වයකි. ‘ජූලියා’ සාර්ථකත්වය වෙනුවෙන් කැපවුණු
සියලු දෙනාට ම හද පිරි සුබපැතුම්!
සුභාෂිණී මංගලා
අංක 91/3, සුදුවැල්ල, හලාවත.
ඔබමයි අපේ නිළි රැජින
තරු පායනවා, බැස යනනවා. තරු පරදවමින් සඳ රැස් පතුරනවා. ඒ සඳ ඔබයි. ඔබේ ඔය නිරහංකාර
සිනහව සමඟ නමටම හරි යන සෙනහස පිරි හදවත ඔබේ නිහතමානිත්වය තමයි මේ ජනප්‍රියත්වය.
කිරුළක් නොපැළඳුවත් ඔබයි අපේ රැජින. සිංහල සිනමාවේ නිළි රැජින මාලනියනි අදත්,
හෙටත්, මතුත් ඔබයි නිළි රැජින. අප පතනවා ඔබට දීර්ඝායු සමඟ නීරෝගී සම්පත්.
සුසිලා පතිරාජ - අක්ෂය සජිත්
නො: 55, කිව් පටුමග, කොළඹ 02.
රන් සමනළියක් බඳු දිල්හානි
එදා යසපාලිත නානායක්කාර මහතාගේ ‘දේදුන්නෙන් සමනළියක්’ තුළින් සිංහල සිනමාවට ආ රන්
සමනළියක් බඳු දිල්හානි අදටත් සිංහල සිනමාවේ ලස්සනම සමනළිය ඔබයි.
මා දුටු ඔබේ සෑම රංගනයක්ම විශිෂ්ටයි. අති විශිෂ්ටයි. ඔබගේ රංගනය, නර්ථනය මෙන්ම
ආකර්ෂණීය රුව ඉතා අගය කරන්නෙමි. තව දිගු කලක් සිනමා අඹරේ වැජඹීමට සරසවි දේවියගේ
වරම් ලැබේවා!
කසුන් චතුරංග - ගල්තුඩේ, පානදුර.
‘ආකාස කුසුම්’ ලැබූ ජය අපේ ජයයි
පසුගියදා ස්පාඤ්ඤයේ පැවති මහා සිනමා උළෙලක දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරයාගේ
‘ආකාස කුසුම්’ චිත්‍රපටය ආසියාවේ හොඳම චිත්‍රපටය ලෙසින් ඇගයීමට ලක්වීම, මා නම්
දකින්නේ මුලු සිංහල සිනමා වංශ කතාවම ලැබූ අනගි ජයග්‍රහණයක් ලෙසයි.
අපගේ නිළි
රාජිනියටත්, ආකාස කුසුම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකටත් මුලු දැයේම ප්‍රසාදය මේ අවස්ථාවේ
පිදිය යුතුමයි.
ගිල්බට් පෙරේරා
නො: 305/1/1, තලවතුගොඩ පාර, හෝකන්දර දකුණ.
ගී රමණීට මොකද වුණේ
රුහුණු එෆ්. එම් නාලිකාවේ ඉතා ජනප්‍රිය වැඩ සටහනකි ‘ගී රමණී’. මා 1991 සිට ‘ගී
රමණී’ රසිකයෙකි. රුහුණු එෆ්. එම්. ශ්‍රවණය කළ අයෙකි.
‘ගී රමණී’ වැඩ සටහන කලක සිටම රසිකයින්ට එපා කරවන තත්ත්වයක් ඇති කරගෙන යමින් කප්පාදු
කර ඇත.
දැනට ‘ගී රමණී’ වැඩ සටහන නැතුවා වාගේය. ශ්‍රාවකයින් එක එක නාලිකා ඔස්සේ හඹා යන
පිළිවෙතට මග පාදා ඇති බව පෙනේ. එමගින් රුහුණු සේවයට ලැදි පිරිස් ගිළිහී යනු ඇත.
බලධාරීන්ට දෙවරක් සිතීමට සිතුවිලි ඇති වේවායි ප්‍රාර්ථනා කරමි.
ඥාණසේන පී. ගමගේ
‘රුවන්’ ඉහළ කහවත්තේවෙල, බණ්ඩාරවෙල.
 ග්‍රේෂන් ආනන්ද චම්පා කල්හාරි
ඔබ දෙදෙනාගේ ගී හඬ තවමත් අපරාජිතයි. දැන් සිනමාවේ රඟපාන යොවුන් ශිල්පි,
ශිල්පිනියන්ට ඔබ දෙදෙනාගේ පසුබිම් ගායනය හොඳට ගැළපෙනවා. මොන ආකාරයකින් ගී ගැයුවත්
සිනමා ලෝකය තුළ සැමදා රැඳී සිටින්න ඔබ දෙදෙනා.
මම සිනමාවට ඉතාම ප්‍රිය කරන අයෙකි. ඒ වගේම ඔබ දෙදෙනාම මගේ ප්‍රියතම ගායක ගායිකා
යුවලයි. මතුවට හැදෙන නවක චිත්‍රපටවලට ගී ගයා ගී ලොව හා සිනමාව ඔබ දෙදෙනා එක්ව
වර්ණවත් කරන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිමි.
මිල්ටන් ප්‍රනාන්දු- ‘මිනෙරෝ’ මූදුකටුව.
දැයෙන් සමුගෙන ගියා ඔබ
සරුබිම සිතුවම් පටයෙන් සිනමා රංගනයට පිවිස අක්කර පහ, සදහටම ඔබ මගේ, කස්තුරි සුවඳ,
නුවන් රේණු, බඹර කලාපේ ඇතුලු චිත්‍රපටවල රඟපෑ මිල්ටන් ජයවර්ධන කලාකරුවාණෙනි, සේන
සමරසිංහගේ සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිස මධුවන්ති, සඳමාලි, නුවන්
රේණු, ආයාචනා, සමාවෙන්න, සුව දෙන සුවඳක්, සුදු අක්කා, බිතු සිතුවම්, තාරකා මල්
ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් අප වෙත තිළිණ කළ ඔබගේ නාමය සිංහල සිනමා ඉතිහාසය තුළ
රන් අකුරින් ලිය වෙන්නේය.
නොසිතූ මොහොතක දැයෙන් සමුගෙන ගිය ඔබගේ අඩුව අදට වඩා අපට
දැනෙන්නේ හෙටය.
ලෙනාඩ් ප්‍රනාන්දු - අංක 186/සී, බටහිර අධිකාරිමුල්ල,
දූනගහ.
සිනමාහලයි ජාතික ගීයයි
අගනුවර පවතින සිනමාහල්වල පමණක් චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීමට පෙර ජාතික ගීය වාදනය
වුවත්, ඉන් බැහැර පිට පළාත්වල සිනමා ශාලාවල ජාතික ගීය වාදනය නොවේ. එනිසා ශ්‍රී
ලංකාවේ සෑම සිනමා හලකම මෙම ක්‍රමය අනුගමනය කිරීමට කටයුතු කළොත් ඉතා අගෙයි.
තිලකරත්න විල්වල - කෑගල්ල.
මතකය අවදි කරමු
‘හද පතුල කැලැත්තිලා පාවී එනවා ප්‍රේමේ රසේ - මැව්වාද කව්රු ප්‍රේමේ - මගෙ නාමලී -
සුළං කුරුල්ලෝ’ ඇතුළු එදා මෙදා තුර ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ හරූන් කුමාර්
ලන්ත්‍රා නම් වූ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියා කාට කාටත් අමතක වී ඇති සෙයකි.
ඔහු
ගායන ක්ෂේත්‍රයට කළ මෙහෙවර ඇගයීම ඔහුගේ දීර්ඝායු පිණිසම හේතු වේ යැයි මම සිතමි.
සොහොනෙහි සිටුවා තබන මල් වඩමට වඩා ජීවත්ව සිටිය දී ගෙලෙහි පළඳවන මල්දම වැදගත් වනු
නොඅනුමානය. ගායන ශිල්පී හරූන් කුමාර් ලන්ත්‍රාණෙනි, මම ඔබට දීර්ඝායු පතමි.
සමරවීර හෙට්ටිආරච්චි - 13/5, ගාලු පාර, ගල්කිස්ස.
ආදරණීය ගායක එඩ්වඩ්
1970 දශකයේ පමණ ගායනා කළ ‘ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා’ මේ පැරණි ගීතයේ මිහිර
එදා මෙන්ම අදත් අප සවන් තුළ රැඳෙන්නේය. තව බොහෝ කාලයක් ජනතාවගේ සිත් සතන් තුළ ගීතයේ
මිහිරි බව ජනිත කරලීමට මේ ගීතය ඉවහල් වනු නොඅනුමානය.
ඔබට ශක්තිය, ධෛර්ය අපි ප්‍රාර්ථනා කරමු.
රෝහිණී දයාරත්න - මොරගස්මුල්ල, දිවුලපිටිය.
දයා අල්විස් කලාකරුවාණනි,
ලාහිරු දහසක් වලින් නොමැකෙන රංගනයක යෙදෙමින් සහෘදයන් රසයෙන් ඔප් නැං වූ දයාබර දයා
අල්විස් සොයුරාණෙනි, අතීත දයාබර සොයුරියක ලෙසින් ඔබගේ මතකයේ ඇති. එකම ගමේ එකට දිවි
ගෙවූ කාලය ගැන මතකයට පිය නඟන්නට ඔබගේ ලිපිනය හෝ දුරකතනය ඊළඟ සරසවියෙන් සරසනු ඇතැයි
බලා සිටිමි.
එන්. එන්. සිල්වා
යූ. විජේසිංහ බාරේ, නො: 364/17/1, දළුගම, කැළණිය.
සිතුවිලි තිරය සරසන්නට ඔබගේත් නවමු අදහස් අපට එවන්න මේ ලිපිනයට. එසේ එවන අදහස්
තැපැල් පතක පමණක් පැහැදිලි අත් අකුරින් ලියා ඔබගේ දුරකථන අංකය ද ලියා එවන්නට අමතක
කරන්න එපා.
සිතුවිලි, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.
සකස් කළේ - ෂර්ලි ආරියරත්න
|