නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ

මෙ ඔබ පෙරළන්නේ ජෝති මතක පොතෙහි දෙවැනි සොඳුරු පිටුවයි. ජෝතිපාලයන්ගේ සමීපම මිතුරන් අතරේ සිටි ආචාර්ය අජන්තා රණසිංහයන් ගෙනෙනා එදා සොඳුරු, මතක පෙළ ගැස්මට අදත් එකතු වෙමු.

මේ ජෝති මතක පොතයි. එසේත් නැතිනම් සොඳුරු කෝකිලයාගේ හදවත කියවීමයි.

ගුවන් විදුලි සංස්ථාවේ කොරිඩෝවේදී ඇරැඹුණු ජෝති - අජන්තා මිත්‍රත්වය දිනෙන් දින දළු දවමින් වැඩෙමින් තිබිණි. එය මිත්‍රත්වයට වඩා සහෝදර බැඳීමක් තරමටම වර්ධනය වීමට ගතවූයේ කෙටි කලකි. ජෝතිගේත් අජන්තාගේත් මනුසත් බව උතුරා පිටාරගලන හදවත් නිරතුරුවම පිරී තිබූ ළෙන්ගතු බව නිතර ඔවුන් එක් කළේය.

මේ මිතු දම නිසාම ජෝතිපාලයනුත් අජන්තාත් ගමන් බිමන් ගියේ එකටමය. මේ සොදුරු ඇසුර තුළ බිහිවූ නිර්මාණ ද අප්‍රමාණය.

එක් දිනෙක ජෝතිපාලයන් මොරටුව ප්‍රදේශයේ ප්‍රසංගයකට ආරාධනා ලැබුණි. ඒ වෙන කාගෙන්වත් නොව තමාගේ ළබැඳී මිතුරු අජන්තාගෙනි.

අජන්තාගේ සහෝදරයකු විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රසංගයට ජෝති කැඳවාගෙන ගියේ ද අජන්තාය.

දෙදෙනාම මොරටුවට ළං වෙද්දී ඇඳීරි වැටෙමින් තිබිණි දෙසැම්බර් මස 31 වැනිදා පැවැති මෙම ප්‍රසංගය වසරේ අවසන් රාත්‍රිය වූ නිසාම සැනකෙළියක ස්වරූපයක් ගත්තේය.

ප්‍රසංග බිමට ජෝති පය තැබූ විගසම රසිකයන්ගේ හිත බලාපොරොත්තුවලින් පිරී ගියේය. සංවිධායකයන්ගේ ද හිත සතුටින් පිනා ගියේය. ජෝතිගේ පැමිණීම ප්‍රසංග භූමියම ආලෝකමත් කළේය.

රසිකයන්ගේ පිළිගැනිම මැද ජෝතිත් අජන්තාත් වේදිකාව පිටුපස අමුත්තන්ගේ තාවකාලික නිවහනට ගෙවැදුණේය. ආරාධිතයන් වෙනුවෙන් සූදානම් කොට තිබූ විශේෂ සංග්‍රහ මේසයේ එක ළඟ පුටු දෙකක ඈඳිගත් මිතුරන් දෙදෙනා සංග්‍රහය බුක්ති විදිමිනි.

මේසයේ අනෙක්පස ඈඳිගෙන උන්නේ බේග් මාස්ටර්ය. බෙග් මාස්ටර් දුටු ජෝති අජන්තාට කතා කළේ ඇසෙන නොඇසෙන ගානටය. ජෝති නිරතුරුවම අජන්තා රණසිංහයන් ඇමතුවේ ‘ මහත්තයා යන ගෞරවාන්විත සුරතල් නාමයෙනි. මහත්තයාා යන්නෙහි ‘ මචං ‘ යන බැදිම ගැබ්ව තිබුණි. එහා පුටුවේ උන් මිතුරාට ජෝති ළං වුණේය.

“ මහත්තයා.... බෙග් මාස්ටර්ට ඉස්සෙල්ල මාව දාපං මචං....... උඹනෙ මේකෙ ඕගනයිසර් උඹට පුළුවන් එක කරන්න.

ජෝති සංග්‍රහය භුක්ති විඳීමින් කීවේය. මේ ඉල්ලීම අජන්තාගේ හිත තුළ ඉතිරි කළේ ප්‍රශ්නාර්ථයකි. තම මිතුරාගේ අහිංසක නිහතමානී ඉල්ලීම ඉටුකරන්නට අජන්තා සංවිධායක මණ්ඩලයට දැන්වූවේය.

නිරතුරුවම නිදහසේ හිඳ ගී ගැයීමට පි‍්‍රය කරන ජෝතිගේ මේ ඉල්ලීම අජන්තා තුළ මතු කළ පැනය වර්ධනය වෙමින් තිබුණි. මිතුදම නිසාම ඕනෑම දෙයක් කතා කිරීමට තිබු අයිතියෙන් ප්‍රයෝජන ගත් අජන්තා මේ කාරණාවට හේතු විමසුවේය.

“ ඇයි බෙග් මාස්ටර්ට ඉස්සර වෙලා සින්දු කියන්න ඕනෙ කිව්වෙ......”

අජන්තා ජෝතිගේ ප්‍රතාපවත් දෑසට එබුණේය.

“ මචං.... මේ තරගයක් නෙවෙයි. බෙග් මාස්ටර් තමයි ලංකාවෙ ගායකයන්ගෙන් අංක එක. එයා ඉස්සෙල්ල නැගල කියනවා “ මල් ලෝකේ මහා භෘංගරාජයා.” ඊට පස්සේ ඉතිං කවුරු සින්දු කිව්වත් වැඩක් නෑ.

මට සෙකන්ඩ් වෙන්න බෑ මචං. බෙග් මාස්ටර්ගෙ හඬ, ශෛලිය, ගායන විලාසය ලංකාවෙ වෙන කාටවත් නෑ. එයා සින්දු කියල බැස්සට පස්සෙ ඒ ගායනයට එහා යන්න කාටවත් බෑ. ඒ නිසා මාව ඉස්සෙල්ල දාපං.

මිතුරාගේ අනපේක්ෂිත පිළිතුරෙන් අජන්තාගේ මුවඟට සිනවක් නැඟිණ. ‘ ජෝතිපාල ‘ නම් වූ ප්‍රතාපවත් ලොවම දිනූ ගායකයා තවත් කෙනකු ඉතාමත් ගෞරවයෙන් අගය කරන අයුරු අජන්තා ජීවිතයට කදිම පාඩමක් ද කරගත්තේය.

කෙසේ හෝ අවසානයේ ජෝති ගීත ගැයුවේය. ඉන් සතුටට පත්වූ ජනතාව ජෝති සජීවිව දැකගන්නට ලැබිම පිළිබඳ ප්‍රීතිඝෝෂා පැවැත්වූයේය.

ගීතගයා වේදිකාවෙන් නැවත අමුත්තන්ගේ කුටියට පැමිණ ජෝති නැවත ඉඳගත්තේ අජන්තාට යාබද පුටුවේය. ඉන් පසුව බෙග් මාස්ටර් වේදිකාවට ගොඩ වූයේය. අත්පොළසන් හඬ මැද බෙග් මාස්ටර් අපූරු ගීත කිහිපයක්ම ගැයුවේය.

ජෝති නැවත අජන්තා ගේ කණට ළංවී මෙසේ කීවේය.

“ මං කිව්ව දේ හරි නේද”

ජෝතිපාලයන් ඒතරමටම නිහතමානී අව්‍යාජ පුද්ගලයෙකි. ඔහු මුදල් පසුපස හඹා ගියේ නැත. ලැබුණු සෑමවිටදීම තමාගේ රසිකයන්ට සතුට බෙදා දීමට හේ කටයුතු කළේය.

ජෝති වේදිකාව තුළ ගීත ගැයුවේ මුදල ගැන සිතා නොවේ. සතුට ගැන හිතාය.

අජන්තා ජෝති මිත්‍රත්වය නිසාම දෙදෙනාගේ අදහස් ඉතා මනාවට ගැලපුණි. එක් දිනක් දෙදෙනා හමුවුණේ ගීතයක් පිළිබඳ සාකච්ඡාවකටය. කතාව ඇරැඹුවේ ජෝතිපාලයන්ය.

“ මං අවුරුදු ගානක් බලන් හිටියා හින්දි ගීතයකට සිංහල වචන ටිකක් දාගන්න. මේකට ගීතයක් ලියලත් තියෙනවා කවුද මාගේ ආදරී - ඈ කොයි පලාතෙදෝ ‘ කියල මට ඒක හරියන්නෙ නෑ. උඹ මේ හින්දි තනුවට ;හාඳ වචන ටිකක් ලියන්න ඕන මහත්තයා. ගීතය තමයි චෞද නීද චාන්දනී. හොඳ වචන ටිකක් ලියන්න අපි සින්දුව කරමු.

ඕනෑම අභියෝගයක් බාරගැනීමට ශක්තිවන්තයකු වන අජන්තා ජෝතිගේ ඉල්ලිම බාරගත්තේය. ජෝතිට උවමනා වචන ශෛලිය දැන උන් අජන්තා ගීතය රචනා කළේය.

“ නින්ද නේන රාත්‍රියේ
මේ පාලු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ.......
කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ
කවුළුව සමීපයේ
මම ඉන්නම් පවන් දැලේ
ඉඳුනිල් නුවන් පියා සැතපෙන් - රෑ නිසංසලේ
අරුණෝදයේ
ඔබේ නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ
දිනූ අයුරින් සිනාසිලා
සෙනෙහේ විජිතපතින් සනහන් මට පවන් සලා.......

ඉන් පසුව අජන්තා ගියේ ජෝත් හමුවීමටය. අජන්තාගේ පද වැල රහසින්ම මිමිනූ ජෝති ප්‍රීතියෙන් පිනා ගියේය.

“ අපි හෙට අනින්දාට සින්දුව රෙකෝඩ් කරමු මහත්තයා.”

ජෝති පදවැල තබාගත්තේය. ඉන්පසුව පැමිණි දිනෙක ගීතය පටිගත කිරීමට සියලු දෙනා එක් වූයේ බම්බලපිටියේ ඔගී ශබ්දාගාරයටය.

ඉතාමත් අඩු පහසුකම් යටතේ පවත්වාගෙන ගිය ඔගී ශබ්දාගාරයේ ඉතා උසස් පටිගත කිරීම් තාකෂණයක් තනා තිබුණේ ශබ්ද පරිපාලකයාගේ දස්කමිනි. එහෙන් මෙහෙන් වසර් ඇද තනා තිබු ශබ්දාගාරරයේ ගීතය පටිගත කිරිම ඇරැඹිණි.

ගීතය පෙරහුරුවේදී අජන්තා ජෝතිට එක් තැනකදී බාධා කළේය.

“ එන්න කාන්තියේ.... ම්... ම්... ම්. කියල කියමු”

අජන්තා කීවේය. ගීතය ගයමින් උන් ජෝති ගායනය වහා නැවතුවේය.

“ උඹ මට උගන්වන්න එනවද”

ජෝති ඇසුවේ සරදමට මෙනි.

අජන්තා ජෝති දෙස බැලුවේය.

“ ඔව් මට උඹට උගන්නන්න පුළුවන් “

අජන්තා අභියෝගය භාර ගත්තේය.

“ හා එහෙම නම් කියාපං බලන්න. “

ජෝති ද විවාදය අතහැරියේම නැත. අජන්තා ගීතය ගයන්නට පටන් ගත්තේය. ජෝති අජන්තාට බාධාවක නොවන ලෙස ගීතය අසා සිටියේ දරුවකු මෙනි. ගීතයේ සියල්ල ගයා අවසන් කළ අජන්තා ජෝති දෙස හැරුණේය.

“ මෙන්න මූට සින්දු කියන්න පුළුවන්...... මෙන්න මූ සින්දු කියනවා. නියමයි නියමයි මෙන්න මූ සින්දු කිව්වා.

ජෝති හැසිරුණේ අලුත්ම දෙයක් සොයාගත් විද්‍යාඥයකු මෙනි. ඔහුගේ නිහතමානී ගුණ වර්ණ හොඳ හැටි දත් අජන්තා ජෝතිගේ නිරංහකාර දෑස දෙසත් හිනාව දෙසත් බලා උන්නේය.

ගීතය පටිගත වූයේ මේ සිදුවීම පිළිබඳ බොහෝ වෙලා කතාබහකට අනතුරුවය. ඉන්පසු ජෝති නැවත අජන්තාට කතා කළේය.

“ මහත්තයා සූරිය පෙරම්බරේ “ කියන වචනෙ තේරුම මොකක්ද?”

ඔහු ඇසුවේය.

“ නැගෙනහිරින් පායන හිරු “ අජන්තා ජෝතිට ඒ වචනය මනාවට තේරුම් කර දුන්නේය.

දෙදෙනාගේ මිතුදම ගලායමින් තිබිණි.

 
 
 
  •  
  •