අමරණීය වූ ඒ චරිතය සමඟ යළි යළිත් සැරි සරමු

 ගිලිහී නොගිය උතුම් මිනිසුන්ගේ මනුසත් සුවඳ වෙනුවෙන් වෙන් වන ගෞරවාන්විත ඉඩකඩයි මේ

මල් පර වූ පසු සුවඳ ගිලිහී යන්නේය. සඳ බැස ගිය පසු සිහිළ වියැකී යන්නේය. නමුදු මිනිසුන් අතර ජීවත් වූ උතුම් මිනිසුන්ගේ මනුසත් සුවඳ ඔවුන් මෙලොවින් සමුගෙන ගිය ද ගිලිහී නොයන්නේය.

මේ එවන් උතුම් අමරණීය මිනිසුන් වෙනුවෙන් වෙන් වන ගෞරවාන්විත ඉඩ කඩයි. කලක් අප හදවත් තුළ සොඳුරු සිහිවටන තබමින් ජීවමාන වූ මේ කලාකරුවන් වෙනුවෙන් වෙන් වන ඉඩකඩයි.

කලා ලොවේ අමරණීය තිළිණ ඔබට, අපට, මට දායාද කළ මේ සොඳුරු අමරණීය තරු සුවඳ අතර අපි සැරිසරමු.

කලාකරු අභාවයන්

අප්‍රේල් 22 නෙල්සන් අබේකෝන් (නිවේදක) 2005 රංජිත් මැණික්පුර (කැමරා ශිල්පි) 2004

අප්‍රේල් 23

නෙවිල් ප්‍රනාන්දු (ගායක) 1975 සුගතමුණි ඥාණසිරි (ලේඛක) 2003 රවි ජෝන් (නිවේදන) 1997

අප්‍රේල් 25

කුමාරි බිබිලේ (නිළි) 1993 ඒ. පී. ගුණරත්න (ලේඛක – නළු) 1980 ජයතිස්ස දිල්ලිමුණි (සංස්කාරක) 1998ෆීලික්ස් ප්‍රේමවර්ධන (නළු) 2006

අප්‍රේල් 26

රංජිත් පෙරේරා (සංගීත අධ්‍යක්ෂ) 1989

අප්‍රේල් 27

එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් (සංගීතඥ, ගායක) 1971 සීතා ජයවර්ධන (නිළි) 1978 සෝමසිරි දෙහිපිටිය (නළු) 1982 ට්‍රිලීෂියා ගුණවර්ධන (නිළි) 1999

අප්‍රේල් 28

ඔස්ටින් මුණසිංහ (සංගීතඥ) 1997 ලෙස්ලි බොතේජු (ලේඛක) 2001 හේමසිරි හල්පිට (ගී පද රචක, නිවේදක)


නෙල්සන් අබේකෝන් ඒ. පී. ගුණරත්න කුමාරි බිබිලේ
ඔස්ටින් මුණසිංහ රංජිත් පෙරේරා ලෙස්ලි බොතේජු
රූපසිංහ මාස්ටර් ට්‍රිලීෂියා ගුණවර්ධන සීතා ජයවර්ධන
රවි ජෝන් ෆීලික්ස් ප්‍රේමවර්ධන

අතිශය ජනප්‍රිය ගී පද රචකයකු හා ප්‍රවීණ නිවේදකයකු වූ හේමසිරි හල්පිටයන් දැයෙන් සමුගෙන මෙම 28 වැනි දිනට වසර හතරක් සපිරේ.

නිහාල් නෙල්සන් ගයන ගුණෙ අයියගෙ කාමරේ ගීතයෙන් ගීත ක්ෂේත්‍රයට අතීර්ණ වූ හල්පිට වේග රිද්මයේ ගීත මෙන්ම ඕජායේ, කුරුමිට්ටෝ, ලුණු දෙහි, අංකල් ජොන්සන් වැනි සරළ විනෝද ගීත සේම එඩ්වඩ් ජයකොඩි ගයන නිහඬ කල්පනා, මේ මල් යායේ වැනි ගීත ද රචනා කළේය.

ශිරාණි චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගීත රචනයට පිවිසි හල්පිට ඔබට දිවුරා කියන්නම්, අම්මේ ඔබ නිසා, මමයි රජා, චණ්ඩි රජා, චෙරියෝ ඩාලිං, චෙරියෝ කැප්ටන්, දවල් මිගෙල් රෑ දනියෙල්, නිලම්බරේ දක්වා චිත්‍රපට දෙසීයකට අධික සංඛ්‍යාවක ගී පද රචනයෙන් දායක විය.

ශ්‍රී ලාංකේය කැසට් ක්ෂේත්‍රයට සහ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ශිල්පියකු වූ හල්පිටයන් අතින් ලියැ වී ඇති ගීත සංඛ්‍යාව හය දහස ඉක්මවා ඇත. නිහාල් නෙල්සන්ගේ සිට අජිත් බණ්ඩාර දක්වා ක්ෂේත්‍රයේ සෑම ශිල්පියකු හටම ගී පද මැවූ මේ සොඳුරු හිතවතා 2006 වසරේ අප්‍රේල් 28 වැනිදා සියල්ලන්ගෙන් වෙන් වී යන්නට ගියේය.


හිත හොඳ මිනිසෙකු ලෙස කලා ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටි සෝමසිරි දෙහිපිටිය කලාකරුවා මිය ගොස් මෙම 27 වැනිදාට වසර 28 ක් සපිරේ.

‘සත් සමුදුර’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සෝමසිරි දෙහිපිටියන් වෙස් ගත්තෝ, වල්මත් වූවෝ, දියමන්ති, හාර ලක්ෂය, සිහසුන, මරුවා සමඟ වාසේ, අහස් ගව්ව, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, සරුංගලය, උතුමාණෙනි, සාගරයක් මැද, කරුමක්කාරයෝ, සිරිබෝ අයියා, පරිත්‍යාගය, රිදී නිම්නය, චණ්ඩි පුතා, යහළු යෙහෙළි ආදී චිත්‍රපට පනහකට පමණ රංගනයෙන් දායක විය.

අති විශිෂ්ට චරිතාංග නළුවකු වූ සෝමසිරි 1982 අප්‍රේල් මස 27 වැනිදා ජීවන රඟ මඬලෙන් සමුගෙන යන්නට ගියේය.

සෝමසිරි යම් චරිතයක් රඟපෑමේදී එහි සියුම් ගති සොබාවයන් මැනවින් අධ්‍යයනය කළ රංග ශිල්පියකු බව ප්‍රකටය.

ඔහුගේ විශිෂ්ට රංග ප්‍රතිභාව චිත්‍රපට පනහක පමණ ඔපවත් විය. 1980 වසරේ සිරිබෝ අයියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එම වසරේ හොඳම සහාය නළුවාට හිමි ජනාධිපති සම්මානයද මේ අපූර්ව කලාකරුවාට හිමි විය.

සෝමසිරි දෙහිපිටියට තිබුණේ මානව දයාවෙන් පිරිපුන් හදවතකි. එනිසා ඔහුගේ දිවියේ සතුරෝ අඩු වූ අතර මිතුරෝ බොහෝ වූහ.

ඔහු වැනි හිත හොඳ මිනිසෙකු, ප්‍රතිභාපූර්ණ රංගවේදියකු අකල්හී ජීවිතයෙන් සමුගැනීම මුළු මහත් සිංහල සිනමාවට සිදු වූ බලවත් පාඩුවකි.

මේ අති විශිෂ්ටයාගේ අති විශිෂ්ට රංගනයන්ට අද ප්‍රේක්ෂකයාද දක්වන්නේ පුදුමකාර කැමැත්තකි. ඒ නිසාම සෝමසිරි දෙහිපිටියගේ තම විශිෂ්ටත්වය එක් කළ පැරැණි චිත්‍රපට නැරැඹීමට ප්‍රේක්ෂකයින් දැඩි කැමැත්තක් දක්වති.

 
 
 
  •  
  •