ගුණසිංහපුර පැත්තේ කලර් Colour හැදෙයි
* කමල් ගේ විශිෂ්ටත්වය යළි දැක ගන්න අවස්ථාවක්
* සඳලි සුලක්ඛනා රිදී තිරයට

කලර්  (Colour) දැන් කොළඹ පිටකොටුවේ, ගුණසිංහපුර අවට රූගත කෙරෙන සිංහල චිත්‍රපටයකි. එය ඉසුරු වීරසිංහමුදලි ගේ කුලුඳුල් අධ්‍යක්‍ෂණයයි.

තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස මුහුණපාන සිද්ධිදාමය වටා මෙහි කතාව ගෙතී තිබේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ද වන මෙම සිත්තරාගේ චරිතය රඟමින් විශිෂ්ට නළු කමල් අද්දරආරච්චි නැවත රිදී තිරයට පැමිණ සිටී. දක්‍ෂ නව යොවුන් නිළි සඳලි සුලක්ඛනා මෙහි ප්‍රධාන නිළි චරිතය රඟයි.

දක්‍ෂ නැගී එන නිළි තාරකාවක වන උදයන්ති කුලතුංගටත් මෙහි ප්‍රබල චරිතයක් බාර කර තිබේ. ජයනි සේනානායක, ජානකී විජේරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, පි‍්‍රයන්ත මන්සිළු හා ළමා නිළි ආකාශා පෙරේරා ද මෙහි රැඟුම් රඟයි.

වේදිකාවේ, පුංචි තිරයේ මෙන්ම සිනමාවේ ද ජනපි‍්‍රය නිළි ඇන්ජලා සෙනෙවිරත්න කලෙකට පසු රිදී තිරයට රංගනයෙන් දායක වන්නේ ද මේ චිත්‍රපටය වෙනුවෙනි.

මෙහි කතාව, දෙබස්, තිර රචනය සහ ගී පද රචනය ද අධ්‍යක්‍ෂවරයා වන ඉසුරුගේමය. හිරන්ති සමරසිංහ නිෂ්පාදිකාවයි.

චලිත් මනුරංග අබේසිරිවර්ධන සහාය අධ්‍යක්‍ෂවරයාය. කැමරාව පි‍්‍රයන්ත මලවිගේ ගෙනි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණ ශිල්පියායි.

චමින්ද මීමනගේ රේඛීය නිෂ්පාදකවරයායි. සුජීව තලංගම නිෂ්පාදන කළමනාකරුය.

සිරස සුපිරි තරු මාවතේ හමු වූ දක්‍ෂ ගායකයකු මෙන්ම සංගීතඥයකු ද වන සංඛ දිනෙත් මෙහි සංගීත අධ්‍යක්‍ෂවරයාය. මෙහි එන ගීත ගැයුමින් ජනපි‍්‍රය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුව එක්ව සිටින්නීය.

සංඛ දිනෙත් ගායනයෙන් ද මීට දායකත්වය සපයයි. සුපිරි තරු මාවතේ අප හමුවූ දක්‍ෂ ගායිකා මීනා ප්‍රසාදිනී ද මෙහි ගයන්නට නියමිතයි. දිනූෂ පෙරේරා නිශ්චල ඡායරූප ශිල්පියාය.

ගාර්තා . . . ආ නමින් චිත්‍රපටයක්

ලලිත් පන්නිපිටිය

ලලිත් පන්නිපිටිය ගේ නවතම සිනමා නිර්මාණයට ‘ගාර්තා . . . ආ’ ලෙස නම දී තිබේ. පොලිටිකල් ජෝක්ස් අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි ලලිත්ගේ දෙවැන්න වූ සංගිලි චිත්‍රපටය ප්‍රදර්ශනයට නියමිතය.

ඒ. එච්. කරුණාරත්න කතාව, දෙබස් තිර රචනයට හිමිකම් කියන මෙහි සහාය අධ්‍යක්ෂවරයා ඒ. ඩී. නිලන්ත පෙරේරාය. පූජිත සන්දරාදුර හා විශාඛා ගුණතිලක වේශ නිරූපණයෙන් එක් වන්නට නියමිත ලලිත්ගේ නව චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරු වශයෙන් හේමන්ත පෙරේරා සහ ශාන් මාකඳුර දෙදෙනා තෝරා ගෙන සිටින ලලිත් සිය නව චිත්‍රපටය පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

‘ආබාධිත නීතිඥවරයකුට දාව ගණිකාවකගේ කුසින් බිහි වූ පැල්පත්වාසී කුඩා පිරිමි දරුවෙක් වටා ගාර්තා . . . ආ ගෙතෙන්නේ. මේ දරුවාගේ ඇසින් සමාජය දකින විදිටයටයි චිත්‍රපටය ගලා යන්නේ.

නීතිය හා අවනීතිය අතර ගැටුම නිරූපණය කරන චිත්‍රපටයක්. මගේ දෙවැනි චිත්‍රපටය සංගිලි සැප්තැම්බරයේ තිරගත කිරීමේ මූලික කටයුතු පිළියෙල කරන අතරෙයි ගාර්තා . . . ආ කරන්නෙ. කොළඹ අවට, නුවරඑළියේ, කුරුණෑගල වගේම හපුතලේ අවට මේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා. මේ දිනවල චිත්‍රපටයට සුදුසු චරිත තෝරමිනුයි පසු වෙන්නෙ’.

අපේ යාලු පුංචි භූතයා දැන් ඔබ අතරේ

අපේ යාලු පුංචි භූතයා චිත්‍රපටය දැන් තරු මණ්ඩලයේ සිනමාහල්වලින් නැරඹිය හැකියි. කුතුහලය මුසු කළ විනෝදාත්මක චිත්‍රපටයක් වන මෙයින් වැඩිහිටියන්ට නොපෙණුනු නමුත් කුඩා දරුවන්ට හිතැති පුංචි භූතයකුගේ අපූරු චරිතයක් අප හමුවට ගෙනේ.

හාස්‍යෝත්පාදක රංගනයට විශිෂ්ට ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහ මෙහි ප්‍රධාන චරිත රඟති. ආනන්ද වික්‍රමගේ, ඩී. බී. ගංගොඩතැන්න, තනුෂ්කා ඉරෝෂණී, අසේල ජයකොඩි, ටෙඩී විද්‍යාලංකාර, අර්ඩ්ලි වෙදමුනි හා කවීෂා නෙත්මි පෙරේරා, විනුෂ ගවින්, දිනිඳු තාරක, සිතිජ අභිෂේක, රජීව නානායක්කාර මෙහි රඟති.

ලාල් පි‍්‍රයදේවගේ අධ්‍යක්‍ෂණයකි. නිෂ්පාදකත්වය එන්. උදය කුමාර්ගෙනි. සම්පත් සිරිල් රත්නායක සහ දර්ශ කපුගේ සහාය අධ්‍යක්‍ෂවරුන්ය.

ලලිත් එම්. තෝමස් කැමරා අධ්‍යක්‍ෂවරයාය. සංස්කරණය සිද්ධාර්ථ නයනානන්දගෙනි. විශාරද එඩ්වඩ් ජයකොඩි සංගීත අධ්‍යක්‍ෂවරයා වන අපේ යාලු පුංචි භූතයා චිත්‍රපටයට වෙස් ගැන්වුම් මනෝජ් කුමාර් සේල්වරාජ්ගෙනි. මෙහි එන ගී සඳහා පද රචනා මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි.
 

ඉරහඳ යට යළි යළිත් ජාත්‍යන්තර කීර්තිය දිනයි

ඉරහඳ යට චිත්‍රපටයට හිමි වූ සම්මානය බෙනට් රත්නායක සහ ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා
ලබා ගත් මොහොත.

ඉතාලියේ පවත්වනු ලබන අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලක දී හොඳම චිත්‍රපටය වශයෙන් පිදුම් ලැබූ පළමු ලාංකේය චිත්‍රපටය ද වෙමින් ඉරහඳ යට චිත්‍රපටය තවත් විශිෂ්ට ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබා තිබේ. ඒ පසුගිය දා නිමාව දුටු ඉතාලියේ අයිඩේන්ට්ටා (Identita)  සිනමා උළෙලේ දී ය.

අයිඩේන්ටිටා යනු ආදරය සහ මානව දයාව තේමා කරගත් චිත්‍රපට උළෙලකි. මෙවර ඒ උදෙසා ලෝකයේ විවිධ රටවලට අයත් සිනමා කෘති හැටක් තෝරාගෙන තිබුණු අතර ඒවා අතුරින් හොඳම චිත්‍රපටය වශයෙන් පිදුම් ලැබුයේ “ඉරහඳ යට” යි.

මෙම චිත්‍රපටය පසුගිය ජුලි මස ඇමෙරිකාවේදී නිමාව දුටු ලොස් ඇන්ජලීස් සිනමා උළෙලේ දී වෘත්තාන්ත චිත්‍රපට අංශයෙන් ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය.

ඊට තෙමසකට ඉහත දී සිංගප්පූරුවේ දී පැවැති 23 වැනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ දී පරිපූර්ණ රංග කුසලතා (Best Performance)සම්මානය සතු කර ගත්තේ ද “ඉර හඳ යට” චිත්‍රපටයමය. එසේම කොරියාවේ දී පවත්වන්නට නියමිත “පියොන් යැංග්” අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනයටත් මෙම චිත්‍රපටය තෝරා ගෙන තිබේ.

උතුරු – නැගෙනහිර ත්‍රස්තවාදී අරගලය පැවැති යුගයේ ත්‍රස්තවාදී සිර කඳවුරකදී සිරකරුවන් ලෙස හමු වූ සොල්දාදුවන් දෙදෙනකුගේ සහෝදරත්වය, ඔවුන් දෙදෙනාගේ ජීවිත සහ ආදරය පිළිබඳ සාකච්ඡා කරන අනුවේදනීය වූත් සුන්දර වූත් කතා ද්විත්වයක් මෙතුළින් ඉදිරිපත් කෙරේ.

ඉර හඳ යට බෙනට් රත්නායකගේ අධ්‍යක්‍ෂණයකි. සමන්මලී හේවාමාන්ත, ඔලිවර් ප්‍රනාන්දු, රුවන් ජයසිංහ සහ ඉන්දික වනිගසේකර නිෂ්පාදකවරුන්ය. රන්ජන් ප්‍රසන්න සහාය අධ්‍යක්‍ෂවරයායි. දුමින්ද විතානගමාච්චි දෙවැනි සහාය අධ්‍යක්‍ෂවරයායි.

කැමරා අධ්‍යක්‍ෂණය කාලිංග දේශපි‍්‍රයගෙනි. දීප්ති වීරසූරිය හා අනුර ගාම්භීරආරච්චි නිෂ්පාදන කළමනාකරුවෝය. සමිත් බෝධිපක්‍ෂ සහාය නිෂ්පාදන කළමනාකරු වේ. ඇඳුම් නිර්මාණ කුමාර කරව්දෙනියගෙනි. සරත්චÁද්‍ර ගම්ලත් සහ බෙනට් රත්නායක මෙහි තිර නාටකයේ හිමිකරුවෝය.

 
 
 
  •  
  •