රෑ දෙකට මඩ බාල්දියක් නාපු අසෝකා- පුෂ්පා ජෙනට්

පෙම් පහන නිවී - පෙම් මල් පර වී

යුරෝ ආසියානු සම්භවයක් තිබූ මේ හැඩකාර කිතුනු යෞවනිය, පියාගේ දැඩි නීති රීති මැද හැදුණේ වැඩුණේ සිංහල යුවතියකටත් වඩා සංවරවය.

ඇය නුවර පදිංචිකාරියක වීම එයට එක් හේතුවක් වන්නට ඇත. එක් සොයුරකු සහ සොයුරියන් තිදෙනකුගෙන් යුත් පවුලක ඇය දෙවෙනියා වූවාය. තම වයසේ ඕනෑම තරුණියක මෙන් ඇය ද සිනමාවට ආදරය කළාය. එහෙත් ඇයට සිනමා පටයක් නැරැඹීමට ලැබුණේ පප්පාගේ අවසරය ලැබුණොත් පමණි.

කඩවුණු පොරොන්දුව, උමතු විශ්වාසය, කැලෑහඳ, පප්පාගේ අනුමැතිය ලබා ගෙන ඔහු සමඟම ගොස් නැරැඹූ සිනමාපටයි. ජෙනට්ගේ සිතෙහි ඇදුණු මුල්ම නිළිය රුක්මණී දේවියයි.

සිනමා පටයකට නිළියන් අවශ්‍යයි යනුවෙන් පුවත් පතක පළ වූ දැන්වීමට පප්පාට හොර රහසේ ජෙනට් ලොකු අම්මාට කියා තැපැල් පතක් යැව්වාය. ඒ වන විට ඇය සාමාන්‍ය පෙළ විභාගය ලියා නිවෙසට වී සිටි යුවතියකි. තැපැල් පත ලද පසු නුවර නිවෙසට පැමිණියේ රටම දන්නා විශිෂ්ට අධ්‍යක්ෂවරයෙකි. ඔහු නමින් සිරිසේන විමලවීර මාස්ටර්ය.

කෙසේ හෝ රංගනයට ඇති කැමැත්ත සැබෑ කර ගැනීමේ ආසාව ඉටු වීම ගැන ජැනට් සතුටින් ඉපිල ගියාය. ඇය පප්පාගේ අවසරය ලබා ගෙන විමලවීර මාස්ටර් හමුවීමට කොලොම් තොටට පැමිණියේය.

ජෙනට් සිල්වියා දුටු විමලවීර මාස්ටර් අසල සිටි ද්‍රවිඩ කලාකරුවකු ඇය දැක ‘පුෂ්පා’ කියා ඇය ඇමතුවේය. ජෙනට් සිල්වියා, පුෂ්පා ජෙනට් වූයේ ඒ අනුවයි. මලක් මෙන් විකසිත වී ඇති ඇයගේ මුව කමල දුටු කලාකාමී සිතකින් ඇයට සුදුසුම නම ලැබුණි.

පුෂ්පා ජෙනට්ගේ කුලුඳුල් රංගනය ඇතුළත් වූයේ ද පුෂ්පයක නම රැගත් සිනමා පටයකමය. ඒ ‘අසෝකා’යි. 1955 දී තිරගත වූ ‘අසෝකා’ පිළිබඳ සොඳුරු මතකයන් බොහොමයක් තවමත් පුෂ්පා ජෙනට් වයෝවෘද්ධ කලා ශිල්පිනියට ගෙන දෙන්නේ ප්‍රබෝධයකි. සතුටකි. මුලින්ම කැමරාවට මුහුණ දෙද්දී බයක් දැනුණා. ස්වභාවික විදියට රඟපාන්න ආසාවෙන් හිටියත් අපිට දෙබස් කියන්න වුණේ දකුණු ඉන්දියානු විදියටයි.

පුණ්‍යා හීන්දෙනිය මුලින්ම රඟපෑවේත් අශෝකා චිත්‍රපටයේ. ඒ කාලේ ඇය පාසල් ශිෂ්‍යාවක්. එයා පෙනී හිටියෙ නැටුම් ජවනිකාවකට විතරයි.

ඒ කාලෙ රඟපෑවට මුදල් ලැබුණේ නැහැ. සාප්පු යද්දී මුදල් දුන්නා.

‘අසෝකා’ සිනමා පටයේ රඟද්දී මට අකැමැති අත්දැකීම් ලබන්න සිදු වුණා. මං පණුවන්ට බයයි. මඩට අප්පිරියයි. ඒත් චිත්‍රපටයේ මඩේ එරෙන ජවනිකාවක්, මඩ නාන ජවනිකාවක් රඟපාන්න සිද්ධ වුණා. මඩ බාල්දි නෑවේ රෑ දෙකට විතර. ඒ අත්දැකීම නම් අමතක වෙන්නෙ නැහැ.

සිනමා පටයේ මගේ පෙම්වතා වුණේ, සනෝජා බිබිලේ ගේ තාත්තා සුමිත් බිබිලේයි.

චිත්‍රපටය හරි ජනප්‍රිය වුණා. ගීත ගැයුවේ ජී. එස්. බී. රාණි පෙරේරා. පෙම් පහන නිවී පෙම් මල් පරවී, තනිවයි උපන්නේ, මංගල සිරියයි ගීත අදටත් හරි ජනප්‍රියයි.’අශෝකා’, පුෂ්පාගේ ජීවිතය දෙආකාරයකින් වෙනස් කළේය. අසෝකා නිසා ඇය රිදී තාරකාවක් වූවාය. එපමණක් නොව ඇයට ජීවන සහකරු ද මුණ ගැසුණි. ඒ සිනමා පටයේ නිෂ්පාදක ධර්මදාස කුලතුංගයි. ඔහු ‘තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ’ ගීතය ගයමින් එහි හිඟන්නකු ලෙස චරිත නිරූපණයක ද යෙදිණි.

පුෂ්පාට, ධර්මදාස පිළිබඳව සිතක් ඇති වී නොතිබුණත් ඔහුගේ සිත දුටුවනම පුෂ්පා කෙරෙහි බැඳී ගියේය. පුෂ්පාගේ මවුපියන්ගෙන් ධර්මදාස මේ ගැන විමසූ විට එය ඒකමතිකව සම්මත කර ගන්නා ලදී.

එහෙත් මේ මංගල යෝජනාව නිසා පුෂ්පාගේ අතට ආ සැබෑ වාසනාවක් නොසිතූ ලෙස ගිලිහී ගියේය. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රේඛාව චිත්‍රපටයට නිළියක සොයමින් සිටි කාලයයි. ලෙස්ටර් මහතා පුෂ්පා ගැන විමසුවේය. ධර්මදාස මහතා තමන් ළඟදීම ඇය විවාහ කර ගන්නා බව පැවසුවේය. විවාහ වන නිසා පුෂ්පා තම සිනමා පටයට නොගැනීමට ලෙස්ටර් මහතා තීරණය කළේය.

පුෂ්පාට, රේඛාවේ රඟන්න ලැබුණා නම් ඇයගේ සිනමා ගමන සිනමා පට දෙකකට පමණක් සීමා නොවීමට ද ඉඩ තිබුණි.

පොඩි පුතා, පුෂ්පාගේ දෙවැනි සිනමා රංගනයයි. ඇය එහි රැඟුවේ පුතු අජිත් කුලතුංග ලැබෙන්නට සිටියදීය. කලාවට සම්බන්ධ වුවත් සිය දරුවන් කලාවට සම්බන්ධ වෙනවාට මේ යුවළ කැමැති වූයේ නැත. එහෙත් පුෂ්පා ජෙනට් මහත්මියගේ මිණිබිරිය, සොළොස් හැවිරිදි රුවිනී මනේකා නම් ගායනයට, නර්තනයට දස්කම්පාමින් කලා ලොවේ ඉදිරියට යාමට පැතුම් පුරන්නීය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    FEEDBACK

    මායා සිනමාව

    මතු දිනෙක

    පැනයයි පුවතයි

    TOP 10

    සළ රූ ගී සර 

    රංග කලාව

    අර්ජුනගෙන් අහන්න

    සිංහල සිනමාව