ළමා කලා උළෙල දා

හය වෙනි වරට පැවත්වූ‘සාමයේ ගීතය’ මහා අන්තර් වාර්ගික ළමා කලා උළෙල පසුගියදා කොළඹ 02, ගාලු මුවදොර ක්‍රිස්තු දේවස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත් විණ.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අන්තර් ආගමික හා වාර්ගික ළමා සංස්තෘතික උළෙල සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිංහල, දමිළ, මුස්ලිම් ළමා කලාකරුවන් රැසක් සහභාගි විය.


හෙළබිම මුද්‍රණයේ පිටපතක් ආරක්ෂක ලේකම් අතට

ආදී ආනන්දියකු වන ග්‍රන්ථ ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා ‘හෙළබිම’ පුවත්පතේ නව මුද්‍රණයේ පිටපතක් ආදී ආනන්දීයකු වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන් වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. මෙහි පසෙකින් සිටින්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතායි.

‘හෙළබිම’ දයාවංශ ජයකොඩි මහතා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටියදී 1961 වසරේ සිට නොකඩවා අවුරුදු ගණනාවක් පළ කළ පුවත්පත මෙන්ම ලංකාවේ ප්‍රථම ළමා පුවත්පත ද වේ.


මර්සි එදිරිසිංහගේ ‘මල වට කර බඹර රෑන’

25 දා කුරුණෑගලදී එළි දැක් වේ

මර්සි එදිරිසිංහගේ ජනප්‍රිය ගීත රැසක් ඇතුළත් නවතම සංයුක්ත තැටිය ‘මල වට කර බඹර රෑන’ මෙම මස 25 වැනිදා සවස කුරුණෑගල නගර ශාලාවේදී එළි දැක්වේ.

මඩේ ලඟින තාරාවන්, මල වට කර බඹර රෑන ඇතුළු මර්සිගේ වේදිකා නාට්‍ය ගීත ද මීට අඩංගු වේ.

මෙදින ඇය සජීවීව ගීත කිහිපයක් ගැයීමට ද නියමිතය.

‘මල වට කර බඹර රෑන’ මර්සිගේ දෙවැනි සංයුක්ත තැටියයි.


ළමා කුසලතාවෙන් සම්මාන ප්‍රදානය

සෑම වසරකම විශ්ව ළමා දිනයට සමගාමීව, ළමා කුසලතා සංවර්ධන වැඩ සටහන විසින් දූ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තම සේවය ලබා දුන් මාධ්‍යවේදීන්, පුද්ගලයන් හා ආයතන ඇගයීම මෙවරත් සිදු කෙරේ. මේ සඳහා උනන්දුවක් දක්වන අය තමන් විසින් සැකසූ විස්තරාත්මක අයදුම්පතක් යොමු කළ යුතු අතර ලිපිනය ඇති මුද්දර කවරයක් පහත ලිපිනයට එවීමෙන් විස්තර පත්‍රිකා ගෙන්වා ගත හැක. ළමා කුසලතා සංවර්ධන වැඩ සටහන, 70/ඕ/14/SP, Y. M. B. ඒ ගොඩනැගිල්ල, බොරැල්ල.


පැරැණි ගීත සමඟ එස්. එස්. එස්. හිස් තැනක්

හැම සිකුරාදාම රාත්‍රී 8.30 ට විකාශය වෙන ස්ටාර් ශ්‍රීී ලංකා හිස් තැනක්? නාට්‍යයේ සෑම කොටසක් අවසානයේදීම පැරැණි ජනප්‍රිය ගීතයක් රස විඳීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට ලැබෙනවා. මේ අපූරු අවස්ථාව ලබා දෙන්නේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන ජනප්‍රිය නළු මහේන්ද්‍ර පෙරේරායි.

‘මගේ ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්?’ ටෙලි නාට්‍යයෙ ප්‍රධාන චරිතයට මං තෝර ගත්තෙ සුබුද්ධි කියල නවක නිළියක්. ඒ අතරෙ සනත් විමලසිරි, අසේල ජයකොඩි, ප්‍රියංකර පෙරේරා, රොනී ලීච්, නිල්මිනි කෝට්ටෙගොඩ, වෙලේගෙදර රණසිංහ, නිරෝෂන් ඉලේපෙරුම, අමිත් වල්පොල, පුබුදු චතුරංග, ගයාන් වික්‍රමතිලක, අසංක දේවමිත්‍ර, තිස්ස මහනාම, සරත් ප්‍රනාන්දු, ඉන්දික රත්නායක වැනි ප්‍රවීණයන් මෙන්ම මගේ වැඩමුළුවලට සහභාගි වුණ පිරිස රඟපානවා. ඇත්තටම ටෙලි නාට්‍යයේ සෑම කොටසක් අවසානයේම පැරැණි ජනප්‍රිය ගීතයක් විකාශය කරන්නේ පැරැණි කලාකරුවන්ට උපහාර පිණිස.

ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්?’ පිටපත දිලීප අබේසේකරගෙ. සංගීතය හර්ෂ ආරියසිංහගෙ. මේ නාට්‍යය ජයලත් පීරිස්ගෙ නිෂ්පාදනයක්.


රජ කැපිල්ල මුහුරත් උළෙල දා

නාට්‍යවේදී කීර්ති බණ්ඩාරගේ ‘රජ කැපිල්ල’ වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත් විණ. නව නිෂ්පාදනයක් ලෙසින් පැමිණෙන මෙම වේදිකා නාට්‍යයේ මානෙල් වානගුරු, රූපා ගෝමස්, දයාසිරි හෙට්ටිආරච්චි, කුමුදු පාලිත ජයවීර, ජයතිලක ඇඹුල්දෙණිය, පද්මසිරි ගමගේ, ප්‍රියන්ති මංගලිකා, සුගත් මොරගහකුඹුර, තුෂිත රුවන් මානගේ, ඩිල්ෂාන් ගුණසේකර, එරංද නදීශාන්, දයාශිලී මීල්ලආරච්චි, පුෂ්පා ජයලත්, නිලූෂි ප්‍රසංගිකා, ධනුජා නයෝමි ප්‍රනාන්දු, අංජලී පෙරේරා, කීර්ති බණ්ඩාර යන රංගන ශිල්පීහු මෙහි රංගන දායකත්වයෙන් සහභාගි වෙති. ‘රජ කැපිල්ල’ වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය හා නර්තන නිර්මාණය පද්මසිරි ගමගේයි. සංගීතය සමීර බුද්ධික සුභසිංහයි. අංග රචනය ජයතිලක ඇඹුල්දෙනියයි. ශබ්ද පරිපාලනයෙන් තුෂිත රුවන් මානගේත්, නිෂ්පාදන කළමනාකරණයෙන් තිලකරත්න ලියනගේත් කටයුතු කරයි.

ඒකාංගික තිර රචනා තරගයක්

හොරණ රංග කලා කේන්ද්‍ර සභාව මගින් ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ අනුග්‍රහය ඇතිව සත්ත්ව අවිහිංසාව තේමා කර ගත් ඒකාංගික තිර රචනා තරගයක් සඳහා අයැදුම්පත් කැඳ වේ. විනාඩි 10 – 20 ත් කාලය තුළදී ඒකාංගික රූපවාහිනි රූගත නිෂ්පාදනයක් ලෙසින් නිම වන පරිදි මෙම රචනා නිර්මාණය විය යුතුය. මේ සඳහා කෘති භාර ගන්නා අවසාන දිනය මෙම මස 30 වැනිදා වන අතර අයැදුම්පත් හා විස්තර ප්‍රධාන කෘත්‍යාධිකාරී, චන්ද්‍ර ශ්‍රීී පෙරේරා, රංග කලා කේන්ද්‍ර සභා, අංක 294, රත්නපුර පාර, හොරණ යන ලිපිනයෙන් ලබා ගත හැක.


කවරයේ කතාව

මෙවර සරසවිය කවරය සරසන්නේ ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ සහ ප්‍රවීණ ගායිකා විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ය. පසුගියදා පැවති 2009 – 2010 රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ දී ප්‍රශස්ත ගායනය සඳහා හිමි සම්මාන යුගළය හිමි කර ගත්තේ සුනිල් සහ දීපිකා විසිනි.

‘සඳකඩ පහණ’ ප්‍රසංගය සමඟ මේ දිනවල ප්‍රේක්ෂකයන් හමුවට එන සුනිල් එදිරිසිංහයන් මෙවර ප්‍රශස්ත ගායනය සඳහා සම්මානනීය වූයේ ‘මේ තරම් සියුමැලි ද කළු ගල්’ ගීතය වෙනුවෙනි.

‘ආජු තපර’ ගීතයෙන් රසික හදවතට සමීප වූ දීපිකා ප්‍රශස්ත ගායනය සඳහා සම්මානනීය වූයේ ‘මාගේ දේශය’ ගීතය වෙනුවෙනි.

එසේම වසරේ ප්‍රශස්ත සංයුක්ත තැටියට හිමි සම්මානය ලබා ගත්තේ ද විශාරද දීපිකා ප්‍රියදර්ශනීය. ඒ ඇගේ ‘සුදු හංසනී’ සංයුක්ත තැටිය වෙනුවෙනි.

හැඩගැන්වීම - හැරිස් විජේසිංහ


ප්‍රියන්ත රංජනගේ නිෂ්පාදනයෙන් සම්ප්‍රදායික අම්බලන්ගොඩ ‘කෝලම්’ නාටකය 23 වැනිදා රත්නපුර නගර ශාලාවේදීත්, 24 වැනිදා නාත්තණ්ඩිය නගර ශාලාවේදීත්, 27 වැනිදා මරදාන ටවර් රඟහලේදී.

_

ආර්. ආර්. සමරකෝන්ගේ ‘දුවිලි හෙවත් පයිප්ප මහත්තයා’ 24 වැනිදා ගම්පහ බණ්ඩාරනායක විදුහල් රංග ශාලවේදී.

_

සෝමලතා සුබසිංහගේ ‘තොප්පි වෙළෙන්ඳා සමඟ පුංචි අපට දැන් තේරෙයි’ 26 වැනිදා සඳුදා බදුල්ල නගර ශාලාවේදී.

_

සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ 24 වැනිදා පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදීත්, 25 වැනිදා කොළඹ 07 බිෂොප් රඟහලේදී. ඇන්ටන් ජූඩ්ගේ ‘සකිසඳ මඬල’ 23 වැනිදා සිකුරාදා හලාවත සුදසුන ශාලාවේදී.

_

ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ ගැබ්බර මිනිසා 23 වැනිදා ගිරිඋල්ල නගර ශාලාවේදීත්, 24 වැනිදා අනුරාධපුර යොවුන් රඟහලේදීත්, 25 වැනිදා මරදගහමුල සණස ශාලාවේදී.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    FEEDBACK

    මායා සිනමාව

    මතු දිනෙක

    TOP 10

    Q & A

    සළ රූ ගී සර 

    BAND LAND

    අර්ජුනගෙන් අහන්න

    සිංහල සිනමාව