වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




නොලැබුණු ආදරයට හඬාවැටුණු අපේ තාත්තා

නොලැබුණු ආදරයට හඬාවැටුණු අපේ තාත්තා

පනස් වසකට පෙර දිවියෙන් සමුගත් සිරිසේන විමලවීර පිළිබඳ පුතු දයා විමලවීරගේ මතක සටහන

සිංහල නාට්‍ය කලාව හෝ සිංහල සිනමාව ගැන කතා කරන කවරකුට වුව සිරිසේන විමලවීර කිසි විටෙකත් අමතක කළ හැකි චරිතයක් නොවේ.

නාට්‍ය රචකයකු, නිෂ්පාදකයකු, රංගන ශිල්පියකු ලෙසින් නාට්‍ය කලාවේ ඉසව් කිහිපයක්ම සිය ප්‍රතිභාවෙන් ඔප කළ විමලවීරයෝ, සිංහල සිනමාවට ද අංශ කිහිපයකින් තම පුරෝගාමී දායකත්වය ලබා දුන්නෝය. කතා හා පිටපත් රචකයකු, නිෂ්පාදක, අධ්‍යක්ෂවරයකු, ගීත ප්‍රබන්ධකයකු ලෙස එකී මෙහෙවර වෙසෙසින්ම කැපී පෙනේ.

ක්‍රි. ව. 1901 ජුනි මස 22 වැනිදා දකුණු පළාතේ තංගල්ලේ, පොළොන්මාරුවේ උපත ලැබූ විමලවීරයන් සිය දිවි රඟ මඬලෙන් නික්ම ගියේ 1963 වසරේ අගෝස්තු 24 වැනිදාය. ඒ අදින් පනස් වසරකට පෙරාතුවය.

තම නාමය ඉදිරියට ගෙන යාමට විමලවීර දැයට දායාද කළ සුජාත පුත්‍රයා දයා විමලවීරය. සහාය කැමරා ශිල්පියකු ලෙස සිනමාවේ පෙර ගමන් ඇරැඹූ දයා, පසු කලෙක අපේ සිනමාවේ ප්‍රමුඛ පෙළේ කැමරා අධ්‍යක්ෂවරයකු බවට පත් විය.

තම පියාගේ අඩි පාරේ යමින් ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට ද පිවිසියේය. වීදුරු ගෙවල්, මේජර් සර්, බඹසර බිසව්, මධු සිහින, මිහිඳුම් සිහින, රජ දරුවෝ, සීතල ගිනිකඳු ඇතුළු චිත්‍රපට දොළසක් ඔහු ප්‍රේක්ෂකයාට තිළිණ කළේ දේශීය සිනමාවට අපූර්වත්වයක් එක් කරලමිනි.

සිරිසේන විමලවීර නමැති ඒ ප්‍රතාපවත් මිනිසා තම දයබර පියාණන් වීම මේ පුතණුවන් හට කෙතරම් ආඩම්බරයක් හා අභිමානයක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.

මේ මතකය දිග හැරෙන්නේ ඒ ආඩම්බරකාර තාත්තා ගැන පමණක් නොවේ. විමලවීර චරිතයේ විවිධ පැතිකඩ හා සියුම් සංවේදනාවන් ද එහි ඇතුළත්ය.

* තාත්තා ගැන ඔබේ මුල්ම මතකය කොයි වගේද?

ඒ මගේ පුංචිම සන්දිය. මම හිතන්නේ අවුරුදු පහක් විතර ඇති. අම්මයි, තාත්තයි අතරේ යම් යම් ප්‍රශ්න, ගැටලු තිබුණා මට මතකයි. මම පවුලේ තුන්වැනියා. අක්කලා දෙන්නයි, මල්ලිලා දෙන්නයි. අම්මයි, තාත්තයි අතරේ තිබුණ ආරාවුල් නිසා ළමයින්ගේ අයිතිය ඉල්ලලා ඔවුන් නඩු මගට බැස්සා. ඒ නඩුවෙන් දින්නේ තාත්තා. අපේ අයිතිය ඔහුට හිමි වුණා.

දයා විමලවීරයන් එසේ සිය අතීත මතකයට මුල පුරයි. ඔහුගේ වතෙහි රැඳී ඇත්තේ කිසියම් කනස්සල්ලක සේයාවකැයි මට හැෙඟ්.

තාත්තාට එතකොට ගෙයක්, දොරක් තිබුණේ නෑ. අම්මාගෙන් වෙන් වුණ දවසේ මට මතකයි තාත්තා මහ රෑ අපිව රික්ෂෝ එකකින් අරන් ආවා මාළිගාවත්තේ හිටපු අබේසේකර කියලා එයාගේ හිතවත් නීතිඥ මහත්තයකුගේ ගෙදරට. අපි එතකොට පදිංචි වෙලා හිටියේ වැල්ලම්පිටියේ. දැන් මහ රෑ බේස්ලයින් පාර දිගේ අපි මාළිගාවත්තට එනවා. ටික දුරක් යනකොට රික්ෂෝ කාරයට ඒක ඇදගන්න බෑ. මොකද එතැන කන්ද තියෙන්නේ. තාත්තා රික්ෂෝවෙන් බැස්සා. බැහැලා රික්ෂෝකාරයට කිව්වා ‘ඔයා නැගලා මේ ළමයි ටික අල්ල ගන්න’ කියලා. ඊට පස්සේ තාත්තා රික්ෂෝව ඇදගෙන උඩට ආවා, මට හොඳට මතකයි.

මා දන්නා තරමින් පසු කාලෙක එම සිදුවීම විමලවීරයන්ගේ චිත්‍රපටයක දර්ශනයකට පවා ඇතුළත් වුණා?

තාත්තා ගොඩක් වෙලාවට එයාගේ ජීවිත අත්දැකීම්වලින් තමයි චිත්‍රපට කතා ලිව්වේ. ‘පොඩි පුතා’ චිත්‍රපටයට තාත්තා ඇතුළත් කර තිබුණේ අර එදා සිදුවීම. එය හරිම සංවේදීයි. ඉතිං අපි අවුරුද්දක් විතර අර නීතිඥ මහත්තයාගේ ගෙදර හිටියා. හරිම කටුක ජීවිතයක්. තාත්තට අපිව බලන්න එන්න ලැබුණේ මාසයකට දෙවරකට වතාවක්. මොකද එයා ඒ තරමටම කාර්යබහුලයි. තාත්තා එතකොට සිනමාවට ඇවිත් හිටියේ නෑ. ඔහු ‘ආර්ය සිංහල’ නාට්‍ය සභාව පිහිටුවාගෙන රට පුරා, ගම්, නගරවල නාට්‍ය රඟ දැක්වූවා. එක නාට්‍යයක් අරගෙන එක පළාතක් පුරාම රවුම් ගහලා ඒ බස් ලෝඩ් එකත් අරගෙන තාත්තා ආපහු කොළඹ එන්නේ මස දෙක තුනකට වතාවක්. තාත්තා එතකොට ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ තංගල්ලේ සිරිසේන විමලවීර කියලයි.

* එක අතකට ඔබේ පුංචි සන්ධිය මවුපිය රැකවරණය අහිමි වූ සමයක්?

එහෙම කිව්වොත් හරි. තාත්තගේ කාර්යබහුලකම නිසා අපි ගැන නිතර හොයලා බලන්නට කාලයක් නොතිබුණත් ඔහු අපට හරි ආදරෙයි. ඒත් අර ගෙදර අපට සුන්දර තැනක් වුණේ නෑ. ඒකයි මම කිව්වේ අපි ඒ කාලේ ගත කළේ කටුක ජීවිතයක් කියලා. අපි එක් කෙනෙකුට උදේ කෑමට සුදු ආප්ප තුනක් දෙනවා. දවසක් මල්ලිට දුන්න තේ කෝප්පය එයාගේ අතින් බිම වැටිලා කුඩු වෙලා ගියා. ඒ්කට වාඩුව පිරිමැහුවේ මල්ලිගේ ආප්ප තුනෙන් ඊළඟ දවසේ ආප්ප දෙකක් අඩු කරගෙන. ඒ වගේ තැනක අපි හිටියේ.

* තාත්තා දැනගෙන හිටියේ නැද්ද ඒවා?

තාත්තට අපි ඕවා කියන්න යන්නේ නෑ. නමුත් තාත්තා ආපුවාම අපෙන් කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා අහනවා. අපි ඉතින් සද්ද නැතිව නිකං ඉන්නවා. ඒත් තාත්තට තේරුණා මෙතන මොකක් හරි වෙනසක් තියෙනවයි කියලා. ඊට පස්සේ තාත්තා එක්ක නාට්‍ය කරන එයාගේ වෙනත්, වෙනත් සහායකයන්ගේ ගෙවල්වලත් අපිව නැවත්තුවා තිබ්බා වරින්වර. පස්සේ අපි කොළොන්නාවට ආවා. එහෙදි කුඩම්මත් එක්ක අපි හිටියේ. එයා හරි කරුණාවන්ත මනුෂ්‍යයෙක්. අපිට හොඳීන් සැලකුවා. තාත්තත් නිතරම අපි ගැන සොයා බැලුවා. හොඳ අධ්‍යාපනයක් අපට ලබා දෙන එක තමයි තාත්තාගේ ලොකුම බලාපොරොත්තුව වුණේ.

1930 – 1940 දක්වා වූ සිංහල නාට්‍ය දශකය තුළ අතිශය ජනාදරයට පත් නාට්‍යකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු වූයේ සිරිසේන විමලවීරයෝය. අනෙක් නාට්‍යකරුවා වූයේ ‘මිනර්වා’ නාට්‍ය කණ්ඩායමේ නියමුවා ලෙස කටයුතුª කළ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නය.

හීනටිගල නාට්‍යය සභාව එක්ක එකතු වෙලා තාත්තා මුලින්ම හදලා තියෙන්නේ ‘ප්‍රතාප්සිං’ කියන නාට්‍යය. ඊට පස්සේ රොඩී කෙල්ල, අම්මා, හෙළදිව පුරඟන, පිටිසර කෙල්ල, ගංවතුර, සීදේවි, මග්ගොම චාලි වගේ නාට්‍ය නිර්මාණය කළා. ඒවා නාට්‍ය ලෝලීන් අතරේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා.

(1947 ජනවාරි 21 මෙරට ප්‍රථම කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ තිරගතවීමත් සමඟ සිංහල නාට්‍ය කලාවට ලැබුවේ නරක දසවකි. ‘මිනර්වා’ නාට්‍ය කණ්ඩායමේ එකල ඉතාමත් ජනප්‍රියව පැවැති නාට්‍යයක් ඇසුරෙන් බී. ඒ. ඩබ්ලිව්. ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය නිර්මාණය කළේය. විමලවීරයන් ගේ ප්‍රථම චිත්‍රපටය වූ ‘අම්මා’ නිපදවෙන්නේ ද එනමින් යුත් සිංහල නාට්‍යය ඇසුරෙනි. නවජීවන මුවිටෝන් නමින් චිත්‍රපට සමාගමක් පිහිට වූ විමලවීර, මහජනයාට එහි කොටස් විකිණීමෙන් ලැබූ ආදායමෙන් හා නාටක රඟ දැක්විමෙන් ලැබූ ආදායමෙන් මෙන්ම තමා සතු සියලු චංචල හා නිශ්චල දේපොළ විකුණා ලත් මුදලින් ‘අම්මා’ නිෂ්පාදනය කළේය. එය මුල්වරට තිරගත වූයේ 1949 අගෝස්තු 19 වැනිදා කොළඹ සෙන්ට්‍රල් සිනමාහලේදීය.

තාත්තා ඇතුළු කණ්ඩායම ‘අම්මා’ චිත්‍රපටය කළේ මදුරාසියේ පිහිටි ‘නැප්චුන්’ චිත්‍රාගාරයේ. මේ චිත්‍රපටය හදන්න රුපියල් 68,000 ක් ගිහින් තියෙනවා. ඒ කාලේ හැටියට ඒක ලොකු මුදලක්. ඩී. ආර්. නානායක්කාර, පර්ල් වාසුදේවි, එඩී ජූනියර්, එස්. එච්. ජෝතිපාල වගේ අය තමයි මේ චිත්‍රපටයේ රඟපෑවේ’ ඇත්තටම මේ පිරිස එදා නොයෙකුත් දුක් ගැහැට මැද්දේ තමයි ‘අම්මා’ චිත්‍රපටය කරලා තිබුණේ. ඒත් තාත්තාගේ උත්සාහය අපතේ ගියේ නෑ.

1947 සිට 1957 දක්වා වූ සිංහල සිනමාවේ ප්‍රථම දශකය තුළ දීප්තිමත්ව බැබැළුණ අධ්‍යක්ෂවරයකු වූ විමලවීර, දකුණු ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට නතුව තිබූ සිංහල චිත්‍රපටයට දේශීය මුහුණුවරක් ගෙන දීමට පුරෝගාමී වූ සිනමාකරුවාද වේ.

තාත්තා හැදුණේ වැඩුණේ ගමේ. ඉතින් ගමේ ගතිය එයාට හරියට තිබුණා. තාත්තා ඉතාමත් තරුණ වියේදී ඉන්දියාවට ගියේ. ඒ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරන්න. එහෙම ගිහින් තාත්තා වැඩිපුරම කරලා තියෙන්නේ නාට්‍ය නරඹපු එක. එහෛදි හින්දි, බෙංගාලි වගේ භාෂා කිහිපයක්ම එයා හදාරලා තිබුණා. ඒ මොන දේ ඉගෙන ගත්තත් අර ගමෙන් ගෙනාපු දේ ඉතිරි වෙලා තිබුණා එයා ළඟ. තාත්තගේ නාට්‍යවලින් වගේම චිත්‍රපටවලත් පිළිබිඹු වුණේ ඒ ගැමිකම, සිංහල ගතිය.

* එතුමාගේ නිර්මාණවල වගේම සැබෑ ජීවිතයේත් ඒ ගති ලක්ෂණ දකින්න ලැබුණාද?

මුල් කාලේ තාත්තා ඇන්දේ කමිස, කලිසම්. ඉන්දියාවට ගියාට පස්සේ එයා බෙංගාලි ජාතික ඇඳුම, ‘ජෝතිය’ අඳින්න පුරුදු වෙලා හිටියා. පස්සේ තාත්තාගේ ප්‍රියතම ඇඳුම වුණේ ජාතික ඇඳුම. තාත්තා මිය යන තුරුම ඇන්දේ ඒක. ගැමි කෑම බීමවලට තමා තාත්තා වැඩිපුර කැමැති. බත් එක්ක ‘මී කිරි’ අනාගෙන කන්න එයා පුරුදු වෙලා හිටියා. තාත්තා රුහුණේ මිනිහෙක් නිසා වෙන්නැති ඒ.

* තාත්තා හදපු චිත්‍රපට ගැනත් කතා කළොත්?

ඔහු සේරම චිත්‍රපට දහයක් නිර්මාණය කළා. පිළිවෙළට කිව්වොත් අම්මා, සීදේවි, පිටිසර කෙල්ල, සරදියෙල්, පොඩි පුතා, අසෝකා, සිරකරුවා, එකමත් එක රටක, වනමල ඒ චිත්‍රපටයි. ‘අසෝකා’ සහ ‘මා ආලය කළ තරුණිය’ හැර අනෙක් චිත්‍රපටවල කතාව, තිර රචනය තාත්තාගේ. ඒ වගේම ‘අසෝකා’ හැර අනෙක් සියලුම චිත්‍රපටවල ගීත ප්‍රබන්ධය කළේත් ඔහුමයි. ‘අසෝකා’ චිත්‍රපටයෙන් කරුණාරත්න අබේසේකර හා පී. එල්. ඒ. සෝමපාල චිත්‍රපට ගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ තාත්තා.

සිරිසේන විමලවීරයන්ගේ සිනමා දිවියේ ඔහුලත් ඉහළම අගැයුම වන්නේ 1956 වසරේ ලංකාදීප පුවත්පත මඟින් සංවිධානය කළ ‘දීපශිඛා’ සම්මාන උළෙලේදී දීපශිකා සම්මානයෙන් පිදුම් ලැබීමය. ඒ සඳහා එතෙක් තිරගත වුණ චිත්‍රපට 32 ක් තරග වැදුණු අතර අවසන් වටය සඳහා ඉන් චිත්‍රපට දහයක් තෝරා ගැනුණේ පාඨක ඡන්දයෙනි. එහිදී හොඳම චිත්‍රපටය වූයේ විමිලවීරයන්ගේ ‘පොඩි පුතා’ය. එය සම්භාව්‍ය චිත්‍රපටයක් ලෙස එකල විචාරකයන්ගේ පැසසුමට ලක්වූ අතර ආදායම් ඉපයීමෙන් ද සාර්ථක විය.

තාත්තාගේ අදහසක් තිබුණා මේ චිත්‍රපට හදන්න ඉන්දියාවට යන මුදල් අපේ රටේම තියාගන්න ඕනෑ කියලා. එයා ‘අම්මා’ හදන්න ගියේ, මදුරාසියේ නැප්චූන් චිත්‍රාගාරයටනේ. එතනදි තාත්තා ඒ හැම දේම ඉගෙන ගත්තා. දෙවෙනි චිත්‍රපටය ‘සීදේවි’ කළේත් එහේ. ඊට පස්සේ එයාට හිතුණා දැන් ඇති අපි ඉන්දියාවට ගියා, මේක නවත්වන්න ඕනෑ කියලා. ඉස්සර වෙලාම ලාංකිකයෙක් හැටියට ඒ වගේ අදහසක් ආවේ තාත්තට කියලා මට හිතෙනවා.

* ඒ සිතිවිල්ලේ ප්‍රතිඵලයක් තමයි කිරිබත්ගොඩ ‘නව ජීවන’ චිත්‍රාගාරය?

ඔව්. තාත්තා කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් ඉඩම් කැබැල්ලක් මිලයට අරගෙන ‘නව ජීවන’චිත්‍රාගාරය ඉදි කළා. එහි මුල්ගල තියලා තියෙන්නේ 1951 සැප්තැම්බර් 13 වැනිදා. අඩුපාඩු ගොඩක් මැද්දේ තමයි තාත්තා මේ චිත්‍රාගාරය පටන් ගත්තේ. එස්. ඕ. එස්. කියන ආයතනයෙන් අලුත්වැඩියා කළ එවරස්ට් වින්ස්ටන් කැමරාවක් හා අලුත්වැඩියා කළ බ්ලූසීල් ශබ්ද උපකරණත් ගෙන්වා ගත්තා. බ්ලූසීල් කියන්නේ යුද්දෙට පාවිච්චි කරපු සවුන්ඩ් සිස්ටම් එකක්. එච්චර හොඳ කොලිටියක් නෑ ඒකේ. ඇයි මහ කර්කෂ ශබ්ද පටිගත කරන්නනේ ඒවා තියෙන්නේ. ඉතින් ඒ දෙකෙන්ම තමයි ඔය ‘පිටිසර කෙල්ල’ චිත්‍රපටය හදන්න පටන් ගත්තේ. වැඩේ කර ගත්තා එයා කොහොම හරි.

* මම හිතන්නේ අර පෝල් මෙතායස් කියන දක්ෂ ඉන්දියානු කැමරා ශිල්පියාවත් නව ජීවනයට බඳවා ගත්තා ඔබේ පියා?

පෝල් මෙතායස් තමයි ‘නව ජීවන’ චිත්‍රාගාරයේ මුල්ම කැමරා ශිල්පියා වුණේ. ඔහු දක්ෂ සිනමා ආලෝකකරණ ශිල්පියෙක්. ඒ වගේම ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියකු වූ සී. ඇල්. බාස්කර්වත් තාත්තා චිත්‍රගාරයේ සේවයට බඳවා ගත්තා. ඔවුන් දෙදෙනා ලවා සිංහල තරුණයන්ට පුහුණුව ලබා දුන්නා. රසායනාගාර කටයුතු කරන්නත් අපි ඒකෙම ලැබ් එකක් හදා ගත්තා. ගෝපි ස්වේයාර් කියලා කෙනෙක් තමයි ලැබ් ඇසිස්ටන්ට ගෙනාවේ. එයාගෙම බෑණා මම හිතන්නේ අනිල් ස්වෙයාර් කියලා එයාව ගෙනාවා ප්‍රින්ටර් හැටියට. හැබැයි එයාලට බෙංගාලි භාෂාව හැර වෙන දෙයක් කතා කරන්න බෑ. තාත්තා එයාලත් එක්ක බෙංගාලි භාෂාවෙන් ඉතාමත් ව්‍යක්තව කතා කළා.

* තාත්තාගේ චිත්‍රපට වැඩි හරියක් හැදුණෙ ‘නව ජීවන’ චිත්‍රගාරයේ නේද?

‘පිටිසර කෙල්ල’ට පස්සේ ‘පොඩි පුතා’, ‘සරදියෙල්’, ‘අසෝකා’, ‘මා ආලය කළ තරුණිය’, ‘එකමත් එක රටෙක’, ‘වනමල’ චිත්‍රපට හැදුවේ එහේ. තාත්තා ‘පුංචි අම්මා’ සහ ‘රොඩී කෙල්ල’ කියලා චිත්‍රපට දෙකකම වැඩ ආරම්භ කරත් අතරමඟ නතර වුණා.

* එතකොට ඔබ ‘නවජීවන’ චිත්‍රාගාරයට සම්බන්ධ වෙන්නේ කොයි අවිධියේද?

‘මා ආලය කළ තරුණිය’, ‘වනමල’ කරන කාලේ මම ඊට සම්බන්ධ වෙලා හිටියේ. කැමරාකරණයේ මගේ ගුරුවරයා වුණේ පෝල් මතායෙස්. හැබැයි මට වඩා සීනියර් ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා. එයා තමයි එතකොට සහායක කැමරා ශිල්පියා. මම ආවේ තර්ඩ් ඇසිස්ටන්ට් වාගේ. පස්සේ සිල්වා කැමරාමන් වුණාට පස්සේ මම එයාටත් ඇසිස්ට් කෙරුවා. ඔය කාලේ මම ගැන තාත්තට එච්චර අවබෝධයක් තිබුණේ නෑ. තාත්තා දැනගෙන හිටියේ නෑ මට වැඩක් කරන්න පුළුවන් කියලා. ‘කැමරාවට තට්ටු දදා සිංදු කියනවා හැර උඹ මේවා ඉගෙන ගන්නේ නෑ’ කියලයි තාත්තා ඒ කාලේ මට නිතරම කිව්වේ.

* නමුත් එක්තරා අවස්ථාවක තාත්තා දැනගන්නවා පුතාගේ හැකියාව. මතක් කරමුද?

‘පටාචාරා’ චිත්‍රපටය කරන්න විමලනාත් දිසානායක ආවා. එයා මගේ ස්ටිල්ස් එහෙම දැකලා තියෙනවා. ‘මට මෙයා ඕනෑ කැමරමන් විදිහට’ කියලා ඔහු තාත්තාට කිව්වා. පස්සේ තාත්තා ටිකක් සැරෙන් වගේ විමලනාත්ට කිව්වා ‘පිස්සුද මෙයා දන්න දෙයක් නෑ, ඔයා වෙන අතක් බලාගන්න’ කියලා. ‘නෑ මට ඕනෑ මෙයාමයි, මට මෙයක් එක්ක වැඩේ කර ගන්නම් මාස්ටර් ඉන්නකෝ’ කියලා විමලනාතුත් කිව්වා. ඔය අතරේ මෙහෙමෙ දේකුත් වුණා.

* ඒ මොකක්ද?

දවසක් පුවත්පතක සේවය කරන කෙනෙක් ආවා ‘මා ආලය කළ තරුණිය’ චිත්‍රපටයේ ෆොටෝ ටිකක් ගෙනියන්න. නමුත් එයා කැමරාවක් ගෙනත් තිබුණේ නෑ. එයා මාවත් දන්න නීල් කියලා රිපෝටර් කෙනෙක්. මේ කිරිබත්ගොඩම. තාත්තා ඩබ්ලිව්. ඒ. බී ද සිල්වා හොයන්න සේවකයෙක් ගෙදර යැව්වා. නමුත් ඔහු හිටියේ නෑ. ‘මොකටද මාස්ටර් ඔය එහෙ මෙහෙ දුවන්නේ. ඔය පුතා ඉන්නේ, එයාට කියලා ගන්නකෝ’ කියලා අර මනුස්සයා කිව්වා. තාත්තා කිව්වා ‘පිස්සුද එයා දන්නේ නෑ’ කියලා.

* කොහොම හරි අන්තිමට වැඩේ ඔබටම පැවරුණා?

තාත්තා ගාව තිබුණා රොලිෆ්ලෙක්ස් කැමරාවක්. ‘සුජාතා’ චිත්‍රපටයට සිංදු ලියලා තාත්තට තෑග්ගක් හැටියට ලැබුණේ ඒ කැමරාවයි, රේඩියෝ එකකුයි. තාත්තා කැමරාව අතට අරන් ‘උඹට පුළුවන්ද පින්තූර ගන්න’ කියලා ඇහුවා. මම ‘පුළුවන්’ කිව්වා. මේකට දාන ෆිල්ම් ජාතිය දන්නවද? මම කිව්ව් ඔව් 120 කියලා. දැන් කුමාරි මානෙල්වත් ගෙන්නුවා ෆොටෝ ගන්න. රීල් එකේ ෂොට් දොළහයිනේ තියෙන්නේ. දොළහම ගත්තා. ඊට පස්සේ තාත්ත ඇහුවා කොහොමද මේක ඩිවලොප් කරන්නේ කියලා. මං වැඩේ බාර ගත්තා. ඉවර වෙලා ‘හරි තාත්තේ’ කිව්වා. ‘කොහොමද දැන් මේක ප්‍රින්ට් කර ගන්නේ’ තාත්තාගෙන් අයෙත් ප්‍රශ්නයක්. ‘මං ඒකත් කරලා දෙන්නම්’ කිව්වා. පස්සේ ඩාර්ක් රූම් එකේ යතුර ඉල්ලගෙන ඒකත් කළා. පින්තූර දොළහම හරි ලස්සනට තිබුණා. මට දැන් මට ගැනම ආඩම්බරයි. මුණිදාස කියලා සේවකයෙක් හිටියා. මම පින්තූර ටික එයා අතේ තාත්තට ඇරියා.

* ඔබට දැනුණ ආඩම්බරයම තාත්තටත් දැනෙන්නට ඇති?

මුණිදාස අතේම තාත්තා මට පණිවිඩයක් එවලා තිබුණා ඇවිත් හම්බ වෙන්නයි කියලා. දැන් ඉස්සරහ කඩේට වෙලා මම තේ බොනවා. කොහොම හරි දෙවැනි පණිවිඩයත් ආවා. මම විගහට ගියා. එයා හුඟක් සතුටු වෙච්ච වෙලාවට විතරයි පුතා කියලා කතා කරන්නේ.

* නැත්නම් ? ...

දයානන්ද කියලා. පස්සේ තාත්තා මට කිව්වා ‘පුතා මේක තමයි හරි. මේ විදිහට වැඩක්කර ගත්තොත් පුතාට හුඟාක් දුර යන්න පුළුවන්. මීට පස්සේ මගේ ස්ටුඩියෝ එකේ පින්තූර ගන්නේ පුතා. වෙන කවුරුත් නෙවේ. එහෙම කියලා ඔහු මට කැමරාව බාර දුන්නා. ඒකෙන්ම මට ලොකු ධෛර්යයක් ඇති වුණා.

* ‘පටාචාරා’ත් කළා?

තාත්තා ‘පටාචාරා’ බලලා හරියට සතුටු වුණා. ඔහුගේ ‘රොඩී කෙල්ල’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය බාර දුන්නේ මට. තාත්තමයි ස්ක්‍රිප්ට් එක ලිව්වේ. රොඩී මහල්ලා හැටියට රඟපෑවේත් තාත්තා. අපි දර්ශන කිහිපයකුත් රූගත කළා. ඒත් ඒ වැඩේ කරගන්න බැරි වුණා. තාත්තා හෘදයාබාධයකින් අවසන් හුස්ම හෙළුවේ ඒ අතරතුරදීයි.

* ‘දුම්වැටිය’, ‘මීවිත’ කලාකරුවකුට බොහෝ සමීපයි. තාත්තටත් මේ වගේ පුරුදු තිබුණාද?

එයා පුදුම විදිහට සිගරට් බීපු කෙනෙක්. නැවිකට් සිගරට් පැකට් එක හැම වෙලාවෙම ළඟ. එකක් නිවෙන කොට එකක් පත්තුª කරනවා. අර චේන් ස්මෝකර් කියලා අපි කියන්නේ. මැරෙනකල් තාත්තාගේ ඒ පුරුද්ද තිබුණා. හැබැයි එයා මත්පැනට එහෙම ලොල් බවක් දැක්වූවේ නැහැ. ඉඳලා හිටලා විස්කි ටිකක් බොනවා. විස්කි විතරයි.

ගීත රචනා කලාවෙහි විමලවීරයන් පෑ දක්ෂතාවද කිසිවකුටත් අවතක්සේරු කළ නොහේ. ඔහු අතින් චිත්‍රපට ගී හැත්තෑවක් පමණ රචනා වී ඇතැයි පැවසේ.
 

නාරිලතා පුෂ්පේකී ස්ත්‍රී

නාරිලාත පුෂ්පේ

ධ්‍යාන වඩවනා – යෝගි වඩවනා

නාරිලතා පුෂ්පේ

විෂ ඝෝර නාග විෂ කලතා

සූකිරි ද පැණී එහි දවටා

කලතලා සැටක් සිව් මායමේ

බඹා මැව්වේ ස්ත්‍රී ලෝකෙටා

නාරිල ලතා පුෂ්පේ . . .

‘සුජතා’ චිත්‍රපටයට විමලවීරයන් එහි ලියූ මේ ගීතය තවමත් රසිකයන් අතර ජනප්‍රියය. මොහිදීන් බෙග් ගැයූ මේ ගීතය සංගීතවත් කරනු ලැබුවේ ඇස්. දක්ෂිණමූර්තිය. ‘පෙම් රැල්ල නගී’, ‘ප්‍රේමාලෝකය නිවී ගියා’, ‘මයාවකි මේ ලෝකා’ විමලවීර ‘සුජාතා’ චිත්‍රපටයට ලියූ සෙසු ගීතය.

තාත්තා ලියූ හුඟක් ගීතවල තිබෙන්නේ මේ ස්ත්‍රිය ගැන ප්‍රසාද පූර්වක හැඟීමක් නෙවෙයි. කිසිියම් අවිශ්වාසයක්, එහෙමත් නැත්නම් කලකිරීමක් වැනි හැඟීම් සමුදායක්. වරෙක එතුමන් ‘ආලෙ කළ මුත් පණට පණ සේ . . . ස්ත්‍රී ජාති නැත විශ්වාසේ, කවාලා විළඳ ජාති’ වැනි ගීත ලියන්නේ ඒ නිසාමයි.

* ඇයි මෙවැනි ආකල්පයක් ඔහු තුළ වර්ධනය වෙන්නට ඇත්තේ?

තාත්තා ආදරයට හරි ආදරෙයි. හැබැයි එයාගේ ජීවිතයට ඒ ආදරේ ලැබුණේ නෑ. ඒ කියන්නේ කොච්චර ආදරේ කළත් පෙරළා ඒ ආදරය හිමි වුණේ නැහැ. කලාකාරයෙක් කියන්නේ හරිම සංවේදී කෙනෙක්. පොඩි දේකින් වුණත් හිත රිදෙන, සැළෙන ගතියක් තියෙන්නේ. මට හිතෙන්නේ අද කල්පනා කරලා බලන කොට තාත්තා ඒ නොලැබුණ ආදරය වෙනුවෙන් සදාකාලිකවම තැවුණ කෙනෙක්. ඒ අත්දැකීම් තමයි මම හිතන්නේ ඔය ගීතවලටත් ප්‍රස්තුත වෙන්න ඇත්තේ. ඒ විතරක් නෙවේ තාත්තා මෙහෙමත් ලියනවා,
 

වන මලක් අතැර දාලා

කරදාසි මලක වහලා

අඬු කඩා ගත්ත බඹරෝ

දැන්වත් පල ඉගිලීලා . . .’

එයා ගැන එයාම ලියනවා. ඒවා කොයි තරම් අර්ථපූර්ණ ද,, සංවේදී ද කියලා මට හිතෙන්නේ දැන්.

* අවසන් වශයෙන් කියන්න ‘තාත්තා’ ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම තාත්තා ගැන ආඩම්බර වෙනවා. ඒ ආඩම්බර වෙන්නේ ඔහුගේ ජීවිතයෙන් අපට ආදර්ශයක් ලබාදුන් නිසා. තාත්තා බොහෝ දෑ ලබාගත් කෙනෙක්. ඒ වගේම බොහෝ දෑ අහිමි වූ කෙනෙක්. ඒත් ඔහු ජීවිතය දිහා උපේක්ෂාවෙන් බැලුවේ. සමහරෙකුට හිතෙන්න පුළුවන් ඔහු සැර පරුෂ කෙනෙක් කියලා. හුඟක් කේන්ති ගිය වෙලාවට ඔහු ටිකක් දරුණුයි. ඒත් ටික වෙලාවයි. හරිම අහිංසකයි, සංවේදියි තාත්තා. නමුත් එයා ගැන අපටත් වඩා දන්න විදිහට එක එක්කෙනා නොයෙකුත් කතා කියනවා. මිය ගිය පුද්ගලයකු ගැන එවැනි දුර්මත ප්‍රචාරය කිරීම පාපයක්. කොහොම වුණත් මගේ වීරයා තාත්තා. මීට අවුරුදු පනහකට කලින් අගෝස්තු 24 වැනිදා තාත්තා කොළඹ කලීල් රෝහලේදී අවසන් හුස්ම හෙළුවේ මගේ දෑත උඩ හිස තබාගෙන. ඒ ජීවිතයේ අනිත්‍ය ගැන තාත්තාම වරෙක ‘පොඩි පුතා’ චිත්‍රපටයට ලියූ ගී පදවැලක සැබෑ අරුත අපට පසක් කරදෙමින්. . .,
 

‘මේ ලෝකෙ නවාතැන වේ

දෙදිනයි මෙහි වාසේ

මායා මමතා හැරදා

හෙට යන්නට සිදු වේ . . .’