වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




‘දිනෙක කුසිනාරාවේ’ ලිව්වේ මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන්
තමන්ගේම කෘතියක් පිළිබඳ සාහිත්‍යවේදියෙකු දක්වන අදහස් ඇතුළත් අලුත්ම ලිපි මාලාව

‘දිනෙක කුසිනාරාවේ’ ලිව්වේ මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන්

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කාලයක සිට අප අතර වූ සුවිශේෂ කියමනකි. මේ කියමන බොරු කරන්නට සමත් වූ අයෙකි. හෙතම කලාවේ ඇසූ පිරු තැන් ඇත්තෙකි. භද්‍රජි මහින්ද ජයතිලක. භද්‍රජි යනු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කලාවට එක් වූ සහෘදයෙකි. කෙටිකතා, වේදිකා නාට්‍ය, ටෙලි පිටපත්, ගුවන්විදුලි නාට්‍ය, පරිවර්තන, සාහිත්‍ය කෘති, පර්යේෂණ ග්‍රන්ථ මෙන්ම ගී රචනයෙහිද ගී තනු නිර්මාණයෙහිද ප්‍රවීණයෙකි. ජනප්‍රිය ගායකයෙක්, රංගන ශිල්පියෙක් පමණක් නොව හේ චිත්‍ර ශිල්පියෙකුද වන්නේය. සරස්වතියගේ ඇල්ම බැල්ම නොඅඩුව ලද මේ අපූරු කලාකරුවා තවත් වරෙක වෙදදුරෙකු වන්නේ මිනිස් සිතේ චක්‍ර මුදා හැරීම තුළින් වන ශක්තියෙන් රෝගී වූවන්ට සුවය ලබා දෙමිනි.

සාහිත්‍යකරුවන්ගේ මිහිරි මතක සොයා යන මඟ මං සළකුණු ඔස්සේ අද පිය නඟන්නේ මේ සුවිශේෂ නිර්මාණකරුවාය. ඔහුගේ සිත ගත්තේ ඔහු විසින් 2008 වසරේදී රචිත ‘දිනෙක කුසිනාරාවේ’ කෘතිය යි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 2009 වසරේ හොඳම බෞද්ධ තේමා නවකතාව ලෙසින් එය සම්මානයට පාත්‍ර වූයේද දිනෙක කුසිනාරාවේ කෘතිය යි.

‘සල් ගසක සෙවණේ හිඳගත් ආනන්ද හිමි විඩාබර දෙනෙත් මඳකට පියා ගත්තේය ගත වෙහෙස වුවද සිත තුළ නැඟෙන දහසකුත් එකක් සිතුවිලි හා හැඟුම් සමුදාය නිසා නින්ද නම් ගව් ගණනක් ඈතය. මේ දිවා වරුවේ සියොතුන් පවා නිසලව ගොළුවුණාක් සේ පරිසරයේ වූයේ නිහඬතාවයකි. භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි හැඳ පොරවා ගෙන විසාලාවෙහි පිණ්ඩ පාතයේ වඩිද්දි ආනන්ද හිමියන්ද ඒ අනුව ගමන් ගත්තේ මඳක් පසුබාමිනි. ඉදිරියෙන් ගමන් ගත් භාග්‍යවත් බුදුන් වහන්සේගේ සෙවණැල්ලවත් පෑගෙන ළඟකින් ආනන්ද හිමි ගමන් නොගත්තේය.

විසාලා නගරය සැබැවින්ම විශාල විය. අති සුන්දර විය. ලිච්ඡවි කුමාරවරුන් මෙහි සමඟියෙන් සමාදානයෙන් එක්ව රජ කරන්නාහ. ලිච්ඡවි රජදරුවන් බුදු රජාණන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වහන්සේලා වෙනුවෙන් නිමවූ තැන් බොහෝය. මහා වනයේ කූටාගාර ශාලාව එයින් ප්‍රධාන තැනක් ගනියි. ඒ හැරෙන්නට උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බ චේතිය, චාපාල චේතිය, සාරන්ද චේතිය මේ සියල්ලම අති රමණීය ස්ථානයන්ය’.

දිනෙක කුසිනාරාවේ කෘතිය නවකතාවක් වන්නේ කෙසේද?

යම් කෘතියක් එහි ශෛලිය, තේමාවක් ලෙසින් පාවිච්චි කරන දෙය සේම පෙන්වන ආකාරයෙන් එය නවකතාවක් බවට පත් වෙනවා. මගේ මුල්ම නවකතාව ලිව්වේ අවුරුදු දහහතේදී. එය නම් වුණේ සුදු හංසයෝ ඉගිළ ගියහ ලෙසින්. බෝසතුන් ඉපදෙන දවසේ කිඹුල්වත් පුරයේ හිඟන ළමයෙකුගේද උපත සිදු වෙනවා. මේ කතාපුවත් දෙක එකිනෙකට සමාන්තරව යන ආකාරය සුදු හංසයෝ ඉගිළ ගියහ කෘතියෙන් ගෙන එනවා. ඒ සඳහා පාදක වුණේ ධම්මපදයේ ගාථා. බුදු දහම ඇසුරෙන් කවත් කෘති රැසක් මා අතින් රචනා වුණා. දිනෙක කුසිනාරාවේ කෘතිය රචනා වුණේ මහාපරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන්. එහි ශෛලිය, තේමාව සේම පෙන්වන ආකාරයෙන් එය නවකතාවක් ලෙසින් නම් කරන්න පුළුවන්.

ආගමික නැඹුරුවට විශේෂ වුණේ ඇයි?

බොහෝ දෙනා අතින් බෞද්ධ කෘති රචනා නොවන්නේ නොදැනුවත්කම නිසා. ඒ වගේම මෙවැනි කටයුත්තක් වෙනුවෙන් බොහෝ පර්යේෂණ කළයුතු වෙනවා. එහි යම් රසයක් තියෙනවා. එහි ධර්මය වගේම යම් කතාවක් තිබෙනවා. බුදු දහම ඇසුරෙන් නිර්මාණයක් කිරීම සාමාන්‍ය නවකතාවක් ලියනවා වගේ නොවෙයි.

කුඩා කාලයේදීත් ආගම වෙනුවෙන් ගොඩක් ලැදි වෙන්න ඇති?

පුංචි කාලය මෙනෙහි කළොත් මම මගේ මුල්ම ගීතය රචනා කරන්නේ අවුරුදු තුනේදීයි. අවුරුදු හයේදී මම චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඉන් පසුව කතන්දර ලියන්න පටන් ගත්තා. චිත්‍ර අඳිමින් කතන්දර ලිවීම වගේ විනෝදාංශය වුණා. මේ සමඟ මගේ ලිවීමේ හැකියාව වර්ධනය වන විටදී දවස් දහයකින් නවකතා ලිව්වා. ඉස්කෝලේ ගිහින් ඇවිත් දවසකට පිටු දහයක් ලියනවා. ඒ විදියට කතන්දර දහයක් විතර මම අතින් රචනා වුණා. ඒවා දැන් මා සතුව නැතත් මතකයන් ලෙසින් මගේ හිතේ බොහොම සුන්දරව තැන්පත් වෙලා තියෙනවා. මම බ්ලැක් බියුටි පොත පරිවර්තනය කරන කොට මගේ වයස අවුරුදු දොළහක් විතර ඇති. මම පරිවර්තන කළෙත්් හරිම කැමැත්තෙන්. විද්‍යා ප්‍රබන්ධත් ඒ වගේමයි. මට විවිධ පැති හරහා ලියන්න හැකියාව ලැබුණා. ඒ නිසා මට විවිධ අංශ කෙරෙහි ප්‍රිය වූ විවිධාකාර පාඨකයන් රැසක් මා මටා සිටිනවා.

ඔබ පරිසරයේ සුන්දරත්වය දැකීමෙහි රුසියෙක් වගෙයි?

නිර්මාණයකදී මම මනසින් අදාළ සිදුවීම වූ අතීතයට යනවා. අතීතයේ සිදු වූ යම් සිදුවීමක් ගතහොත් ඒ කාලයට අදාළ සියලු දේ සෙවීම මගේ පුරුද්දක්. ඒ කාලයේ සමාජ පසුබිම, දේශපාලනය, මිනිසුන්ගේ ජීවන රටා ආදි සියලු දේ මම සොයනවා. ඒ අනුව මට එතැනට යන්න පුළුවන් වෙනවා. ඉන් පසුවත් මට ඒ පරිසරය ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ සියල්ල අවසානයේ මම කතාව ලියන්න පටන් ගන්නේ මනසින් එම ස්ථානයට ගිහින්. ඒ පරිසරය තුළ මට ඒ සම්බන්ධ චරිත දකින්න පුළුවන්. දිනෙක කුසිනාරාවේ කෘතිය ගත්හොත් ඇත්තටම එය රචනා කිරීමේදී මට බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් වුණා. ඒ වගේම මම මගේ බෞද්ධ ග්‍රන්ථ රචනා කළේ විශාල බුද්ධාලම්භන ප්‍රිතියකින්. එවිට පරිසරයේ සුන්දරත්වය සැබැවින්ම සේ විඳගන්න පුළුවන්. එය නිර්මාණයේ සුන්දරත්වය වෙනුවෙන් විශාල වගකීමක් ගන්නවා. මේ වෙනුවෙන් අදාළ තේමාව සම්බන්ධයෙන් වූ බොහෝ දේ මම අධ්‍යයනය කරනවා. ඒවා වෙනමම සටහන් කරගැනීම මගේ පුරුද්දක්. ඒ ඔස්සේ එම පරිසරයේ දර්ශන මම ජීවමාන කර ගන්නවා. ඇත්තෙන්ම මම ඒතුළ ජීවත්වන පුද්ගලයෙකු බවට පත් වෙනවා. මම කතාව ලියන්නේ මනසින් අදාළ ස්ථානයට ගිහින්.

දිනෙක කුසිනාරාවේ කෘතිය ඔබ ඉදිරිපත් කරන්නේ අනඳ තෙරුන්ගේ ඇසින්. මේ වෙනුවෙන් උන්වහන්සේ තෝරා ගැනීමට විශේෂ වූයේ ඇයි?

කතාවක් කීමේදී හැම වෙලාවකම මම බලන්නේ මේ කතාව කියන්න හොඳම පුද්ගලයා කවුද කියලයි. මෙම අවස්ථාවේදී බුදුරජාණනන් වහන්සේට මේ කතාව කියන්න බැහැ. එතැනදී උන්වහන්සේ ළඟින්ම සිටින අයෙකු මේ සඳහා අවශ්‍ය වෙනවා. සමීපතමයෙකුට පමණයි නිවැරදිව සත්‍ය තොරතුරු ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සෑම චරිතයකටම සම්බන්ධ කවුද කියලා හොඳින් අධ්‍යයනය කළ යුතුයි. මේ අනුව බලනවිට බුදුන් වහන්සේගේ ළඟින්ම හිටියේ ආනන්ද තෙරුන්වහන්සේ. වැඩිම තොරතුරු ප්‍රමාණයක් තියෙන්නේ උන්වහන්සේ ළඟයි. ඒ නිසා දිනෙක කුසිනාරාවේ ආනන්ද හාමුදුරුවන්ගේ ඇසින් දකින්න ඕනි වුණා..

මේ කෘතිය රචනා කිරීමට පෙළඹ වූ කාරණය?

මේ කෘතිය රචනා කිරීමට මා පෙළඹ වූයේ, මහාපරිනිබ්බාන සූත්‍රයයි. එය කියවා අවසානයේදී මගේ නෙතට කඳුළු නැඟුනා. මහාපරිනිබ්බාන සූත්‍රය නවකතාවක් නෙවෙයි. ඒක සූත්‍රයක්. බොහෝ දෙනා එය පරිශීලනය කරනවා අඩුයි. උත්සාහ කළත් ඒවා අසාර්ථක වෙන්න ඉඩ වැඩියි. නමුත් එය කියවන විටදී මගේ හිතේ ඇති වූ රූප පෙළ අනිත් අයට දෙන්නේ කොහොමද කියලා කල්පනා කළා. ආනන්ද තෙරුන් ලෙසින් මෙය ඉතාම සරළව ජනතාවට ලබා දෙන්න පුළුවන් නේද යන්න එවිට මට දැණුනා. ඒ වගේම ලියන්නන් වාලේ නොලියා ගැඹුරින් ඇති දේ සරළව ජනතාවට ලබාදිය යුතුයි. මමත් ලියන්න ඕනි නිසාම ලියනවා නෙවෙයිනේ. ඒ නිසා වගකීමෙන් පාඨකයාගේ අවධානය ලබා ගන්නා පරිදි රචනා කරන්න මම වගබලා ගන්නවා.

විසාලා නුවර මම දුටුවේ ගොඩක් ඉස්සර කාලෙකදීයි. පුංචි කාලයේ පටන්ම මට විසාලා නගරය මනසින් දකින්න පුළුවන් වුණා. මේ තුළ විස්තර කරලා තියෙන්නේ ඒ විදියට මම දුටු විසාලා නුවර තමයි. ඇත්තටම මෙය නවකතාවක් පමණක් නොවෙයි දර්ශනයක් තුළින් මා අවබෝධ කරගත් දෙය පාඨකයාට ලබාදීමක්. එය ලේඛකයෙක් අතින් සිදුවිය යුතු දෙයක්. ඇතැම් විට එය ප්‍රේම කතාවක් තුළිනුත් ඉටු කළ හැකියි.

ද දිනෙක කුසිනාරාවේ කෘතිය ඔබ රචනා කරන්නේ 2008 වසරේදීයි. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ අවසන් කාල වකවානුව කියවෙන ‘ගෙත්සමෙහි සන්ධ්‍යාව’ කෘතිය රචනා කරන්නෙත් එම වසරේදීමයි. බුද්ධ චරිතය සහ ක්‍රිස්තු චරිතය එකවර තේමා කරගෙන කෘති දෙකක් රචනා කිරීම අභියෝගයක් වුනේ නැතිද?

මේ කෘති දෙකම එකම වසරේදී රචනා කළත් කෘති දෙක වෙනුවෙන් මම වෙනම කාලය වෙන් කර ගත්තා. එක කෘතියක් වෙනුවෙන් මම කාලයක් පුරා හිතනවා. ඒ වගේම එයට අදාළ දර්ශන මවනවා. ඉන් පසුව ලියන කාලය දක්වා ඒවා එකතු කර තබනවා. ඒ ලෙස එකතු කළ දත්ත සියල්ල අධ්‍යනය කර අවසානයේදී තමයි ලිවීම ආරම්භ කරන්නේ. එහිදී එක කෘතියක් වෙනුවෙන් මම කාලය වෙන් කරනවා. දිනෙක කුසිනාරාවේ කෘතිය රචනා කරන කාලයේදී මම ජීවත් වුණේ කුසිනාරාවේ විතරයි.

ගෙත්සමෙහි සන්ධ්‍යාවට යන්නේ ඉන් පසුවයි. ඒ කාලය පුරාවට මම ජීවත් වන්නේ ජෙරුසෙලමේ. එහි සමාජ පසුබිම, එය හා සම්බන්ධ චරිත සමඟිනුයි කාලය ගත කරන්නේ. ඒ අනුව දිනෙක කුසිනාරාවේ කෘතිය වෙනුවෙන් මාසයකුත් ගෙත්සමෙහි සන්ධ්‍යාව වෙනුවෙන් තවත් මාසයක කාලයකුත් මම වෙනවෙනම ගත කළා. නමුත් මේ කෘති දෙකම ජනගත කළේ එකම දිනයකදීයි.

නමුත් දැන් මම දකින දේ මීට වඩා ගොඩක් වෙනස්. ඒ ඇසුරෙන් තවත් කෘතියක් රචනා කිරීමට කාලය වෙන් කරලා තියෙනවා. ඒ අනුව ‘දුටුවෙමි බුදුහිමි – දුටුවෙමි ජේසු’ නමින් කෘතියක් රචනා කරනවා. මගේ බලාපොරොත්තුව එය සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවෙනුත් එළිදක්වන්නයි. එහි විස්තර වන්නේ බුදු දහම තුළින් බුදුන් වහන්සේත් කිතුණු ආගම තුළින් ක්‍රිස්තුස් වහන්සේත් දුටු අයුරුයි. ඇත්තටම මම මනසින් බුදුන් වහන්සේ වගේම ක්‍රිස්තුස් වහන්සේත් දැකලා තියෙනවා.

ආගම කෙරෙහි ඔබ මේ තරම් නැඹුරු වන්නට බලපෑ හේතු මොනවාද?

මගේ අම්මා තමයි මගේ මුල්ම ගුරුවරිය. අපේ අම්ම හැමදාම උදේ පාන්දරින් නැගිටල උයන්න පටන් ගන්නවා. අපිත් පුංචි කාලයේ උදේ නැගිටල අම්මා උයනවිට කුස්සියට වෙලා ඉන්නවා. ඉතිං මේ වෙලාවට අම්මා කියනවා පුතේ ගිහින් ධම්මපදය අරගෙන එන්න කියලා. මම ධම්ම පදයේ ගාථා ඉගෙන ගත්තේ ඒ විදියට. අමාරු වචන කියලා දෙන්නෙත් අම්මා. මගේ අයියා මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක. මුලින්ම මට කතන්දර ලියන්න අභ්‍යාස පොතක් ගෙනත් දුන්නෙත් අයියා.

වර්තමානයේදී ධර්මය ඇසුරෙන් නවකතා ලියවෙනවා අඩුයි?

බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් මම ‘සුදු හංසයෝ’ රචනා කළේ අවුරුදු දහහතේදී. නමුත් ඒක ඒ කාලයේදීම එළිදක්වන්න හැකි වුණේ නැහැ. අපේ සාහිත්‍යයේ මුල්ම නවකතාව වන්නේත් සුදු හංසයෝ කෘතියයි. මොකද මම සුදු හංසයෝ කෘතිය රචනා කළේ 1971 වසරේදීයි. මාර්ටින් වික්‍රමසිංහ මහතා බවතරණය එළිදැක්වූයේ 1975 වසරේදී. ධර්මය ඇසුරෙන් කෘති රචනා කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. ඒ වෙනුවෙන් බෞද්ධ පොතපත රැසක් ඇසුරු කළ යුතුයි. බොහෝ දෙනා එහෙම කරන්නට කැමැති නැහැ. ඇතැම් අයට වෙලාවක් නැහැ. ඒ වුණත් මට නම් ඒක ඉතාම පහසු දෙයක්.

ඔබ කෘති රචනයේදී චිත්‍ර ශිල්පයත් බොහොම අපූරුවට ගලපා ගන්නවා නේද?

මගේ ඇතැම් කෘති වල සෑම පරිච්ඡේදයකටම සිතුවමක් ඇතුළත් කරනවා. මගේ පොත් බොහොමයකින් අදාළ දේ පිළිබඳ දසුනක් පාඨකයාට ලබා දෙන්න මම නිතරම කටයුතු කරනවා. ඒක මට වඩාත් දැනුණේ සාර භූමි තුළින්. ගුණදාස අමරසේකරගේ කරුමක්කාරයෝ කෘතියෙත් සිතුවම් ඇතුළත් වුණා. සිතුවම් අපව එක් තැනකට ගෙන යනවා. ඇත්තටම එය කතාවේම කොටසක් ලෙසින් පාඨකයාට දැනෙනවා. එය රසවින්දනයට ප්‍රභල ලෙසින් උපකාරී වෙනවා. අපි කෘතියක් කියවීමෙන් රසවිඳින්නත් ඉගෙන ගන්නවා. ඒක සිරුරට ප්‍රණීත ආහාරයක් වගේ. අපි මොකක් හරි කෑමක් කන්නේ රස නම් විතරයි. පොතුත් ඒ වගේ. පාඨකයන් යම් කතුවරයෙකුගේ කෘති යළි යළිත් රස විඳින්නේ රසය දැනුණොත් විතරයි. ඒ වගේම කෘතියක් රචනා කරන ආකාරයත් ඉතාම වැදගත්. ඕනෑම කෘතියක් රචනා කිරීමේදී අතරමඟ නවත්වමින් රචනා කිරීම ඒ කෘතියේ ගලා යන ස්වරූපයට කරන්නා වූ ලොකු බලපෑමක්. ඒ ලෙසින් රචනා කෘති පාඨකයාට දැනෙනවා අඩුයි.

අපි යළිත් දිනෙක කුසිනාරාවේ කෘතිය ගැන කතා කළොත්, එය දිනූ පාඨක ප්‍රතිචාර කෙසේද?

දිනෙක කුසිනාරාවේ පාඨක ජනතාවගේ නොමඳ ආදරයට පාත්‍ර වූ කෘතියක් බවට පත් වුණා. බොහෝ දෙනා එය පිළිගත්තේ ත්‍යාග පිරිනමන්න වටිනා කදිම කෘතියක් ලෙසින්.

“පුර සඳ මුදුන්ව ලොව එළිය කරමින් බලා සිටියි.
ගං දිය රැළි රිදියෙන් දිලිසෙයි.
එහෙත් මේ අලුයම් කාලයේ මුලු ලොව අඳුරුය.
මඟ පෙන්වන පහන කොහිද?
පහන නොවේ ඇත්තේ දහම් ආලෝකයම පමණි.”