වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම තරු යුවළ

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම තරු යුවළ

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය බිම්බා දේවිය හෙවත් යශෝධරා චිත්‍රපටය සමඟින් තවත් ඉන්දීය නළු නිළි යුවළක් සිංහල සිනමාවට පිවිසුණා. පසුගියදා කොළඹ පැවති ඔවුන් හඳුන්වාදීමේ හමුවෙන් පසු දින බොල්ගොඩ ගඟ අසබඩ පිහිටි සුනිල් ආරියරත්නයන්ගේ නිවෙස සරසවිය ඇතුළුව ලේක්හවුස් පුවත්පත් කිහිපයක සාකච්ඡා වෙනුවෙන් වෙන් වී තිබුණා.

යශෝධරා චිත්‍රපටයේ සිද්ධාර්ථ චරිතයට පණ පොවන්නේ අර්පිත් චෞද්‍රි විසිනි. විසිහතර හැවිරිදි ඔහු ඉන්දීය ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී ඇත්තෙකි. සිද්ධාර්ථ චරිතය ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාවයි.

* යශෝධරා චිත්‍රපටයේ රංගනයට ඔබට ආරාධනා ලැබුණේ කොහොම ද?

මම තරුවක් නිසා මට ඒ අවස්ථාව ලැබුණා. (සිනාසෙමින්)

නෑ. . . නෑ, ඇත්තටම මම විහිළුවක් කළේ.

මම සාමාන්‍ය කෙනෙක්.

ය‍ශෝධරා චිත්‍රපටයේ නිර්මාණ කණ්ඩායම සිද්ධාර්ථ චරිතයට තිර පරීක්ෂණයක් පැවැත්වූවා. වට දෙකක්ම ඔවුන් තිර පරීක්ෂණ පැවැත්වුවත් චරිතයට සුදුසු කෙනෙක් හමුවෙලා තිබුණේ නැහැ. මට මේ චිත්‍රපටය ගැන අදහසක් තිබුණේ නැහැ. කුමාරිකා ෂැම්පු නිරූපිකාව ගීතාංජලී සිං මගේ යෙහෙළියක්. ඇය යශෝධරා චිත්‍රපටයේ වේශ නිරූපන ශිල්පී ප්‍රියන්ත දිසානායක හඳුනනවා. ගීතාංජලීගෙන් මේ ගැන විමසූ විටදී ඇය මා යෝජනාකර තිබුණා. ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක රඟපාන්න කැමැති ද කියා ඇය මගෙන් ඇසුවා. ඒ අනුව මම එහි යන විටදී තිර පරීක්ෂණය නිම කර ඔවුන් ලංකාවට යන්නයි සූදානම් වී සිටියේ. ඇත්තටම තිබුණේ විනාඩි පහයි. තිර පරීක්ෂණයට පෙනී සිටීමෙන් පසුව ඔවුන් මා සිද්ධාර්ථ චරිතය වෙනුවෙන් තෝරා ගත්තා.

හැබැයි මීට පෙර අධ්‍යක්ෂක සුනිල් ආරියරත්නයන්ගේ බොල්ගොඩ ගඟ අසල නිවෙස ගැන මම මීට කලින් අසා තිබුණා නම්, චිත්‍රපටයට කැමැති වෙන්නේ, ඒ ගෙදර මට දෙනවා නම් විතරයි.

* සිංහල සිනමාව ගැන ඔබේ අත්දැකීම මොන වගේද?

ඇත්තම කියනවා නම් ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයක් තියෙනවා ද කියලාවත් මට අදහසක් තිබුණේ නැහැ. ඒ කොහොම වුණත් මෙහි පැමිණ ය‍ශෝධරා චිත්‍රපටයට දායක වීම සමඟින් මෙරට කෙතරම් දක්ෂයන් සිටිනවාද යන්න තේරුම් ගන්න හැකි වුණා. කැමරා ශිල්පී චන්න දේශප්‍රිය වැනි අය අති දක්ෂයින් ගැන කිව යුතුමයි.

මම හිතන විදියට මේ රටේ විශාල ජනගහණයක් නොමැති නිසා අති විශාල පිරිවැයක් දරා චිත්‍රපට නිර්මාණය කරන්න අපහසුයි. ඔබ සියලු දෙනාම නැරඹුවත් එහි වියදම පියවා ගන්න හැකි වෙන්නේ නැහැ. එහෙයින් ඔවුන් ජාත්‍යන්තරයට පිය නැඟිය යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ දක්ෂ නිර්මාණකරුවන්, තාක්ෂණ ශිල්පීන් සිටින බව ඒ ඔස්සේ අනෙක් රටවල අය දැන ගත යුතුයි. අධ්‍යක්ෂවරයා ද කුඩාම කෙනාද කියා නැහැ ඔවුන් එතම තලයක සිටියා. සියලු දෙනා එකම කණ්ඩායමක් ලෙසින් කටයතු කිරීම මෙහි රංගනයට දායකවන විටදී මා දුටු විශේෂයක්.

* මෙරට ශ්‍රී ලාංකිකයන් බහුතරයක් බෞද්ධාගමිකයන්. මෙම චිත්‍රපටයේ ඔබ නිරූපණය කළේ, ඔවුන්ගේ ගෞරවයට පාත්‍ර වූ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර කාලය යි. ඔබට එය දැනුණේ කෙසේ ද?

ඒක මට විශාල ගෞරවයක්. මගේ හැඟීම නම් එවැනි චරිතයකට මා නොවටිනා පුද්ගලයෙක් බවයි. මේ වගේ චරිතයක් ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. සිද්ධාර්ථ චරිතය වගේම බුද්ධ චරිතය පිළිබඳවත් මම අධ්‍යයනයන් රැසක් කළා. ඒ සෑම තොරතුරක්ම මට මේ චරිතයට අවතීර්ණ වීමට ලොකු උපකාරයක් වුණා.

* බෞද්ධයකු නොවන ඔබ මෙම අධ්‍යයනයක් කළ අයුරුත් දැන ගන්න කැමැතියි?

මම බුද්ධ ධර්මයෙන් ජීවිතය ගැන හැදෑරුවා. දලෙයි ලාමා, ඔස්ට්‍රේලියානු ජාතික භික්ෂුවක වන අජාන් බ්‍රහ්මගේ දේශන මා ශ්‍රවණය කර තිබෙනවා. සිද්ධාර්ථ චරිතය ලැබීමෙන් පසු මම ඒ පිළිබඳ ඇතුළත් පොත් රැසක් පරිශීලනය කළා. බුදුරජාණන් වහන්සේ ගැන කියන වර්තා චිත්‍රපට නැරඹුවා. සියලු සැප සම්පත් තිබියදීත් එතුමන් ගිහි ජීවිතය හැරදමා ගියේ ඇයි ද යන්න මා ඉතා උවමනාවෙන් සොයා බැලුවා.

* ය‍ශෝධරා චිත්‍රපටයේ අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණය ඔබට දැනුණේ කෙසේ ද?

ඔහු මැණිකක්. ඔහු හැම දෙනාටම එක ලෙසින් සලකනවා. බෙහෙවින්ම නිහතමානි පුද්ගලයෙක්. සියල්ලන්ටම අවශ්‍ය දේ ලැබෙන බවට එතුමා සහතික වෙනවා. ඔහුගේ උගත්කම හැමෝටම සම්පතක්.

* පල්ලවී සමඟ රංගනය කොහොමද ?

මම ඇය සමඟ මීට පෙර රඟපාලා තිබුණේ නැහැ. මට ඇය මුල්වරට හමු වුණෙත් ශ්‍රී ලංකාවේදීයි. ඇය සමඟ රංගනය හොඳ අත්දැකීමක්.

* යශෝධරා දර්ශන තලයේදි ඔබ මුහුණ දුන් අභියෝග එහෙමත් ඇති?

ක්‍රියාදාම ජවනිකා කිහිපයකදීම තුවාල සිදු වුණා. එක් වරක් අශ්වයා පිටින් වැටුණා. විශාලතම අභියෝගය වුණේ සිංහලෙන් කතා කිරීම. මගේ නිරූපණයට චිත්‍රපටයේදී හඬකවා තිබුණත් එයට ගැළපෙන ලෙසින් මම දෙතොල් සෙලවිය යුතුව තිබුණා. මීට පෙර කවදාවත් මම සිංහලෙන් කතා කරලා තිබුණේ නැහැ. භාෂා පරිවර්තයන් විසින් සියලුම සිංහල වචන හින්දි බසින් ලියා තිබුණා. ඔවුන් නිසා කාර්යය පහසු වුණා.

* දැන් නම් ඔබට සිංහල ගීත පවා ගයනා කරන්න පුළුවන්?

ඔව් ඒක ඇත්ත.

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ

දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ

ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ

සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

මට දැන් සිංහල සින්දු කිහිපයක්ම ගායනා කරන්න පුළුවන්.

ජිවිතයේ තනි මංසල අතර මං වෙලා

හුදෙකලාව සුසුම් හෙළන හදවත සනසා

අතීතයේ ගිලිහී ගිය

සතුට රැගෙන යලි වඩින්න

ආරාධනා... ආරාධනා...

* ඔබ ශ්‍රී ලංකාවේදී ලද අනෙක් අත්දැකීම්?

මට වැඩිය නිදහසේ ගමන් යන්න නම් අවස්ථාන ලැබුණේ නැහැ.

චිත්‍රපටය නිසා ගොඩක් කාර්යබහුල වුණත් එහි රූගත කිරීම් වෙනුවෙන් විවිධ ස්ථාන රැසකට යන්න අවස්ථාව ලැබුණා. රන්මිණිතැන්නේ රූගත කිරීම් කළා. නුවරඑළිය, රිවස්ටන්, නුවර - දිගන වැනි ඉතාම සුන්දර ප්‍රදේශවල රූගත කිරීම් තිබුණා. ඒ ප්‍රදේශවල සුන්දරත්වය නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. හරිම සුන්දරයි.

* දැන් ඔබට මෙහි මිතුරු මිතුරියන් ඇති නේද?

ඇත්තමයි. ගොඩක් ඉන්නවා. සීයයකට වඩා වැඩියි. චිත්‍රපට කණ්ඩායම ම එක පවුලක් වගේ. එකට නිදා ගන්නේ. එකට නැඟිටින්නේ. දවස් හතලිස් පහක් පුරා හරිම සමඟියෙන් අපි කාලය ගත කළා. ඒ දවස් හැම එකක්ම හරිම සුන්දරයි.

* ශ්‍රී ලංකාවේ කෑම රස බැලුවේ නැතිද?

ඔබේ රටේ අය විශාල උදේ ආහාරයක් ගැනීම මා පුදුමයට පත් කළා. මම නම් එතරම් විශාල කෑමක් උදේට කන්නේ නැහැ. මුල්වරට මම තැඹිලි රස බැලුවේ ශ්‍රී ලංකාවේදීයි. ඒ වගේම රුහුණු යෝගට් සහ හයිලන්ඩ් යෝගට්වලට හරිම කැමැතියි.

* ඉදිරියේදීත් සිංහල චිත්‍රපටවල රංගනයට එක්වෙන්න කැමැතිද?

අන්තර්ගතය හොඳ නම්, චරිතයට මා කැමැති නම් අනිවාර්යයෙන්ම ඔව් කියලා කියන්න පුළුවන්. චිත්‍රපට විතරක් නෙවෙයි රූපවාහිනි වෙළෙඳ දැන්වීම් වලටත් මා විවෘතයි. චරිතයත් විශේෂයෙන්ම මුදලත් නියමිත පරිදි තිබිය යුතුයි.

* ඔබේ පෞද්ගලික තොරතුරු මොනවාද?

මගේ මව්පියන් ජීවත් වෙන්නේ ඇසෑම් ප්‍රාන්තයේ. දෙව් මව්පියන් (ට්ධඤ ර්‍ථචපඥදබඵ) ජීවත්වෙන්නේ එංගලන්තයේ. මගේ සහෝදරයා ජීවත් වෙන්නේ බැංගලෝරයේ. මම ජීවත් වෙන්නේ මුම්බායේ. මගේ මව්පියන් හින්දු භක්තියන්. මම කතෝලික බැතිමතෙක්. මම එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේදී ඉලෙක්ට්‍රොනික පණිවුඩ හුවමාරුපද්ධති අංශයෙන් උපාධියත් තොරතුරු තාක්ෂණ කලමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියත් ලබාගත්තා. වැඩක් නැති වෙලාවට මම හරිම කම්මැළියෙක්. ඒ වගේම සතුටින් සිටින තනිකඩයෙක්.

* ඔබ ලද මේ අවස්ථාව ගැන තවත් විශේෂ යමක් ඔබට කියන්න ඇති?

මේ රට ගොඩක් පිරිසිදුයි. එය මා කැමතිම කාරණයක්. දූපතක් නිසා සොබා දහමින් පරිපූර්ණයි. ශ්‍රී ලාංකේය මිනිසුන් ඉතාම නිවුණු පිරිසක්. ඔවුන් සමඟ කටයුතු කරන්න ලැබිම ලොකු සතුටක්.

ඔවුන් බොහොම ගෞරව සම්පන්නයි.

භාරතීය වේදිකා නාට්‍ය නිළියක ලෙසින් රංගනයට පිවිසි පල්ලවී සුභාෂ් නිළියක මෙන්ම මෝස්තර නිරූපිකාවක ලෙසින්ද කටයුතු කරන්නීය. ඉන්දීය ටෙලි නාට්‍ය සහ මරාති චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති ඇය ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නේ යශෝධරා චිත්‍රපටයේ යශෝධරාව ලෙසිනි. ශ්‍රී ලංකාවේ හඬකවා අධිරජ ධර්මාශෝක නමින් විකාශය කෙරෙන ටෙලි නාට්‍ය මාලාවේ ධර්මාගේ චරිතයට පණ පොවන්නේද ඇය විසින්.

* පල්ලවී ඔබට යශෝධරා චරිතය ලැබුණේ කොහොම ද?

එය සෘජු ඇමතුමක්. යශෝධරා චිත්‍රපටයේ ඉන්දීය ශිල්පීන් සම්බන්ධීකරණය කළ කෞෂල්‍යා වික්‍රමසිංහ මා ඇමතුවා. කෞෂි මට සියල්ල පැහැදිලි කළා. ඔවුන් මා සොයා තිබුණේ මීට පෙර මම රංගනයෙන් දායක වූ නිර්මාණ නැරඹීමෙන් පසුවයි.

* ධර්මා නිසා ඔබ දැනටමත් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය චරිතයක්. නමුත් මෙය ඔබ සිංහල සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වන පළමු අවස්ථාවයි. එය ඔබට දැනෙන්නේ කෙසේද?

එය අභියෝගයක්. ඒ වගේම මට ඉගෙන ගන්න ලැබුණු වටිනා අවස්ථාවක් විදියටත් මට දැනෙනවා. සැම විටම අලුත් තැන්, අලුත් අය අපට හමු වෙනවා. මට මෙහිදි පළමු අභියෝගය වුණේ භාෂාව යි. නමුත් නිර්මාණයට දායක වන විටදී එය ගැටළුවක් වුණේ නැහැ.

* යශෝධරා කියන්නේ මෙරට ජනතාව අතරේ බෙහෙවින් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක්. ඔබට එය දැනුණේ කෙසේද?

ඇත්තටම එවැනි චරිතයකට පණ පොවන්න ලැබීමත් භාග්‍යයක්. අතීත කතාවල කියවෙන පරිදි ඇයගේ හැඟීම්, වේදනා හැකි උපරිමයෙන් නිරූපණය කිරීමට කැප වුණා. නමුත් කිසිදිනෙක කිසිවෙකුට යශෝධරාවගේ චරිතය එලෙසින්ම ඉදිරිපත් කරන්ට හැකි වේවි යැයි මා සිතන්නේ නැහැ.

* බුදුදහම පිළිබඳ ඔබගේ අත්දැකීම් මොනවාද?

යශෝධරා චිත්‍රපටයට ආරාධනා ලැබූ පසු මම බුදු දහම පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. සංයමය, ධනාත්මක චින්තනය ගැන ඉගෙනීම් කළා.

* යශෝධරා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කොහොමද?

මට මෙතෙක් හමු වූ සුන්දරතම අධ්‍යක්ෂවරයා ඔහුයි.

* චිත්‍රපට කණ්ඩායම කොහොම ද?

අපි දවස් හතලිස් පහක් විතර රූගතකිරීම් කළා. ඒ කාලය තුළ හැමෝම කළේ ලොකු කැප කිරීමක්. හැමෝම හරිම මිත්‍රශීලියි. මට දැනුණේ දෙවැනි පවුලක් වගේ.

* මෙම නිර්මාණයේදී මුහුණු දුන් අභියෝග ගැනත් කියමු?

ලොකුම අභියෝගය වුණේ භාෂාව තමයි. යශෝධරාගේ පෙනුම ලබා ගන්නත් පැය හතරක් විතර ගත වුණා.

* චිත්‍රපටයේ ඔබ මුහුණ දුන් දර්ශන අතරින් කැමැතිම දර්ශනය මොකක්ද?

යශෝධරා දේවිය පුත් කුමරු රාහුල සමඟින් නිදා සිටින විටදී සිද්ධාර්ථ කුමරුන් ඇය හැරදමා යන අවස්ථාවේ දර්ශනයට මා වැඩියෙන් කැමැතියි. එය හරිම හැඟීම්බර අවස්ථාවක්.

* ඔබ ශ්‍රී ලංකාවේදී ලද අනෙකුත් අත්දැකීම් මොනවාද?

චිත්‍රපටයේ රූගත කිරීම් වගේම මට බොහෝ තැන්වල ඇවිදින්න අවස්ථාව ලැබුණා. එය හරියට මුදල් ගෙවා ලැබුණු නිවාඩු කාලයක් වගේ. ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම සුන්දර රටක්. කොළඹ පැමිණි දවසේ ගංගාරාම පන්සලට ගියා. යාල සෆාරි, මිරිස්ස, ගාල්ල වැනි සුන්දර ස්ථාන රැසක් නරඹන්න ගියා. ශ්‍රී ලංකාවේ හදන ආප්ප කන්න මම හරි කැමැතියි. පහුගිය කාලයේදී මගේ ප්‍රියතම කෑම බීම වුණේ, ආප්ප, ඔම්ලට් සහ තැඹිලි තමයි.

* දැන් ලංකාවේ මිතුරු මිතුරියන් එහෙමත් ඇති?

මට මෙහි යහළු යෙහෙළියන් නම් නැහැ.

* ඔබ මහා භාරත්, චක්‍රවර්තීන් අශෝක සම්රත් වැනි ඓතිහාසික කතා වලට රංගනයෙන් දායක වුණා. මෙවැනි ඓතිහාසික කතාවලට ඔබ විශේෂත්වයක් දක්වනවාද?

ඇත්තෙන්ම මම කැමැත්තක් දක්වනවා. එවැනි චරිත ලැබීම වාසනාවක් ලෙස මා සලකනවා. නළු නිළියන් ලෙස අපට මතුකර ගැනීමට බොහෝ දේ තිබෙනවා. එවැනි චරිත අභියෝගාත්මකයි. එවැනි අභියෝග භාර ගන්න මම කැමැතියි. යශෝධරා චරිතයත් මගේ ජීවිතයට ලද එවැනි අත්දැකීමක්.

* මහා භාරත්, චක්‍රවර්තීන් අශෝක සම්රත් වැනි නිර්මාණවල ඔබ ලද චරිත යශෝධරා රංගනයට උපකාරයක් වුණා ද?

මා කිසිවිටෙක චරිත එකින් එක සසඳා බලන්නේ නැහැ. හැම චරිතයකටම උපරිම සාධාරණයක් කිරීම මගේ වගකීමක් විදියට සලකනවා.

* ඔබගේ පවුලේ තොරතුරු මොනවාද?

මම ජීවත් වෙන්නේ මගේ අම්මා සමඟින්. හැම නිර්මාණයකටම දායක වෙන විටදී ඇය මා සමඟින් සිටිනවා. මට වැඩිමල් සහෝදරියක් ඉන්නවා. ඇය විවාහකයි. මගේ උපන්ගම මහාරාශ්ට්‍රය. දැනට පදිංචි වෙලා ඉන්නේ, මුම්බායේ.