වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




අද නර්තනය විහිළුවක් වෙලා

අද නර්තනය විහිළුවක් වෙලා

- ප්‍රවීණ නර්තනාචාරිනී සමන්ති විද්‍යාපති

මෙරට මුද්‍රා නාට්‍ය කලාවේ තමාටම හිමි අනන්‍යතාවක් ගොඩ නඟා ගනිමින් චරිතාංග නර්තන ශිල්පිනියක ලෙස හෙළ කලාකෙත අස්වද්දන්නට තම දහඩිය, ශ්‍රමය නොමසුරුව කැප කළ එනිසාම නර්තන කලාවේ නවමු ඉසව් සොයා ගිය ප්‍රවීණ නර්තනාචාරිනී සමන්ති විද්‍යාපතිගේ කලා දිවියට මේ වන විට හතළිස් වසරක් සපිරේ. මේ ගෙවී යන්නේ ඇගේ දිවියේ පනස් පස් වැනි වසරයි. අවුරුදු පහේදී නර්තනය හදාරන්නට යොමු වූ ඇය මේ වන විට ගැණිය නොහැකි තරම් වූ ලක්වාසී දහසක් දු පුතුනට නර්තනය, බෙර වාදනය, මුද්‍රා නාට්‍ය කලාව පිළිබඳ දැනුම බෙදා හදා දෙමින් ගෙවන ජීවිතය සුන්දරය. සමන්ති විද්‍යාපතිගේ කලා දිවියට 40 වසරක් සපිරෙනු වස් මේ 16 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ඇය වෙනුවෙන් උපහාර උලෙළක් පැවැත්වේ. ඇගේ දයාබර සැමියා රවිබන්දු විද්‍යාපති ඇතුළු දූ දරුවන් සහ සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් ඇගේ ඡායාරූප උලෙළක් සහ ප්‍රසංගයක් ද මෙහිදී පැවැත්වීමට නියමිතය. සමන්ති විද්‍යාපති සමඟ යෙදෙනු මේ කතාබහ ඒ නිමිත්තෙනි.

* වෘත්තීය ජීවිතයේ වසර පනහක් කියන්නේ දිගු කාලයක්. මොකද හිතෙන්නේ ආපසු හැරී බලත්දී?

ලොකු ගමනක් ආ බවක් දැනෙනවා. පුංචි කාලේ ඉඳලා නැටුමට යොමු වුණා. අවුරුදු පහක්, හයක් වගේ වන විට අම්මයි තාත්තයි දෙන්නම නර්තනය ප්‍රගුණ කරන්නට මා යොමු කළා. පාරම්පරික කලා පසුබිමක් නැති වුණත් එවකට මගේ පියා වෘත්තීයෙන් ගුරුවරයෙක්. ඔහු කලාව සමඟ සහසම්බන්ධ වී හිටියා. කලා කටයුතුවල නිරන්තරවම යෙදුණා. ඒ කාලේ ඉඳලම මනමේ, සිංහබාහු, වැනි නාට්‍යවලට සම්බන්ධව කටයුතු කළා. වේදිකාව පිටුපස සිට බොහෝ නාට්‍යකරුවනට ඔහු උදව් කළා. ඒ අතර නාට්‍යවේදී ගුණසේන ගලප්පත්ති මහතා අමතක කරන්න බැහැ. ඒ ඇසුර නිසාම තාත්තාට මාවත් කලාවට සම්බන්ධ කරන්න ආශාව ඇති වී තිබෙනවා. මගේ අම්මත් කලාවට ගොඩක් ලැදියි. ඒ කාලේ අම්මලාගේ පොඩි වයසේදී කලාවට සම්බන්ධ වෙන්න නිවෙසින් අවකාශ ලැබිලා නැහැ. ඒ නිසා මාව කලාවට යොමු කරවන්න ඇයත් මූලික වුණා. ඒ අනුව මා නර්තනයට යොමු වුණේ ඔවුන් දෙදෙනාගේම කැමැත්තෙන් හා ආශිර්වාදයෙන්. අපේ පවුලේ මට ඉන්නේ එක් සහෝදරියක් පමණයි. ඇයත් මාත් අතර අවුරුදු දොළහක පමණ පරතරයක් තිබෙනවා. කුඩා අවධියේම කලාවට මව යොමු කරන්නට මේ හේතුවක් බලපාන්න ඇති.

* ඔබේ මව්පියයන් එකල පැවැති කලාව ගැන මොන වගේ රසවින්දයක් ද තිබුණේ?

ඔවුන් දෙදෙනාටම කලාව කෙරෙහි මහා විශාල ගෞරවයක් වගේම කලා කෘතීන් කෙරෙහි උසස් රස වින්දනයක් තිබුණා. එනිසාම තමයි වජිරා - චිත්‍රසේන කලායතනයට මාව ඔවුන් කුඩා කලදීම සම්බන්ධ කළේ. අනෙක නිතරම නාට්‍ය නරඹන්න මාව රැගෙන ගියා. 1968 දී පමණ මම චිත්‍රසේන කලායතනයට සම්බන්ධ වුණා. එතැන් පටන් මගේ ජීවිතයේ වැඩි හරියක්ම කාලය ගත වුණේ නර්තනය සමඟයි. ඒ චිත්‍රසේන කලායතනය තුළයි. කුඩා කලේ සිටම නර්තනය ඉන් පසු බෙර වාදනය මම ප්‍රගුණ කළා.

* ඔබ මුද්‍රා නාට්‍යයට අත්පොත තබන්නේ?

ඒ වෙන කොට මට අවුරුදු 11 ක් විතර ඇති. මගේ ප්‍රථම මුද්‍රා නාට්‍යය 'නිරාශා'. මුද්‍රා නාට්‍යවලට දායක වෙන්නට ප්‍රථම මම නැටුම්, බෙර වාදන වැනි ප්‍රසංගවල ඕනෑ තරම් නිර්මාණකරණයේ යෙදී තිබෙනවා. ඒ නිසා වේදිකාව එදා සිටම මට නුහුරු නුුපුරුදු තැනක් වුණේ නැහැ. 'නිරාෂා' චිත්‍රසේන හා වජිරාවන්ගේ නිෂ්පාදනයක්. එය ළමා මුද්‍රා නාට්‍යයක් වුණා. මෙයින් පසුව මුද්‍රා නාට්‍ය කලාවේ නර්තන ශිල්පිනියක ලබන දුර්ලභම අවස්ථාවකට දායක වෙන්නට මට අවස්ථාව හිමි වුණා. ඒ වන විට මම ඉතා ළාබාළයි.

* කැමැතියි දැනගන්න ඒ ගැනත්?

මම 'නිරාශා' මුද්‍රා නාට්‍යයට දායක වෙලා වසර දෙකක් පමණ ගත වෙලා. ඒ වන විට මට අවුරුදු දහතුනක් පමණ ඇති. නමුත් මගේ උස සහ නර්තනය සෑහෙන දුරකට වැඩි දියුණු වෙලා. ඒ නිසාම මට 'නල දමයන්ති' මුද්‍රා නාට්‍යයේ 'හංසයකු' ලෙස නර්තනයේ යෙදෙන්න අවස්ථාව හිමි වුණා. අදටත් මට හිතෙන්නේ එය මගේ නර්තන ජීවිතයේ ළමා අවධියේදීම මා ලැබු දුර්ලභ අවස්ථාවක් ලෙසයි. එය මා ඉපදෙන්නටත් ප්‍රථම වේදිකා ගත වූ මුද්‍රා නාට්‍යයක්. ඒ වගේම මගේ නර්තන දිවියේ 'හපනා' ළමා මුද්‍රා නාට්‍යයත් විශේෂ සන්ධිස්ථානයක් ගන්නවා. එහි මම නර්තනයේ හා රංගනයේ යෙදුණේ 'පොකිරිස්සෙකු' ලෙසටයි. එයත් දුර්ලභ අවස්ථාවක්.

* එදා ඔබට ලැබුණු ප්‍රතිචාර හොඳින් මතක ඇති?

ඔව්. මම නැටුමට ඇවිත් ප්‍රථම වරට රඟපෑ මුද්‍රා නාට්‍යයේ රඟපෑවේ 'මුවකුගේ' චරිතයක්. එදා වජිරා මිස් 'ඔයා මේ චරිතයෙන් ඉදිරියට යන්න ඕන' කියා මගේ අත් දෙක අල්ලා පැවැසුවා. මම හිතන්නේ එදා ඇය කියූ දේ මගේ හිතේ තදින්ම මුල්බැස ගත්තා. එය තමයි මගේ ගමනට අත්වැල් බැන්දේ.

* චිත්‍රසේන - වජිරා කලායතනයේ ගෙවුණු ජීවිතය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

අදටත් මම විශ්වාස කරන්නේ මගේ දෙවැනි උත්පත්තිය සිදු වුණේ චිත්‍රසේන කලායතනයේදී කියලයි. මගේ නර්තන ජීවිතය ජයගත්තේ එතැනින්. වජිරා මිස් නර්තනය, මුද්‍රා නාට්‍ය කලාව අපිට ඉගැන්නුවා. චිත්‍රසේන සර්ගෙනුත් ඒ ආභාසය නොඅඩුව ලැබුණා. මගේ නර්තන ජීවිතයේ මම කරපු චරිතාංග සහ අද මම මගේ ශිෂ්‍ය දරුවනට උගන්වන බොහෝ දේ මට ලැබුණේ වජිරා - චිත්‍රසේන කලායතනයෙන්. අපට එහිදී අවස්ථාව ලැබුණා මුද්‍රා නාට්‍යවල නර්තනයේ යෙදෙන්න. නවතම මුද්‍රා නාට්‍ය නිර්මාණය කරත්දී එහි චරිත අපිට හිමි වුණා. මට මතකයි 'කිංකිණි කෝලම', 'ශිවරංග' වගේ දේවල් කළේ අපිත් එක්කමයි. 'නල දමයන්ති', 'කරදිය' වගේ මුද්‍රා නාට්‍ය නටන කොට අපි ඉපදිලා නැහැ. නමුත් මම පෙර කී මුද්‍රා නාට්‍ය වජිරා මිස් සහ චිත්‍රසේන සර් අපිත් එක්කමයි නිර්මාණය කළේ. ඒ අත්දැකීම් අපිට අපේ නර්තන ජීවිතයේ ඉදිරිය හැඩගස්වා ගන්නට අත්වැලක් වුණා. ඒ කාලේ ඒ නිර්මාණවල ශක්තිය ප්‍රබලත්වය අපිට හරිහැටි තේරුම් ගියේ නැති වුණත් දැන් ආපසු හැරී බලත්දී තේරෙනවා මේ නර්තනය කරන්න ඇත්තේ මේ නිසයි, මේ චරිතය ගොඩ නගන්නට ඇත්තේ මේ නිසයි කියලා. ඒ විදිහට නිර්මාණකරණය ඔස්සේ අපි බොහෝ දේ චිත්‍රසේන සර්ගෙන් උගෙනුම ලැබුවා.

* නර්තන ජීවිතයේ අමතක නොවන බොහෝ දේත් ඇති?

මුළු ජීවිතේම බැඳිලා තිබෙන්නේ ඒ අමතක නොවන අත්දැකීම්වලින් තමයි. මට ලැබුණු ලොකුම අවස්ථාවක් තමයි 'ශිවරංග' මුද්‍රා නාට්‍යය කරන කොට එහි අපි කිහිප දෙනෙකුටම 'සෝලෝ' (ඒකල) නර්තනයේ යෙදෙන්නට අවස්ථාව හිමි වීම. එහි මම 'නාරි ලීලා' කියලා චරිතයක් කළා. ඒ සම්ප්‍රදායානුකූල නැටුම නොවෙයි. ටිකක් මොඩන් පැත්තට බර වූ එකක්. එහි තිබුණේ ගැහැනියගේ ජීවිතය ගැනයි. ඒ කියන්නේ දරුවෙක් ලැබෙන තැන සිට නැවත එයගේ මුළු ජීවිතේම ගත කරල ඇය මවක් වන අවස්ථාව වනතරු නර්තනමය චරිතයක් මවන්නයි. එය එදා නර්තනයේ යෙදෙමින් චරිතය ගොඩ නැංවීම මට විශාල අභියෝගයක් වුණා. එය තවමත් අමතක නොවන මතකයක්.

* එදා ඔබගේ නර්තනයට ලැබුණු ප්‍රතිචාර මතකද?

ගොඩක් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ආපු අය මට පැවසුවේ හරියට චිත්‍රයකට පණ ආවා වගේ නර්තනයේ යෙදුණා කියලයි.

* ඔබේ දිවියේ වර්ණවත් නර්තනමය අවස්ථාවක් තමයි ඔබේත් රවිබන්දු විද්‍යාපතිගේත් හමුවීම?

ඔව්. රවීව මට හම්බ වුණෙත් කලායතනයේදීමයි. ඒ 1970 ගණන්වලදී. අපි එකට නර්තනයේ යෙදුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන්. එක පන්තියේ එකට නටපු මිතුරන්. මම, රවී, චන්න එකට පන්ති ගිය අය.

* ඒ කලේ ගැන මොකද හිතෙන්නේ?

හරිම සුන්දර කාලයක්. 'ශිවරංග' මුද්‍රා නාට්‍යයේ තමයි රවීට, මට, චන්නට, උපේ අක්කට අපි හතර දෙනාට සෝලෝ අයිටම් 4 ක් කරන්න ලැබුණේ.

* රවී සමඟ ඔබ නිර්මාණය කළ පළමු මුද්‍රා නාට්‍යය?

අපි දෙන්නා විවාහ වෙන්නට ප්‍රථම රවිබන්දු - සමන්ති නර්තායතනය ආරම්භ කළා. එයින් තමයි අපි දෙන්නගේ ප්‍රථම නිර්මාණය 'තුන්වැන්නා' මුද්‍රා නාට්‍යය නිර්මාණය කළේ. එතැන් සිට දිගු සහ කෙටි මුද්‍රා නාට්‍ය බොහෝ ප්‍රමාණයක් අපි දෙදෙනා නිර්මාණය කළා.

* රවි බන්දු වැනි සැමියෙක් ලැබීම ගැන ඔබ මොකද හිතන්නේ?

ඔහු වැනි සැමියෙක් ලබන්නට මම ලොකු පිනක් කරලා තිබෙන බවයි මට හැඟෙන්නේ. එකක් ලංකාවේ ගෞරවයට පත් වූ කලාකරුවෙක් වශයෙනුත් පුද්ගලයෙක්, සැමියෙක්, පියෙක් ලෙසත් ඉතා නිහතාමානීව පොළොවේ පය ගසා ජීවත්වන චරිතයක් ඔහු. රවීත් මාත් හැමදාමත් සම්පත් ලෙස එකතු කළේ මුද්‍රා නාට්‍යයි. ලංකාවේ අනෙක් කෙනෙක් නොකරපු තරමේ මුද්‍රා නාට්‍ය විශාල ප්‍රමාණයක් අපි කළා. හැම වසරකම හෝ දෙවසරකට වතාවක් කෙටි හෝ දිගු මුද්‍රා නාටය්‍යක් නිර්මාණය කරන්නට අපි කටයුතු කරනවා.

* මුද්‍රා නාට්‍ය කලාවේ චරිතාංග ශිල්පිනියක් ඔබ?

ඔව්. මම එලෙස හඳුන්වනවාට වඩාත් කැමැතියි. මෙපමණ කාලයක් මුළුල්ලේ විවිධත්වයෙන් යුතු විවිධ පරාසයන්ගේ නර්තනනමය චරිත මුද්‍රා නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්නට මට අවස්ථාව හිමි වුණා. 'පොකිරිස්සකුගෙන්' පටන් ගෙන 'කරදිය', 'නල දමයන්ති' වැනි මුද්‍රා නාට්‍යවලටත් 'ශිවරංග' හි 'නාරි ලීලා', 'තුන්වැන්නා' හි 'ස්වා' ලෙත් 'මැක්බත්' හි ආර්යාවගේ චරිතය ඉන් කිහිපයක්.

* අදටත් ඔබ නර්තන දැනුම බෙදා දෙන ගුරුවරියක්?

ඔව්. සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලා උපාධිය දිනා ගත්තේ 1985 දී. 1986 දී ගුඩ් ෂෙපර්ඩ් බාලිකාවේ නර්තනාචාර්යවරිය ලෙස පත්වීම ලැබුවා. පසුව වසර දහනමයක් පමණ ගුරු වෘත්තියේ යෙදී ඉන් ඉවත් වූවා. එතැන් පටන් රංගායතනයේ දරුවන්ට මගේ ඉගැන්වීම් කටයුතු සිදු වුණා. දැනටත් සතියට දින තුනක් නර්තන පන්ති මම පවත්වනවා. මට උගන්වන්න පුළුවන්තාක් මම දරුවන්ට නර්තනය උගන්වනවා. මොකද මේක තමයි මගේ ජීවිතේ.

* වර්තමාන නර්තන කලාව ඔබ දකින්නේ කොහොමද?

වර්තමානයේ නැටුම කලාවක් විදිහට දකින්නේ නැහැ. හුඟක් දෙනෙක් එය කලාවක් විදිහට කරන්නෙත් නැහැ. ඒ කලේ අපේ තිබුණු කැපවීම, නැටුමට තිබුණු ආදරය, ගෞරවය දැන් පරපුරේ දකින්ට නැහැ. මොකද අද නැටුම් කොහේ හරි තැනක මොනවා හරි දෙයක් තිබෙනවා නම් එය ඔපමට්ටම් වෙන්න පොඩ්ඩක් නටල තත්ත්පර කිහිපයක රස වින්දනයක් ගෙනෙන දෙයක් බවට පත් කරලයි තිබෙන්නේ. එහි ගැඹුරු, ශාස්ත්‍රය පිළිබඳ අද පරපුර සැලකිලිමත් නැහැ. අද නැටුම විහිළුවක් වෙලා වගේ. මොකද අද මඟුල් ගෙයක් ගත්තත් නැටුම්. නැට්ටුවොත් නටනවා, මනාල ජෝඩුවත් නටනවා, එක විකාරයක්. මඟුල් ගෙදර ගෞරවයත් නැතිවෙලා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි නර්තනයට අද රටේ තිබෙන්නේ. ඉස්සර එහෙම දෙයක් තිබුණේ නැහැ. අපි නැටුම කලාවක් විදිහට ඉගෙන ගෙන ආචාර ධර්මානුකූලව තමයි එය ඉදිරියට ගෙන ගියේ. නියම නැට්ටුවෙක් අඳින පලඳින විදිහෙත් යන ගමන අනුව මෙයා නැට්ටුවෙක්ය කියන එක අපිට අත්දැකීමෙන් අඳුනගන්න පුළුවන්.