වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




තව පොඩ්ඩෙන් මටත් පිස්සු හැදෙනවා

තව පොඩ්ඩෙන් මටත් පිස්සු හැදෙනවා

තනි අතට යන පාර තනා සම්මාන දිනූ

ටෙලිවිෂන් කලාවේ නූතන පෙරළිකරු

ලලිත් රත්නායක

තනි අතට යන පාර එහෙමත් නැත්නම් වන් වේ රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ සම්මාන රාශියක් දිනා ගත්තේය. හොඳම ටෙලි නාට්‍ය වූයේත් මෙයයි. නමින් තනි අතට යන පාර වුණත් එය සෑම දිශාවකටම යොමු වී ප්‍රේක්ෂක හා විචාරක නෙත් සිත් පැහැරගත් අමන්දානන්ද ටෙලි සිතුවමක් වුණා. එහෙත් එය සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය එකක්. ලලිත් රත්නායක තමයි තනි අතට යන පාර අධ්‍යක්ෂණය කළේ. පුබුදු චතුරංග එහි ප්‍රධාන චරිතය මැව්වා. ඔහු හොඳම නළුවා ලෙසට ද අභිසෙස් ලැබුවේ තනි අතට යන පාර ටෙලි සිතුවමේ කළ රංගනය හින්දා.

තනි අතට යන පාර තිර රචනයත් ලලිත් රත්නායකගේ. අප අදහස් කළා මේ ඉඩ ඔහු වෙනුවෙන් වෙන් කරන්න. තනි අතට යන පාර ගැන ලලිත්ගෙන් අප මෙලෙස විමසීමක් කළා.

* ලලිත්, ඔබ මීට පෙර සම්මානවලට පාත්‍ර වූ අධ්‍යක්ෂවරයෙක්. එනමුත් ඔබව අපට දකින්ට ලැබෙන්නේ ඉඳහිට. සමහර කාල වකවානුවලදී ඔබව පේන්නත් නැහැ?

ඔබ කියන කතාවට මම එකඟයි. මාධ්‍ය ඇතුළේ පොරක් වෙන්න දඟලන කෙනෙක් නෙවෙයි මම. මට එහෙම අවශ්‍යත් නැහැ. කලාව ගැන පාසලෙන්වත් හදාරපු කෙනෙක් නෙවෙයි. මං ඒලෙවල් කළේ බයෝ සයන්ස්වලින්. නිකමටවත් හිත ඇතුළේ කලාව තිබුණේ නැහැ. ධවල කේතු හරහා සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට කලාවට එකතු වුණා. කලක් ටෙලිවිව් හිටියා. පසුව දැන්වීම්කරණයට යොමු වුණා. අනතුරුවයි මං මගේ පළමු ටෙලි නාට්‍ය වන තෙත් සහ වියළි අධ්‍යක්ෂණය කරන්නේ. දෙවැන්න අරුංගල්. හරියට බැලුවොත් මං කලාවට ඇවිත් අවුරුදු විස්සක් ඇතුළතදී නාට්‍ය තුනයි මං නිර්මාණය කළේ. නිරන්තරයෙන් වෙළෙඳ දැන්වීම් එක්ක ගත කරන ජීවිතයත් එක්ක මාධ්‍යයට එන්න ලොකු අවශ්‍යතාවයක් දැනුණේ නැහැ. ඒකයි වැඩි දෙනකු මාව රූපයෙන් නොදන්නේ.

* වන්වේ ගැන අදහසක් ආවේ කොහොමද?

මගේ මිත්‍රයකුගේ ඥාතියකු හිටියා අංගොඩ මානසික රෝහලේ. මමත් වරක් ඔහුව බලන්න ගියා. එතෙන්දි මට දකින්නට ලැබුණේ එහි වෙසෙන නානාප්‍රකාර රෝගීන්ව. ඇතැම් ඇය සුවය ලබමින් සිටියා. තව සමහරු සම්පූර්ණයෙන්ම සුවවෙලා. මෙහිදී මා දුටුව ශෝචනීය දෙය මේකයි. එතැන ඉන්න බහුතරයක් රෝගීන්ව එතැනට ගෙනල්ලා දැම්මායින් අනතුරුව වරකට දෙකකට වැඩිය ඔවුන්ව බලන්න ඥාතීන් එන්නේ නැහැ. සමහරු මඟ බලාගෙන ඉන්නවා තමන්ව බලන්න කවුරු හරි එනකම්. මේ සංසිද්ධීන් ටික මගේ ඔළුවේ තදින් ඇඳුණා. ඔය අතරතුරදී මට හමු වුණා වෘත්තීයෙන් යුද හමුදා නිලධාරියෙක්. ඔහුට පශ්චාත්වය සහ ක්ලමතය කියන රෝගය වැලඳිලා . ඒක යුද්ධයේ අනිසි ප්‍රතිඵලයක්. මම මගේ කතාව මේ ආභාෂයත් එක්ක ගෙතුවා. වෛද්‍යවරයෙක්, සාමාන්‍ය වැසියෙක් සහ ත්‍රස්තවාදියෙක් ප්‍රධාන චරිත කොට ගත්තා. මේ වෛද්‍යවරයා තමයි ප්‍රධාන චරිතය. ඔහු මානව හිතවාදියෙක්. නමුත් වීරයෙක් නෙවෙයි. මේ තුළින් මං ගුණදහම පිළිබඳත් කතාබහ කළා.

* ඔබ, තනි අතට යන පාර හී සමස්ත නිෂ්පාදනයම ප්ලෑන් කළ අන්දම ගැන කතා කළොත්?

මෙහි පිටපත රචනා කිරීමට මට ලෙහෙසි වුණේ නැහැ. ඒකත් අභියෝගයක්. මේ චරිත තුළ සිටින සියලුම මානසික රෝගීන්ගේ රෝග ලක්ෂණ එකිනෙකට එකක් වෙනස්. මං එකින් එක අධ්‍යයනය කළා. මටත් පිස්සු හැදීගෙන වගේ ආවා. රූපවාහිනී රචනය කළාට පස්සේ මං නළු නිළියන් සහ නිෂ්පාදන කණ්ඩායම් එක්ක කතා කළා. මගේ සැලැස්ම ඔවුනට කිව්වා. ඒ සැලැස්මට වැඩ කළා. දර්ශන තල ලෙස යොදා ගත්තේ වැලිසර ලාදුරු රෝහල හා වාරිමාර්ග දෙපාර්තමේන්තුªවේ පැරැණි තානායමක්. දර්ශන තල හරියටම හරි. ඒවායේ සොභාවයත් එක්ක පුදුම විදිහට නාට්‍යයට සාධාරණයක් වුණා.

* අමුතුම අන්දමේ කතා පුවතක් රූපවාහිනියට ගෙන එද්දී ඒ වටා ප්‍රේක්ෂකයන් රොක් වේවි කියන විශ්වාසයක් ඔබට තිබුණාද?

මම ඒ ගැන හිිතුවේම නැහැ. ඇත්තටම මේක වෙනස් විෂයක් ගැන කතා කළ ටෙලි නාටය්‍යක්. ඒක ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් වුණා. ඒ ඔස්සේ ඔවුන් මේ නාට්‍යය නරඹන්න ඇති.* ඔබ වෙළෙඳ දැන්වීම් කලාවේ නියැළුණ අයෙක්. ඒ ආභාෂය ඔබගේ ටෙලි නාට්‍ය තුළ අන්තර්ගතව ඇති බවක් පේනවා?

මට තේරෙන මාධ්‍ය රූප මාධ්‍ය වෙළෙඳ දැන්වීම් කිරීම තුළින් මා පළපුරුද්ද ලැබුවා. ඒ ආභාසය නාට්‍ය තුළ ඇත් ද නැද්ද කියන්න මට තේරෙන්නේ නැහැ. මම කොහොමත් රූප රාමුවට මුල්තන දෙන කෙනෙක්. රූපය තුළින් අදහස් ප්‍රකාශ කිරීමට මං උත්සාහ ගත්තා.

* මෙහි නළු නිළියන් නාට්‍යයට කළ සාධාරණය ගැන මතක් කරමු?

පුබුදු එහෙම කාර්යබහුල නළුවෙක්නේ. ඔහු ද මා පිළිබඳ විශ්වාසය තැබුවා. රඟපාද්දී ඔහු ෆෝන් එකවත් අතට ගන්නේ නැහැ. ෂූටිං ඉවර වුණාම ෆෝන්එක බලන්නේ. අනෙක් නළු නිළියෝ වුණත් වේදිකාවේ රඟපාපු අය. ඔවුන් මනාව තම වගකීම් ඉටු කළා.

* මේ නාට්‍ය නාළිකාවකට අලෙවි කර ගැනීමට අපහසු වුණේ නැතිද?

මේක කඨෝර මාතෘකාවක් යටතේ නිර්මාණය වූවක්නේ. නාළිකාවල අවශ්‍යතාවය මෙය නෙවෙයි. නමුත් එවකට අයි. ටී. එන්. නාළිකාවේ සභාපතිව සිටි මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහත්මයා මෙයට ලකුණු සියයක්ම දුන්නා. මගේ ගණන්වලටත් එකඟ වුණා. බොහොම තුති ඔහුට වාගේම නාළිකාවට.

* තනි අතට යන පාර නිෂ්පාදන කණ්ඩායම මොන වගේ නිදහසක් ද ඔබට දුන්නේ?

සෙරෙනිට් නිෂ්පාදන ආයතනයෙන් මට පුදුම විදිහට සහායක් ලැබුණේ. එම ආයතනය වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි, බණ්ඩාර ඇහැලියගොඩ, චන්න ප්‍රනාන්දු සහ බන්දුල ඒකනායක තනි අතට යන පාර නිෂ්පාදනය කළා. ඔවුන් කිසිම මොහොතක මගේ නිර්මාණත්මක කාර්යයට ඇඟලි ගැසුවේ නැහැ.

* කොහොමද ඔබේ ඉදිරිය?

මේ වන විට මං දැන්වීම්කරණයෙන් තරමක් දුරස් වෙලා ඉන්නේ. ජීවත්වීම සඳහා ටෙලි නාට්‍ය කරන්න වෙලා තියෙනවා. නමුත් මං මගේ තත්ත්වය පහත් කරගන්නේ නැහැ. චිත්‍රපටයකට යන්නත් අදහසක් තියෙනවා.