වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




සීසර්ගේ සටන සීසර් සමඟ

සීසර්ගේ සටන සීසර් සමඟ

ලෝ පතල ස්වභාව විද්‍යාඥ චාල්ස්‌ ඩාවින් තම පරිණාමවාදි මතයෙන් ඉදිරිපත් කළේ දෙපයින් ඇවිදින ලද වානර විශේෂයකින් මිනිසා පරිණාමය වී ඇති බවයි. කැලයේ ගස් උඩ වාසය කළ වානරයා දෙපයින් සිටගනිමින් මිනිසෙකු බවට පරිණාමය වීම ආරම්භ වී ඇත්තේ මීට වසර මිලියන ගණනකටත් ඉහතදීය. එහෙත් ඒ වානරයාම අද මිනිසුන්ට එරෙහිව පැමිණ ඇත.

සත්වෝද්‍යානයක වෙසෙන සීසර් නම් වූ වානරයා මිනිසා හා සමාන වූ බුද්ධියකින් යුතු වූවෙකි. තම බුද්ධිය මෙහෙයවමින් සීසර් වෑයම් කරන්නේ සත්වෝද්‍යානයේ සිටින තම වර්ගයා සමගින් නිදහස්ව වනාන්තරයට පලා යාමටයි. එම උත්සාහය සාර්ථක වූ පසු සීසර් හා අනෙකුත් වානර පිරිස මුයිර් නම් වනාන්තරයට පලා යති. මෙම සිදුවීම සිදුව දස වසරක් ගත වන තැන මානව වර්ගයාද මාරාන්තික වූ වෛරසයකට ගොදුරු වී අවසන්ය.

සත්වෝද්‍යානයෙන් පලා ගිය වානරයන් සීසර්ගේ නායකත්වය යටතේ මුයිර් වනාන්තරයේ කාලය ගත කරන අතර සීසර්ගේ පුතු වූ බ්ලූ සහ රොකට් නම් වු වානරයාගේ පුතු ඇෂ්හට මිනිසෙකු මුණගැසෙයි. බ්ලූ සහ ඈෂ් මිනිසා දැක කලබලයට පත් වන අතර ඔහු තබන වෙඩිල්ලකින් ඇෂ් තුවාල ලබයි. මේ අතර මිනිසා ද වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණයක් ඇතිව සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ ජීවත් වන තම අනෙකුත් සගයන් කැලයට කැඳවයි. ඉදිරියට එන සීසර් වානරයන්ගේ ජීවිතයට බාධා නොකර වනාන්තරයෙන් පිටවී යන ලෙසින් මිනිසුන්ට අණ කරයි. මෙහිදි වානරයන් සහ මිනිසුන් අතර සමාදානයක් ඇතිවේ.

එහෙත් දෙපාර්ශවයේම මෙම තත්ත්වය දරා ගත නොහැකි වූ පිරිස් සිටින අතර එහිදී කෝබා නම් වූ වානරයාගේ ක්‍රියා කලාපය දැඩි ලෙස කැපී පෙනෙයි. සත්වෝද්‍යානයේදී මිනිසුන් තමන්ට සැලකූ කෲරත්වය සිතෙහි තබා ගෙන ජීවත් වන කෝබා සීසර්ගේ සාමකාමී පාලනය පි‍්‍රය නොකරයි. සීසර් ඉවත් කර වානර කණ්ඩායමේ නායකත්වය ලබා මිනිසුන් විනාශ කර දැමීම කෝබාගේ එකම අරමුණ බවට පත් වෙයි. කෝබා විසින් සීසර්හට වෙඩි තබා වානරයන් අතර නායකත්වය ලබා ගන්නා තැන පටන් සියල්ල නරක අතට හැරෙන්නේ මිනිසුන් සහ වානරයන් අතර බිහිසුණු යුද්ධයක් ඇති කරමිනි.

සීසර් නැවත කණ්ඩායමේ නායකත්වය ලබා ගන්නාවිට කොබා ඇතුළු පිරිස මිනිසුන්ට දරුණු ලෙස පහර දී අවසන්ය. සීසර් තම කණ්ඩායම ද රැගෙන එම කැලයෙන් පිටවන්නේ නුදුරේදීම මහා යුද්ධයක් ඇතිවනු ඇති බවට අවධාරණය කරමිනි. 2011 වසරේදී Rise of the Planet of the Apes  සහ 2014 Dawn of the Planet of the Apes චිත්‍රපට ද්විත්වය නිමා වූයේ මෙලෙසිනි.

සීසර් සිතූ පරිදිම වානර පිරිස අතිශය දරුණු සටනකට මුහුණ දෙන අතර එහිදී වානරයන්හට දරුණු විනාශයක් සිදු වේ. මෙහිසී සීසර් තම සිත සමඟ සටනක නියැළෙන්නේ, තම වර්ගයාට වින කළ මිනිසුන් සමඟින් සටන් වදිනවා ද නැති ද යන්න පිළිබඳවයි. අවසානයේ සටන් කිරීම සීසර්ගේ තීරණය වන අතර එය මිනිස් සහ වානර දෙපිරිස අතර සේම පෘථිවියේ ඉරණම ද තීරණය කරයි.

හෙට (ජූලි 14) සිට ලෝ පුරා තිරගත කෙරෙන War for the Planet of the Apes  එම ඉරණම කුමක් ද යන්න කියයි.

මැට් රේවන්ස් අධ්‍යක්ෂණය එහි ඇන්ඩි සර්කිස්, වූඩි හැරෙල්සන්, ස්ටීව් සාන්, කාරින් කොනොවල්, ජූඩි ග්‍රියර්, ටෙරී නොටාරි ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති. Planet of the Apes චිත්‍රපට මාලාවේ ප්‍රති නිර්මාණයක් ලෙසින් තිරගත වූ චිත්‍රපට මාලාවේ තෙවැන්න වන War for the Planet of the Apes චිත්‍රපටය මිනිත්තු 140ක් පුරා දිග හැරෙන අතර එය බෙදාහරිනු ලබන්නේ, ට්වෙන්ටියත් සෙන්චුරි ෆොක්ස් විසිනි.

War for the Planet of the Apes චිත්‍රපටයට රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ විචාරක ප්‍රතිචාර ලෙස සියයට 95ක් ලැබී ඇත. එහි ප්‍රමුඛ විචාරය පවසන්නේ, මේ කතන්දර ත්‍රිත්වයේ අවසානය සඳහා ලොමුඩැහැ ගන්වන විශේෂ ප්‍රයෝග සමඟින් බලවත් කතාවක් ඉදිරිපත් කර ඇති බවයි. කතාවට වඩා වානරයන්ගේ රංගනයන් අතරේ නිර්භීතකම, සතුට, ක්‍රියාදාම, පාවාදීම් ඉතා හොඳීන් නිරූපණය වී ඇති බව ටයිම් සඟරාවේ විචාරක ස්ටැෆ්නි සජාර්ගේ අදහසයි. එසේම මෙහි කතාවට වඩා හොඳීන් චරිත කාගේත් හිත්වල සනිටුහන් වනු ඇති බවත් ඇය පවසන්නීය. හොලිවුඩ් රිපෝටර්හි ටොඩ් මැකාර්ති පවසන්නේ, මෙම චිත්‍රපට ත්‍රිත්වයේම සාර්ථකත්වය එකිනෙක පිළිවෙලට තරග තුනකින් ජයග්‍රහණ ලැබුවා හා සමාන බවයි.