වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




එතකොටයි හොට් සීට් එක හොට් වුණේ

එතකොටයි හොට් සීට් එක හොට් වුණේ

සිරස ලක්ෂපති වාසනාව දිනූ සුපිරි තරුව

මෝක්ෂ මධුසංඛ

මෝක්ෂ මධුසංක යනු අපේ කාලයේ දක්ෂයෙකි. ක්‍රමයෙන් දැනුම ගිලිහී යන සමාජයක මෝක්ෂ වැන්නවුන් සිටීම ද එක්තරා අතකින් සතුටු විය හැකි කාරණයක් වන්නේය. සිරස ලක්ෂපති ඉතිහාසයට නවමු පරිච්ඡේදයක් එක් කරමින් ඔහු ලක්ෂ විස්සේ අති විශාල ත්‍යාගය දිනා ගන්නා ලදී. එහෙයින් මෝක්ෂ එක රැයකින් රටක් හඳුනන චරිතයක් වූවේය.

ඒ ජනාදරය සහ ජනතාවගේ ආශීර්වාදය විඳිමින් සිටින මොහොතක ඔහුගේ අත්දැකීම් ඔබ හා බෙදා ගතහොත් එය ඔබට ද වැදගත් වේවි යැයි අපි සිතුවෙමු.

* මෝක්ෂ, මේ දිනවල ගතකරන ජීවිතය කෙබඳුුද? මං ඇහැව්වේ ලක්ෂ විස්ස දින්නාට පසුව ඔබේ ජීවිතය වෙනස් වුණාද කියන කාරණය?

කිසිසේත්ම නැහැ. එදා ගෙව්ව ජීවිතයමයි මං අදත් ගෙවන්නේ. සුපුරුදු පරිදි බැංකුවේ රාජකාරිවල නියැලෙනවා. පවුලේ අයත් එක්ක ජීවිතය ගෙවනවා, ඔන්න ඔහොමයි. දශමයකින්වත් ජීවිතය වෙනස් වෙලා නැහැ.

* එහෙත් ඔබ දැන් ජනප්‍රිය චරිතයක් නේද?

ඔව්. නොසිතූ විරූ අන්දමින් ජනපි‍්‍රයත්වය මා සොයා ආවා. වෙනදාවගේ නෙවෙයි. ගෙදරින් එළියට බැස්සාම දාහකුත් දෙනා මගෙන් එක්ක කතා කරනවා. ඇතැම් වැඩිහිටියෝ ඔළුවට අත කියලා ආශීර්වාද කරනවා. දුරකථනයට කෝල්ස් ගලාගෙන එනවා. බැංකුවට එන කස්ටමස්ලා වෙනදට වැඩියෙන් කතා කරනවා. මගේ නමත් වැඩි දෙනක් දන්නවා. ඉතින් මේවා හරිම සුන්දරයි. වාසනා ගුණයත් තියෙන්න ඕන ජනප්‍රසාදය ලබන්න.

* නොඅනුමානව ඔබ ලක්ෂපති වැඩ සටහනෙහි රසිකයෙක් වෙන්න ඕන?

දිගින් දිගටම මං සිරස ලක්ෂපති බැලුවා. බොහෝ අවස්ථාවලදි මං එහි අසන ප්‍රශ්නවලට සිතින් විසඳුම් සොයනවා. එය සියයට සියයක් හරි ගිය අවස්ථාත් තිබුණා. පැරදුන අවස්ථාත් තිබුණා. වැරදුණ අවස්ථාවලදී මං මගේ දැනුම වැඩි කර ගත්තා.

* මං ඊළඟට එතන්ට එන්න තමයි හැදුවේ. කොහොමද ඔබේ දැනුම එක් රැස්වීම සිදු වුණේ?

මං නිතරම පොත්පත් කියවනවා. පුවත්පත්වල විශේෂාංග ලිපිවලට තමයි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. ඒවාහි අන්තර්ගත වැදගත්ම දේවල් මා මනසෙහි තැන්පත් කොට ගන්නවා. වැඩි දෙනෙකු නිස්කාරනේ අන්තර්ජාලයේ සැරිසැරුවට මං එහෙම කරන්නේ නැහැ. අන්තර්ජාලය කියන්නේ දැනුමේ තෝතැන්නක්. මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතනවලට එකතු කරගත හැකි ඇප්ස් තියෙනවා දැනුම බෙදා ගන්න. ඒවායින් කිහිපයක් මං ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්නවා. මේ මේ දේවල් නිරන්තරයෙන් ඇසුරු කිරීම තුළින් තමයි මං මගේ දැනුම වැඩිකර ගත්තේ.

* ඔබ ලක්ෂපති සඳහා අයදුම් කරනවා. නමුත් ඒක ඔබේ බිරිය දන්නේ නැහැ?

මට ඒ ගැන බිරියට කියන්න බැරි වුණා. ලක්ෂපති සඳහා මං අයැදුම් කළේ නිකමට වගේ. ඔවුන් නිතරම අයැදුම්කරුවන්ට ඇප්ලයි කරන්න කියලා කියනවා. ඒ ඇඩ් එක දැකපු ගමන් මං ඇප්ලයි කළා. පසුවයි බිරිය දැනුවත් කළේ.

* මූලික වට සඳහා ලක්ෂපති වැඩසටහනට පැමිණි මොහොතක යළි සිහිපත් කරමුද?

හොට් සීට් එකට තරග වදින්නට ප්‍රථම තරග වටයක් තිබෙනවා. දස දෙනෙකු තරගකරුවන් ඊට සහභාගි වෙනවා. ඒ පිම්මෙන් පනින්නට මට හැකියාව ලැබුණා. එතකොට මට ලොකු ප්‍රෙෂර් එකක් තිබුණේ නැහැ. මට ලෙකු විශ්වාසයක් තිබුණා මට හොට් සීට් එකේ වාඩි වෙන්නට හැකියාව ලැබෙයි කියලා.

* ඔබට ඒ වාසනාව උදා වුණා?

ඒක භාග්‍යයක්. ජීවිතයේ උදාවන විරල අවස්ථාවක්. එකම ප්‍රාර්ථනාවයි තිබුණේ. ඒ මේ තරගයෙන් ඉදිරියට යනවා කියන එක.

* ඒක එහෙම සිදු වුණා නේද?

මුල් ප්‍රශ්න කිහිපයේදී මට පීඩනයක් තිබුණේම නැති තරම්. එන්න එන්න ප්‍රශ්නවල දැඩිකම වැඩිවෙනවනෙ එතකොට තමයි හොට් සීට් එක ඇත්තටම හොට් වුණේ.

* ඔබ එක්තරා පැනයකදී තැති ගත්ත බවක් පෙනුණා?

ඔව්. ඒ නායක්කාර් වංශයෙන් රජ පෙළපත පැවතෙන්නේ කොහොමද කියන පැනයේදී. එක පාරටම ඒක ඔළුවට අවේ නැහැ.

* ඔබ අවසාන ප්‍රශ්නයේදී Caller Friends අවස්ථාවට ගියේ ඇයි?

මට ඒකට යන්න වුණා. මගේ හිතවත්ම කෙනෙකු වන ඩිල්ෂාන් ද සිල්වාටයි මං කතා කළේ.

* සාමාන්‍යයෙන් මෙම තරගාවලිය නරඹන්න පොඩි ළමයි රැගෙන එන්නේ නැහැ. නමුත් ඔබේ දරුවා ඔබ තරඟ කරනවා බලන්න ආවා?

ලක්ෂපති වැඩ සටහනේ ලෝක සම්මත නීතියට අනුව අවුරුදු දහහතරෙන් පහළ ළමුන්ව තරගය නරඹන්නට රැගෙන එන්න බැහැ. නමුත් මට ඒ රීතියට මානුෂීයව යටත් වෙන්න බැරි වුණා. මං මගේ පුතාට හරි ආදරෙයි. ඉතින් මං විශේෂිත ඉල්ලීමක් කළා මගේ පුතාව තරග භූමියට රැගෙන එන්නට අවශ්‍යයි කියලා. සිරස හෘදයාංගමව මගේ ඉල්ලීමට සවන්දීලා පුතාව ගෙන්නුවා. එහිදී දරුවා ගෙන එන්නට සිරසට එහි මුල් වැඩසටහනේ හිමිකරුවන්ගෙන් අවසර ගන්නත් වුණා.

* දිනපු ලක්ෂ විස්සෙන් මොනවද ඔබ කරන්නට බලාපොරොත්තු වෙන්නේ?

මං මගේම නිවසක් මේ වන විට හදමින් සිටිනවා. එයට වියදම් කරන්නටත් මං ඉගෙන ගත්තු ගාල්ල මහින්ද විදුහලට මුදලින් කොටසක් පිරිනමන්ටත් බලාපොරොත්තු වෙනවා.

* ඔබ මේ වන විට ආදර්ශවත් චරිතයක් වෙලා?

ඒකට සතුටුයි. මං මේ ජයග්‍රහණය ලැබුවේ අධිෂ්ඨාන ශක්තියෙන්. ඒ වගේම මේ ලෝකේ බැහැයි කියලා දෙයක් නැහැ. හැමදේම පුළුවන්. ගොඩදෙනකුට නැත්තෙත් ඒකයි.

* අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

සිරස ලක්ෂපති කණ්ඩායමට, ගාල්ල මහින්ද විදුහලට සහ මගේ පවුලේ අයට බෙහෙවින් ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. උදව් කළ නොකළ හැමෝටමවත් ස්තූතියි.