වර්ෂ 2016 ක්වූ  ජූලි 13 වැනිදා බ්‍රහස්පතින්දා




ළඟදීම අධ්‍යක්ෂණයට පිවිසෙනවා නමුත් එහි මං රඟපාන්නේ නැහැ

ළඟදීම අධ්‍යක්ෂණයට පිවිසෙනවා නමුත් එහි මං රඟපාන්නේ නැහැ

ධනංජය සිරිවර්ධන

කලා පවුලකින් කලාවට දායාද වූවෙක්. නමුත් තමන්ගේම උත්සාහයෙන් කලා ලොව දිනූ තරුණ නළුවෙක් විදියට ප්‍රකට ධනංජය සිරිවර්ධන මේ දිනවල තිරගත කෙරෙන අලි කතාව චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතයකින් සිනමාවටත් පිවිස සිටිනවා. ඒ මුල් කරගෙනයි අපි දැන් ධනංජය හමු වන්නේ.

* ඔබත් දැන් සිංහල සිනමාවට තවත් රජෙක් මැවූ නළුවෙක්. ඔබ කලක් තිස්සේ ඔබ කල්මැරුවේ මේ විදියේ රජදැක්මකින් සිනමාවටත් පිවිසෙන්නද?

එහෙමම කියන්න බැහැ. ඒත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙනවා නම් ඒ චරිතය මට විශේෂ වෙන්න ඕනය කියලා හැඟීමක් නම් තිබුණේ නැහැ. සිනමාව මා සොයා එනතරු මා ඉවසා මඟබලන් සිටියා. මං රංගනයට පිවිසි කාලේ උස් පහත් වෙමින් තිබුණු සමහර රැලිවලට අවනත නළුවෙක් වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. එහෙම ඉඳිද්දියි මට අලි කතාවක් වෙච්ච අලි කතාව චිත්‍රපටයේ රජ්ජුරුවන්ගේ චරිතයට ආරාධනාවක් ලැබුණේ. ඒ වනවිටත් මං ටෙලි නාට්‍ය 150 කට වඩා ප්‍රමාණයකට රංගනයට දායක වී සිටියා. ඉතින් මා සිනමාවෙන් ලැබිච්ච ඒ ආරාධනාව සතුටින් බාර ගත්තා. ඒ චිත්‍රපටයට සම්බන්ධ වී සිටිය සිනමාවේ සද්දන්තයන් හුඟ දෙනෙක් මා කලක පටන් හොඳින් දැන සිටි අය. මහාචාර්ය සුනිල් ආරියරත්න මගේ විශ්වවිද්‍යාල ජීවිතේ ගුරුවරයෙක්. සිංහල සිනමාවේ ජනප්‍රියම මහාචාර්යවරයා ඔහුයි. ඒ හැරෙන්නට චන්න දේශප්‍රිය, මනෝහාරී හේවාවසම් ආදීන් සමඟ වැඩ කිරීම මට අලුත් දෙයක් වුණේ නැහැ. ඒ වනවිටත් ක්ෂේත්‍රයේ ඔවුන් සමඟ වැඩ කළ අත්දැකීම් බොහොමයක් මට තිබුණා. සිනමාවේ මගේ රජ චරිතය සම්බන්ධයෙන් නම් මං කියන්නේ දැනට සිංහල සිනමාවේ අන්තිමට රජවෙච්ච රජ්ජුරුවෝ මං කියලා.

* ඒත් සිනමාවෙන් ඔබට ලැබුණු මුල්ම ආරාධනාව අලි කතාව නෙවෙයි නේද? ඔබ ලැබිච්ච අවස්ථා නැතිකර ගත්තේම නැතිද?

ඇත්ත. මං ඒ වගේ අවස්ථා ගණනාවක් නැතිකර ගත්ත කෙනෙක්. ඒත් ඒ පිළිබඳ කිසිම කනස්සල්ලක් මට නැහැ.

* හැබැයි ඇඹිටිල්ලං කාලේ ඉඳන් ඔබ කැමරාව ඉදිරියේ උන්නා කියලයි අහන්න ලැබෙන්නේ?

ඒක මං පුංචිම කාලේ දෙයක්. මට දැන් හරිහමන් මතකයක් ඒ ගැන නැහැ. මගේ පියා තමයි මියුසික් වීඩියෝ ලංකාවට හඳුන්වා දෙන්නේ. ඒ කලේ හද බැඳි ගී වැඩසටහනට, නදීකාට මතක නැද්ද, ගීයටයි මං මුහුදු වෙරළේ රංගනයක යෙදිලා තියෙන්නේ.

* නමුත් නේත්‍රාංජලී අමතක නැතුව ඇති?

මගේ පියාමයි ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ. ඒ මගේ මුල්ම රංගනය. ඒ වෙද්දී මං උසස් පෙළ හදාරමින් සිටියේ. ඒ තමයි මාව රංගනය සොයා යන්නට පෙලඹ වූ අවස්ථාව.

* ඉතින් කොහේටද ඒ පෙලඹවීම ගියේ?

මා තුළ සිටි නළුවා සොයාගත් තැනට. රඟපෑම ඉගෙන ගන්නට ගිය මට අන්තිමේදී වඩාත් වටිනා චරිත සහතිකයක් දුන්නු අනෝජා විරසිංහම කීවේ ‘ධනංජය මං ළඟට ආවේ රඟපාන්න ඉගෙන ගන්න. ඔහු ඒ හැරෙන්න රඟ නොපා ඉන්න ඕනෑ කොතැනදි ද කියලාත් ඉගෙන ගෙනයි පිට වුණේ’ කියලා.

* අපි දැන් ආපිට හැරෙන්නේ අලි කතාවට?

එහෙම නම් මුලින්ම එක් දෙයක් කියන්න ඕන. මං අලි කතාවේ රඟපාන රජ්ජුරුවන්ට නමක් නැහැ. ඔහු කෲර සැරපරුෂ රජෙක් නෙවෙයි. ඉවසිලිවන්ත, කාරුණික රජෙක්. එක්තරා කල්පිත සමයක ජීවත් වෙච්ච රජෙක්. නවකතාවක් ඇසුරින් ‘අලි කතාව‘ ගොඩ නැඟුණේ. ඒ දර්ශන තලවලදී ළමයින් දෙදෙනායි අලි පැටවායි දකින මට මැවුණේ ‘ජන්ගල් බුක්’ කතාව.

ඉතින් මං කියන්නේ මේ රජාගෙන් රාජාවලිවල එන රජ්ජුරුගොල්ලන්ගේ හැඩහුරුකම් ගති ලක්ෂණ හොයන්න එපා. මේක පවුලට එකට ඉඳන් නරඹන්න කෙරුව, විශේෂයෙන් ළමයින්ව ඉලක්ක කරගත්ත චිත්‍රපටයක්නේ.

* එහෙම නම් අපි මේ පාරෙන් ටිකක් පිට පනිමු. ඔබේ පුද්ගලික ජීවිතේ දිහෑට එබෙමු. ඔබ නිතරම පොත් කියනවා නේද?

ඒක මගේ ඇබ්බැහිකමක්. සමහරු ඒ පුරුද්ද මගෙන් ප්‍රශ්න කරලත් තියෙනවා මොනවද ඒකෙන් ලැබුණේ කියලා. ඒත් මට මගේ පොත් කියවීමෙන් ලැබෙන්නේ අමිල ජීවිත දැනුමක්. ‘ලක්ෂපති’ තරගයේදී මං ලැබූ දිනුමටත් රුකුලක් වුණේ මගේ පොත්පත් කියවීම. මං කියන්නේ මං මේ මොහොතේ ජීවත් වෙන්නේ මීට අවුරුදු 10 - 15 විතර කලින් කිය වූ පොත්පත්වල දැනුමින් කියලා. මං මේ මොහොතේ කියවන ඒවෑ ප්‍රතිඵල මට අනාගතයේදීයි නෙළා ගන්න ලැබෙන්නේ. නිවේදකයකු විදියට මට පොත් කියවීමේ ප්‍රතිලාභ එමටයි.

* ඔබට ජාතික රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩ සටහනේ නිවේදක වරම ලැබුණා. ප්‍රේමකීර්ති ද අල්විස්ව ශනිදා ආයුබෝවන් ගෙනා නිවේදකවරයා විදියට ඔබත් දැක ඇති. ඒ රූපවාහිනී මැදිරියේදී දැනුණු හැඟීම කොයි වගේද?

මට ඒක හරිම සංවේදී අවස්්ථාවක් වුණා. මං මට කලින් ඒ නිවේදන අසුන බාරව සිටි ප්‍රවීණයන් සිහි කළා. ඒ පටන් අද දක්වා ඒ වැඩසටහන මෙහෙයවන නිවේදකවරු මට මැවී පෙනුණා. ඉතින් මුල්ම දවසේ මට ඒ අසුනේ අසුන් ගන්නවත් සිතක් තිබුණේ නැහැ. මං සිටගෙනයි නිවේදන කටයුත්ත කළේ.

* ඒ ධනංජයගේ ජාතික රූපවාහිනියේ මුල්ම නිවේදන වරමනේ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔබේ දෙවැනි වරම පිළිබඳ කතා කළොත්?

ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ. අශෝක හඳගමගේ ‘මේ පාරෙන් එන්න’ ටෙලි නාට්‍යය. එතුවක් නොතිබිච්ච රංගන ජීවිතේ සිහිනයක් මට තනා දුන්නේ ඒ ටෙලිය. ඉතින් මං ඒ පාර දිගේ අධිෂ්ඨානයක් ඇතිව යන්න ගත්තේ එදා ඉඳන් කිව්වොත් හරි. ඒ කැපවීමයි මගේ දෝතට සම්මානයකුත් තිළිණ කළේ.

* ඒත් මුලදී ඔබත් හරි කලබලයිලුනේ. විශේෂයෙන් ‘මේ පාරෙන් එන්න’ කරන කාලේ එහෙම?

ඉතින් එහෙම නොවී තිබුණා නම් තමයි මං පුදුම වෙන්න ඕනෑ. ඒ මගේ අත්දැකීම් අඩු කාලෙනේ. ඒ සමයේ හඳගම වගේ අධ්‍යක්ෂවරයෙක් ඉදිරියේ රඟපාන්න ලැබීමම මට ලැබිච්ච ලොකු වරමක්. ඉතින් මං නොසෑහෙන්න වෙහෙසුණා. හඳගම දුවන්න කිවුවොත් මං ඉවක් බවක් නැතිව දිව්වා. මෙලෝ සිහියක් නැතිව දැඟලුවේ හොඳට රඟපාන්න ඕනය කියලා හිතාගෙන.

හඳගම දුවන්න කිව්වොත් දිව්වා කියලා මං කීවානේ. ඒ සමහර වෙලාවල්වල දුවන්න කියන පැත්තෙන් නෙවෙයි මං දුවලා තියෙන්නේ. දුවලා දුවලා ඇවිත් හති වැටිලා නැවතුණාමයි මට කට්ටිය කියන්නේ ඇයි ඒ පැත්තේ දිව්වේ එහේ තවම බිම් බෝම්බ අයින් කරලාවත් නැති ඩේන්ජර් පැත්තනේ කියලා. එතකොට කර උස්සලා බැලුවාම තමයි මගෙත් ඇඟේ මවිල් කෙලින් වෙන්නේ.

* රංගන ජීවිතේ මුහුණ දුන්න මාරක ඇත්දැකීම් එච්චරමද?

අපෝ නෑ. එහෙම ඒවට මුහුණ දුන්න නළුවන්ගෙන් වයස අඩුම කෙනෙක් වෙන්න ඇති මං. වාතවක් රේල් පාර දිගේ ඇවිදින් යන සීන් එකක් මට කරන්න තිබුණේ. ඒ ‘ආදරණිය සුලෝචනා’ ටෙලිය රූගත කරද්දී වැලිගමදී. මං රේල් පාර දිගේ ඇවිදගෙන ගියේම චරිතය ගැන හිත හිතාමයි. මට රේල්ලුවේ නළා සද්දේ කන්දෙක ළඟම ගෝරනාඩු කරන සද්දේ මතකයි. එතැනින් පස්සේ මොකද වුණේ කියලා නිච්චි නැහැ.

මං පස්සෙයි දන්නේ කෝච්චිවල හැප්පුණාම එහෙමලු. වාසනාවට මගේ වම් උරිස්ස විතරක් වැදිලා මාව විසි වෙලා. ඉන් පස්සේ මට හුඟ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නත් සිද්ධ වුණා. ඔය එකයි. තව ඒ වගේ හුඟක් තියෙනවා.

* ඔබ නළුවෙක් විතරද? ව්‍යාපාරිකයෙක් විදියටත් අපි කලෙකට පෙර ඔබ හඳුනාගත්තා?

දැන් මං පූර්ණකාලීන නළුවෙක්. කලක් කරන් ගිය වෙළෙඳ දැන්වීම්කරණ ව්‍යාපාරයත් රංගනයේ කාර්ය බහුලකම නිසා අත්හැර දැම්මා. ඉතින් ආර්ථික ගැටලු ආවත් ඒවා ඉවසාගෙන රංගනයේ නිරත වෙනවා.

* දැන් ඔබ විවාහකයි. කොහොමද විවාහ ජීවිතේ?

ඇයයි මමයි එක වගේ නෙවෙයි. අපි දෙන්නා ගැළපෙන්නේ නැහැ. අන්න ඒ නොගැළපීමම තමයි අපේ ගැළපිම. මං කියන්නේ ජෝඩුවක් එහෙම වෙන්න ඕන. එක වගේ අදහස් සිතුම් පැතුම් අපේක්ෂා තියෙන දෙන්නෙක් නෙවෙයි ගැළපෙන්නේ. ඒවා විවිධාකාර වෙන්න ඕන. ඒ අතරේ එක්කෙනාට එක්කෙනා වෙනස් කියලා දෙන්නාට දෙන්නා වටහා ගන්නවා නම් ඒකම හොඳටම ඇති.

බිරියයි මමයි එහෙමයි. අද ඊයේ නෙවෙයි. අවුරුදු 15 ක ඉඳන් මං ඇයව අඳුනන්නේ. ඒ කාලේ ඉඳන් අපි දෙන්නා දෙවිදිහක්. ඒ නිසා අපි දෙන්නා අදටත් එකට සතුටින් ඉන්නවා. ඇය දක්ෂ ගායනයට. ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න මං ඇයට හැම සහායක්ම දෙනවා. ඇයගෙන් ළඟදී අලුත් නිර්මාණ කිහිපයක්ම බිහි වෙයි.

* ඇය අලුත් වෙන්න නියමිතව තියෙද්දී ඔබ පැරැණි නිර්මාණ කාර්යයක කාලෙක පටන් නියැළෙනවා නේද?

ඒක චිත්‍රපටයක්. එකේ වැඩ ඉවර කරගන්න කලින් කේ. ඒ. විජේරත්න අපෙන් සමුගත්තා. ඉතින් අපි පිරිසක් එකතු වෙලා අවරුදු 3 ක විතර ඉඳන් ඒ වැඩේ ඉවර කරන්න මහන්සි වෙනවා. තව වැඩි කාලයක් නොගිහින් අපිට එහි කෙළවරක් දකින්න ලැබෙයි. ඒ එකක්. අනෙක මං මේ දිනවල ලියාගෙන යන චිත්‍රපටයක පිටපත. මට මේ කාර්යයට තවත් තිර පිටපත් රචකයකුගේ උදව් ඕනෑ වෙනවා. ඒ සහායත් ලබාගෙන ඉතිහාසයේ කවුරුත් දන්නා කියන චරිතයක් ඇසුරින් අමුතුම ආකර්ෂණීය වාණිජ චිත්‍රපටයක් ඒ කතාවෙන් ගොඩ නැඟෙයි.

* එහෙමනම් ඔබත් අධ්‍යක්ෂණය කරමින් රඟපානවා දකින්න ලැබෙයි නේද?

නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න තරම් මං මුහුකුරා ගිහින් නෑ. එහෙම දවසක් ආවොතින් ධනංජය සිරිවර්ධන කියන අධ්‍යක්ෂවරයා විතරක් ඉඳියි. ඔහු කැමරාව ඉදිරියේ පේන්න නොසිටියි. අධ්‍යක්ෂණ කාර්යය වෙනම වැඩක්. ඒ වැඩ දෙකම එකපාර කරන්න ගියොත් එකක් ගිලිහෙනවා.

* ඔබ ළඟදී ප්‍රේක්ෂකයන්ට කොයි වගේ මුහුණුවරින් හමුවෙයිද?

හ්ම්, චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඒ සුරංග අල්විස්ගේ ‘කිඩ්නැප්’ සහ සුමිත් කුමාර අධ්‍යක්ෂණය කළ ළමා චිත්‍රපටයකින්.