අපට සැදුණ අපේ ලෝකය

සුනිල් ටී.ගේ 72 ලාල්ගේ දහසය වැන්න
ඔක්තෝබර් 1, 2020

තවත් ළමා සිනමාපටයක් නිර්මාණය වෙමින් තිබේ. එය නම්කොට ඇත්තේ අපට සැදුණ අපේ ලෝකය යනුවෙනි. ලාල් ප්‍රියදේව එහි අධ්‍යක්ෂවරයාය. ජොලි හලෝ එක සහ දෙක, පතිනියකගේ හෝරාව, අලි පැටියෝ ඔයයි මමයි, මගෝ ඩිගො ඩයි, කිව්වද නහී නොකිව්වද නහී වැනි සිනමාපට රැසක් ඔහු මීට ප්‍රථම අධ්‍යක්ෂණය කොට තිබේ. අපට සැදුණ අපේ ලෝකය නිෂ්පාදනය කොට ඇත්තේ මෙරට සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයාය. ඒ සුනිල් ටී. ප්‍රනාන්දුයි. මේ ඔහුගේ හැත්තෑදෙවැනි සිනමා නිෂ්පාදනයයි. මේ කතාබහ අපට සැදුණ අපේ ලෝකය සිනමාපටයේ අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේව සමඟිනි.

මේ ඔබේ කීවැනි සිනමාපටයද?

දහසය වැන්න.

ඔබ ළමා සිනමාපට නොකරන මතයේ නේද හිටියේ?

එක දිගටම ළමා ෆිල්ම් තුනක් විතර තිරගත වුණා මම කරපු. අපේ යාළු පුංචි බූතයා, යාළු මාලු යාළු, අතුරු මිතුරු හරි අපූරු තමයි ඒවා.

ආයේ ටික කාලෙකට ළමයින්ගේ චිත්‍රපටයක් නොකොට වෙනත් මාතෘකාවක් යටතේ ෆිල්ම් එකක් හදන්න ප්ලෑන් කරගෙන ඉන්නකොට තමයි සුනිල් ටී. කතාකළේ මෙන්න මෙහෙම වැඩක් කරමු කියලා. ඔහුගේ කතාවක් අනුව ඔහුගේ ආරාධනයෙන් අපිට සැදුණ අපේ ලෝකයට අත ගැහැව්වා.

මෙහි කතාව සාරංශ ගතකොට කිව්වොත්?

තරුණ මවක්, පියෙක් සහ ඔවුනට දරුවෙක් ඉන්නවා. මේ අය තමන්ගේ අවශ්‍යතාවයක් සඳහා පොළොන්නරුවට යනවා. වාහනේ ඔවුන්ගේ සේවිකාවක්ද ඉන්නවා. ගමන අතරමගදී මේ වාහනය පාරෙන් පිට පැනලා පෙරළිලා කැලයකට වැටෙනවා. අනෙක් කට්ටිය වන සතුන්ගෙන් මැරුම් කනවා, අර ළමයා බේරෙනවා. ළමයා කැලේ සත්තු එක්ක හැදෙනවා වැඩෙනවා. ඔය වගේ කතාවක් තමයි මෙයට ඇතුළත් වන්නේ.

කොයි වගේ ප්‍රදේශවලද චිත්‍රපටය රූපගත කිරීම් කළේ?

දැරණියගල, ගලිගමුව, නැවුගල, හරිගල වගේ ප්‍රදේශ ගණනාවක ෂූට් කළා.

කවදා විතරද අපට සැදුණ අපේ ලෝකය බලන්න පුළුවන් වෙන්නේ?

දෙසැම්බර් මාසයේදී පමණ චිත්‍රපටය රිලීස් වේවි.

චිත්‍රපටයේ නළුනිළියෝ කවුද?

මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස්, රජීව් නානායක්කාර, රජිත රොඩ්‍රිගෝ, ලක්ෂ්මි බෝගොඩ, තිළිණ ලක්මාල්, ප්‍රියා සෙල්වම්, රාජි මෙන්ඩිස්. ඒවගේම තවත් විශේෂත්වයක් තියෙනවා. අප අතරින් වෙන්වුණ සිනමා නළු බැප්ටිස්ට් ප්‍රනාන්දුගේ මිනිබිරිය පළමු වතාවට චිත්‍රපටයක රඟපානවා. ඇය තමයි කවීතා අංජලී. ඒ වගේම මගේ පුතා චන්දේව් ඉපලවත්තත් මෙහි රඟපානවා.

නිෂ්පාදන පිරිවරත් මතක් කරමු?

කැමරා අධ්‍යක්ෂණය ජනිත් ගුණසේකර. සහාය අධ්‍යක්ෂණය ෂෙහාන් තරිඳු සහ රූපිකා මංගලිකා. අංගරචනය මේශාන් හේවාපන්න. සංස්කරණය ධනාල් තිරන්ජන. නිෂ්පාදන කළමනාකරණය එම්. කේ. සුදාකර්. සංගීතය නිපුණ පිටිගල හෙවත් නියෝ. ශබ්ද පරිපාලනය ඩිලාන් ගුණවර්ධන. දෘශ්‍ය ප්‍රයෝග ප්‍රභාත් පෙරේරා. ගායනා නිපුන පිටිගල, ශසිකා ෂහීඩ් පිටිගල සහ ඉමාශ් ලක්ෂාන්.