සිනමාව ගැන කියන වේදිකා නාට්‍යයක්

ඔක්තෝබර් 1, 2020

"නැහැ වැටුණේ සිනමාව අවදි කරමු මතකය" නමින් සිංහල සිනමාව ප්‍රස්තුතය කොට ගෙන නිර්මාණය කළ වේදිකා නාට්‍යයක් සැප්තැම්බර් දෙවැනිදා ටවර්හෝල් රඟහලෙහි වේදිකාගත වීමට නියමිතය. මේ එහි අධ්‍යක්ෂවරයා මෙන්ම නිෂ්පාදකවරයා සමඟ කළ කතාබහයි.

 

නම මොකක්ද?

රියැන්සි ඩෙන්සිල් ප්‍රනාන්දු.

ගම කොහෙද?

පුංචි බොරැල්ලේ.

වයස කීයද?

අවුරුදු 55යි.

ඇයි වේදිකා නාට්‍යයක් කරන්න හිතුවේ?

රඟපාන්න, සිනමාවට ආස වුණාට වේදිකා නාට්‍යයක් කරන්න ඕනේ කියලා අදහසක් තිබුණේ නැහැ. කලාව තුළ අපිට යන්න පැත්තක් නැහැ. අවස්ථාවන් අඩුයි. ඒ නිසා මම නාට්‍යයක් කරන්න හිතුවා.

වේදිකා නාට්‍ය ගැන විස්තර කළොත්?

මේකේ නම "නැහැ වැටුණේ සිනමාව අවදි කරමු මතකය". මේ වේදිකා නාට්‍යයෙන් කතා කරන්නේ සිංහල සිනමාව ගැන. චිත්‍රපටවල සමස්තයක් ලෙස වෙන දේවල් සරල කතාවක් ඇසුරෙන් ඉදිරිපත් කරන්නයි මේ වේදිකා නාට්‍යයෙන් බලාපොරොත්තු වුණේ. මෙහි පිටපත සහ අධ්‍යක්ෂණය කළේ මම. මේ වේදිකා නාට්‍ය නිෂ්පාදනයට හිතවතුන්ගෙන් මට අනුග්‍රහය ලැබුණා.

නළු නිළියන් තෝරාගත්තේ කොහොමද?

මම වේදිකාවට ආධුනිකයෙක් නිසා ආධුනිකයන්ටම අවස්ථාව දෙන්න තීරණය කළා. සරසවිය පත්තරේ විස්තරයක් පළ කරලා සම්මුඛ සාකච්ඡාවක් පවත්වලා පද්මසිරි කොඩිකාර මහත්තයාගේ උදවු ඇතිව නළු නිළියන් තෝරාගත්තා.

මේ වේදිකා නාට්‍යයේ විශේෂත්වය මොකක්ද?

විශේෂත්වය තමයි සංගීතය. මේකට මම චිත්‍රපටි සින්දු 12ක් ඇතුළත් කරගෙන තියෙනවා. කතාවට අනුකූලව ගීත යොදාගෙන තියෙන්නේ. ඒ සින්දු අහනකොට ප්‍රේක්ෂකයන් අතීතයට රැගෙන යන්නයි මට ඕනේ වුණේ. මාගේ මතකේ ඔබේ රුව ඇදේ, ඉර හඳ වැඳලා, පාට පොදක් තිලකලා වගේ ගීත මේ සඳහා යොදාගත්තා.

මේ සඳහා සූදානම් වෙන්න කොච්චර කාලයක් ගත වුණාද?

2017 වසරේ ඉඳන් මේ වේදිකා නාට්‍යයට සූදානම් වුණා. අවසානයට මේ අවුරුද්දේ මාර්තු 26 තමයි වේදිකා ගත කරන්න සූදානම් වුණේ. ඒත් කොරෝනා වසංගතය නිසා බැරි වුණා.

ඔබ රංගනය හදාරාලා තියෙනවාද?

නැහැ. පොඩි කාලේ ඉඳන්ම රඟපාන්න තිබුණු ආසාවට මම 1985දී ටෙලිනාට්‍ය දෙකක රඟපෑවා. මම රැකියාව කළෙත් බොරැල්ල රිට්ස් සිනමාශාලාවේ. එතන වසර පහළොවක් වැඩ කළා. නළුවෙක් නොවුණාට ලංකාවේ පළවෙනි සිනමාශාලාවේ වැඩ කරපු නිසා සිනමාව ගැන යම් තරමක් මම දන්නවා. කලාකාරයෝ ඇසුරු කරලා තියෙනවා. මට දැන් වයස 55ක්. මම මේ ගැන මුකුත්ම දන්නේ නැහැ. වේදිකා නාට්‍යයක් කරන්නේ කොහොමද? ආලෝකකරණය, හඬ හසුරුවන්නේ කොහොමද? නළු නිළියන් හසුරුවන්නේ කොහොමද කියලා ඉගෙනගන්නයි මට ඕනේ වුණේ.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මේ නාට්‍යය දිගටම රට පුරා අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. තවත් නාට්‍යයකට තිරපිටපතක් ලියාගෙනත් යනවා. ඒකත් කොහොමහරි කරන්න බලමු ඉස්සරහට.