සිරිපා කරුණා නොකොට සිරිපා කරුණාව ගැන යූ.ඩී. පෙරේරා ලියූ ගීතය

“මුනි නන්දන සිරි පාද වඳිම්”
ඔක්තෝබර් 1, 2020

මෙරට පූර්ව සිනමා ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසයේ (1905-47) බෞද්ධ සිද්ධස්ථාන වන්දනා පිළිබඳ විරචිත ගීත අතුරින් “සිරිපා වන්දනාව” ගැන වෙසෙසින් සඳහන්වන ගීත කීපයක් හමු වෙයි. “සුමන සමන් දිව්‍ය රාජයාණන්” සහ “සිරිපා වන්දනාව” ගැන සඳහන් මෙකී ගීත අතුරින් වර්ෂ 1929 දී පමණ ජර්මනියෙහි නිෂ්පාදිත ODEON  ග්‍රැමොෆෝන් තැටි ලේබලයට (ගීත තැටි අංක ඒ 226013) ඇම්. රොමානිස් සිල්වා මහතා සහ සහාය ගායකයා විසින් “ශ්‍රී පාද ගමන” සහ “ශ්‍රී පාද වැඳ බැසීම” යන දෙබස්, තුන්සරණේ කවි ගායනා සහ ගීත ඛණ්ඩ ඇතුළත් ගීත තැටිය නිකුත් කරන ලදී . එසේම වර්ෂ 1937 දී පමණ BROADCAST තැටි ලේබලයට (ගීත තැටි අංක අ 4084-ඒ), ගායිකා කේ.ඩී රෙජිනා පෙරේරා විසින් “වරම් අරන් ප්‍රාසාද සමන් දේවාලෙන් -වඳීනට ශ්‍රී පාද ගමන් ආවා” යන ගීතයත්, වර්ෂ 1937 HMV  ලේබලයට (ගීත තැටි අංක ර්‍ථ 15269) ගායිකා ලක්ෂ්මී බායි විසින් “සුමන සුරින්දේ” යන ගීතයත්, වර්ෂ 1939 දී COLUMBIA  ලේබලයට (ගීත තැටි අංක ට්ඡ් 15027) ගායක ඒ .ආර්. ඇම් ඉබ්‍රාහීම් විසින් සම්බුදුන් වහන්සේ ගේ සිරිපා ලකුණ පිහිටවූ ස්ථාන පිළිබඳව ගැයෙන “පරම තුම් දම් අමා වරුසාව වස්වා“ යන ගීතයත්, වර්ෂ 1941 දී HMV  ලේබලයට (ගීත තැටි අංක ව් 13066) ගායිකා රුක්මණී දේවී විසින් “බලධාරී සමන් දෙවි රජතුමනි” යන ගීතයත් තැටිගත කරන ලදී. මීට අමතරව, වර්ෂ 1941 දී COLUMBIA  ලේබලයට කොටස් හතරකින් යුක්ත (ගීත තැටි අංක ට්ඡ් 15110-15111) ලෙස COLUMBIA  නාටක පිරිස ඉදිරිපත් කළ “සිරිපා වන්දනාව නොහොත් කොටාගේ වාසනාව” යනුවෙන් කොටස් හතරකින් යුත් සිරිපා වන්දනාව ගැන කියැවෙන ඓතිහාසික තේමාවක් රැගත් ග්‍රැමොෆෝන් ගීත නාටකයක් ද නිකුත් විය. මේ ගීත සියල්ලකටම වඩා එම යුගයේ බිහි වූ අද දක්වා ම ජනප්‍රියත්වය නොනැසුණු, සිරිපා කරුණාව ගැන මනරම් අයුරින් ප්‍රකාශිත ගීතයක් වන්නේ, වර්ෂ 1941 දී COLUMBIA  ගීත තැටි අංක ට්ඡ් 15082 අංකයෙන් නිකුත් වුණු, “මුනි නන්දන සිරිපාද වදිම් සමනළ කන්දේ” යන ගීතයයි. දශක අටක් පුරාවට ශ්‍රාවක පරපුරු ගණනාවක් ආදරයෙන් වැළඳගත් මෙම ගීතයේ ඉතිහාසය මෙම ලිපියෙන් පිඬු කොට දක්වන්නෙමි.

“මුනි නන්දන සිරිපාද වදිම් සමනළ කන්දේ” ගීතය රචනා කරන ලද්දේ එවකට COLUMBIA  ගීත තැටි සමාගමේ නිත්‍ය ගේය පදරචකයා වූ, සංගීතඥ යූ . ඩී පෙරේරා මාස්ටර් විසිනි. එම ගීතය ගායනා කළේ එවකට එම ගීත තැටි සමාගමේ “ජනප්‍රියම ගීත කෝකිලාව” ලෙස විරුදාවලි ලබා සිටි ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මී ඇතුළු පිරිස ය. මෙම ගීතය සංගීතවත් කළේ COLUMBIA  ගීත තැටි සමාග,ඒ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක ධූරන්ධර සංගීතඥ මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි. මෙම ගීතයේ පදමාලාව පහත අයුරින් වේ.

 

මුනී නන්දන සිරිපාද වඳීම් සමනල කන්දේ

විහිදෙන මෝක්ෂ සුගන්දේ //

මුනී නන්දන සිරිපාද වඳීම් ශ්‍රි....

 

ශාන්ති කරුණා ගුණ ආනන්දේ

ලැබිලා කරුණා ගුණ ආනන්දේ

පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

 

ලීණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්

ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගණිමින් //

 

තුන් සරණේ පිහිට පතාලා

සිත් සන්තොසිනේ ඉන් පිටත් වෙලා

පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

 

ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ

සීත ගඟුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ //

මළුව පෙනෙයි යමු නැවතී හැර මිටි පානේ //

 

සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැපවෙයි //

පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

 

ඇහැළ කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා

අහස් ගව්ව පසු කරමින් සාදු කියාලා //

 

මහා මළුවට විත් ගිරිදඹ නැගලා

සිරී පතුල වඳීමු නිවන් පතාලා

එම පින් සමන් සුරිඳුටත් පමුණාලා

 

මුනී නන්දන සිරිපාද වඳීම් සමනල කන්දේ

විහිදෙන මෝක්ෂ සුගන්දේ //

මුනී නන්දන සිරිපාද වඳීම් ශ්‍රි...

 

මෙම ගීතය සිංහල ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසයේ හමුවන ඉතා රමණීය ගීතයක් වන්නේ ගීත රචක යූ. ඩී. පෙරේරා සූරීන් විසින් මෙහි භාවිත කරන ලද, චිත්ත රූප මැවෙන අයුරින් විරචිත සරල- සුගම පදමාලාවයි. අතීතයේ සිරිපාගමන අතිශය දුෂ්කරය. බොහෝ දෙනා සිරිපා කරුණා කළේ නැවත එන්නට නොලැබේ දෝ යන අනිශ්චිත භාවයකිනි. එබැවින් සිරිපා කරුණා කරන බොහෝ නඩ සමන් දේවාලය වඳ පුදා සුමන සමන් දෙවියන් ගෙන් වරම් ලබා මෙම ගමන පිටත් වන්නේ දින ගණනාවක් පේවී ගෙන ය. මෙසේ සමන් දෙවියන් ගෙන් ආශිර්වාද ලබා සිරිපා කරුණා කිරීමට පිටත්වන නඩයක ගේ සිරිපා වන්දනාව ඉතා මනහර අන්දමින් ගීතයකට නැගීමේ දී යූ.ඩී පෙරේරා මහතා විශද කළ ප්‍රතිභාව අතිමහත් ය. ලිහිණි හෙලේ අම්බලමේ ගිමන් හරින නඩය, ධර්මරාජ ගල පසු කරති, ගෙත්තම්පානේ ගෙත්තම් කරති, සීත ගඟුලේ බැස දිය නා ගිමන් නිවති, අනතුරුව හැරමිටිපාන පසු කර ඇහැළ කණුවට ළඟා වෙති, කෝඩුකාරයෝ එහි නැවතී පිරුවට අඳීති, අනතුරුව දුෂ්කර වූ මහගිරිදඹය පසු කරති, අවසානයේ ශ්‍රීපාද පද්මය වෙත පැමිණ වැඳ නමස්කාර කර ලබා ගත් පින් සුමන සමන් දිව්‍ය රාජයාට ද අනුමෝදන් කරති. මේ අයුරින් විනාඩි තුනක් වැනි කෙටි කාලයක් තුළ අසන්නාගේ චිත්ත සන්තානයේ කෙටි සිනමා රූ පෙළක් ලෙසින් “සිරිපා වන්දනාව” චිත්‍රණය කිරීමට ගීත රචකයා සමත් වෙයි. නමුත් මෙම ගීතය වටා ගෙතුණු ඉතා රසවත් සිදුවීම වන්නේ ගීත රචක යූ.ඩී. පෙරේරා මහතා කිසිදිනෙක සිරිපා කරුණා කර නොතිබුණු කෙනෙකු වීම ය. එසේ වුවත් එතුමා මෙම ගීතය රචනා කළේ සිරිපා කරුණා කළ පුද්ගලයන් මෙන්ම පොත පොත පතෙහි මෙන් ම ,ජනකවියෙන් ද ආභාසය ලබා විය හැකිය.

මෙම ගීතය ගායනා කළ ගායිකාව වූ ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මිය පිළිබඳව මා මීට පෙර මෙම ලිපි මාලාවේ අවස්ථා දෙකකදීම සටහන් තබා ඇත. එතුමිය මෙරට දැනට ජීවත්වන ජ්‍යේෂ්ඨතම ගායන ශිල්පිනිය යි. සිය ජීවන මගෙහි අනු සත් (97) විය පසුකරමුන් සිටින එතුමිය තවමත් නිරෝගි සුවයෙන් වෙසෙන්නී ය. ග්‍රේටා ජැනට් ද සිල්වා යන්තමින් සොළොස් විය ඉක්මවූ විට එවකට මෙරට ජනප්‍රියම ගීත කෝකිලාවක වූවාය. මොහොමඩ් ගවුස් මාස්ටර් ගේ ගායක කණ්ඩායමේ නිත්‍ය සහ ප්‍රධානතම ගායිකාවක වූ එතුමිය සරල ගී, සරල -ශාස්ත්‍රීය ගී, කවී, සීපද, ගාථා, විරිඳු, බයිලා, කපිරිඤ්ඤ ආදී සියලුම මාදිලියේ ගීත ගායනා කළ එකම ගායිකාව වූවාය. වර්ෂ 1941 දී තැටිගත කළ මෙම ගීතයේ “මුනි නන්දන සිරිපාද” ගීතයේ ග්‍රේටා ජැනට් ගේ සහාය ගායනයට එක වූ ගායකයා වූයේ එතුමිය සමගින් “දුල් සල්වනේ ළකල්“, “බුදු සිරිත“ ආදී යුග ගී ගැයූ ගායක ස්ටැන්ලි මල්ලවාරච්චි මහතා ය. ගීතය සඳහා එවකට තවත් තරුණ ගායිකාවන් තිදෙනෙක් අත්වැල් ගායනයෙන් එකතු වූහ. එම සහාය ගායිකාවන් වූයේ වසන්තා සන්දනායක, කරුණා දේවී (විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය ගේ මව) සහ ෆ්ලෝරි දේවී (විශාරද සුජාත අත්තනායක මහත්මිය ගේ වැඩිමහල් සහෝදරිය) යන ගායිකාවෝ ය. මෙම ගීතය යූ.ඩී පෙරේරා මහතා එතුමා විසින් රචිත සියගණනක් ගීත අතුරින් පෞද්ගලිකව වඩාත් ම ප්‍රිය කළ ගීතයක් බව එතුමා සඳහන් ය. එසේම මෙම ගීතයේ අතිශය ජනප්‍රිය භාවය නිසා COLUMBIA  තැටි සමාගමෙන් මෙම ගීත තැටියේ පිටපත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක ප්‍රතිනිකුතු කීපවරක්ම වෙළෙඳපොළට නිකුත් කළ බව සඳහන් ය. එසේම ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මිය එවකට COLUMBIA  සමාගමේ මසකට රුපියල් දෙසිය පණහක “රෝයල්ටි”  (ROYALTY)  නොහොත් “කර්තෘභාග දීමනාව” ලබන ශිල්පිනියක ලෙස ජනප්‍රිය වූයේ ද මෙම ගීතය නිසාවෙනි.

ගවුස් මාස්ටර් විසින් සංගීත සංයෝජනය කළ මෙම ගීතයේ සංගීතය ගැන වෙසෙසින්ම සඳහනක් තැබිය යුතු ය. සම්පූර්ණ ස්වර සප්තකය යොදාගෙන ඇති මෙම ගීතය හින්දුස්ථානි රාගධාරී සංගීතයේ භෛරවී ථාඨයේ ප්‍රධාන රාගය වන “භෛරවී රාගයෙන්” (කර්ණාටක සංගීතයේ හනුමන්තෝඩි රාගයෙන්) ඡායානුගත ය. භෛරවී රාගයේ රිෂභ, ගන්ධාර, ධෛවත සහ නිෂාද යන කෝමල ස්වර සතරත්, එම රාගයෙන් යෙදන වාදී මධ්‍යමය වෙනුවට පංචමය ප්‍රබල ලෙසත් මෙම ගීතයෙන් ගායනා කෙරේ. එසේම, මෙම ගීතයේ අන්තරා කොටස සරලව සහ නිශ්චිත අයුරින් ගායනා කෙරේ. ගීතයේ මුල් අනුකාරක වංග ගීත තනුවෙහි මෙන්, ස්වර විස්තීරණයක් නොමැති අතර, භෛරවී රාගයෙන් පිටතට යෑමක් (ශුද්ධ රිෂභය ස්පර්ශ කිරීමක් වැනි) දක්නට නොලැබේ. ගීතයේ තාලය දාදරා (මධ්‍ය ලය) වන අතර, ශ්‍රැතිය නොහොත් ෂඩ්ජය රිෂභය හෙවත් ඬඥර ධට ච් ස්වරය වන අතර ස්වර ග්‍රාමය වන භෛරවී ථාඨය, බටහිර සංගීත සම්ප්‍රදායයේ එන ආදි ග්‍රීක ස්වර ග්‍රාමයක් වෙන ෆ්‍රීජියන් (PHRYGIAN)  රටාවට සමානය. මෙම රටාව “D natural minor with a lowered second” ලෙස ද නම් කළ හැකි ය.

 

මෙකී ස්වර සංකලනය මගින් කිසියම් භක්ති රසයක් අසන්නා කෙරෙහි ජනනය වන අයුරින් ස්වර සංයෝජනය කිරීමට සංගීතඥ ගවුස් මාස්ටර් සමර්ථ වී ඇත. එසේම, පියානෝව, ක්ලැරිනට්, ට්‍රම්පට්, වයලීනය, තබ්ලාව, ආදී වාද්‍ය භාණ්ඩ යොදාගෙන මෙහි සංගීතය ගවුස් මාස්ටර් සංයෝජනය කර ඇත්තේ ය.

මෙම ගීතයට පාදක වූ මුල් ගීත තනුව ගවුස් මාස්ටර් යොදාගෙන ඇත්තේ සුප්‍රසිද්ධ “කාසි නස්රූල්” නම් වංග කවියා විසින් විරචිත “මොරා ඝුම්ඝුරේ ඒලේ මොනොහාර්” නම් වංග ගීතයෙනි. මෙම ගීතය පළමුවරට තැටිගත කළේ වර්ෂ 1931 දී HMV  ලේබලයෙන් (ගීත තැටි අංක ර්‍ථ 11730) නිකුත් වූ තැටියකට “ඉන්දුබාලා දේවී” නම් වූ එවකට සිටි විශිෂ්ටතම ශාස්ත්‍රීය ගායිකාවක ගේ හඬිනි. ගීතයේ තනුව ද ගීත රචක කාසි නස්රූල් විසින් ම ය. ඉන්දුබාලා (1899-1984) භාරතයේ සිටි අතිවිශිෂ්ට ශාස්ත්‍රීය ගායිකාවකි. ඇයගේ මව වූ රාජ්බාලා ද එවකට වංග නෘත්‍ය ශිල්පිනියක වූවාය. බෙංගාලි (වංග), හින්දි, දමිල, උර්දු ආදී භාෂා රැසකින් වර්ෂ 1913 සිට ග්‍රැමොෆෝන් ගීත තැටි වෙනුවෙන් ඈ ගීත තැටිගත කළා ය. එවකට කල්කටා, හයිද්‍රාබාද්, මදුරාසි සහ බැංගලෝර් යන නගර වල ප්‍රදර්ශන පවත්වා ඉතා ජනප්‍රියත්වයට පත්ව සිටියා ය. ඇයගේ ජනප්‍රියත්වය එවකට ශ්‍රී ලංකාවේද පැතිරුණු අතර, ඉන්දුබාලා දේවී විසින් ගායනා කරනලද වංග සහ හින්දුස්ථානි ගීත තැටි මෙරට ද ඉහළ ජනප්‍රියත්වයක් ලබා තිබුණි. එවකට මෙරට සිටි ජනප්‍රියම ශාස්ත්‍රීය ගීත කෝකිලාව වූ කේ.ඩී. රෙජිනා පෙරේරා මහත්මී ගායනා කළේ සහ අනුගමනය කළේ බොහෝ විට ඉන්දුබාලා ගේ ගායන විලාසයයි.

ඉන්දුබාලා විසින් ගැයූ මෙම මුල් වංග ගීතය සිංහල ගීතයට වඩා ශාස්ත්‍රීය අතින් ඉහළ ගායනයකි. මෙම මුල් වංග ගීතයේ වාදී ස්වරය පංචමය වීම හැරුණු කොට, මූලික වශයෙන් භෛරවි රාගය මත පදනම් වී නිර්මාණය කර ඇත. ගීතය මැද තාල වාදනය (දාද්රා තාලය) මඳ විරාමයකින් ගායිකාව ගීතය විස්තීරණය කරන අතර, මෙහිදී උච්ච සප්තකයේ ශුද්ධ රිෂභය ස්පර්ශ කිරීම නිසා “සිංධි භෛරවී” රාගයයේ ඡායාවක් ඉස්මතු වෙයි. ෂඩ්ජය කෝමල නිෂාදය සේ යෙදී ඇති අතර, වාද්‍ය භාණ්ඩ ලෙස හාර්මෝනියම් සහ තබ්ලාව පමණක් භාවිත කර ඇත. මෙම තනුව භාරතයේ සහ බංගලිදේශයේ අද දක්වාම ජනප්‍රිය එකකි. වර්ෂ 1935 දී පමණ සබීතා මොඛෝපාධ්‍යය නම් අප්‍රකට ගායිකාවක විසින් මෙම ගීතය නැවත තැටිගත කර තිබුණ ද, ගවුස් මාස්ටර් විසින් ස්වකීය ස්වර සංයෝජනය සඳහා පාදක කරගන්නට ඇත්තේ ඉන්දුබාලා ගේ මුල් ගීතයේ ස්වර රාමුව බව සිතිය හැකිය.

සිංහල ගීතය රචනා කළ යූ .ඩී පෙරේරා මහතා පිළිබඳව ද වෙසෙසින් ම සටහනක් තැබිය යුතුම ය. වර්ෂ 1902 පෙබරවාරි 02 දින බණ්ඩාරගම වීදගමදී උපතලද උඳුගොඩගේ ධර්මසිරි පෙරේරා නම් මෙතුමා පානදුරේ මානමුල්ලේ බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලද මෙතුමා එවකට සුප්‍රසිද්ධ නාටක කතුවර බී . එල්. බෝධිපාල මහතාගේ ජනප්‍රියම ගෝලයෙකු විය. වර්ෂ 1927 දි පටන් ගීත රචනයට පිවිසි මෙතුමා එවකට ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයට මෙන්ම නාටක සඳහා ද ගීත රචනා කළේ ය. වර්ෂ 1931-37 වකවානුවේ ODEON  සමාගමේ ඇතැම් ගීත තැටි වෙනුවෙන් ගීත රචනා කළ යු.ඩී පෙරේරා මහතා වර්ෂ 1938 දී පමණ COLUMBIA  තැටි සමාගමේ නිත්‍ය ගීත රචක සහ සහාය සංගීත අධ්‍යක්ෂක ලෙස මොහොමඩ් ගවුස් මාස්ටර් ගේ සංගීත කණ්ඩායමට එකතු විය. වර්ෂ 1938 දී තැටිගත කළ ඒ.ආර්.එම් ඉබ්‍රාහීම් ගැයූ “සුන්දර ශ්‍රීනි මනහාරී කුසිනාරා නගරේදී” යන ට්ඡ් 15006 යන ගීත තැටියෙහි ගීත රචකයෙකු ලෙස මෙතුමාගේ අතිශය ජනාදරයට පත් පළමු ගීතය විය. මෙතුමා රචනා කළ තවත් ජනප්‍රිය ගීත අතුරින් “රාජ සඟබෝ හිස දී දුගියාටා” (ඒ.ආර්. ඇම් ඉබ්‍රාහීම්), “අඬන්නේ ඇයි මගේ පුතුනේ“ (රෙජිනා පෙරේරා), “විසෙහි විස සදනා ලෝකේ“ (එඩී මාස්ටර්), “නිල අහස් තලේ අගේ” (යූ .ජී .පී ද සිල්වා), “දුල් සල්වනේ ළකල්“ (ග්‍රේටා ජනට් සහ ස්ටැන්ලි මල්ලවාරච්චි), “ධර්ම ද්වීපෙ රම්‍ය මේ” (අශෝකා දේවී), “සිළුමිණි සෑය වදිම්“ (අහමඩ් මොහිදීන්), “ මහා බෝධි මුලේ” (එම.ඩී .ජෝවර්ෂා), “කෝප වන්නේ ඇයි පෙම්බර ස්වාමි” (කේ. කේ. රාජලක්ෂ්මි), “නැව් ගිලීලා අන්ධකාරේ” (පාලි කුමාරී) , “කරුණා මුහුදේ නාමු ගිලීලා”(මොහිදීන් බෙග් සහ රාජලක්ෂ්මි) ආදී ජනප්‍රිය ගීත දෙසීයකට ආසන්න ප්‍රමාණයක් වර්ෂ 1938-51 වකවානුව තුළ යූ .ඩී පෙරේරා මාස්ටර් අතින් රචනා විය. පණ්ඩිත් අමරදේවයන් ගේ පළමු ග්‍රැමොෆෝන් ගීතය වන “රසයි කිරි නෑ දියාරු” යන ගීතය රචනා කළේ ද මෙතුමා ය. එසේම මොහිදීන් බෙග්, රාජලක්ෂ්මි , වසන්තා සන්දනායක, සිස්ලියානා ඩයස්, පාලි කුමාරි, හෙන්රි ෆොන්සේකා, ග්‍රේටා ජැනට් ද සිල්වා, නෝනා සුබෙයිදා, ඩබ්ලිව්. මධුරාවති, අහමඩ් මොහිදීන්, ඉන්තම් ආමාත්, ඒ.ආර්.ඇම් ඉබ්‍රාහීම්, අමරදේව, ජී .එස් .බී රාණී , අසෝකා දේවී ආදී ගායක-ගායිකාවන් විශාල ප්‍රමාණයක් සංගීත ක්ෂේත්‍රයට හදුන්වා දෙන ලද්දේ මෙතුමා විසිනි. එසේම රත්මලානේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයය, මොරටුව කල්දෙමුල්ලේ ගොනාකෝවිල ශ්‍රී අත්ථදස්සි විද්‍යාලයය ආදී පාසල් ගණනාවකම සංගීතාචාර්යවරයෙක් සහ මුල්ගුරුවරයෙක් වශයෙන් කටයුතු කළ මෙතුමා වර්ෂ 1976 දෙසැම්බර් මස 02 දින සදහටම දෙනෙත් පියාගත්තේ ය.

“සමන්තකූටය” බෞද්ධ, කිතුණු සහ ඉස්ලාමික ලබ්ධිකයන් ගේ විවධ ආගමික විස්වාස මත පූජනීයත්වයට ලක්වන්නා සේම, දශක අටකට ආසන්න කාලයක් විවධ ශ්‍රාවක පර්ෂද ගණනාවක් මනෝරංජනය කළ මෙම ගීතය මගින් ප්‍රකට කරන්නේ ද, එක්තරා අතකින් සාමයික සබැඳීයාවකි. ගීතය ප්‍රබන්ධ කළ යූ. ඩී පෙරේරා බෞද්ධයෙකි, ගීතයේ ස්වර සංයෝජනය කළ ගවුස් මාස්ටර් ඉස්ලාම් භක්තිකයෙකි. ගීතය ගායනා කළ ගායිකා ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මිය කිතුණු භක්තික කාන්තාවකි. නමුත් මේ සියලුම කලාකරුවන් එක් වී දායාද කළ මෙම අමරණීය ගීතය, ජාති- ආගම් භේදයකින් තොරව තවත් පරපුරු ගණනාවකට එක සේ රසවිඳීය හැකි අතිරමණීය ගීතයකි. මෙම මධුර මනෝහර ස්වර සරණිය ශ්‍රාවකයන් වෙත ගෙන ආ එම උතුම් කලාකරුවන්ට මෙම සටහන උපහාරයක් ම වේවා! එසේම, ජ්‍යෙෂ්ඨ ගායිකා ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මියට දිගාසිරි වේවා!

 

විශේෂ ස්තූතිය : ග්‍රැමොෆෝන් තැටි සංරක්ෂක අයි. බන්දුල ගමගේ මහතා, වංග ගීත සංරක්ෂක වංග ජාතික වෛද්‍ය ජ්‍යෝති ප්‍රකාශ් ගුහා මහතා, ගීතයන්හි සංගීතමය අගය පිළිබඳ දැනුම්වත් කළ අසංක පෙරේරා මහතා, යූ .ඩී පෙරේරා මහතාගේ පුත්‍රයන් වන රාජා දර්ශන් පෙරේරා මහතා සහ විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා මහතා, ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මියගේ මිනිබිරිය වන නදීකා රණසිංහ මහත්මිය.

 

මූලාශ්‍ර : COLUMBIA  කැටලොග් පොත - එන්. පොරෝලිස් ප්‍රනාන්දු සමාගම (1942); “ජනකවියා සහ සිරිපා වැඳුම“- ඉන්ද්‍රසිරි සුරවීර, “ලක්සර"(06/01/2020); “යු.ඩී. පෙරේරා”, පරාක්‍රම කොඩිතුවක්කු (1975) ;  A short biography of Indubala by Dr. Jyoti Prakash Guha, The journal of the ‘Society of Indian Record Collectors’, Mumbai (ISSN 0971-7942 Volume – Annual: TRN  ග්‍රේටා ජැනට් ද සිල්වා මහත්මියගේ සහ ලිපියෙහි කර්තෘගේ සම්මුඛ සාකච්ඡාව (19/04/2019)