සියල්ලෝ සතුටින් විසිර ගියහ කියන අවසානයට මම කැමැති නැහැ

ෂෙලීනා නිෂ්පාදක සහ සම අධ්‍යක්ෂ පූජිත ගුණතිලක
ඔක්තෝබර් 1, 2020

පූජිත ගුණතිලක යනු මේ දිනවල ඇතැම් සිනමාශාලාවන්හි තිරගත වන ෂෙලීනා සිනමාපටයේ නිෂ්පාදකවරයාය. ඔහු එහි සම අධ්‍යක්ෂවරයාද වේ. අප පූජිත ඇමතුවේ සිනමාපටයේ අලුත්ම තත්ත්වය කෙසේද යන වග දැනගැනීමටය. ඒ පිළිබඳ සවිස්තරාත්මකව පවසන අතරතුරදී ඔහු කීවේ සිනමාකරුවෙකු ලෙස බොහෝ අවස්ථාවන්හීදී  හිත රිදුණු බවය. සමහර වගකිවයුතු පිරිසද යම් යම් කරුණු කාරණා මත හිතාමතා තමන් මඟහැරියා කියාද හෙතෙම සඳහන් කළේය. පූජිත කියූ ඒ කතාව මෙසේ අප පළකරන්නෙමු.

පූජිත, ඉකුත් දිනවලදී ඔබ වඩාත් වෙහෙස වුණේ ෂෙලීනා දුවවන්න?

වෙන ඉතින් මොනවා කරන්නද. ෂෙලීනා කියන්නෙ මගෙ පළමු දරුවනේ. පරිස්සමට උපද්දවලා දනගහල, අතින් අල්ලලා නැගිට්ටවලා මේ ඉන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. මේක මගෙ පළමු සිනමා අත්දැකීම. පාඩම් රැසක් මට ඉගැන්නුවා මේ ෂෙලීනා කියන දරුවා. තවත් දුවවන්නයි මේ වෙහෙසෙන්නේ.

ෂෙලීනා, සාර්ථකද?

අපිට හෝල් පනහක් ලැබුණා. තදබල ප්‍රචාරයකුත් ගෙනිච්චා. ඉතාම ඉක්මනින් මිනිස්සු අතරට ගියා. අපි පොඩි තරගයකුත් සංවිධානය කරලා ෆෝන් එහෙමත් දුන්නා. ඒකටත් ලොකු උනන්දුවක් තිබුණා ප්‍රේක්ෂකයන්ගෙන්. දෙවැනි සතිය පහුවෙද්දි හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කළා. ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙවෙයි. ඔබ ඇහැව්වේ චිත්‍රපටය සාර්ථකද කියලනේ. ඒක සාර්ථකයි. නමුත් බොහොම හිත රිදෙන දෙයක් වුණා.

ඒ මොකක්ද?

මෙහෙමයි. මම මේ කරන්න හදන්නේ කාටවත් පහර ගැසීමක්වත් වෙන ෆිල්ම් එකකට දෝෂාරෝපණය කිරීමවත් නෙවෙයි. මම මුහුණ පෑ අත්දැකීමක් විස්තර කරන්නයි. ඔන්න දැන් මගේ චිත්‍රපටය එල්. එෆ්. ඩී. මණ්ඩලයේ ශාලාවල දුවනවනේ. මට රිත්මා, ඒ කියන්නේ චිත්‍රපට සංස්ථා මණ්ඩලයේ සිනමා ශාලාත් ලැබුණා. මගෙ චිත්‍රපටය සාර්ථකව තිරගත වෙද්දි ඔවුන් තවත් චිත්‍රපටයක් දාන්න දඩස් ගාලා ශාලා විස්සකින් පමණ ෂෙලීනා ගැලෙව්වා. මම බොහොම කාරුණිකව ඉල්ලා සිටියා මට සති දෙකක් දෙන්න, ඒ ඇති කියලා. මොන.....

ඔබ ෂෙලීනා තිරගත වෙන්න කලින් තිරගතවූ චිත්‍රපටයට ඒ අවස්ථාව දුන්නද?

නැත්නම්. මම ලයින්අප් කරලා තියෙද්දි මට කලින් තිරගතවූ චිත්‍රපටයට තව කාලයක් ඉල්ලුවාම මම දුන්නනේ. චිත්‍රපටයක් කියන්නේ පාන් රාත්තලක් වගේ භාණ්ඩයක් නෙවෙයිනේ. අපි ඉතාම වෙහෙස වෙලා හදන දෙයක්. නිසි ක්‍රමවේදයක් හැදුවා නම් ඔය මොකවත් නැහැනේ. මට පස්සේ තිරගතවූ චිත්‍රපටය ගැන ද්වේශයක් නැහැ. මම ප්‍රාර්ථනා කරනවා ඒක අතිශය සාර්ථක වෙන්න කියලා.

ෂෙලීනා තව ටිකක් සංස්කරණය වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

චිත්‍රපටයේ මීට වඩා ඩියුරේෂන් එක තිබුණා. අපි පුළුවන් තරම් තමයි ඔය එඩිට් කළේ. තව ටිකක් අඩු කළා නම් චිත්‍රපටයට හානි වෙන්න තිබුණා. මොකද ඔය ප්‍රතාප් කියන චරිතය ප්‍රේක්ෂකයන්ට හඳුනාගන්න බැරි වෙනවා යම් යම් දර්ශන අඩු කළොත්.

ඔබලා අශ්වයෙකුව පාවිච්චි කරලා තියෙනවා ඇතැම් දර්ශන සඳහා. නමුත් ඒ සත්ත්වයා හරිම උදාසීන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ?

අශ්වයෙක්ව පාවිච්චි කළාම චිත්‍රපටයකට හරිම ලස්සනයි. ඒ විචිත්‍රත්වය තමයි මම මෙමගින් ඉස්මතු කරන්න උත්සහ කළේ. ඔබ කිව්වා හරි. ඌ තරමක කම්මැළි ගතියක් පෙන්නුම් කළා. ඒක නිසා අශ්වයා අපි යොදා ගත්තේ එක දර්ශනයක් සඳහා පමණයි.

චිත්‍රපටයේ අවසානය ගැන ප්‍රේක්ෂකයෝ කිව්වේ මොනවද?

සියල්ලෝ සතුටින් නික්ම ගියේය කියන අවසානයක් සහිත ක්‍රමයට මම කැමති නැහැ. චිත්‍රපටයක් නිමාව විය යුතු වන්නේ කිසිවෙකුටත් හිතාගත නොහැකි පරිද්දෙන්. ෂෙලීනා බලපු ප්‍රේක්ෂකයෝ බහුතරයක් කිව්වේ අපිට අන්තිම වෙනකම් හිතාගන්න බැරි වුණා කියලා. කුතුහලය චිත්‍රපටය නිමවෙන තෙක්ම තිබුණ කියලයි ඔවුන් වැඩිදුරටත් කිව්වේ.