ත්‍රාසජනක වුවත් අප්‍රසන්න

Antebellum
ඔක්තෝබර් 1, 2020

යුගය - ඇමරිකානු සිවිල් යුද සමයයි. ස්ථානය - ඇමෙරිකානු කොන්ෆෙඩරේට් රාජ්‍ය හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලුසියානා වතුයාය යි. වහලුන්ට සැහැසි ලෙස සලකන මෙම ස්ථානයේ ඔවුනොවුන්හට අවසරයකින් තොරව කතාබහ කිරීමටවත් ඉඩ නොදෙන අතර පැන යාමට තැත් කරන්නන් ඝාතනය කර මළ සිරුරු ආදාහනාගාරයක පුලුස්සා දමනු ලැබේ. නව වහලුන් පිරිසක් වතුකරයට ගෙන එනු ලබන්නේ මේ අතරදීයි. වතු හිමිකාරිය වන එලිසබෙත් විසින් ඔවුන් අතරේ සිටින ගැබිනි කාන්තාවක් ජූලියා ලෙස නම් කර තවත් වහලියක වන ඊඩන් හා රඳවයි. කොන්ෆෙඩරේෂන් සොල්දාදුවෙකුගේ සැහැසිකමකින් ජූලියාගේ නූපන් දරුවා මරණයට පත්වන අතර ජූලියාගේ මළ සිරුර ද ඊඩන් විසින් පසුව සොයා ගැනේ. කඳවුර භාර ජෙනරාල්වරයා විසින් දූෂණයට ලක් වන ඊඩන් නින්දට වැටේ. ඊඩන් අවදි වන්නේ වර්තමානයේ ප්‍රසිද්ධ සමාජ විද්‍යාඥවරියක් වන වෙරෝනිකා හෙන්ලි ලෙසිනි. මෙම පූර්ව සිද්ධිය දාමය සති කිහිපයකට පෙර සිදු වුණු දෑ වන අතර වෙරෝනිකා වසර සිය ගණනකට පෙර වහල් කඳවුරක වහලියක බවට පත්වන අයුරු මින්පසු දිගහැරේ.

මෙලෙස ඇරඹෙන ‘ඇන්ටෙබෙලම්’ ඇමරිකානු ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර ජෙරාඩ් බුෂ් සහ ක්‍රිස්ටෝපර් රෙන්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය රේමන්ඩ් මන්ස්ෆීල්ඩ් ඇතුළු පස් දෙනෙකුගේ නිෂ්පාදනයකි. අමෙරිකානු ගායිකාවක නිළියක වන ජැනෙල් මොනී සමඟින් එරික් ලැන්ජ්, ජෙනා මැලෝන්, ජැක් හස්ටන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

ඇන්ටෙබෙලම් යනු පූර්ව යුද සමය, විශේෂයෙන්ම පූර්ව අමෙරිකානු සිවිල් යුද සමය යන තේරුම ඇති වචනයකි. එම සමයේ විශේෂයෙන්ම අමෙරිකාවේ ප්‍රචලිතව පැවතී වහල් ක්‍රමය යටතේ කළු ජාතිකයින් විඳී සැහැසිකම් සහ දුක්ගැහැට ‘සිහිපත්කර දීමක්’ ලෙස දැකිය හැකි මෙම චිත්‍රපටය අධ්‍යකෂවරුන් දෙදෙනා විසින් ම රචනා කර ඇති අතර ලයන්ස්ගේට් ආයතනයේ බෙදා හැරීමකි. සැප්තැම්බර් 18 වැනිදා සිට තිරගත වීම ඇරඹි ඇන්ටෙබෙලම් විචාරකයින්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබූ චිත්‍රපටයකි. රොට්න් ටොමැටෝස් අඩවියේ ලකුණු 4.2/10 ක් සටහන් කරන මෙය එහි පොදු විචාරයට අනුව “අප්‍රසන්න අත්දැකීම් සමුදායක් ප්‍රේක්ෂකයා ඉදිරියේ ගෙන හැර දැක්වුවද ත්‍රාසජනක චිත්‍රපටයක අවශ්‍යයෙන්ම තිබිය යුතු බියජනක බව එතරම් පෙන්වීමට අපොහොසත් වුණු චිත්‍රපටයකි.”