ගමේ බැනර් එක මම කරුණාවෙන් එපා කිව්වා

ඔක්තෝබර් 1, 2020

මෙවර හොඳම ටෙලිනාට්‍ය නළුවාගේ ගෙදර ගියෙමු

තමන්ගේ ගමේ හූවක දුරින් පදිංචිකාරයෙකුට සම්මානයක් ලැබුණාම මොකද කරන්නේ? අප ගියේ ඒ යුතුකම ඉටු කරන්න. කැස්බෑවේ අම්බලන්ගොඩ හන්දියට කිට්ටුව නිල්ල පිරුණු සුන්දර වටපිටාවක පිහිටි ඔහුගේ නිවහනට තිරයේ පෙනෙන කල්පනාභරිත මුහුණට වඩා හාත්පසින් වෙනස් සුහද සිනහවකින් ඔහු අප පිළිගනිද්දී ඔහුගේ රැකවලුන් දෙදෙනා තම ස්වාමියා සමඟ සේයාරුවකට පෙනී සිටිනතුරුම නිහඬ වුණේ නැහැ. අපේ සතුටු සාමීචියට ඉඩ ලැබුණේ ඉන් පසුවයි. අප ගියේ මෙවර රයිගම් සම්මාන උලෙළේ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ විල්සන්ගේ චරිතය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනූ ආනන්ද කුමාරඋන්නැහේ බැහැදකින්නයි...

"කුමාර උන්නැහේලාගේ ආනන්ද ප්‍රේමලාල් තමයි මගේ නම. යාළුවෝ මාරු කරලා කියන්න ගත්ත. මාත් ඉතින් ඔහේ ඕනෙ එකක් කියාගත්තාවේ කියලා හිටියා." සුපුරුදු නිහතමානීබවෙන් කුකුස නිවමින් ඔහු කතාවට අවතීර්ණ විය.

මේ හොඳම නළුවා වූ පළමු වැනි අවස්ථාව?

ඔව්. මීට කලින් ටෙලිනාට්‍යවලට රාජ්‍ය, රයිගම්, සිග්නීස්, වගේම වේදිකාවේ හොඳම සහාය නළුවා සම්මාන ලැබිලා තියෙනවා.

සම්මානය බරයිද?

සම්මානයක් හම්බුණාම අපි ඒ විදිහට කටයුතු කරන්නත් එපැයි ඉස්සරහට. (සිනාසී) හොඳ නාට්‍ය කරන්නෙත් කීපදෙනයිනේ. අර කූඹියෝවලින් පස්සේ අලුත් රැල්ලක් හැදිලා ටෙලි නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයන් යොමු වෙලා තිබෙනවා. රූපවාහිනිය තමයිනේ රසිකයන්ට නොමිලේ ලබාගන්න පුළුවන් එකම දේ. චිත්‍රපටයකට, වේදිකා නාට්‍යයකට යන්න අද අවස්ථාව අඩුයිනේ... ළමයි පන්ති යනවා, ආර්ථික අපහසුතා තියෙනවා ඉතින් පවුලක් හැටියට අමාරුයි. ඕනෙ වෙලාවක බලන්න පුළුවන් රූපවාහිනිය. ඒකත් ඉතාම ඉහළ මට්ටමක තිබිලා ආයේ නොබලන තත්ත්වෙට පත්වුණා. අපි නම් ටීවී බලන්නේ නැහැ, අහම්බෙන් දැක්කා වගේ කතානේ මිනිස්සු කීවේ. මාධ්‍යයේ ගුණාත්මකබව වැඩි කරන්නත් ශිල්පීන්ම තමයි මහන්සි වෙන්න ඕනේ. රූපවාහිනියේ හැම වැඩසටහනකම අඩුපාඩු තිබුණා. ඒත් ටෙලිනාට්‍යවලටනේ වැඩිම ආකර්ෂණය තියෙන්නේ. සමාජයේ සිතුම් පැතුම්වලටත් වෙනත් විදිහේ උත්තේජනයක් වෙන්න ටෙලිනාට්‍ය බලපානවනේ.

සම්මානයක් ලැබීමද ජනතා සම්මානයද වඩා අගේ?

සම්මානයක් ලැබීම ඇත්තෙන්ම හොඳ දෙයක්. ඒ වෙනුවෙන් රයිගම් අධිපතිතුමාට අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඕනෙ කෙනෙක්ට මානසිකව නැඟී සිටින්න, ධෛර්යයක්, උනන්දුවක් ඇතිවෙන්න තමන් කරන දේ ගැන අගය කිරීම වැදගත්නේ. ජනතා සම්මානය කියන්නෙත් අගය කිරීමක් තමයි. මේ සම්මානයටත් ගමේ හිතවත් අය බැනරයක් ගහන්න හැදුවා. මම කරුණාවෙන් ඒක ප්‍රතික්ෂේප කළා. මොකද ඕකෙ ලණු හතරක්නෙ. වැරදිලා හරි උඩ ලණුව ලේනෙක්වත් කෑවොත් මට ඒක තියෙනකල් ඔළුවෙන් හිටගෙන එල්ලි එල්ලි ඉන්න වෙනවා. අනෙක මේ ජීවිතේටම මට විතරක් ලැබුණු එකක් නෙවේනේ. (ඔහු ගැඹුරු දෙයක් සරලව කියයි)

නාට්‍ය තෝරාගන්නවාද?

මෙගා නාට්‍යවලට ගිහින් තේරුමක් නැහැ. හම්බ කරන්න නම් පුළුවන් ඇති. ඒත් රඟපාන්න දේකුත් නැහැ වගේ නිකං පෙනී හිටින්න යන එකේ තේරුමක් නැහැ.

ඔබේ රංගන ශෛලිය තාත්විකයි?

ඒක ගොඩනැඟෙන්නේ වේදිකාව, වීදි නාට්‍ය, සිනමාව, අපේ වටාපිටාව නැරඹීම වැනි දේ නිසා. විශේෂයෙන් සිනමාව නැරඹීමේදි අපට හිතෙනවානේ කොහොමද මෙය විය යුත්තේ කියලා. රංගන ක්‍රම කීපයක්ම අපට තියෙනවා. ඒ රංග තාක්ෂණයන්ගෙන් ප්‍රේක්ෂකයාගේ විශ්වාසය ගොඩනැඟෙන්න නම් මේ වගේ නාට්‍යයක තාත්වික රංගනයක් තියෙන්න ඕනේ. මනමේ නාට්‍යයේ ශෛලීගත ගමන් තාලයෙන් වෙන නාට්‍යයක ගියොත් කොහොමද? (මදෙස බලා සිනාසෙයි) අපට චිත්‍ර, මූර්ති ශිල්ප ගත්තත් විවිධ ක්‍රම තිබෙනවානේ. (ඔහුට ඒවා බොහෝ සමීපය. හුරුය.) ඕනෙම විෂයයක එහෙමයි.

ඔබ ක්ෂේත්‍රයට ආවෙ තරමක් ප්‍රමාද වෙලා කියලා සමහරු හිතනවා?

ආපු ගමන්මත් චරිත හම්බවෙන්නේ නෑනේ නේද? සමහරු පැන්ෂන් යන්න ඔන්න මෙන්න තියෙද්දි උසස්වීම් හම්බෙන්නේ රස්සාවල (සිනාවකින්) ඒ වගේ තමයි. මම ගියේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට. අපේ තාත්තට පිටකොටුව මැනිං මාරකැට් එකේ කඩයක් තිබුණා. අපට ආර්ථික ප්‍රශ්න තිබුණේ නැහැ. තාත්තා මාව පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපට පෙන්වන්න ගෙනියනවා. වෑතර චිත්‍රා හෝල් එකට. ඒක වැලන්ටයින් කියලා වෙනස් වුණා. පස්සේ වැහුණා. ඒ කාලේ චිත්‍රපට බලන්න පුස්සයිකල්ම තියෙනවා හත්අටසීයක්. එච්චරට සෙනඟ. දැන්නං ඉතිං එහෙම නෑ. මුලින්ම බැලුවේ හාරලක්ෂෙ. ඒකේ පියදාස ගුණසේකර රඟපානවා දැකලා මට හරි ආස හිතුණා. එතකොට මම අටේ පන්තියේ විතර. ඉස්කෝලෙ නාට්‍ය වැඩමුළුවලට මට යන්න ලැබුණේ නැහැ. ඊටපස්සේ ගොඩාක් වැඩමුළුවලට ගියා. පිටකොටුව බෞද්ධ මන්දිරයේ නාට්‍ය වැඩමුළුවකට සම්බන්ධ වුණා. තිස්ස ඩයස් සර්‌ගෙ. මාස ගාණක් ඇතුළත සෑහෙන පිරිසක් ඇසුරු කරන්න ලැබුණා. ජයලාල් රෝහණ, ලාල් ප්‍රේමරත්න, චමත් ජයසිංහ, රොයිස්ටන් ජූඩ් වගේ කට්ටිය එකතු වෙලා අපි අපිටම වැඩමුළුවක් කරන්න ගත්තා වත්තල පල්ලියක ඉරිදට. ප්‍රියන්ත සිරිකුමාර, අසේල ජයකොඩි, ගිහාන් ප්‍රනාන්දු ඒ වැඩමුළුවෙන් ආව කීපදෙනෙක්.

මුලින්ම ටෙලිනාට්‍යයකට කතා කළේ සුදත් සේනාරත්න. මවකගේ ගීතය, සෝමවීර සේනානායක මහත්තයාගේ පොතකින් කළේ 1988. පස්සේ වේදිකාවට සම්බන්ධ වෙලා රොයිස්ටන් ජූඩ් එක්ක පර්යේෂණ නාට්‍ය සෑහෙන ගාණක් කළා. ඒවා පෙන්නන්න කරපුවා නෙවෙයි. විශ්වවිද්‍යාලෙත් නාට්‍ය කළා ඉන්ද්‍රපියුජිත කුමාර වගේ අයත් එක්ක. යෞවන සම්මාන සඳහාත් නාට්‍ය කළා. අතේ සල්ලිත් නැහැනේ, ඉතිං සමහර ඒවා මඟ නතර වෙනවා. තවත් ඒවාට විනිශ්චය මණ්ඩලය කියනවා ඕවා හරියන්නේ නැහැ අරෙහෙ මෙහෙ කියලා. ඒත් මොනවාම හරි කරනවා. සමහර දවස්වලට අපට සෙට් එකක් ගහන්න බැරි නිසා කට්ටිය එකතු කරගෙන ගිහින් අනුන්ගේ සෙට් එකක හරි නාට්‍ය පෙන්වනවා. ඒවා තේරෙන්නෙත් නෑ තරගෙට. ලාල් ප්‍රේමරත්න එක්ක කාලයක් වීථි නාට්‍යත් කළා. හැබැයි ඒක අද වෙද්දි පේමන්ට් එකේ සින්දු කියනවා වගේ විකල්ප වැඩක් වෙලා. ඊට පස්සේ කලණ ගුණසේකරයි, මලිත් පීරිසුයි එක්ක දාස මල්ලිගේ බංගලාව කළා ඒකට හොඳම සහාය නළුවාට සම්මානත් ලැබුණට පස්සේ හුඟක් අය මට කතා කළා ටෙලිනාට්‍යවලට. ලක්ෂ්මන් විජේසේකර මහත්තයාගේ ටිකිරා සහ උංගි, ජයලත් මනෝරත්නයන්ගේ ටෙලිනාට්‍ය කීපයකම, අජිත් ලොකුගේ කරන නාට්‍යවල වැඩ කරමින් ඉද්දි මට හම්බුණා ආනන්ද අබේනායක මහත්තයා. ඒ එක්කම මට වෙනස් අලුත් පාරක් මතු වුණා. ඒක මට ලොකු උදවුවකුත් වුණා. මුලින්ම පෝය නාට්‍යවලින් පටන්ගෙන තක්සලාව, චෙස්,

 අප්පච්චි, අහසින් වැටුණා, බැද්දේ කුලවමිය, වීරයා ගෙදර ඇවිත් වගේ ඒවායේ අවස්ථාව ලැබුණා. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ මේ වසන්ත 

කාලයයි චරිතයටත් රයිගම් ජූරියේ විශේෂ කුසලතා සහතිකයක් ලැබුණා.

සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද?

සුනිල් (කොස්තා) අය්යාගේ පියස කියන නාට්‍යය අතරතුරේ රිචඩ් මානමුදලි ඇක්සිඩන්ට් වුණා. ඒ චරිතය කරන්න කෙනෙක් හොයද්දි සහාය අධ්‍යක්ෂ සෝමදාස මල්දෙණිය කියලා තියෙනවා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. මේක නම් ලේසියෙන් කරන්න බැහැ ඒත් එන්න කියමු බලන්න කීවාම චාමර සේලාරත් එක්ක මල්දෙණිය ඇවිත් මාව ගෙනිච්චා. පළමුවෙනි රඟපෑමෙන්ම මා එක්ක බොහොම හිතවත් වුණා. ආනන්ද අබේනායක කියන්නේ ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ ටෙලිනාට්‍ය මාස්ටර්. අබේනායක මහත්තයාගේ ටෙලිනාට්‍යයකට කතා කළා කියන්නේ ලෙස්ටර් මහත්තයාගේ චිත්‍රපටයකට කතා කළා වගේ මාර වැඩක්. බොහෝ දෙනෙක් අදටත් ඒ අවස්ථාවක් ලැබෙයි කියලා අපේක්ෂාවෙන් ඉන්නේ. සුනිල් කෝස්තා මහත්තයා කියන්නෙත් ලංකාවේ විශිෂ්ට ගණයේ වෙනස් ආකාරයක ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. සිලිසිලි මල්, සුදුයි උසයි වගේ වෙනස් දේවලින් වෙනස්ම ගුණාංග එක් කරන ලක්ෂණයක් එයාට තියෙනවා. එයාගේ නත්තල් නාට්‍යයක ඉද්දි මට සුනිල් අය්යා කීවා "මම 'සුදු ඇඳගෙන කළු ඇවිදින්' කියලා නාට්‍යයක් කරනවා ඒකේ විල්සන් කියන චරිතේ උඹ වෙනුවෙන්මයි ලියුවේ ඒකට එන්නම ඕනේ" කියලා. මම පිටපත අරගෙන බැලුවාම අපේ ගමේ ඔය වගේ චරිතයක් දැකලා තිබෙනවා ඉස්සර මගේ වැඩපළ දාලා තිබුණ හල්පිට පැත්තේ. එයා පොඩ්ඩක් මෙන්ටල් අවුට් කෙනෙක්. ඒ ගතිගුණත් දාලා තමයි මම චරිතය නිරූපණය කළේ. ඒකට හැමෝම හොඳයි කියන්න ගත්තා. අන්තිමට හොඳම නළුවා සම්මානයත් ලැබුණා.

පිටපත දකිද්දිම සම්මානයක් ලැබෙයි කියලා හිතුණාද?

ඔව් මට හිතුණා, සම්මානයක් කොහොම වුණත් ලොකු ප්‍රේක්ෂක අවධානයක් ගන්න පුළුවන් කියලා. මම පිටපතක් තෝරනකොට මුලින්ම බලනවා කවුද මේක ලියලා තියෙන්නේ, කවුද අධ්‍යක්ෂණය කරන්නේ කියලා. ආනන්ද මහත්තයලා වගේ කෙනෙක් කතා කළොත් තෝරන්න ඕනෙ නැහැ. ලියලා තියෙන්නේ ප්‍රවීණයෙක් නම් බය වෙන්න දේකුත් නැහැ. සමහර අධ්‍යක්ෂවරු දැක්කාම පිටපත නොබලාම වුණත් ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්.

ඇත්තටම චරිත නිරූපණයක් කියන්නේ මොකක්ද?

මවාපෑමක්නේ. රඟපානවා කියන්නේ ඇත්තටම බැලුවොත් බොරුව ඇත්තක් කරලා ප්‍රේක්ෂකයන්ට විශ්වසනීය කිරීම. මම නම් ඒ වගේ සරල තැනක ඉඳගෙනයි ඒ ගැන හිතන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කොයිම දේත් ඉගෙන ගන්න ඕනේ. මම විධිමත් අධ්‍යාපනයකින් රංගනය ඉගෙන ගත්තේ නැහැ. හැබැයි විකල්ප ක්‍රමවලට ඉගෙන ගත්තා. සමහර දේවල් මටම ආවේණික වෙන්න පුළුවන්. සමහර මිනිසුන්ව අධ්‍යයනය කිරීමෙන්, චිත්‍රපට බැලීමෙන් වගේ. කොහොමත් මේ සියල්ල තිබෙන්නේ මානව ශාස්ත්‍රය විෂයය තුළ. එය සමාජ විද්‍යාත්මකව අධ්‍යයනය කරනවා මම.

රංගන පාසලක් තිබුණා නම්?

තිබුණොත් හොඳයි. විධිමත් වෙනවානේ. අපි රංගනය කියලා හිතාගෙන ඉන්න අනවශ්‍ය කෑලි ටික හැලෙනවානේ. විල්සන්ගේ චරිතෙ වුණත් රංගන පාසලක් හරහා ආවා නම් තව පොලිෂ් වෙන්න තිබුණා. හැබැයි ඉතින් අපේ රටේ නළු නිළියෝ හැමෝම රංගන පාසල්වලින් ආ අය නෙවෙයි. ජෝ මහත්තයාලා වගේ අය බිහිවුණේත් එහෙමනේ. තමන්ට අවශ්‍ය නම් පාසල කර ගත්තැහැකි මේ සමාජයම.

රයිගම් සම්මාන උලෙළෙදි නැඟිටින්න ප්‍රමාද වුණා අපි දැක්කා?

එදා වුණේ මාර වැඩක්නේ. වීරයා ගෙදර ඇවිත් සහ සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍ය දෙකම විකාශය වුණේ ජාතික රූපවාහිනියේ. රොෂාන් රවීන්ද්‍ර රඟපෑවේ වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ. නිවේදනය වුණෙත් ඒ නාට්‍යයේ නම. එතකොටම රොෂාන් මල්ලි නැඟිට්ටා. ඒ එක්කම විසිල් ගහන්නයි, අප්පුඩි ගහන්නයි ගත්තා. නම ඇහුණේ නෑ. රොෂානුත් ඇත්තෙන්ම සම්මානයට පාත්‍ර විය යුතු හොඳම රංගන ශිල්පියෙක්. ඉතින් මම ඉඳගෙනම හිටියා. දුවත් කීවා තාත්තගේ නම කීවේ කියලා. රොෂානුත් ඇවිත් කීවා මට නෙවෙයි ඔයාට කියලා. මම කීවා “පොඩ්ඩක් ඉන්න හරි එකක් කියයිනේ ආපහු” කියලා. මොකද ඒකේ බාගයක් එහෙ බාගයක් මෙහෙ. බාගයයිනේ ඇත්ත. කොහොම වුණත් සම්මාන උලෙළකදි ඒක බරපතළ වැරැද්දක්. සම්මානෙ ලබන කෙනාට වඩා අනෙක් කෙනාටයි වේදිකාවට ගියා නම් ඒක හරි නැති වෙන්නේ. ඒකයි මම හරියට ඇහෙනකල් ඉඳලම ගියේ.

කතාබහ අතර තේපැන් සංග්‍රහය ගෙන අවේ ඔහුගේ ආදරණිය බිරිඳයි. ඔහු අපට හඳුන්වා දෙයි.

මේ මගේ නෝනා මානෙල්. ඒ නිසා දුවට නෙළුම් කියලා දැම්මා. ඔක්කොම ඉතින් මඩේ පිපෙන ඒවානේ. ( සිනාසෙයි) දුව මියුසියස් විද්‍යාලයට යන්නේ මේ පාර උසස් පෙළට ලියනවා. තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. අම්මා එහෙම හරි ආසයි මම රඟපානවාට. අම්මා තමයි මගේ රඟපෑම්වල පළමුවෙනි විචාරයයි සම්මානයි ඕ..ක්කොම දෙන්නෙ. මම ඉන්න හැම නාට්‍යයක්ම අම්මා බලනවා. මමයි නංගියි මල්ලියි අපේ පවුලේ. අයිවන් කරුණාතිලක මහත්මයාත් මගේ චරිත විචාරයෙන් උදවු කරනවා.

චිත්‍රපට ගැනත් කතා කරමු?

මට කීපදෙනෙක් කතා කළාම පුළු පුළුවන් විදිහට ගියා, හෝ ගානා පොකුණ, දැකල පුරුදු කෙනෙක්, ගාඩි, අයිස්ක්‍රීම්, නයිට්රයිඩර්, ද නිවුස්පේපර් වගේ චිත්‍රපටවලට. තවත් චිත්‍රපටයකටත් කතා කළා. ඒත් මම වැඩියෙන්ම කැමැති ටෙලිනාට්‍යවලට. වේදිකාවට ලොකු කැප කිරීමක් කරන්න ඕනෙ නිසා ඒකත් මඟහැරුණා. චිත්‍රපටයක් බලන්න වෙන මම ලකලෑස්තිවෙලා කොළඹම යන්න එපැයි. මෙහෙ තිබුණත් බලන්න පුළුවන් මට්ටමේ හෝල්යැ තියෙන්නෙ. හෝල් කොච්චර හොඳට තිබුණත් වැඩක් නැහැ, සිනමා පිපාසයක් මිනිස්සුන්ට නැත්නම්. අපේ ප්‍රේක්ෂකයෝ විනෝදාස්වාදය සඳහා වෙනමොනවා හරි තෝරගෙන තිබෙන බවක් තමයි පේන්නේ. අපි ඉස්සර හොඳම අධ්‍යක්ෂවරයෙක් කියලා අහලා තිබෙන්නේ ලෙස්ටර් මහත්තයාවත් නෙවෙයි. ලෙනින් මොරායස් වගේ කෙනෙක්. කස්තුරි සුවඳ වගේ ඒවා තමයි හෝල්වල දිව්වේ. ඒවා බලන්න තමයි මිනිස්සු පිරුණේ. කර්මාන්තයක් හැටියට දියුණු වුණේ. ආදායමක් වැඩිපුර ලැබුණේ. සංස්ථාව පාඩු නැතුව පවත්වගත්තේ. ප්‍රධානම දේ දැන් අපේ චිත්‍රපටවල දේශපාලන මතවාද කඨෝර විදිහට ගෙඩි පිටින් පිටපත්වල ලියැවිලා මිනිස්සුන්ගේ ඔළුවලට අතෑරියාම චිත්‍රපටයක තිබෙන විනෝදාස්වාදනීය ගතිය වෙනස් වෙලා. මෙහෙම ගියොත් වැඩිකල් චිත්‍රපට කලාව පවතින එකක් නැහැ.

වෘත්තීය රංගන ශිල්පියකු හැටියට වැඩ කරන්න පුළුවන්ද මේ කාලේ?

ඒක නම් ටිකක් අමාරුයි. හැබැයි වෘත්තියක් හැටියට හදාගන්න පුළුවන් රජයෙනුත් සහයෝගයක් තිබෙනවා නම්. ටෙලිනාට්‍යයක් ගත්තොත් ලොකු පිරිසක් එකකින් ජීවත් වෙනවා. සමහර ටෙලිනාට්‍යවලට යන වියදමට වඩා අඩු මුදලකට නාළිකාවලින් ඉල්ලන්නෙ. ඒ ගාණට දුන්නෙ නැත්නම් විදෙස් නාට්‍ය අඩු මුදලට ගන්න නාළිකාත් තිබෙනවා. පිටරට ටෙලිනාට්‍ය නවත්වලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. එහෙම වුණොත් අපේ රටේ අය කැමරාවක් අටෝලා මොකක්හරි ටෙලියක් ගහලා ඒ ගුවන් කාලයට තරග කරයි. වෙළෙඳපොළේ අවස්ථාව තිබුණා කියල‌ භාණ්ඩයක ගුණාත්මකබව වැඩි වෙන්නේ නැහැ. සමාජයේ ආකල්ප වෙනස් කරන්න පුළුවන් ප්‍රබලම මාධ්‍යයේ මේ තත්ත්වය වෙනස් කරලා ප්‍රමිතියක් ඇති කරන්න රජය මැදිහත් වෙන්න ඕනෙ. ඒක ලොකු සේවයක්. ඒකට සියලු කලාකරුවන් එකතු වෙන්නත් ඕනෙ. පන්සලක වුණත් දායකයො ටික බෙදෙන නිසා බෙදීම නවත්වන්න බැහැ. හැබැයි රජයෙන් නායකත්වය දුන්නොත් ඒ අයටත් එකතු වෙන්නම වෙනවානේ.

ඔබේ ව්‍යාපාරය වෙනස් එකක්?

ඔව්. ඔය ගොඩනැඟිලිවලට අවශ්‍ය සිමෙන්ති අමතර කොටස් (මෝල්ඩින්) නිෂ්පාදනය. ඒක මට වැදගත් වෙන්නේ හොඳ ටෙලිනාට්‍යයක් ආවේ නැතත් බයක් නැතුව ජීවත්වෙන්න පුළුවන්නෙ එතකොට. (සිනාසෙමින්)

ඔබ චරිතවලට රාමුගත වුණා?

ඒක නම් ලොකු ප්‍රශ්නයක්. එක නාට්‍යයක ගැමි චරිතයක් කළාම, තවත් නාට්‍යයක ගොවියෙක් හිටියොත් අර කෙනාවම තමයි තෝරගන්නේ. හැමදාම ගැමි චරිත කරද්දි මටත් වෙනසක් තිබුණ නම් කියලා හිතුණා. නාමල් ජයසිංහගේ සහෝදරයා නාට්‍යයේ ඇමතිගෙ චරිතෙ වෙනස් එකක්. හැබැයි මේ පාර සුනිල් කොස්තා අය්යාගේ අලුත් නාට්‍යය පටන්ගත්තා “කැන් යූ හියර් මී” කියලා. ඒකෙ නම් ඔන්න මම සම්පූර්ණ වෙනස් චරිතයක්. වෘත්තිය මදුරුවන්ට ගහන රැකට් එහෙම විකුණන රෙප් කෙනෙක් වුණාට හොඳට සන්ග්ලාසස් දාලා, අත්දිගට ඇඳලා එහෙම ඉන්නේ. ශලනිව තමයි විවාහ කරගන්නේ. සුමිත් රත්නායකගේ මහපොළොව නාට්‍යයත් ඉදිරියේ කතාබහට ලක්වෙයි කියලා හිතෙනවා.

ප්‍රේක්ෂකයන් ටෙලිනාට්‍ය නොබලන්න වුණේ?

මුලින්ම තිරපිටපත නිසානේ. තරුණයන් ඉන්නේ කොහොමත් පොඩි සුන්දර ලෝකෙක. ඒ අයට ඕනෙ දේම දෙන්න ගියාම තමයි ඔය මෙගා නාට්‍ය වගේ ඒවා හැදෙන්නේ. හැබැයි අපේ ප්‍රේක්ෂකයන් බුද්ධිමත්. ඒ අයට හොඳ නාට්‍ය දුන්නාම ආසාවෙන් බලනවා.

පිටපතක් ලියන්න, අධ්‍යක්ෂණයට යොමුවෙන්න හිතක් නැද්ද?

පිටපත් ලියන්න නම් මට කවදාවත් බැරිවෙයි. ඒක බොහොම ගැඹුරු කාරණයක්. හැබැයි අධ්‍යක්ෂණය නම් කරගන්න පුළුවන් කියලා හිතෙනවා තව පොඩ්ඩක් තාක්ෂණික කාරණා ඉගෙන ගත්තාම. මිනිස්සුන්ගේ සියලු හැඟීම් අවුලා ගන්න පුළුවන් මොහොත හඳුනා ගන්න එක තමයි එතනදි ප්‍රධාන. ඒකත් ලේසි නෑ.

නළුවෙක් වෙන්න ලස්සන ඕනෙද?

නළුවෙක් වෙන්න ඔළුව පාවිච්චි කරන්න පුළුවන් වෙන්නයි ඕනෙ. හැබැයි තරුවක් වෙන්න නම් ලස්සන ඕනෙ. හැබැයි හැමදේටම වාසනාවත් බලපානවා.

අලුත් අයට මොකද කියන්න තියෙන්නෙ?

අපේ නවක පිරිස අතිදක්ෂයි. සින්දු කියන්න, නටන්න ඕනෙ දෙයක් පුළුවන්. ඒ අයට හරියන ටෙලිනාට්‍ය ආවොත් හරි. හැබැයි සමහරුන්ට ඕනේ ක්ෂේත්‍රයට ආව ගමන් ප්‍රසිද්ධියයි, සම්මානයි. නැත්නම් කලකිරෙනවා. ඒ නිසා කියන්න තියෙන්නේ හැමදේම සම්පූර්ණ වෙලා නෑ මේ ක්ෂේත්‍රයේ. බංකොළොත් මට්ටමක තියෙන වැඩක්. හරියට කට්ට කන්න වෙනවා. හොඳ චරිත එද්දි සල්ලි සතයක්වත් නැති වෙන්න, කන්නවත් හරියට නැති වෙන්න පුළුවන්. සල්ලි හම්බ වුණත් නාට්‍යය පෙන්නගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීම ප්‍රගුණ කරන්න. අවස්ථාව එනකල් ඉන්න.

වසර 32ක් ඉවසීමෙන් බලා සිට ඔහු ලද ජයග්‍රහණයට සුබ පතමින් අපි සමු ගත්තෙමු.

 

 

 

තුසිත ලොකුගේ