සුනාමි නයිජීරියා උලෙළට

ඔක්තෝබර් 1, 2020

මෙම මස 21 වැනිදා ඇරැඹීමට නියමිත නයිජීරියාවේ යොනගෝවාහි බයෙල්සා අන්තර්ජාතික සිනමා උලෙළ තරගකාරී අංශය නියෝජනය කිරීමට ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ  සුනාමි සිනමාපටය සුදුසුකම් ලබා තිබේ.        පළමුවරට පැවැත්වෙන මෙම සම්මාන උලෙළ නියෝජනය කිරීමට අමෙරිකාව, ඉතාලිය, ඉන්දියාව, ස්පාඤ්ඤ, බ්‍රිතාන්‍ය  ඇතුළු රටවල් 26 කට අයත් චිත්‍රපට 70 ක් නිල වශයෙන් සුදුසුකම් ලබා තිබේ. ඉන් සිනමාපට 30 ක් ජූරි තීරණ මත සම්මාන 13 ක් උදෙසා නිර්දේශ කොට ඇති අතර මෙරට නියෝජනය කරන සුනාමි සිනමාපටය ජූරි කාණ්ඩය යටතේ සම්මාන 06 කට නිර්දේශව ඇත. එමෙන්ම එය ජනප්‍රිය කාණ්ඩය යටතේ තරග වැදීමට ද නිර්දේශව තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව හොඳම වෘත්තාන්ත සිනමාපටය, හොඳම අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක, හොඳම නළුවා දර්ශන් ධර්මරාජ්, හොඳම නිළිය නිරංජනි ශන්මුගරාජන්, හොඳම සහාය නළුවා බිමල් ජයකොඩි, හොඳම ළමා නිළිය මෙනාරා වීරතුංග, හොඳම කැමරාකරණය විශ්ව බාලසූරිය යන ජූරි නිර්දේශ සහ ජනතාවගේ නිළිය ලෙස හිමාලි සයුරංගි ජනප්‍රිය කාණ්ඩ යටතේ නිර්දේශව ඇත.