කළුවර කළු දෙයියෝ - මල්වර මල් දෙයියෝ

සජිත ඇන්තනී
ඔක්තෝබර් 1, 2020

සජිත ඇන්තනීගේ අලුත්ම ගීතය පසුගියදා එළි දැක්වූවා. ‘කළුවර’ නමින් යුත් මේ ගීතය එක්තරා ආකාරයට නවමු අත්දැකීම් රැසක් ගීත ක්ෂේත්‍රයට රැගෙන එන්නක්. ගීතය කියන කලා මාධ්‍යය එක්තරා කාල වකවානුවක ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් වුණා. 70, 80 දශකයන්හි අපි වින්ද ගීත කලාවෙන් බැහැරට ගොස් එදා අපි වින්ද ස්වාධීන චිත්ත රූපයක් මවා ගත් රූප රචනා කලාව නව තාක්ෂණයත් සමඟ අපේ දෑස් මානයට ගෙන ආවා. ඒ රූප රචනා කලාව තවත් සංවර්ධනාත්මක අයුරින්, ඒ සඳහා කලාත්මක මානයන් යෝජනා කරමින් ගෙන එන නව ප්‍රවිශ්ටයක් ලෙස ‘කළුවර’ ගීතය මෙරට බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානයට ලක්වෙයි කියා විශ්වාස කරනවා.

ඒ හා සමානවම ගී පද රචනාවේ අර්ථය විමසුවහොත් අති ශෘංගාරයෙනුත් එහා ගිය කාම සම්භෝගයේ දැඩි අරුත් ව්‍යංග්‍යාර්ථවත්ව මේ පද රචනාවෙන් පිළිබිඹු වෙනවා. ගී පද රචනයේ හිමිකරුවා වන්නේ ප්‍රවීණ නළු චිත්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනී. තාත්තා පුතාට ගයන්න ලියපු සින්දුව මේ.

 

වෙස් තට්ටට උඩින් වරෙන් - අයිලෙ යටින් රිංගා වරෙන්

මේ කප අරගන්න වරෙන් - නාග දරණ ඔඩ්ඩි යස්සනී

මට විණ අර ගන්ඩ වරෙන් - මල් වියනෙන් බැහැල වරෙන්

යහන් තලා රෑ පරලේ - පහන් නිවමු කීල පන්දමේ 

කළුවර කළු දෙයියෝ මල්වර මල් දෙයියෝ 

තල මල කපා මල ගොඩ හපා වල තුළ දපා

තුණු අඟ සපා

මට ලේ බොන්න සිය මරුවැල අන්දපිය

කරුවල සංගදිය දරු ගැබ වසාපිය

තී මට දැපනේ වරෝ මයෙ නීල යස්සනී

වී ඇට විළඳ පරමල් කෑ බවලත්තී

රන්තොට ළමැද කිරි පබළුවෙ දැවටිච්චි

වංගෙඩි පලන හනුමන්තට රැවටෙච්චි

මල්වර රැයේ කළුවර වී ඉපදෙච්චි

ආල ලීලාවේ මුරුගසං වරුසාවේ

කළු කුමාර රඳන මංගල්ලේ

මයෙ පපුව බල ඇවිළෙන ගින්න බල

තුනුවිල වතුර තුළ කිමිදෙන දාර නාගයා

ලෝ දිය කල්කෙ වමාරා

මල් යහන් ගිනිලෑවෝ

ඒ ගිනිකඳ බෝ වී ලෝ තුළ ළඳුන් බිලි වී

ගිනිකඳු නිවී හලු වී හත්තිලව්වේ

උනු අලුපල්ලෙන් නැඟී ආවෝ

කළුවර කළු දෙයියෝ - මල්වර මල් දෙයියෝ 

සජිතගේ නවතම ගීතය එළි දකින්නේ මීට අවුරුදු කිහිපයකට කලින් විශ්ව විද්‍යාලයේදී කරපු පර්යේෂණයක් විදියට. ගීතයේ තනුව නිර්මාණය කරල තිබෙන්නෙත් සජිත විසින්මය.

‘මේ ගීතය නිර්මාණය කරන්න ඇත්තටම පදනම වුණේ පර්යේෂණයක්. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ රිසර්ච් එකක් කළා සබරගමු ගැමි නාටකයේ එන කළු කුමාර උත්පත්තිය පිළිබඳ. කළු කුමාර උත්පත්තිය පිළිබඳ ජනප්‍රවාදයේ එන කතන්දර 7 ක්   තියෙනවා. ඉන් එක් කතාවක් තමයි මේ සඳහා පදනම් කර ගත්තේ. එක තරුණ කුමාරයෙක් කාන්තාවන් රැසක් තියාගෙන ඉන්නවා. මේ කාන්තාවන් ඔහුව තියාගෙන ඉන්නේ සම්භෝගය පිණිස. ඔහොම ඉන්න අතරෙදි මේ කුමාරයා මිය යනවා. ඒ කුමාරයා තමයි පසුව කළු කුමාරයා ලෙසින් උපදින්නේ කියලා තමයි ඒ කතාවෙ තියෙන්නේ. මම මගේ වීඩියෝ එක කරන්න මේ අදහස ගත්තා.

ගීතයේ පද රචනා කළේ අප්පච්චි. ඔහු මේ සඳහා සම්පූර්ණයෙන්ම යොදා ගත්තේ යාතු කර්ම, ශාන්ති කර්මයන්හි එන වචන.  ගීතයේ අර්ථය ලිංගිකත්වයටම බර වෙනවා. වංගෙඩිය, මෝල්ගහ වගේ වචන ලිංග සංකේත විදියට තමයි පාවිච්චි කරන්නේ. ගැමි නාටක යාතු  කර්මවලදී ලිංගිකත්වය සශ්‍රීකත්වය පෙන්නුම් කිරීමට භාවිත කරනවා.

 ‘මයෙ පපුවෙ බල ඇවිලෙන ගින්න බල

තුනුවිල වතුර තුළ කිමිදෙන දාර නාගයා

ලෝ දිය කල්කෙ වමාරා

මල් යහන් ගිනි ලෑහේ

මේ වචනවලින් කියවෙන්නේ සම්පූර්ණයෙන්ම ස්ත්‍රී පුරුෂ සම්භෝගය ගැන.

සජිත ඇන්තනී කලා ලොව තුළ මුලින්ම අපට හමු වන්නේ ප්‍රවිණ නළු ජැක්සන් ඇන්තනී ගේ බාල  පුතු විදියට. ඉන් පස්සේ ඔහු සිනමා නළුවෙක් විදියට ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සූරිය අරණ’ චිත්‍රපටයෙන් හමු වෙනවා. පළමු චිත්‍රපටය සඳහාම සරසවිය සහ සිග්නිස් සිනමා සම්මාන උලෙළවලින් කුසලතා සහතික දිනා ගන්නට ඔහුට හැකි වෙනවා. ඉන්පසු ඔහු සිය පියා විසින් නිර්මාණය කරන ලද ‘අබා’ චිත්‍රපටයෙන් හමු වෙනවා. එහි රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මාන උලෙළින් රංග කුසලතා සම්මානයක් ද දිනා ගන්නවා.

ටෙලි නාට්‍ය කලාව තුළත්  සජිත සම්මානිත නළුවෙක් බවට පත් වෙනවා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘බොහිමියානුවා’ ටෙලිනාට්‍යය වෙනුවෙන්. ඒ සඳහා රයිගම් සහ සුමති සම්මාන උලෙළින් හොඳම නැඟී එන නළුවා ඔහු දිනා ගන්නවා. අකිල සපුමල්ගේ ‘ගිරිකූට කාශ්‍යප’ වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නළුවා සඳහා ද නිර්දේශ වෙනවා. දෙරණ නාළිකාව මෙහෙය වූ ඛ්ඪබර ධට ච්චදජඥ තරගාවලියේ 2013 වසරේ ප්‍රධාන කිරුළ දිනා  ගන්නෙත් ඔහු. මේ අතරම තමයි ඔහු ගායන  හැකියාව ප්‍රගූණ කොට ගෙන ගායකයෙකු වශයෙන්ද කරළියට පැමිණෙන්නේ.

 ‘කළු කුමාර’ ගීතයෙන් සජිත දේශීය සම්ප්‍රදාය තුළ ජනශ්‍රැතිගත වී ඇති කළුකුමාර සංකල්පය නව මානයකින් දකින්න රූපය භාවිත කරන්න උත්සාහ දරා තිබෙනවා. මේ   

ගීතය හරහා ‘සජ් ක්‍රියේසන්ස්’ නමින් තම නවතම නිෂ්පාදන ආයතනය ද හඳුන්වා    දෙනවා. කළුවර ගීතයේ අධ්‍යක්ෂණයත් සජිත ඇන්තනිගේ. කැමරාකරණය චන්දන ජයසිංහගෙන්. කලා අධ්‍යක්ෂණයෙන් උපුල් බණ්ඩාර. නර්තන නිර්මාණයෙන් කසුන් අයේෂ් සහ ගිහාන් උමේෂ් ඇතුªළුව මේ නිර්මාණය එළි දක්වන්නට තවත් බොහෝ පිරිසකගේ දායකත්වය ඔහුට ලැබී තිබෙනවා.