රංගනය නිසා මට ආදරය මඟහැරුණා

රයිගම් Tele'es නැඟී එන නළුවා - රන්දික ගුණතිලක
ඔක්තෝබර් 1, 2020
 
 
මෙවර රයිගම් Tele'es  2019 සම්මාන උලෙළෙහි හොඳම නැඟී එන නළුවා සම්මානය හිමි කරගත්තේ රංගන ශිල්පී රන්දික ගුණතිලක. වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි රන්දික මේ දිනවල තිරගත වන පාංශු චිත්‍රපටයේ කමල්ගේ චරිතය නිරූපණය කරයි
 
 එමෙන්ම TV දෙරණ නාළිකාවෙන් විකාශය වීමට නියමිත “පොදු” ටෙලි නිර්මාණයේද ප්‍රධාන චරිතය කරන්නේ ඔහුය. මේ සියලු කරුණු කාරණා ඔහු සමඟ කතාබහකට හේතු විය.
 
රන්දිකට සම්මානෙකුත් හම්බුණා නේද?
ලොකු විශේෂයක් නැහැ. මට කලිනුත් සම්මාන හම්බෙලා තියෙනවා. මට විශේෂත්වය තමයි ඒ සම්මානය දීපු නීටා ප්‍රනාන්දු මහත්මිය. ඒක මට ලොකු සතුටක්. ඒකට හේතුව මම නීටා අක්කා එක්ක තමයි මගේ පළවෙනි ටෙලිනාට්‍යයේ සහ පළවෙනි චිත්‍රපටයේ රඟපෑවේ. කැමරාවට සම්බන්ධ රංගනයේදී පළවෙනි ඇගයීම හම්බුණේ රයිගම් Tele'es වලින්. ඉතින් ඒ සම්මානය නීටා අක්කාගෙන්ම ගන්න ලැබුණු එක සතුටක් මට. 
 
මේ සම්මානෙට කලින් ලැබුණු සම්මාන මොනවාද?
මම ඉගෙන ගත්තේ වේදිකාවේ රංගනය. 2014 සිට 2018 දක්වා මම යෞවන නාට්‍ය උලෙළවල සහ රාජ්‍ය නාට්‍ය උලෙළවල සම්මාන අරගෙන තියෙනවා. නමුත් කැමරාව සම්බන්ධයෙන් මුලින්ම ගත්තේ මේ සම්මානය. 
 
රන්දිකට හොඳම නැඟී එන නළුවා සම්මානය ලැබෙන්නේ "අඩෝ" ටෙලිනාට්‍යයට. ඒ ගැනත් කිව්වොත්?
"අඩෝ" ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වෙන්න්වෙ මගේ මිත්‍ර දසුන් පතිරණ නිසා. දසුන් අයියා මගෙන් ඇහුවා මම ඉන්න ටෙලියක චරිතයක් තියෙනවා කරන්න පුළුවන් ද කියලා. දිනීගේ චරිතය මට ලැබුණේ එහෙම. දිනීගේ කියන්නේ අරවින්දගේ හොඳම යාළුවා. 
 
ඒ චරිතය කොයිවගේ චරිතයක්ද?
ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක එක්ක කතා කරද්දි සුපුන් අයියා මට කිව්වේ ඇත්ත ජීවිතයේ අපිට මුණ නොගැහෙන යාළුවෙක් තමයි දිනී කියලා. අපිට ජීවිතේ වරදිනකොට දාලා යන්නේ නැති යාළුවෙක් දිනී කියන්නේ. අපි කරන හැමදෙයටම හා කියලා ළඟින් ඉන්න යාළුවෙක් දිනී කියන්නේ. ටෙලිනාට්‍යකින් මට ලැබුණු හොඳම ප්‍රතිචාර ලැබුණේ මේ චරිතයට. මාව ගොඩක් අය දැනගත්තේ දිනීගෙන්.
 
මේ දිනවල තිරගත වෙනවා ඔබ රංගනයෙන් දායක වුණු "පාංශු" චිත්‍රපටය. ඒ ගැන කිව්වොත්?
පාංශු චිත්‍රපටයේ මට ලැබුණේ 89 කැරැල්ලට සම්බන්ධ වුණු තරුණයෙකුගේ චරිතයක්. චරිතේ නම කමල්. කමල් කියන්නේ බොහොම අහිංසක කොල්ලෙක්. ඒ මොහොතේ තිබුණු දේශපාලන තත්වයත් එක්ක කැරැල්ලට සම්බන්ධ වෙන්න වුණු කෙනෙක්. ඒත් මම අසූ ගණන්වලට පසුව ඉපදුණු කෙනෙක්. මම කොළඹ ජීවත් වුණු කෙනෙක්. මට මේ ගැන අත්දැකීම් ඇත්තේ නැහැ. මට මේ චරිතය ලොකු අභියෝගයක් වුණා. මේ චිත්‍රපටයේ මට කතා කරන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්. නමුත් මගේ චරිතයෙන් තමයි චිත්‍රපටය ගලාගෙන යන්නේ. 
 
චිත්‍රපටයේ ඔබේ රංගනයට ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
සෑහෙන්න ඉහළයි. මාව කට්ටිය වැඩිය දැකලා තිබුණේ නැහැ මීට කලින්. නමුත් මගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සියලුදෙනාගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් සතුටුයි ඒ ගැන. 
 
මේ දවස්වල රන්දික මොකද කරන්නේ?
මේ දවස්වල ඊඍ දෙරණ නාළිකාවේ විකාශය වෙන්න නියමිත "පොදු" කියලා කොටස් 6ක ටෙලිනාට්‍යයක රූගත කිරීම් කරනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ ශර්මිලා ධර්මරාසා. වැඩ ගොඩකට ආරාධනා එනවා මට. නමුත් මම ඉගෙනගත්ත එක තුළ මට තේරුම් ගිහින් තියෙනවා වැඩ ගොඩක් එකට බදාගෙන කරන්න පුළුවන් නළුවෙක් නෙමෙයි මම කියලා. මම පිටපතත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා මට එක සැරේ කරන්න පුළුවන් එක වැඩයි. 
 
රංගනය ගැන ඉගෙන ගෙන තියෙනවාද?
ඔව්. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ රංගනය පිළිබඳ විශේෂවේදී උපාධිය හැදෑරුවා. මගේ ගුරුවරු ප්‍රසන්නජිත් අබේසූරිය, සෞම්‍ය ලියනගේ, ඉන්දික ෆර්ඩිනෑන්ඩු, බන්දුල සේනානායක, කෞශල්‍ය ප්‍රනාන්දු යන අය.
 
රන්දික දැන් වේදිකාවට සම්බන්ධ වැඩ කරන්නේ නැද්ද?
කාලය පිළිබඳ ගැටලුව නිසා මම දැන් ටිකක් වේදිකාවෙන් ඈත් වෙලා ඉන්නේ. නමුත් මම ආසම තැන වේදිකාව. නළුවෙක්ට ඉගෙන ගන්න පුළුවන් හොඳම තැන තමයි වේදිකාව. 
 
රන්දිකත් අනිත් නළුවෝ වගේ වේදිකාවෙන් ඇවිත් පසුව වේදිකාව දිහාවත් නොබලන නළුවෙක් වේවිද?
කොහෙත්ම නැහැ. අපි වේදිකා නාට්‍යයකට මාස හයක් තිස්සේ පුහුණු වීම් කරනවා. ලොකු කාලයක් ඒකට කැප කරන්න ඕනේ. මම වේදිකා නාට්‍ය අවුරුදු හයක් විතර කළා. දැන් මට අලුත් දෙයක් මුණගැහිලා තියෙනවා. ඒ කැමරාව. මම ඒකත් අත්හදා බලන්න ඕනේ. නමුත් වේදිකාව අතහැරලා නැහැ. 
 
වඩා කැමති රිදී තිරයටද පුංචි තිරයටද?
මම ඇත්තටම කැමති චිත්‍රපටවලට. ඒක වෙනම දෙයක්. මගේ අදහස අනුව නම් පුංචි තිරයට වඩා සිනමාව ලොකුයි. 
 
ඒ කියන්නේ රන්දික ඉදිරියේදී චිත්‍රපට ගණනාවක රඟපානවා අපිට බලන්න පුළුවන් වෙයි?
මම දැනට චිත්‍රපට හතරක රඟපාලා තියෙනවා. ඉන් දෙකක් තිරගත වුණා. ඒ උ බභපද සහ පාංශු. ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ "ඕභතතඥබ නපධධට ජඩඪතඤපඥද" සහ ශශික හේරත්ගේ "ආදරය සමානයි" තිරගත වෙන්න නියමිතයි. තව ඉස්සරහට නිර්මාණ කීපයකට ආරාධනා ඇවිත් තියෙනවා. 
 
රන්දිකගේ පවුලේ විස්තර කිව්වොත්?
මට ඉන්නේ අම්මා, තාත්තා, අයියලා දෙන්නෙකුයි නංගිලා දෙන්නෙකුයි. 
 
රන්දික දැන් පෙම්වතෙක්ද?
මම ඒ කාලේ ඉඳන්ම පෙම්වතෙක්. හැබැයි පෙම්වතියක් නැහැ. මට ආදර සබඳතා ගොඩක් තිබිලා තියෙනවා. නමුත් රංගනය නිසා මට ඒවා මඟහැරුණා. මට හමුවුණු හැම පෙම්වතියක්ම අංග සම්පූර්ණ පෙම්වතියෝ. ඒ අය මට ගොඩක් ආදරය කළා. නමුත් එක මොහොතක ඒ අයව අතහැරලා මම රංගනයට ආදරය කරන්න ගත්තා. 
 
ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?
මම රඟපාන්න තමයි කැමති. ඒ මම ඉගෙනගත්ත දේ. මගේ බලාපොරොත්තුව රඟපාන එක. මට ප්‍රධාන ධාරාව, විකල්ප ධාරාව කියලා බෙදීමක් නැහැ. මම විශ්වාස කරනවා නළුවොන්ට හම්බෙන්නේ චරිත. ඒක ප්‍රධාන හෝ විකල්ප කියලා කවුරුහරි බෙදාගත්තාට අපිට කරන්න දෙයක් නැහැ. අපි චරිත කරන්න ඉන්නේ. 
 
රන්දිකට ස්තූතිය කරන්න කෙනෙක් ඉන්නවාද?
ඔව්. මම අද මෙතැන ඉන්නේ මට උසස් පෙළ ගුරුවරයෙක් හිටියා උපාලි සපුතන්ත්‍රි කියලා. එයා මට හඳුන්වලා දුන්නා හොඳ යාළුවෝ ටිකක්. ඒ යාළුවෝ තමයි රංගනයට කැපවෙද්දි මාව බලාගත්තේ. උපාලි සර් තමයි මාව විශ්වවිද්‍යාලයට යැව්වේ. පාංශු චිත්‍රපටය කරද්දිත් මට උදවු කළේ උපාලි සර්. මොකද එයා 89 කැරැල්ලට සම්බන්ධ කෙනෙක්. මටබේ ගැන සෑහෙන්න දේවල් කියලා දීලා තියෙනවා. එයාගේ යාළුවොන්ව මට මුණගස්සලා තියෙනවා. සමූහ ඝාතන කරපු තැන්වලට මාව එක්කගෙන ගිහින් තියෙනවා. සෑහෙන්න දේවල් ගොඩක් කියලා දීලා තියෙනවා. උපාලි සර් තමයි මට ජීවත් වෙන්න කියලා දුන්නේ.