“ගෝවේ ගෑනු පරාදයි”

ඔක්තෝබර් 1, 2020
‘සමුද්‍රදේවි’ නාට්‍යයේ  එඩී ජූනියර් (දියෝගෝ ද අරාජෝ) හා  මැණිකේ අත්තනායක (සමුද්‍රදේවි)

 

බුද්ධ පතිවෘතය සුරැකි ලොව උතුම් කාන්තාව ලෙස යශෝධරා දේවිය එදත් අදත් හෙටත් මෙරට ජනතාවගේ සදා වන්දනාවට පාත්‍ර වී සිටින්නීය. මෙරට සභ්‍යත්වය ගොඩනැඟූ බෞද්ධ දර්ශනය හා හින්දු සමය මැනවින් අනුකලනය (ධ්ව්ඊඡ්ට්අඒඊධ්ර්‍ණව්) වීමේ ඵලයක් වශයෙන් ද ඓතිහාසික සංසිද්ධීන් හේතු කොට ගෙන ද පත්තිනි දේවිය පතිවෘතාව සුරැකි දෙවඟන ලෙස ලාංකේය ජනතාවගේ සදා වන්දනාවට හිමිකම් කියන්නීය. පත්තිනි දෙවඟනගේ භූමිකාව කිසියම් රූපණ ශිල්පිනියකට වේදිකාවේ රැඟුමට වරම් ලැබීම කෙතරම් නම් භාග්‍යයක්ද? ප්‍රතිභාපූර්ණ නිළියක, ගායන ශිල්පිනියක ලෙස සිව් දශකයක් ඉක්මවා මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට අමුල්‍ය දායකත්වයක් ලබා දුන් මැණිකේ අත්තනායක මේ විරල භාග්‍යයට හිමිකම් කී රංගන ශිල්පිනිය වේ. 1980 - 1981 කාල වකවානුවේ වේදිකා ගත වූ පුණ්‍යසේන ගුණසිංහගේ ‘මිණිසලඹ’ නාට්‍යයේ පත්තිනි දේවිය ලෙස ඇය ප්‍රධාන චරිතය රැඟුවාය.

එවක යොවුන් නිළියක වූ මැණිකේ මේ උතුම් භූමිකාව රඟපෑමට පෙර තම මෑණියන්ගේ උපදෙසට අනුව දෙදෙනාම කතරගම වන්දනා ගමනක නිරත වූහ. ඇය කතරගම දේවාලය වැඳ පුදාගෙන ඉක්බිතිව පත්තිනි දේවාලයට ගොස් ආශීර්වාද ලබා ගත්තාය. එදා මැණිකේ මේ භූමිකාව රැඟුවේ මෙලෙස ඒ අරභයා පේවීමෙන් පසුවය. වත්මනෙහි විදෙස් ගත වී සිටින රුවන් දනන්සූරිය මෙහි පාලඟ කුමාරයා ලෙස ඇය සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේය. නාට්‍යය අවසන පත්තිනි දෙවඟන තම පතිවත අරභයා සත්‍ය ක්‍රියා කරන ජවනිකාව පේ‍්‍රක්ෂකයෝ විස්මයෙන් යුතුව බලා සිටියහ.

‘මිණිසලඹ‘ නාට්‍යයේ පත්තිනි දේවිය ලෙස මැණිකේ කළ රංගනය උදෙසා එවර හොඳම නිළිය ලෙස යොවුන් නාට්‍ය උලෙළේ සම්මානනීය වූවාය.

පුණ්‍යසේන ගුණසිංහයන්ගේ ‘කාලගෝල’ නාට්‍යයේ දික්තලාගේ භූමිකාව මැණිකේ මෙතෙක් රැඟූ චරිත අතර වෙසෙසින් කැපී පෙනේ. සැබැවින්ම මේ නාට්‍යය වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණයට පාත්‍ර වූයෛ් ඇය ‘දික්තලා’ට එක් කළ නව්‍ය අර්ථකථනය හේතු කොටගෙනය. උදේනි චන්ද්‍රසිරි මෙහිදී ‘කාලගෝල’ ගේ භූමිකාවට ජීවය දුන්නේය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘ලෝමහංස’ නාට්‍යයේ බඹදත් රජුගේ බිසවගේ භූමිකාව මැණිකේ වේදිකාවේ මෙතෙක් නිරූපිත චරිත අතර සංකීර්ණභාවයෙන් මුල් තැන ගනී. සරච්චන්ද්‍ර සූරීන් මේ නාට්‍යය නිර්මාණය කළේ මහා පදුම ජාතක කතාව ඇසුරෙනි. යුරිපිඩිස්ගේ ‘ඩ්ධ්ර්‍ථර්‍ථර්‍ණඹ්කඊඋඉ” නාට්‍යයෙහිත් ඒ ඇසුරෙන් බිහි වූ ෂාන් රසින්ගේ ‘ර්‍ථඩඥඤපඥ’නාට්‍යයෙහිත් ඇතුළත් වූ කතා තේමාව මීට සාම්‍යය වේ. මේ වස්තු බීජය පෙරදිග සාහිත්‍යයෙන් අපරදිග සාහිත්‍යයට එක් වන්නට ඇතැයි සිතිය හැකිය.

තම පියාගේ දෙවැනි බිසව හෙවත් කුඩම්මාගේ ප්‍රේමය හේතු කොට කුමාරයකු මුහුණපාන ඛේදවාචකය මේ නාට්‍යයට වස්තු විෂය විය. කුමාරයා වසඟ කරනු පිණිස ඇය දැරූ සියලු ප්‍රයත්න අසාර්ථක වෙත්ම බිසව රජුට අඟවනුයේ කුමාරයා ඇයට අතවර කිරීමට උත්සාහ දැරූ බවය. ගුඪ චෛතසිකය විසින් මෙහෙය වන ලද සංකීර්ණ ස්ත්‍රීත්වය මේ බිසවගේ චරිතයෙන් විදාරණය කෙරිණ. මැණිකේ අත්තනායක මේ චරිතය ශූර ලෙස නිරූපණය කළාය. නිශ්ශංක දිද්දෙණිය (බඹදත් රජු) හා ජැක්සන් ඇන්තනි (කුමාරයා) යන ප්‍රතිභාපූර්ණ රූපණවේදීන්ගේ කාව්‍යාත්මක, ශෛලිගත රංගාලංකාරය ද ඇගේ රැඟුම් හා මැනවින් මුසු විය. උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි ඇසුර ලබා පණ්ඩිත් අමරදේවයන් විසින් නිර්මාණය කරන ලද සුමධුර ගීතාවලිය ද ඔවුන්ගේ ගායන ප්‍රතිභාවෙන් විචිත්‍රවත් විය. කුමාරයා කාම පාශයට පොලඹවා ගැනීමට වෙර දරන එක් ජවනිකාවක මැණිගේ (බිසව) මෙලෙස ගයනු මට සිහිපත් වේ.

‘සිතු අයුරු මල් උයනේ ඇවිදී

විඳිමින් මඳනල

විවේක සුවයෙන්

අප ගැන නැත සිහිවන්නේ මඳකුදු’

ලාංකේය ඉතිහාසයේ අමරණීය භූමිකාවක් වූ සමුද්‍රදේවිගේ චරිතය නිරූපණය කිරීමේ අවස්ථාව මැණිකේ අත්තනායක රංග ශිල්පිනියට ලැබිණ. සමුද්‍රදේවී ශෝචනීය ඉරණමකට මුහුණ පෑ ගැහැනියකි. කෝට්ටේ රාජධානියේ රජකම් කළ 7 වැනි බුවනෙකබාහු රජුගේ දියණිය වූ සමුද්‍රදේවියට ඒ නම ලැබුණේ ඇය උපන් අවස්ථාවේ නැකැත්කරුවන් මේ දැරිය ජලයෙන් ප්‍රවේශම් කරගන්නා ලෙස පැවසූ අනාවැකිය හේතු කොට ගෙනය. බොහෝ කලක් දරුවන් නොමැතිව සිටි රජුගේ බිසවට ලැබුණු දියණිය ඇය වේ. රණ ශූරයකු වූ වීදිය බණ්ඩාර ඇගේ අත පතා සිටියේය. එහෙත් ඇය ගැන අපේක්ෂාවෙන් සිටි අනෙක් තැනැත්තා ජයෝ බණ්ඩාරය. රජුගේ වැඩි කැමැත්ත තිබුණේ ජයෝ බණ්ඩාර තම දියණිය සමඟ විවාහ වනු දැකීමටය. එහෙත් වීදිය බණ්ඩාර ඇගේ ප්‍රේමය පතා ජයෝ බණ්ඩාරට අභියෝග කළේය. මේ ද්වන්ද සටනින් ජය ගත් වීදිය බණ්ඩාර සමුද්‍ර දේවියගේ ස්වාමියා බවට පත් විය.

ඇය ඔහුට කැමැති වූයේ හුදෙක්ම බිය වීම හේතු කොට ගෙනය. දියෝගෝ ද අරාජෝ නමැති පෘතුගීසි සෙනෙවියා 7 වැනි බුවනෙකබා රජුගේ මාලිගයේ ආරක්ෂක අංශයේ සේවය කළ අතර ඔහුද සමුද්‍රදේවියට පෙම් බඳී. සමුද්‍රදේවිය ඔහුගේ ප්‍රේමණීය ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුදු මේ ගැන කටකතා පැතිරෙන්නට විය. වීදිය බණ්ඩාර සමුද්‍රදේවිය සමඟ දිය නෑමට යන ව්‍යාජයෙන් කෝට්ටේ දියවන්නා ඔය වෙත ගොස් ඇය එයට තල්ලු කොට දමනුයේ මේ කටකතා අරභයා ඔහුගේ සිත් මඩියෙහි තෙරපෙන සැක සංකා පිටාර ගැලීම හේතු කොටගෙනය. සමුද්‍රදේවියගේ මළ සිරුර දියවන්නා ඔය පතුලෙන් මතු වේ. මේ ඓතිහාසික ඛේදාන්තය ඇසුරෙන් ‘සමුද්‍රදේවි’ නාට්‍යය මුල්වරට රචනා කළේ 40 දශකයේ සුප්‍රකට සිනමා ලේඛක ඩී. වී. සෙනෙවිරත්න මහතාය.

70 දශකයේ අග භාගයේ ටවර් හෝල් නාට්‍ය යළිත් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ‘සිරිසඟබෝ’ (ආචාර්ය හෙන්රි ජයසේන), ‘ශ්‍රී වික්‍රම’ (ප්‍රේමරංජිත් තිලකරත්න) යන නාට්‍ය යුගලෙන් පසුව ජී. එච්. ස්ටැන්ලි පෙරේරා ‘සමුද්‍රදේවි’ නාට්‍යය (1979) නිර්මාණය කළේය. මෙහි වීදිය බණ්ඩාර ලෙස ක්වින්ටස් වීරකෝන් ද, ජයෝ බණ්ඩාර ලෙස වික්ටර් වික්‍රමගේ ද 7 වැනි බුවනෙකබාහු රජු ලෙස ප්‍රසන්න ෆොන්සේකා ද රංගනයෙන් දායක වූහ. සමුද්‍රදේවි භූමිකාව මැණිකේ අත්තනායක හැරුණු විට චන්ද්‍රානි ගුණවර්ධන ද රඟපෑ බව මා හට සිහිපත් වේ. මේ නාට්‍යයේ පෘතුගීසි සෙනෙවි දියෝගෝ ද අරාජෝ ලෙස මුලින්ම පුහුණු වූයේ ප්‍රවීණ රංග ශිල්පී සඳුන් විජේසිරිය. එහෙත් පුහුණුව අතර ඔහු එවක සේවය කළ මහ බැංකුවේ එක් නිලධාරියකු ඉහළට රපෝර්තු කරමින් පවසා සිටියේ ‘සඳුන් බැංකුවේ රාජකාරියට වඩා වේදිකාවට කැප වී ඇති බව’ ය. මේ නිසා සඳුන් තමාගේ චරිතයට සුප්‍රකට ජ්‍යෙෂ්ඨ නළු, සංගීතවේදී එඩී ජූනියර්ගේ නම යෝජනා කළේය. ‘සමුද්‍රදේවි’ මුල් නිෂ්පාදනයට එඩී ජූනියර් එක්වූයේ ඒ අයුරෙනි. එඩීගේ අභාවයෙන් පසුව යළිත් මේ චරිතය සඳුන් නිරූපණය කළේය

‘ගෝවේ... ගෝවේ ගෑනු පරාදයි...

රූපේ... රූපේ මහද පිනා යයි...

ලාංකේය නාට්‍ය ගීත සාහිත්‍යයේ අමරණීය ගීත අතරට අනිවාර්යයෙන්ම ඇතුළත් වූ මේ ගීතය එඩී ජූනියර් හා සඳුන් විජේසිරි අපූර්ව ලෙස ගැයූහ. එහෙත් ‘එඩී ජූනියර්ගේ සංගීත ඥානයට තමාට අලගු තබන්නට බැරි බව‘ සඳුන් විජේසිරි රංගවේදියා ඉතාම නිහතමානි ලෙස මා සමඟ වරක් පැවසුවේය. මේ ගීතය රචනා කරන ලද්දේ මෑත කාලයේ අපෙන් වියෝ වූ, ජ්‍යෝතිශ් ශාස්ත්‍රඥයකු ද වූ චන්දි ගුණතිලක මහතාය. ඔහු මේ ගීතය ලියාගෙන යන අතරතුර ප්‍රවීණ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයෝ ස්වර සංරචනා කළහ. ඉපැරැණි ‘සමුද්‍රදේවි’ නාට්‍යයේ කිසිදු ගීතයක් මේ නාට්‍යයට භාවිත නොකළ අතර චන්දි ගුණතිලක පැබැඳූ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතවත් කළ සුමධුර ගීත රැසක් මීට ඇතුළත් විය.’ගෝවේ ගෑනු පරාදයි’ ගීතය සංගීතවත් කිරීමේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයන් අශ්ව කුර හඬ හා හේෂාරව, සංගීතයෙන් මතු කළ අයුරු ප්‍රශස්තය. මා මුලින්ම නැරඹූ වේදිකා නාට්‍යය ලෙස ‘සමුද්‍රදේවි’ මතකයේ රැඳී තිබේ

සමුද්‍රදේවිය ලෙස මැණිකේ අත්තනායකගේ හඬින් ගැයුණු එක් ගීතයක් මේය.

“හිමි ඔබ දැකුමින් නැති

සිත මාගේ

හිරු නැති ලොව

පියුමක් සේ’

 

ඉතිරි කොටස ලබන සතියේ...