වඳුරු වෙස්ගත් තරුණයා මංකි මෑන්

ඔක්තෝබර් 8, 2020

දිනෙන් දින නවක නිර්මාණකරුවෝ සිනමා ක්ෂේත්‍රය අතික්‍රමණය කරති. ඉන් බොහෝ අයගේ එකම අභිප්‍රාය සිනමාපටයක් නිර්මාණය කිරීමය. ඔවුනට ඇති පළමු ගැටලුව නිෂ්පාදකවරුන්ගේ හිඟකමය. නවක නිර්මාණකරුවකු වෙනුවෙන් ආයෝජනය කිරීමට නිෂ්පාදකවරයෙකු වරක් දෙවරක් නොව කිහිපවතාවක් සිතා බලයි. එසේවූවා කියා ඇතැම් අය තමන්ගේ අරමුණට පිටු පාන්නේ නැත. නිෂ්පාදකවරයෙකු නැතත් තමන්ගේ සිනමාපටයේ වැඩකටයුතු කෙසේ හෝ ආරම්භ කරයි. තරිඳු දේශප්‍රිය එවැනි නිර්මාණකරුවෙකි. තම මිතුරු පිරිස එක්කාසු කොට සිනමාපටයක් තැනීමට පටන්ගත්තේ නිෂ්පාදක සෙවීම දෙවැනි තැනට දමාය. එම සිනමාපටයේ නම මංකි මෑන් වේ.

තරිඳු, ක්ෂේත්‍රයේ ඉන්න දේශප්‍රියලාගෙන් කෙනෙක් ඔබගේ නෑයෝ වෙනවද?

නැහැ නැහැ. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඔය ඔබත් ඇහැව්වේ.

මංකි මෑන්, ආරම්භ වන්නේ නිෂ්පාදකවරයෙක් නැතුව?

ඔව්. චිත්‍රපටයක් නිර්මාණය කිරීම තමයි මට තිබුණු එකම හීනය. ඒ වෙනුවෙන් තමයි හැම මොහොතකම මම වැඩ කළේ. මා මිත්‍ර කලණ ගුණසේකර එක්ක චිත්‍රපටයේ කතාව ලියන්න පටන් ගත්තා. වසර ගණනාවක් මම ගොඩනඟා ගත්ත විශ්වාසය එක්ක පසුව ගෙවීමේ පදනම මත මට නළුනිළියෝ, කැමරා ඩිරෙක්ටර්ගේ ඉඳලා නිෂ්පාදන කණ්ඩායමේ අය ගන්න පුළුවන් වුණා. අත්‍යාවශ්‍ය වියදම් ටිකත් පසුව ලැබුණා. ශූට් එකත් කළා. දැන් සියලු වැඩ නිමයි.

මංකි මෑන් සිනමාපටය සඳහා ඇතුළත් වන්නේ මොනවගේ කතාවක්ද?

කොළඹ ජීවත්වන එක්තරා තරුණයෙක් ඉන්නවා. ඔහු බොහොම පොඩි කාමරයක තමයි කල් ගත කරන්නේ. මපට්ලාට ඇඳීම වගේ පොඩි පොඩි පාර්ට් ටයිම් ජොබ් කරලා තමයි මේ තරුණයා මුදල් උපයන්නේ. එහෙත් එක්තරා අවස්ථාවකදි ඔහුට ඒ ආදායම් මාර්ග නැති වෙනවා. ඔහු හොරකම් කරන්න පෙලඹෙනවා. එතනදිත් ඔහු අහුවෙනවා. අන්තිමේ මේ තරුණයා වඳුරෙකුගේ වෙස් ගෙන හොරකමේ යෙදෙන්න පටන් ගන්නවා. ඔහු මුහුණ දෙන සිදුවීම් පෙළ තමයි චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ.

කොහෙද සිනමාපටය රූපගත කිරීම් කළේ?

කොළඹ අවටම තමයි සියලු රූපගත කිරීම් කළේ.

කවදා වගේද චිත්‍රපටය පෙන්වන්න හිතාගෙන ඉන්නේ?

කොරෝනා ආවේ නැත්නම් අගෝස්තුවල වගේ පෙන්වන්න හිටියේ. පොඩි කාලයක් කල් යාවි. කොහොමත් ඉක්මනටම ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

ඔබ ගැන පොඩි සඳහනක් කළොත්?

මට ක්ෂේත්‍රයට එන්න උදව් කරන්නේ ලක්මාල් ධර්මරත්න අයියා. එහෙම ඇවිත් සහාය අධ්‍යක්ෂවරයකු විදිහට වැඩ කළා. ඒලෙවල් ඉවරයි, ඩස්ට් වගේ නාට්‍ය, මෝටර් බයිසිකල් සිනමාපටය මම එහෙම දායක වුණු නිර්මාණ. පස්සේ දැන්වීම්කරණ ආයතනවලට එක් වුණා. නිෂ්පාදන කළමනාකරුවෙකු, සම්බන්ධීකාරකවරයෙකු ලෙස වැඩ කරමින් සිටියා. ඒ ඔක්කෝම වැඩ මඳකට නවත්වලා තමයි ෆිල්ම් එක කරන්න ආවේ.

චිත්‍රපටයේ නළුනිළියන් කවුද?

ලක්ෂ්මන් මෙන්ඩිස්, කලණ ගුණසේකර, දසුන් පතිරණ, මනෝජා ෆර්නැන්ඩු, මධුර ප්‍රභාෂ්වර, උදාර අබේසුන්දර, සංජීව දිසානායක, ධනුෂ්කා ජයරත්න, ලසන්ත ෆ්‍රැන්සිස්, ලසන්ත ප්‍රමුදිත, මදනායක.

නිෂ්පාදන පිරිවර?

කැමරා අධ්‍යක්ෂණය ඇඩම් ස්ට්‍රයිනර්, කලා අධ්‍යක්ෂණය චරිත් වික්‍රමතිලක, සංගීත අධ්‍යක්ෂණය විහඟ විජේසේකර, සහාය අධ්‍යක්ෂණය නාමල් ගමගේ, සංස්කරණය සහ වර්ණ සංයෝජනය මාලින්ද සම්පත්, නිෂ්පාදන සැලසුම්කරණය ඩිලංක රංගනාත්, නිෂ්පාදන කළමනාකරණය රංජන එම්. රාජපක්ෂ, අංගරචනය මනනුවන් රූපසිංහ, ඇඳුම් නිර්මාණය නෙළුම් කූරගලාඅරච්චි, නිශ්චල ඡායාරූප සෙහාන් කාවින්ද.