ෂර්ලොක් හෝම්ස් වෙනුවෙන් ඩොයිලි පරපුර නඩුමඟට

Enola Holmes
ඔක්තෝබර් 8, 2020

එනෝලා හෝම්ස් යනු සුප්‍රසිද්ධ හෝම්ස් පවුලේ බාලම සහෝදරියයි. අතිශයින් බුද්ධිමත් තීක්ෂණ නුවණකින් යුතු එනෝලා සමාජ සම්මතයන්ට පටහැනිව යාමට බිය නැති, ස්වාධීන චින්තනයකින් යුතු ශක්තිමත් එඩිතර යුවතියකි. සිය දහසය වැනි උපන්දිනය දා එනෝලා අවදි වන්නේ තම මව අතුරුදහන් වී ඇති බව දැනගනිමිනි. වසර ගණනාවකින් තමා මුණගැසී නැති ඇගේ සහෝදරයන් වන මයික්‍රොෆ්ට් සහ ෂර්ලොක් හමුවීමට එනෝලා දුම්රිය ස්ථානයට යන්නේ මින් පසුවයි. ෂර්ලොක් ඇය බුද්ධිමත් දැරියක බව වටහා ගන්නා අතර මයික්‍රොෆ්ට් ඇය කරදරකාරියක ලෙස දකී. ඇගේ නීතිමය භාරකාරිය ලෙස ඇයව හැරිසන් මෙනවිය වෙත භාර කිරීමට මයික්‍රොෆ්ට් සූදානම් වෙයි. කෙසේ නමුත් සිය මව රහසේ සඟවා තිබුණු මුදලක්ද සොයා ගන්නා එනෝලා පිරිමියකු ලෙස වෙස් ගෙන පැන යයි. සිය සොහොයුරන් අභිබවා ගොස් මව සොයා ගැනීම එනෝලාගේ අබිප්‍රාය වෙයි. නැන්සි ස්ප්‍රින්ගර් විසින් රචිත ‘එනෝලා හෝම්ස්’ නවකතා මාලාවේ පළමු කතාව පදනම් කරගෙන නිර්මිතව, පසුගිය සැප්තැම්බර් 23 වැනිදා සිට තිරගත වීම ඇරඹි ‘එනෝලා හෝම්ස්’ චිත්‍රපටයේ කතාව දිගහැරෙන්නේ මෙලෙසිනි.

ප්‍රසිද්ධ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ගේ යොවුන් වියේ සහෝදරිය, එනෝලාගේ චරිතය වටා ගෙතුණු මෙම චිත්‍රපටය ජැක් තෝර්න්ගේ තිර රචනයක් වන අතර හැරී බ්‍රැඩ්බීර්ගේ අධ්‍යක්ෂණයකි. ජනප්‍රිය නෙට්ෆ්ලික්ස් රූපවාහිනී කතා මාලාවක් වූ ස්ට්‍රේන්ජර් තින්ග්ස්හි ‘ඉලෙවන්’ ගේ චරිතයට පණ පෙවූ දහසය හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික නිළි මිලී බොබී බ්‍රවුන් මෙහි එනෝලා ගේ චරිතය රඟපාන අතර චිත්‍රපටයේ නිෂ්පාදකවරියක් ද වන්නීය. හෙන්රි කැවිල්, ෂර්ලොක් හෝම්ස් ලෙසත් සෑම් ක්ලැෆ්ලින්, මයික්‍රොෆ්ට් හෝම්ස් ලෙසත් පණ පොවන අතර ඇඩීල් අක්තාර්, ෆියෝනා ෂෝ, ෆ්‍රැන්සිස් ඩි ලා ටුවර්, ලුවී පාර්ට්රිජ්, සුසී වෝකෝමා සහ හෙලේනා බොන්හැම් කාටර් චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණය කරති.

එනෝලා හෝම්ස් චිත්‍රපටයේ බෙදාහැරීමේ අයිතිය පළමුව වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් වෙත පැවරී තිබුණු අතර ඛ්ර්‍ණඍධ්ච්-19 වසංගතය හේතුවෙන් එය නෙට්ෆ්ලික්ස් වෙත විකිණුනි. විචාරකයන්ගෙන් ඉහළ පැසසුම් ලත් මෙම චිත්‍රපටය රොට්න් ටෝමැටෝස් අඩවියේ ලකුණු 92% ක් සටහන් කරන අතර එහි පොදු විචාරයේ මෙසේ සටහන් වෙයි: “එනෝලා හෝම්ස්, බේකර් වීදියට නැවුම් බවක් ගෙන එන අතර මිලී බොබී බ්‍රවුන්ට සිය දක්ෂතාවයන් විදහා දැක්වීමට මෙය අගනා තෝතැන්නක් වෙයි.”

මේ අතර මෙම චිත්‍රපටයට සම්බන්ධ තවත් අපූරු නඩුවක් ගැනද සඳහන් කළ යුතුමය. ෂර්ලොක් හෝම්ස් චරිතය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිලි ගේ නිර්මාණයක් බව බොහෝ දෙනා දනිති. ඩොයිලිගේ පවුල විසින් නිර්මාණය කෙරුණු ‘කොනන් ඩොයිලි එස්ටේට්’ ට අනුව ෂර්ලොක් හෝම්ස් චරිතයේ ‘හැඟීම්බර ස්වභාවය’ කොනන් ඩොයිලි එස්ටේට් සතුවන අතර ඉහත චිත්‍රපටයේ හෝම්ස් හැගීම්බර පුද්ගලයකු ලෙස හුවා දැක්වීමට එරෙහිව ඔවුන් විසින් නෙට්ෆ්ලික්ස් ආයතනයට එරෙහිව නඩු පවරා තිබේ.