ජීවන්ට හා දිනෙත්ට වැඩි ලකුණු

ෂෙලීනා
ඔක්තෝබර් 8, 2020

සිනමාව තව දුරටත් ලොව පුරාම රැදී පවතින්නේ ඉහළ ප්‍රමිතියකින් යුතු රසාලිප්ත හා ආකර්ෂණීය  සිනමාපට නා නා ෂානර ඔස්සේ ප්‍රකාශයට පත් වීමද නිසාවෙනි. ඇත්ත වශයෙන්ම සිනමා ප්‍රේක්ෂක බහුතරයකගේ පළමු මනාපය වන්නේද මෙබඳු සිනමාපට සමඟ එකතු වීම ය යන්න රහසක් නොවේ. තවමත් ලෝකයේ මුල් පෙළේ සිනමා නිෂ්පාදන සමාගම් විශේෂයෙන් ම පියවර ගන්නේ මෙබඳු සිනමාපට නිෂ්පාදනයට ය.

කෙසේ නමුත් මේ රසාලිප්ත හා ආකර්ෂණීය සිනමාපට අද දවසේදී නිර්වචනය කළ යුත්තේ මීට දශක දෙක තුනකට පෙරාතුව භාවිත කළ  මිනුම් දඬු හෝ විශ්වාස කළ ආකල්ප මත පදනම් නොවෙමිනි. එ  දවස ජීවිතය හා සමාජයත්, පුද්ගල යථාර්ථයත් ප්‍රතිනිර්මාණයට  උත්සුක වුයේ ම රසාලිප්ත හා ආකර්ෂණීය  අංගද, ප්‍රකාශන විලාසද සපුරා හෝ අර්ධ වශයෙන් බැහැර කළ සිනමාපට ය. මෙ දවස තතු  ඊට වෙනස් වේ. වරෙක බුද්ධිමත් ප්‍රේක්ෂක ප්‍රජාව වුව සූක්ෂ්මව සසල කරණ පිවිසුම් උක්ත රසාලිප්ත හා ආකර්ෂණීය සිනමාපට වෙතින් දත හැකි ය.

මේ පසුබිම පිළිබඳ අවබෝධයකින් තොරව හෝ සැලකිල්ලකින් තොරව නිර්මිත රසාලිප්ත හා ආකර්ෂණීය අංග ඉස්මතු කළ  සිනමාපට, ප්‍රමිතිය පිළිබඳ  සාධකය ප්‍රමාණවත්ව සාක්ෂාත් කර ගත නොහැකි වීමද හේතු කොට ගෙන ප්‍රේක්ෂක අවධානයෙන් ගිලිහී යන අවස්ථා විද්‍යමාන වන්නේ ඉඳහිට ම නොවේ . මෙතැනදී සිදුවන බැහැර කළ  නොහැකි වරදක් වන්නේ ප්‍රේක්ෂකයා හා සිනමා ශාලාව අතර පෙරට වඩා පරතරයක් නිර්මාණය වීමයි. පසුගිය සමයේ ලාංකේය සිනමාවද හැසිරුණේ මේ කරුණුද අවධාරණය කරමිනි.

නවක සිනමාකරුවන් දෙදෙනෙකු වන චන්දන එදිරිසිංහ හා පූජිත ගුණතිලක ‘ෂෙලීනා’මැයෙන්  යුතු සිනමාපටයක් මහජන ප්‍රදර්ශනයට මුදා හරින්නේ මේ පසුබිම විෂයෙහි ය. ඔවුන් නොපමාව පවසන්නේ ‘ෂෙලීනා ’,ත්‍රාසය හා කුතුහලය මුසුවූ ක්‍රියාදාම  ස්වරූපයේ සිනමාපටයක් බවයි. දේශපාලන කතිකා,තරුණ ගැටලු ආදිය විෂය වූ සම්මත කලාත්මක හා විවාදාත්මක ලක්ෂණ සහිත සිනමාපට ගණනාවක් මධ්‍යයට ‘ෂෙලීනා’ පැමිණෙන්නේ කිසියම් අමුත්තක්ද දනවමිනි. කොවිඩ් 19 අර්බුදය උත්සන්න වීමද මේ පසුපස පවතින සාධකයක් වේ.

සිනමාකරුවන් දෙපළ  සෙසු සමකාලීනයන් අවතීර්ණ වූ මඟට  නොපිවිසීම කැපී පෙනේ. ඒ ඊට ඇති නොහැකියාවද, නො කැමැත්තද  යන්න ප්‍රේක්ෂකයා විසින් ම විසඳනු ලැබිය යුතු  යුතු ගැටලුවකි. කෙසේ වුවද රසාලිප්ත හා  ආකර්ෂණීය සිනමාපටයකට ක්‍රියාදාම  ස්වරූපයක් එක්  කිරීමේ අභියෝගය නොපැකිලව භාර ගැනීම  නම් ඔවුනගේ පාර්ශ්වයේ එන ජයග්‍රහණයක් වේ. 

මෙබඳු සිනමාපට සිනමාව හා නිරතුරුවම බැදී  සිටින ප්‍රේක්ෂකයනට නම් හුරු පුරුදු ය. දුෂ්ටයා  පසුව වීරයා වීම මෙන්ම වීරයා පසුව දුෂ්ටයා  වීමද මේ සිනමාපට තුළ සුලබව දක්නට ලැබෙ. කුතුහලය උපදින්නටද මෙතැන  ඇති අවකාශය ඉමහත් ය. ප්‍රේක්ෂක විශ්වසනීයත්වය ආරක්ෂා කර ගැනීමකින් තොරව මෙකරුණු සාක්ෂාත් කර ගත නොහැකි වග සත්‍යයකි.

චන්දන හා පූජිත මේ කෙරෙහි පළ කළ අවධානය ඔවුනගේ සමත්කම් සතු ප්‍රමාණය විදහා පාන බව කිව යුතුය. පළමු කොටම ඔවුන් ත්‍රාසය හා කුතුහලය නොබිඳෙන මාදිලියේ තිර නාටකයක් සකස් කර ගත යුතුව තිබිණ. එය සංස්කරණ කාර්යය වඩා පහසු කරවන්නකි. සිනමාපටය තුළ ප්‍රමුඛ පුවතට කිසිදු අදාළ වීමක්  නොපෙන්වන අවස්ථා වෙතින් දක්නට ලැබෙන්නේ චන්දන හා පූජිත සිය තිරනාටකය කෙරෙහි දැක්වූ සැලකිල්ලේ  තරමයි. නො එසේ නම් සිදුවන්නට ඇත්තේ තිරනාටකය බැහැර  කළ සංස්කරණයකි. එසේ වීමට ඇත්තේ ඉතා අඩු අවකාශයක් ය යන්න පැහැදිලි ය.

‘ෂෙලීනා ’  මේ තරමින්වත් බේරා  දෙන්නට සමත්වන දෙදෙනෙකු  ගැන යමක් සඳහන් කළ යුතුම වේ. ඒ ජීවන් කුමාරතුංග හා දිනෙත් ද සිල්වා ය. ඉන් දිනෙත් ඉහළ  ප්‍රමිතියකින් යුතු ක්‍රියාදාම සිනමාවට හිමි සම්පතක් යැයි සිතේ. මීට ප්‍රථම ප්‍රදර්ශිත සිනමාපට දෙක තුනකදීම ඔහු මෙයට අදාළව ලකුණු රැස්  කර ගෙන තිබේ. ‘ෂෙලීනා’ හි එන නීරස රූප රචනයට දිනෙත් කිසියම් ජීවයක් එක්  කරලීමට උනන්දු වෙයි. සිනමා රංගනයේ අත්දැකීම් ඇති නිසාම ජීවන් කුමරතුංගද   හැසිරෙන්නේ යට කී නීරස බව පළවා හැරීමට අනුගත වෙමිනි.

කොහොමත් ‘ ෂෙ ලීනා’ නරඹන ප්‍රේක්ෂකයකුට හැඟෙන්නේ එය කවර මොහොතක නිමා වන්නේද යන අදහස යි. එනිසාම තාර්කික සම්බන්ධයක් නොමැතිව යාන්තමින් වාත්තු කර ගත්  ජවනිකා ඔස්සේ රසාලිප්ත හා ආකර්ෂණීය හැගීමක්  ජනිත කළ හැකි යැයි සිතීම මුසාවකි. චන්දන හා පූජිත එබඳු මුසාවකට ප්‍රේක්ෂකයා ගොදුරු කරලීමේ චේතනාවකින් පසු වූ වග පවසන්නට නොහැකි ය. නමුත් සිදුව ඇත්තේ එය යි. ඉන් අදහස් කෙරෙන්නේ චන්දනට හා පූජිතට ‘ෂෙලීනා’ ගිලිහී ගොස් ඇති  බව ය.

මේ අනුව ‘ෂෙලීනා ’ අධ්‍යක්ෂ අවතීර්ණ වීමකින් තොරව ඉබාගාතේ යන්නේ පෙර කී ආකාරයට රසාලිප්ත හා  ආකර්ෂණීය ලක්ෂණ කෙරෙහි අවධානය යොමු නො කරමිනි. චන්දන හා පූජිත ‘ෂෙලීනා’ අත් හරින නිසා එහි යථා තත්ත්වය සම්බන්ධයෙන් වගකිව යුතු කිසිවකු නොමැති තරම් ය. ප්‍රේක්ෂකයාට සිදු වන්නේ ඒ වෙනුවට අන් වගඋත්තරකරුවකු සොයා යන්නට ය. අවාසනාවකට එබන්දකු  ඔවුනට හමු නොවන සෙයකි.

නවීන  යාන වාහන, රහස් පොලිස් නිලධාරීන්  බව ලොවට ම කියා පාන අමුතුම තාලයේ ආරක්ෂක නිලධාරීන්, කව් බෝයි පන්නයේ නිහඬ වීරයන්, අනෙකෙකුට වුව පෙම් බඳීන්නට ඇසිල්ලකින් තීරණය කරන යුවතියන් සිටි පමණින් සිනමාපටයක් රසාලිප්ත හෝ ආකර්ෂණීය වී ක්‍රියාදාම ලක්ෂණ සහිතව නිර්මාණය කළ  නොහැකි බවට ‘ෂෙලීනා’ ද අනගි උදාහරණයකි.