හය වැනි ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍යය වෙනුවෙන් ඇම්.ජී. පෙරේරා සංගීතවේදියාණන් රචනා කොට ගැයූ ග්‍රැමොෆෝන් ගීතය

ඔක්තෝබර් 8, 2020

අධිරාජ්‍යවාදී යුගයේ මෙරට බිහි වූ බොහෝ ග්‍රැමොෆෝන් ගීත සඳහා පාදක වූයේ, එවක පැවැති දේශපාලනික සහ සමාජ පසුබිම තුළ ජනයාගේ දේශ වාත්සල්‍යය ඔද වඩනු පිණිස නිර්මාණය වූ දේශානුරාගී අදහස් මතු කරන ගීත ය. මෙකි පසුබිමක් තුළ ඉංගිරිසි රජය පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් ගැයෙන “රාජ පාක්ෂික ගීත” බිහිවූයේ ඉතා අතළොස්සකි. ඒ අතුරින් වර්ෂ 1937 දි  තැටිගත කළ බ්‍රිතාන්‍යයේ සයවැනි ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍යය වෙනුවෙන් විරචිත “පරමතින්  පිරී” නම් ගීතයේ  ඉතිහාසය මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නෙමි. 

මෙරට බ්‍රිතාන්‍ය පාලන සමයේ සුප්‍රසිද්ධ වික්ටෝරියා රාජිණියගේ (1837-1901) පුත්‍රයා වූ පස්වැනි ජෝර්ජ් රජතුමා ගේ (1901-1936) මරණයෙන් පසු නීත්‍යානුකුලව රජ බවට පත්වන හත්වැනි එඩ්වඩ් රජතුමා (1936 ජූනි සිට දෙසැම්බර් දක්වා) සිය කිරුළ අතහරින්නේ සිය පෙම්වතිය වූ සිම්ප්සන් ආර්යාව විවාහ කරගැනීම අපේක්ෂාවෙනි. එබැවින්, පස්වැනි ජෝර්ජ් රජුගේ පුත්‍රයා වන යෝර්ක් හි කුමරුවාණන් වූ සය වැනි ජෝර්ජ් මහා බ්‍රිතාන්‍යය සහ බ්‍රිතාන්‍යයට අයත් අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල රාජ්‍ය නායකයා ලෙස වර්ෂ 1936 දෙසැම්බර් 11 වන දින තෝරාගනු ලැබී ය. සයවැනි ජෝර්ජ් රජු ගේ ඔටුණු පැළඳීමේ උත්සවය   එනම් “මෞලි මංගල්‍යය” පවත්වන්නට යෙදුණේ  වර්ෂ 1937 මැයි මස 12 දින ය.

බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය වුණු දිවයිනක්ව පැවැති ශ්‍රී ලංකාවේ ද මුළු රට පුරාම විවධ උත්සව සහ සම්භාෂණ රජුගේ මෞලි මංගල්‍යය සමරනු වස් පැවැතී බව එවකට පළවූ පුවත්පත් අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකිය. වර්ෂ 1937 මයි මස 13 දින  නිකුත් කළ “දිනමිණ” පුවත්පතෙහි සිරස්තලය වූයේ “

“අගනුවර මෞලි මංගල්‍ය ශ්‍රී විභූතියෙන් ඇළලී යාම” යනුවෙනි.  යුදහමුදාව විසින් පෙර දින ඉදිරිපත් කළ පෙළපාලි සහ ආණ්ඩුකාරතුමා පිළිගැනීමේ උත්සවය පිළිබඳව වර්ණනා මුඛයෙන් කරුණු වාර්තා කොට තිබුණි. මෙම දින දෙකෙහි දී මරදානේ ටවර් නෘත්‍ය ශාලාව විසින් “ජෝර්ජ් මහරජතුමාණන්ගේ මෞලි මංගල්‍ය විශේෂ දර්ශනය” යනුවෙන් කෙටි ආදර්ශන නාටකයක් පෙන්වා ඇත. මෙම නාටකයේ ජෝර්ජ් රජතුමා ලෙසින් චරිත නිරූපණය කර ඇත්තේ එවකට ජනකාන්ත නිළියක වූ ලක්ෂ්මී බායි වීම විශේෂත්වයකි.

එසේම, මෞලි  මංගල්‍යය දිනයේ එනම් 1937 මැයි මස 12 දින රාත්‍රියේ එවකට සිටි අති දක්ෂ සංගීතඥයෙක් වූ ඇම්. ජි. පෙරේරා මහතා විසින් ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍යය වෙනුවෙන්  ප්‍රබන්ධ කරන ලද “රාජ ස්තෝත්‍ර ගීත” හතරක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය මගින් සජීවීව ප්‍රචාරය කරන ලදී. මේ පිළිබඳව එකී ගීත චතුෂ්කයෙහි රාග- තාල සහ පදමාලා සහිතව ප්‍රචාරක දැන්වීමක් 1937 මැයි මස 12 දින දිනමිණ පුවත්පතෙහි මෙසේ පළ  විය. “සංගීතාචාර්ය ඇම්. ජී. පෙරේරා මහතා විසින් දිනමිණ මගින් ප්‍රසිද්ධ කරනු ලබන මෙහි පහත පළවන රාජ ස්තෝත්‍ර ගීත චතුෂ්කය අද දින රාත්‍රී 8.40 ට කොළඹ ගුවන්විදුලි ස්ථානයේ සිටි දක්ෂ සංගීතඥ පිරිසක් විසින් පතුරුවාහරිනු ලැබේ” යනුවෙනි. මෙසේ සජීවීව ඉදිරිපත් කළ ගීත චතුෂ්කය වූයේ “දිගු යටගෙහි නැගු ජයකේළි සොඳ” (රාගය කාමොද් ,තාලය ත්‍රිතාල්, මධ්‍ය ලය), “පරම කිත්සිරිනි උදුල්” (රාගය කාෆී ජිල්ලා, තාලය දාදරා), “ජයසිරි කේළි, සැම දිගු යටගේ නංවලා පැමිණ තෙද මහිමා” (රාගය කේදාර්, තාලය ත්‍රිතාල්, විලම්බීත ලය) සහ “ගුණ සාගර භූරී තේජෝ භූෂණ” (රාගය බිලාවල්, තාලය ත්‍රිතාල්, මධ්‍ය ලය) යන ගීත ය. මෙම ගීත අතුරින් එක ගීතයක වචන පහතින් ඉදිරිපත් කරන්නේ, එම ලිපියට පාදක වන ග්‍රැමොෆෝන් ගීතයේ වචන සහ අදහසට බොහෝදුරට සමාන වන බැවිනි. සංගීතාචාර්ය ඇම් .ජී පෙරේරා මහතා විසින් රචනා කොට තනු සැපැයූ ගීතයේ වචන පහත අයුරින් වේ. 

පරම, කිත් සිරිනි, උදුල්  -

මහරු පින්, බලැති  නිමල් //

අගරජ අඹරේ සුවිසල්    -

පහළ පුන් සඳෙවූ මනකල් //

අප මිහිපල් සැපත සියල්  -

විඳ  විඳ දිනේවා බෝ කල් //

ලෝ වැසි සැමගේ නිතින්  -

ලබමින එක ලෙස බුහුමන් //

මේ කාලයේදීම එවක සුප්‍රසිද්ධ  ඩ්ර්ඍ ග්‍රැමොෆෝන් ගීත තැටි ඒජන්තවරුන් වූ සීමාසහිත දොන් කරෝලිස් සහ පුත්‍රයන් සමාගමේ ආරාධනයෙන් සංගීතාචාර්ය ඇම්.ජී පෙරේරා මහතාණන් විසින් ග්‍රැමොෆෝන් ගීත තැටියක් සඳහා තවත් මෙවැනිම ගීත ද්විත්වයක් සම්පාදනය කළේ ය. වර්ෂ 1937 මැයි මස ඩ්ර්ඍ ගීත තැටි අංක ර්‍ථ 15280 යටතේ  නිකුත් කළ මෙහි එක පසෙක “පරමතින් පිරී” නම් ගීතයක් ද, අනෙක් පස “පෑ විකුම් ලොවේ” නම් ගීතයක් ද අන්තර්ගත විය. මෙම ගීත ද්විත්වයම  ගායනා කළේ  ගායිකාවන් කණ්ඩායමක් විසිනි.  එනම් එය සමූහ ගායනයකි. ප්‍රශස්ති ගායනාවක් බඳු මෙම ගීත තැටි ලේබලයේ මුද්‍රණය කර තිබුණේ “ඹ්ඒච්ධ්ඡ්ඉ ඛ්ඩ්ර්‍ණඅර්‍ණඋඉ එධ්ඊඩ් ර්‍ථධ්ඒව්ර්‍ණ” ( පියානෝ වාදනය සමගින් කාන්තා සමූහ ගායනය) යනුවෙනි. එසේම සංගීතාචාර්ය ඇම්.ජී පෙරේරා මහතාණන් ගේ නම ඉතා කුඩා අකුරින් වරහන් තුළ ගීත තැටි ලේබලයේ මුද්‍රණය කර තිබුණි.  “පරමතින් පිරී” නම් ගීතයේ පදමාලාව ඇසුරු කොට තිබුණේ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රකාශයට පත් වූ  මුල්ම ජාතික ගීතය (වර්ෂ 1745 දී ට්ඥදබතඥථචද'ඵ ර්චඨචලඪදඥ නම් සඟරාවෙහි  මුල් වරට පළ වූ) “ට්ධඤ ඵචමඥ ඨපඥචබ ට්ඥධපඨඥ ධභප ඬඪදඨ, ඹ්ධදඨ තඪමඥ ධභප දධඡතඥ ඬඪදඨ”  ඇසුරිනි. පසුකාලීනව මුල් ඉංගිරිසි ගීතයේ පදමාලාවන් සුළු වශයෙන් වෙනස් වුවද,  ඇම්.ජී පෙරේරා මහතාණන් විසින් විරචිත මෙම සිංහල ගීතයට මෙම ඉංගිරිසි ගීතයේ අර්ථය පාදක වූ බව සිතිය හැකි ය. “පරමතින් පිරී” නම් ගීතයේ පදමාලාව පහත ආකාර වේ. 

පරමතින් පිරී - යුත් ගුණෙන් පිරී 

පවර සක්විති - අප මහී පති //

සැම රුපුන් නසා - දුරලමි සිඳා 

පවතීවා සදා - කල් සිතූ ලෙසා 

දිස්නේකින් උතුම් - රජය ඉංග්‍රිසි 

බැබළෙවා ලොවේ - කීර්ති දී නොහිම් 

ලොඅග පත් උතුම් -රජය ඒ නිමල් 

පවතීවා සදා - කල් සුඛීන් මෙසේ 

ගුණෙනි පිවිතුරු - වොරැඳී නිරතුරු 

සැමට පියකරු - ලකි‘ඳු අප ගරු 

ලොවැඩ පා එසේ -සැම හටා සෙනේ 

පවතීවා සදා - කල් සිතු ලෙසේ 

   

ඕඡ ස්වරය ෂඩ්ජය ලෙස පිහිටුවා ඇති මූලික ස්වර ග්‍රාමය (ඵජචතඥ) ට අනුකූල වන ලෙස ගීතයේ ස්වර රචනාව සකස් කොට ඇත. ගීතයේ තාලය ලෙස තාලය බටහිර 3/4 ඹචතබල උපයෝගී කර ඇති අතර, සමූහ ගායනයකට උචිත සරල සුගම තනුවක් මෙහි භාවිත කර ඇත. ගායන මඩුල්ල සප්තකයකින් දුරස්වූ ස්වරවලින් කණ්ඩායම් දෙකකට බෙදා ගීය ගායනා කිරීමට යොදවා ඇත. වාද්‍ය භාණ්ඩ ලෙස පියානෝව සහ වයලීනය පමණක් යොදවා කටහඬවල් ඉස්මතු වීමට මග සලසා තිබීම මෙම ගීතයේ විශේෂත්වයකි. 

ගීතය රචනා කළ සංගීතාචාර්ය ඇම්. ජී. පෙරේරා ගැන වෙසෙසින් සඳහන් කළ යුතු මනා ය. මෙම ශතවර්ෂයේ මුල් කාර්තුවෙහි මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම සංගීතඥයන්  අතුරින්  ඇම්. ජී. පෙරේරා නොහොත් මාකලන්දගේ ගිරිගෝරිස් (ග්‍රෙගරි) පෙරේරා (1875-1942) මහතා මූලික තැනක් ගන්නේ මෙරට හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය ප්‍රචලිත කිරීමෙහි මුලිකයෙක් වශයෙන් කටයුතු කළ, ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව සිංහලෙන් ලියැවුණු මුල්ම කෘති රචනා කොට පුරෝගාමී මෙහෙවරක් කළ සංගීතඥයෙකු වශයෙනි. ජේ. ජෝර්ජ් පෙර්රා සහ එවකට සුප්‍රසිද්ධ සංගීතඥ ඩී. බර්තොලමියුස්  වෙතින් මෙතුමා ශාස්ත්‍රීය සංගීතය සහ වාදනය ප්‍රගුණ කළ බව සඳහන් වේ.  සංගීතඥ එච්. ඩබ්ලිව්. රූපසිංහ, බී .එඩී ද සිල්වා, බි. සනී ද සිල්වා දොන් මානිස් පට්ටියාරච්චි, වින්සන්ට් සෝමපාල, වල්පොල ආරච්චිගේ ජෝසප් පෙරේරා ආදී 1920-40 දශකවල මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයන් ගේ මුල් ගුරුවරයා වූයේ ද ඇම්. ජී. පෙරේරා මහතා ය. උත්තර භාරතීය  රාගධාරී සංගීතය පිළිබඳ සිංහල බසින් රචිත “ගීත ශික්ෂක” (පළමු කාණ්ඩය 1912, දෙවැනි කාණ්ඩය 1917, තුන්වැනි කාණ්ඩය 1933), “ගීත මධුව” (1929), “බාල සංගීත මාලා” (1929), “සප්ත ස්වරය” (1930) ආදී සංගීත ග්‍රන්ථ රාශියක් මෙතුමා අතින් සම්පාදනය විය. එවකට සුප්‍රසිද්ධම සංගීතඥයෙක් වූ “ගුරුන්ගේත් ගුරු” ලෙස හැදින් වූ  ජෝතිරත්නගේ සාදිරිස් සිල්වා මාස්ටර් විසින් 1930-37 වකවානුවේ  ග්‍රැමොෆෝන් තැටි සඳහා ගැයූ ගීත බොහොමයක ගීත රචකයා සහ තනු නිර්මාපකයා වූයේ මෙතුමා ය. වර්ෂ 1924 මෙරට නිලවශයෙන් අරඹන ලද ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ පළමු වරට සජීවී සංගීත වැඩසටහනක් 1927 මයි මාසයේ දී ප්‍රචාරය කරන ලද්දේ  ද ඇම්. ජී. පෙරේරා මහතාණන් විසිනි. 

වර්ෂ 1930 දී පමණ ජර්මනියෙහි නිෂ්පාදිත , ලංකාවේ සීමාසහිත බ්‍රවුන් සමාගම මගින් බෙදා හරින ලද ර්‍ථඒඅඹ්ර්‍ණර්‍ථඩ්ර්‍ණව් ලේබලයෙන් නිකුත් වුණු ග්‍රැමොෆෝන් තැටියක් සඳහා (ගීත තැටි අංක ඕ 32108) එක්පසෙක භූපාලි රාගයෙන් සහ ත්‍රිතාලයෙන් සමන්විත වද්දනයක් ද, අනෙක් පස චායානට් රාගයෙන් සහ ත්‍රිතාලයෙන් සමන්විත වාදනයක් ද මෙතුමා ඇතුළු වාද්‍ය වෘන්දය ඉදිරිපත් කළේය. එසේම කොළඹ  කුමාර වීදියේ වර්ෂ 1909 දී පළමු වරට “සංගීත සමාචාරවර්ධන සමිතිය” පිහිටුවන ලද්දේ මෙතුමා විසිනි. මෙහි කළමනාකාරීත්වය  දැරුවේ චිත්‍රසේනයන් ගේ පියා වූ සීබට් ඩයස් මහතා විසිනි. මෙම සමිතිය මගින් ඉදිරිපත් කළ “රෝමියෝ  ජුලියට්” (1914), “වැනිසියේ වෙළෙන්දා“ (1917) ආදී සියලු නාටක වල ගීත රචනා සහ  තනු නිර්මාපකයා වූයේ ඇම්. ජී. පෙරේරා මහතා ය. එතුමා එවකට කොළඹ නගරයේ ප්‍රසිද්ධියට පත්ව සිටියේ සංගීතාචාර්යවරයෙක් ලෙස පමණක් නොව උසස් සමාජ තත්වයක් හෙබි ප්‍රභූවරයෙකු ලෙසිනි. එසේම වර්ෂ 1940 ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණු එස් . ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා සහ සිරිමා රත්වත්තේ සිරිමතියගේ විවාහ මංගල්‍යය දින සංගීතය මෙහෙයවන ලද්දේ  ඇම්. ජී. පෙරේරා මහතා ඇතුළු වාදය වෘන්දය වෙතිනි. එමගින් සංගීතඥයෙකු ලෙස මෙන්ම ප්‍රභූවරයෙකු ලෙස ද මෙතුමා සමාජයේ ලබා තිබු තත්ත්වය පැහැදිළි වෙයි. අවිවාහක ජීවිතයක් ගත කළ මෙතුමා වර්ෂ 1942 දී දෙනෙත් පිය ගත්තේය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සිය ගාන්ධර්ව අපදාන පොත් පෙළෙහි 8 වැනි කෘතියෙහි මෙතුමා පිළිබඳ  අප්‍රකට තොරතුරු රාශියක් ඉතා රසවත් අන්දමින් සංග්‍රහකොට ඇත්තේ ය. 

පසුගිය  සියවසෙහි මුල් කාර්තුවෙහි මෙරට සංගීතයෙහි ප්‍රගමනය වෙනුවෙන් උත්කෘෂ්ට සේවාවක් ඉටුකළ, ඇති විශාල ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරක් සංගීත ක්ෂේත්‍රය වෙත දායාද කළ ඇම්. ජී. පෙරේරා මහතාගේ නාමයට මෙම ලිපිය උපහාරයක්ම වේවා !

මූලාශ්‍ර : දිනමිණ - (1937 මැයි 12 සහ 13); ගාන්ධර්ව අපදාන 8- ඇම්. ජී. පෙරේරා සහ ලයනල් එදිරිසිංහ - මහාචාර්ය සුනිල් ආරියරත්න (2020) ; විසි වසරක සිංහල නාට්‍ය සහ රංග කලාව (1912-31) - තිස්ස කාරියවසම්

විශේෂ ස්තූතිය : ග්‍රැමොෆෝන්  ගීත තැටි සංරක්ෂක ටී.ඇන් විජේසිංහ මහතා, ජාතික ලේඛනාගාරය, කොළඹ, මංජුල සමරසේකර මහතා (ලේක්හවුස් කාර්යාලය), ගීතයේ සංගීතමය අගය පිළිබඳ දැනුම්වත් කළ අසංක පෙරේරා මහතා, සුපුන් විරාජ් මිහිරංග මහතා, සංගීතාචාර්ය ඇම්. ජී පෙරේරා මහතාගේ සේයා රූ සපයාදීම වෙනුවෙන් විශාරද ජයන්ත අරවින්ද සහ නිහාල් ගම්හේවා මහත්මාවරු.