වර්ෂ 2021 ක්වූ March 04 වැනිදා Thursday
Bollywood හෙල්ලූ කුඩු

බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් මුම්බායි, බන්ද්‍රා හි පිහිටි නිවසේදී ගෙල වැළලා ගෙන සියදිවි නසා ගත්තේ පසුගිය ජුනි 14 වැනිදාය. සුෂාන්ත්ගේ මූලික මරණ පරීක්ෂණයෙන් ඔහු මානසික අවපීඩනයෙන් පෙළෙනු බව හෙළි කර සිටි අතර ඔහුගේ පියා ක්රිෂ්ණ ක්‍රිෂෝර් සිං විසින් බිහාර් පොලිසියට ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම මරණය සම්බන්ධ වැඩිදුර විමර්ශන ආරම්භ විය. එහිදී රුපියල් කෝටි 15 ක් වටිනා සැක කටයුතු ගනුදෙනුවක තොරතුරු අනාවරණය වූ අතර රංගන ශිල්පී රියා චක්‍රබෝර්ති, ඇගේ සහෝදරයා සහ පවුලේ තවත් පුද්ගලයින් හය දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරුණි.
සුෂාන්ත්ගේ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්ති පසුගියදා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුණේ ඔහු වෙනුවෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඇය කළ භූමිකාව හේතුවෙනි. මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මුම්බායි අධිකරණය විසින් රියාහට දින 14ක අධිකරණ භාරයක් නියම කෙරුණි. බොලිවුඩයේ මත්ද්‍රව්‍ය මාෆියාව පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ එයින් අනතුරුවය.
සුෂාන්ත් සිං රාජ්පුත් නඩුවේ විත්තිකරු රියා චක්‍රබෝර්ති විසින් බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන් කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය මිල දී ගෙන පරිභෝජනය කළ බව අනාවරණය කර තිබේ. වාර්තාවලට අනුව බොලිවුඩ් තරු සියයට 80 ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව රියා චක්‍රබෝර්ති හෙළි කළ බව කියවේ. එසේම සුෂාන්ත් සිං රාජ්පුත් වෙනුවෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමේදී රියා සිය භූමිකාව පිළිගෙන ඇති බවත් වාර්තාවේ. එහිදී රියා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා කරමින් නළු නිළියන්, නිෂ්පාදකයින් සහ අධ්යක්ෂවරුන් ඇතුළු කර්මාන්තයේ කීර්තිමත් පුද්ගලයින්ගේ නම් රැසක් හෙළි කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් දීපිකා පදුකෝන්, සාරා අලි ඛාන්, ශ්‍රද්ධා කපූර් සහ රකූල් ප්‍රීත් සිංගෙන් කළ ප්‍රශ්න කිරීමේ සැසියේදී කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිත කළා ය ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ. දීපිකා පදුකෝන් පැය හයක් පුරා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක් වූ බව වාර්තා වේ.
දීපිකා පදුකෝන් යනු වට්ස්ඇප් සමූහ කතාබහක පරිපාලකවරයා බවත් සුෂාන්ත් සිං රාජ්පුත්ගේ හිටපු කළමනාකරුවකු වූ ජය ෂා ද එයට සම්බන්ධ එක් සාමාජිකයෙක් බවත් අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්කා කර සිටී. ඔවුන්ගේ වට්ස්ඇප් මත්ද්‍රව්‍ය කතාබස් ප්‍රසිද්ධියට පත් වී තිබෙන්නේ ෂා අතින් බවද පැවසේ. පදුකෝන්ගේ කළමණාකාරිණිය කරිෂ්මා ප්‍රකාශ් මත්ද්‍රව්‍ය සම්බන්ධව ප්‍රසිද්ධ පුද්ගලයින්ට සේවය කළ බවට ජය ෂා චෝදනා කර ඇත. තවත් කීර්තිමත් පුද්ගලයකු වන ක්ෂිතිජ් ප්‍රසාද්ගේ (ධර්මා ප්රඩක්ෂන්ස්හි හිටපු විධායක නිෂ්පාදක) නම ද මත්ද්‍රව්‍ය වංචා විමර්ශනය අතරතුරදී ඉදිරිපත් විය. ඔහු බොලිවුඩයේ කීර්තිමත් පුද්ගලයින්ට සාදවලදී මත්ද්‍රව්‍ය ලබා දුන් බව වාර්තා වේ. කෙසේ වෙතත්, ධර්මා ප්‍රොඩක්ෂන්ස් හි හිමිකරු වන චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් මීට පෙර ප්‍රකාශයකින් පැහැදිලි කළේ තමා ක්ෂිතිජ් ප්‍රසාද් පෞද්ගලිකව නොදන්නා බවයි. බොලිවුඩ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සම්බන්ධතාවය තහවුරු කරන විද්‍යුත් උපකරණ සහ දුරකතන දත්ත මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි දිනවලදී සැකකටයුතු සියලුම ප්‍රසිද්ධ පුද්ගලයින් කැඳවීම සඳහා ලිපි ගොනු සකස් කෙරෙමින් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
තත්ත්වය මෙසේ පවතිනවිටදී පසුගිය සතිය අවසන් වනවිට බොලිවුඩයේ දැවැන්ත තරු කිහිප දෙනෙකුගේ නම් මෙම නඩුව හා සම්බන්ධ වෙමින් ප්‍රසිද්ධියට පත් වීය. බොලිවුඩයේ මත්ද්‍රව්‍ය සම්බන්ධව සුෂාන්ත් සමඟින් මෙතෙක් චෝදනා ලැබ සිටියේ නිළියන් පමණි. නමුත් මේ වන විට ජනප්‍රිය නළුවන් සිව්දෙනෙකු සම්බන්ධ බවට මාධ්‍ය වාර්තා කළේය. එස්, ආර්, ඩී සහ ඒ මුලකුරුවලින් නම් ආරම්භ වන ප්රමුඛ නළුවන් සිව්දෙනෙකු දැනට පවතින මත්ද්‍රව්‍ය විමර්ශනයේදී මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් කැඳවීමට නියමිත බව වාර්තා විය. පසුව ඉන්දීය නාලිකාවක් වන ඒබීඩී ප්රවෘත්ති වාර්තා කර සිටියේ, මෙම මුලකුරුවලට අනුව එස් - ශාරුක් ඛාන්, ආර් - රන්බීර් කපූර්, ඒ - අර්ජුන් රාම්පල් සහ ඩී - ඩිනෝ මොරියා වන බවයි. නිර්නාමික කොන්දේසිය මත මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරියෙකු නම් හෙළි කර ඇති බව වාර්තාවේ දැක්විණි.
සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධව දැනට පවතින මත්ද්‍රව්‍ය විමර්ශනයේදී බොලිවුඩයේ සුපිරි තරු වන ශාරුක් ඛාන්, රන්බීර් කපූර්, අර්ජුන් රාම්පල් සහ ඩිනෝ මොරියාගේ නම් බොලිවුඩ් මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවේදී මතු වී ඇති බව හින්දි දිනපතා පුවත්පතක් වන ඩයිනික් භාස්කර් ද වාර්තා කළේය. අර්ජුන් රාම්පාල් ශාරුක්ගේ නිවෙසට මත්ද්‍රව්‍ය ගෙන ගිය බවට ප්‍රබල සාක්ෂි ලැබී ඇති බව මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළ බවත් ඩයිනික් භාස්කර් වාර්තා කළ පුවතේ සඳහන් වේ. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ශාරුක් ඛාන්ගේ නම සඳහන් කිරීම හේතුවෙන් කෝපයට පත් ඔහුගේ රසික රසිකාවන් ට්විටර්හි සිය විරෝධය පළ සිටියේ ප්රවෘත්ති නාලිකා අසත්‍ය පුවත් මවමින් ඔවුන්ගේ ප්‍රියතම තාරකාවට අපහාස කිරීම පිළිබඳ සමාව ඉල්ලා සිටිය යුතු බවයි.