මම වෙලාවටත් කලින් වැඩ කරන්න තමයි කැමති...

පුංචි තිරය ඔස්සේ ඔබ හමුවන සමාධි වන්දනා කොතලාවල...
ඔක්තෝබර් 8, 2020

ටෙලි නාට්‍ය නරඹන ඔබට ඇගේ මුහුණ කොතැනකදී හෝ හමුවී ඇතැයි අපි සිතමු. එකිනෙකට වෙනස් චරිත පණ පෙවූ ඇය ක්‍රීඩාවටද හපන්කම් දක්වන්නීය. නමින් ඇය සමාධි වන්දනා කොතලාවලයි. ඇය කලාවට පෙම් බැන්දේ පවුල් පසුබිම නිසාය. සමාධිගේ සීයා සිනමා අධ්‍යක්ෂ කුසුම් චන්ද්‍ර ගමගේය. මවද නිළියක් ලෙසින් කෙටි කලක් රංගන කටයුතුවල නියැළුණි.

සමාධි, ඔබේ පළමු නිර්මාණය මතක් කළොත්?

සෞන්දර්ය විශ්ව විද්‍යාලය මඟින් කළා කෙටි චිත්‍රපටයක් දෙදහස් දහයේ විතර. මට එමඟින් තමයි රඟපාන්න අවස්ථාව උදා වුණේ. ඊට පස්සේ මම ස්ථාන කිහිපයකින්ම රඟපෑම පිළිබඳ ඉගෙන ගත්තා. මට හිතුණා හැදෑරීමකුත් එක්ක මේ ගමන ගියොත් හොඳයි කියලා.

සීයාගෙන් රඟපාන්න අවස්ථා ඉල්ලලා නැද්ද?

කවදාවත් නැහැ. මම හිතනවා සුදුසු කාලේකදි ඔහුම මට හොඳ නිර්මාණයකට කතා කරාවි කියලා.

ඔබ රඟපෑ නාට්‍ය පෙළ මතක් කළොත්?

සකූගේ කතාව, රාජ යෝගය, මං වහලේ උඩ, කිඳුරාදරී. මේ දවස් වල අමාලියා සහ හොඳ වැඩේ නාට්‍ය වල ෂූටිං. හොඳ වැඩේ එකේ මම නිර්මා.

තරුණ නිළියක් විදිහට කටයුතු කරද්දි එන අභියෝග මොනවද?

ක්ෂේත්‍රයේ එක එක පුද්ගලයින්ගෙන් එන අයුතු යෝජනා මගහරින එක තමයි එකම අභියෝගය. වෙනනම් කිසිදු ගැටලුවක් නැහැ. මිනිස්සුන්ව තරහ කරගන්නත් බැහැනේ. ශේප් එකේ මගහරිනවා අවුල් සහගත කතාවක් කියාගෙන එද්දි. තමගේ ටැලන්ට් එකෙන්ම තමයි ඉදිරියට යන්න අපේක්ෂා කරන්නේ. කෙටි මාර්ගවලට වඩා හිමින් ගමන හොඳයි.

රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

එක්තරා ෆිල්ම් එකක් කරන්න ගිහින් එකම කොස්ටියුම් එක දාගෙන දවසකට වඩා හිටියා නිකම්. ඒක රජ කතාවක්. මම හිටියේ අඞන්තපුර සේවිකාව විදිහට. එදා උදෙන්ම මට ඇන්දුවා. හවස් වෙනකනුත් ඔහේ හිටියා. පහුවෙනිදත් හවස තමා මගේ සීන් ටික පටන් ගත්තේ. එදානම් එපා වෙලා හිටියේ.

ඔබ ක්‍රීඩාවටත් හපන් කෙනෙක්ද?

රෝද සපත්තු ධාවන තරඟවලට තමයි මම සහභාගි වෙන්නේ. ඒ ක්‍රීඩාවට මම දක්ෂයි.

වාර්ෂිකව සංවිධානය වන රෝද සපත්තු ක්‍රීඩා තරගාවලියේ මේ අවුරුද්දේ මම තමයි දෙවැනි තැන ගත්තේ. ජාතික රෝද සපත්තු සංගමය තමයි ඒක සංවිධනය කරන්නේ.

සමාධිගේ ගම කොහෙද?

මම අවිස්සාවේල්ලේ. දැන් පදිංචි පිළියන්දල.

පාසල?

හෝමාගම ජනාධිපති සහ සීතාවක මධ්‍ය මහ විදුහල්වලින් තමයි මම ඉගෙන ගත්තේ.

උපන් දිනය?

අනූහයේ දෙසැම්බර් හය.

ඔබ ගැන කෙටියෙන් හැඳීන්නුවහොත්?

මම වෙලාවටත් කලින් වැඩකරනවා ඒ නිසා සමාධි කියන්නේ වෙලාවටත් කලින් වැඩකරන චරිතයක් කියලා කවුරුහරි කියනවානම් මම ආසයි.

 

නිශ්ශංක විජේරත්න