දරුවන්ගේ ප්‍රතිචාර

ඔක්තෝබර් 8, 2020

අනූව දශකයේ ඉහළ ජනප්‍රියත්වයක් ලද නිළියක මෙන්ම මිස් ඉන්දියා ලෙසින් කිරුළු පැළැඳී ජුහි චව්ලා මේ වන විට ගෙවන්නේ සිය දිවියේ පනස් වැනි දශකයේ මුල් භාගයයි. ජුහි 1986 දී සුල්තානාත් චිත්‍රපටය සමඟ රංගනයට පිවිසි නමුත් ප්‍රසිද්ධියට පත්වූයේ එයින් වසර දෙකකට පසුව තිරගත වූ ක්‍යාමත් සේ ක්‍යාමත් තක් චිත්‍රපටය සමඟින්. හම් හේන් රාහි ප්‍යාර් කී, ධර් (1993), දීවානා මස්තානා (1997), යස් බොස් (1997) ඇය ප්‍රධාන චරිතය නිරූපණය කළ චිත්‍රපට අතරින් කිහිපයක්. 3 දීවාරීන් (2003), මයි බ්‍රදර් නිඛිල් (2005) විචාරක අවධානය යොමු වූ ඇයගේ චිත්‍රපට රංගනයන්.

දශක තුනක සිනමා ජීවිතය පුරා ඇය නිරූපණය කළ චරිත විවිධාකාර විය. සැමියාගෙන් බැට කන බිරිඳකගේ (ඩරාර්) චරිතයේ සිට කෙළිදෙලෙන්, විනෝදයෙන් ජීවත් වන නැඟී එන නිරූපිකාවකගේ (යර්ස් බොස්) දක්වා එම චරිත විවිධ විය. ඇය රඟ පෑ බොහෝ චිත්‍රපට කුඩා ළමයින් අතර ජනප්‍රිය වූ බව කියවෙන නමුත් දැන් අසන්න ලැබෙන්නේ ඇගේම දරුවන් වන ජාන්වි සහ අර්ජුන් එම රංගනයන් ගැන ලැජ්ජාවට පත්ව සිටින බවයි. එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ජුහි කියා සිටියේ ඇය තම චිත්‍රපට කිහිපයක් ජාන්වි සහ අර්ජුන් හට පෙන්වීමට උත්සාහ කළ නමුත් ඔවුන් ඒවා නැරඹීමට එතරම් උනන්දුවක් නොදැක්වූ බවයි. සිය පුතු වරක් ඇයට කියා ඇත්තේ ‘අම්මා රඟ පෑ ආදර කතා අස්වාභාවිකයි’යනුවෙනි.