ලක්ෂ්මි බොම්බ් විදෙස් ගත වෙයි

ඔක්තෝබර් 8, 2020

මේ වන විට ලොව වටා සිනමා රසික රසිකාවන්ට සතුට දනවමින් සිනමාහල් නැවත විවෘත කරමින් නව සිනමාපට නිකුත් කිරීම ආරම්භ කෙරෙමින් තිබේ. රාඝවා ලෝරන්ස්ගේ නිර්මාණයක් වන 'ලක්ෂ්මි බොම්බ්' චිත්‍රපටය නොවැම්බර් 9 වන දින ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිනමාහල්වල තිරගත වීම ඇරඹීමට නියමිතයි. අක්ෂේ කුමාර් සහ කියාරා අද්වානි විසින් ප්‍රධාන චරිත නිරූපිත මෙම චිත්‍රපටය රාඝවාගේ අධ්‍යක්ෂණයෙන් යුතු දෙමළ ත්‍රාසජනක ප්‍රහසනයක් වූ 'මුනි 2: කාංචනා' චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්.

මේ අතර ඉන්දියාවේ සිනමා ශාලා ද නැවත විවෘත කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 15 සිට සිනමාහල්වලට ආසන ධාරිතාවෙන් සියයට 50 ක් දක්වා ආරම්භ කිරීමට අවසර ලැබෙනු ඇත. කෙසේ නමුත් මහාරාෂ්ට්‍ර රජයේ නව මාර්ගෝපදේශයන්ට අනුව ඔක්තෝබර් 31 දක්වා ප්‍රාන්තයේ සිනමාහල් වසා තබන අතර තමිල්නාඩු රජය සිනමා ශාලා නැවත විවෘත කිරීමට තවමත් අවසර දී නොමැත. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සමගින් මාර්තු මාසයේ මැද සිට ඉන්දියාවේ සියලුම සිනමාහල් වසා දැමුණි. 'බාගී 3', 'ඇන්ග්‍රෙසි මීඩියම්', 'ශුබ් මංගල් සියාඩා සව්ධාන්' වැනි චිත්‍රපට ඒ වන විට තිරගත වෙමින් පැවති චිත්‍රපට අතර විය.